ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර ජාවාරමක් ගැන අනාවරණයක්

ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර ජාවාරමක් ගැන අනාවරණයක්

*********************************************

ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර ජාවාරමක් ගැන අනාවරණයක්

(20.11.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර සීමා කරමින් කාබනික පොහොර ව්‍යාප්ත කිරීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් සමඟ මෙරට තුල පොහොර සම්බන්ධයෙන් දැඩි අර්බුධකාරී වාතාවරණයක් මතුව තිබෙනවා.

එවන් පසුබිමක ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර රටපුරා බෙදාහරිමින් මඩිය තර කරගන්නා කුරුණෑගල ප්‍රදේශයේ අලුත්ම ජාවාරමක් පිළිබඳවයි අද (20) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය.

මහා පරිමානයෙන් පොහොර නිෂ්පාදනය කර රට පුරා බෙදාහරින මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කුරුණෑගල – ගිරිබාව ප්‍රදේශයේ.

මෙරට නම ගිය මහා පරිමාන පොහොර සමාගමක් විසින් සති පතා කිලෝ 60,000 බැගින් පොහොර සපයන ලෙස මෙම මධ්‍යස්ථානයට ඇනවුමක් ලබා දී තිබෙනවා.

එම පොහොර ලබාදීමට අමතරව මෙම නිෂ්පාදනාගාරය මගින්ම ඇසුරුම් කර වෙනත් නමකින් ද වෙළදපලට මහා පරිමානයෙන් පොහොර නිකුත් කරන බවයි ‘හිරු සී.අයි.ඒ.’ කළ සොයාබැලීමේදී අනාවරණය වුණේ.

ඔවුන්ගේ පොහොර අලෙවි නියෝජිතයෙකු ලෙස ඉදිරියේදී සම්බන්ධවීමට බලාපොරොත්තු වන බව අඟවමින්, කොම්පෝස්ට් පොහොර ජාවාරම සිදුවන ආකාරය සොයාබැලීම සඳහා අප එම ස්ථානයට මෙලෙස ලඟාවුණා.

******************************************

නැනෝ පොහොර ගැනත් මිල සූත්‍රයක් කරළියට එයි

(20.11.2021 – 19:07 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට නැනෝ දියර පොහොර මෙරටට ගෙන්වීමේදී, දැරීමට සිදුවූ විවිධ වියදම් එකතු කිරීම හේතුවෙන් එම දියර පොහොර බෝතලයක් සඳහා ඉන්දියාවේ මිලට වඩා ඉහළ මිලක් නියම කල බව පොහොර ගෙන්වූ දේශීය නියෝජිත ආයතනය වන ‘යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගම’ පවසනවා.

මේ වන විට නැනෝ දියර පොහොර ලීටර් ලක්ෂ 21 ක් පමණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ‘ඉන්දීය ගොවි පොහොර සමූපකාර සමාගමෙන්’ ඇනවුම් කර ඇති බව සඳහන්.

එම පොහොර මිලිලීටර් 500 ක බෝතලයක් මිලදී ගෙන තිබුණේ අමෙරිකානු ඩොලර් 12 යි ශත 45 ක මුදලකටයි.

මෙරට මුදලින් එය රුපියල් 2,513 යි ශත 63 ක්.

එහෙත් ඉන්දියාවේ එම මිල මෙරට මුදලින් ආසන්න වශයෙන් රුපියල් 1,060 ක් පමණයි.

මීට පෙර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා කියා සිටියේ නැනෝ පොහොර බෝතලයක් ඇමරිකානු ඩොලර් 10 ක් දක්වා අඩු කිරීමට අදාළ දේශීය නියෝජිතයා එකඟතාවය පල කර ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්දියාවේ ඇමරිකානු ඩොලර් 5 යි ශත 25 අලෙවි වන නැනෝ පොහොර බෝතලයක්, ඇමරිකානු ඩොලර් 10 කට මෙරටට ලබා ගන්නේ නම් එයද ඉන්දියාවේ අලෙවි වන මිලට වඩා ඇමරිකානු ඩොලර් 4 යි ශත 75 කට වැඩි මිලක් වීම ප්‍රශ්න සහගතයි.

මේ සම්බන්ධයෙන් අද (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පොහොර ගෙන්වන අදාළ දේශීය නියෝජිත ආයතනය වන ‘යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගමේ’ සභාපති සභාපති මොහාන් පෙරේරා අදහස් පළ කළා.

ඔහු එහිදී පොහොර සඳහා ඔවුන්ට වැයවන පිරිවැය ප්‍රදර්ශනය කරමින් මිල සූත්‍රයක්ද ඉදිරිපත් කළා.

මේ අතර පොහොර නොමැති වගාවන් සිදු කර ගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් විරෝධතා වල නිරත වුණා.

******************************************

ජාවාරමක් නොමැති වෙළෙඳාමක් ලෝකයේ නැති බවට වාසුදේවගෙන් ප්‍රකාශයක්

(20.11.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේ, නැනෝ පොහොර ගෙන්වීමේ කටයුතුවල දී අක්‍රමිකතා සිදුවිය හැකි බවයි.

තව ද ජාවාරමක් නොමැති කිසිඳු වෙළෙඳාමක් ලොව නැති බවත් ඔහු අවධාරණය කළා.

******************************************

අඩු ආදායම්ලාභී පවුල් 100 කට අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පානීය නලජල පහසුකම්

(20.11.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 100 ක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පානීය නල ජල පහසුකම් ලබා දී තිබෙනවා.

එය සංකේතවත් කරමින් පවුල් 5 ක් සඳහා එම අයිතිය ප්‍රදානය කිරීමේ උත්සවය අනුරාධපුර මිරිසවැටිය රජමහා විහාරස්ථානයේදී පැවති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනයට සමගාමීව අඩු ආදායම්ලාභි පවුල් සඳහා අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යගායෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.

රජරට විශ්වවිද්‍යාලයේ කුලපති , මිරිසවැටිය, චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමියන්, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

චන්දිම වීරක්කොඩිගේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනපති කාර්යාලයෙන් නිවේදනයක්

(20.11.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති කාර්යාලයේ නිළධාරින්ගේ රථවාහන භාවිතය සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි ඊයේ (19) පාර්ලිමේන්තුවේදී කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි මෙසේ සඳහන් වේ :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගත වූ දෙවර්ෂයක පාලන කාලය තුළ අභියෝග රැසක් හමුවේ අවම සම්පත් දායකත්වයකින් විශාල කාර්යභාර්යක් ඉටු කරමින් සිටි.

රට පුරා ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති ඇතුළුව පුළුල් කාර්යභාර්යක් සඳහා ජනාධිපති කාර්යාලය යටතේ වූ සමස්ත සේවක සහ වාහන සංඛ්‍යාව යහපාලන ආණ්ඩුව යටතේ වූ සේවක සහ වාහන සංඛ්‍යාව මෙන් තුනෙන් එකකි (1/3).

කරුණු එසේ තිබියදී නිවැරදි තොරතුරු හෝ සංඛ්‍යා ලේඛන අධ්‍යනයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සිය කතාවක් මගින් ජනාධිපති කාර්යාලයේ වාහන භාවිතය සම්බන්ධයෙන් ඊයේ (19) දිනයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සාවද්‍ය මෙන්ම කරුණු අධ්‍යනයකින් තොරව කර ඇති බව තරයේ සඳහන් කළ යුතුව ඇත.

ජනාධිපතිවරයා අනුව යමින් ජනාධිපති කාර්යාලයේ සේවයේ නියුතු කිසිඳු නිලධාරියෙකු රථ පෙළපාළි භාවිත නොකරන බව වගකීමෙන් කිව යුතුය. එමෙන්ම බොහෝ නිලධාරීහු සිය නිලයට අයත් වාහනය ද නොගෙන රාජකාරීමය අවශ්‍යතාවය වෙනුවෙන් සංචිතයට අයත් වාහන අදාළ රාජකාරී කටයුත්ත සඳහා ම පමණක් යොදා ගනිති.

එම නිසා චන්දිම වීරක්කොඩි නිසි කරුණු අධ්‍යයනයකින් තොරව මෙලෙස වැරදිසහගත තොරතුරු ඉදිරිපත් කිරීම ඉතා කණගාටුදායක බව ජනාධිපති කාර්යාලය පෙන්වා දෙයි ෴

******************************************

සය (6) නිවුන් දරුවන්ගෙන් තුන්දෙනෙකු (3) ගෙදර යයි

(20.11.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට උපත ලද පළමු (1) සය (6) නිවුන් දරුවන්ගෙන් තුන්දෙනෙකු (3) අද (20) රෝහලෙන් නික්ම නිවසට පිටත්ව ගියා.

ඒ, මාසයක කාලයක් රෝහල තුළ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවීමෙන් අනතුරුවයි.

පසුගිය මස 21 වනදා අලුයම කොළඹ ‘නයින්වෙල්ස්’ පෞද්ගලික රෝහලේ මෙම සය (6) නිවුන් දරු උපත සිදුවූ අතර, එම සිසේරියන් සැත්කම සඳහා ප්‍රධානත්වය ගත්තේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතා යි.

මසක කාලයක් වෛද්‍යවරුන්ගේ සෙනෙහස රැකවරණය යටතේ සිටි මෙම ගැහැණු දරුවන් තුන්දෙනා (3) සහ පිරිමි දරුවන් තුන්දෙනා (3) අතරින් උපත් පිළිවෙල අනුව පළමුවන, තුන්වන සහ පස්වන (1-3-5) දරුවන් අද (20) නිවසට පිටත් කර යැවුණේ.

ඒ වෙනුවෙන් රෝහලේ කෙටි උත්සවයක් සංවිධාන කර තිබු අතර, ඊට අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටියා.

අද (20) පෙරවරුවේ නිවසට රැගෙන යාමට පෙර දරුවන් මාධ්‍ය වෙත ද ඉදිරිපත් කළා.

එම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා ද එක්ව සිටියා.

මෙම දරුවන්ගේ මව්පියන් වන්නේ කොළඹ අයි.ඩී.එච්. ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දිලිනි වාසනා මහත්මිය සහ ප්‍රභාත් උදයංග මහතා යි.

රෝහලේ සිටින දරුවන් තුන්දෙනා (3) තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිරෝගී සුවයෙන් පසුවනවා.

(1-3-5) දරුවන් තුන්දෙනා (3) නිවසට රැගෙන ගිය අවස්ථාවේදී නිවසේ පුංචි උත්සවයක් සංවිධාන කර තිබුණා.

******************************************

ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති ඇමති යළි අවධාරණය කරයි

(20.11.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (20) යළි ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න, ජානක තිස්ස කුට්ටිආරච්චි, නලින් බණ්ඩාර, අජිත් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ ද 2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හයවන (6) දිනයේ අදහස් දක්වනු ලැබුවා ෴

******************************************

ත්‍රීවිල් ටැක්සියට මීටරය අනිවාර්ය කෙරේ

(20.11.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

මගී ප්‍රවාහනයේ යෙදන සියලු ත්‍රීරෝද රථ සඳහා මීටර් සවි කිරීම අනිවාර්ය කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා. ඒ, අද (20) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

******************************************

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිලෙහි වෙනසක්

(20.11.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිලෙහි බලපෑම මෙරට වෙළදපොළටද බලපෑම් කරණු ඇතැයි රත්‍රන් කර්මාන්තයේ ප්‍රවීණයින් අනතුරු අඟවනවා. ලෝක වෙළදපොලේ රත්‍රන් මිල මේ වනවිට සීග්‍රයෙන් ඉහළයමින් පවතිනවා.

ඊට සාපේක්‍ෂව මෙරට වෙළදපොලේද රත්‍රන් මිලද තීරණය වන බවයි මෙරට රත්‍රන් කර්මාන්තයේ නියුතු ප්‍රධාන ආයතන පවසන්නේ.

මේ වනවිට මෙරට වෙළෙඳපොළේ රත්‍රන් මිල දැක්වෙන්නේ කැරට් 22 පවුමක් සඳහා රුපියල් 1,18,000 ක් ලෙසයි.

කැරට් 24 ක පවුමක මිල රුපියල් 1,18,000 ක් ලෙස අද (20) වනවිට සටහන් වනවා.

ලෝක වෙළදපොලේ රත්‍රන් අවුන්සයක මිල අද (20) වනවිට සදහන් වූයේ ඩොලර් 1,862.56 ක් ලෙසයි.

එය ඉකුත් මාසයට සාපේක්‍ෂව සැසදීමේදී සියයට 4.18 ක වර්ධනයක්.

විශේෂඥයින් පවසන්නේ ඉදිරියේදී රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 1,900 සීමාවද පසුකර යනු ඇති බවයි.

ඉහළයමින් පවතින උද්දමනය හේතුවෙන් රත්‍රන් සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවී තිබීම මෙම තත්ත්වයට හේතුවයි ෴

******************************************

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(20.11.2021 – 21:56 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට හොර රහසේ රැගෙන ආ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ දී අද (20) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම නීතිවිරෝධි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

එම පුපුරණ ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝ 998 ග්‍රෑම් 750ක් බව සඳහන්.

මෙම අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කුමන අරමුණකින් මෙරටට හොර රහසේ රැගෙන ආවේද යන්න ආරක්ෂක අංශ විසින් වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55 ක් වන මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

******************************************

නවක සාමණේර හිමිවරුන්ට ප්‍රායෝගික පුහුණුවක්

(20.11.2021 – 15:26 +0530 – sinhala.adaderana.lk)

නවක සාමණේර ස්වාමීන් වහන්සේ පුහුණු කිරීමේ ජාතික වැඩසටහන හෙට (21) සිට පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේ හෙට සිට ලබන 27 වන දින දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.

මෙහිදී ශාසනික වත්පිළිවෙත්, ඇවතුම් පැවතුම්, විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දායක කාරකාදීන්ට සිදුකළ යුතු යුතුකම්, ශාසනික කාර්යභාරය, සුපසන් භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් සකස් වීම වැනි කරුණු යටතේ නවක සාමණේර ස්වාමීන් වහන්සේ සඳහා ප්‍රායෝගික පුහුණුවක් පැවැත්වීමට නියමිතය ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

නිර්දේශයකින් තොරව කොවිඩ් සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා නොගන්නැයි අවවාද

(20.11.2021 – 11:53 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් වයිරසයෙන් සුවවීමට වෛද්‍ය නිර්දේශයන් නොමැතිව ප්‍රතිජිවක ඖෂධ භාවිත කිරීම තුළින් සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ලවන බව ‘ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීව වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය’ පවසයි.

ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය හා අධිභාවිතය හේතුවෙන් මේ වන විට ගෝලීය වශයෙන් බරපතළ සෞඛ්‍ය අර්බුදයකට මුහුණපා ඇතැයි ද එම විද්‍යායතනය අවධාරණය කරයි.

එම විද්‍යාතනයේ සභාපතිනි, කොළඹ ජාතික රෝහලේ සායනික ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍ය ගීතිකා පටබැඳිගේ මහත්මිය පවසා සිටියේ, ජනතාව වයිරස පාලනය කිරීමට විශාල වශයෙන් ප්‍රතිජීවක ඖෂධ යොදා ගැනීමෙන් මීට පෙර ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් රෝග පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවය.

ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය හේතුවෙන් ඇති වෙන ප්‍රතිරෝධී බැක්ටීරියා හේතුවෙන් 2050 වන විට වසරකට මිලියන 10 ක පමණ ප්‍රමාණයක් මියයෑමේ හැකියාවක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට අනතුරු ඇඟවා ඇතැයි ද වෛද්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

එනිසා සියලුදෙනා ‘ඇන්ටිබයොක්ටික්’ නැතිනම් ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය සහ අධිභාවිතය අවම කරගැනීමට කටයුතු කළ යුතු බව ද වෛද්‍යවරිය සඳහන් කළාය.

මේ අතර, කොවිඩ්-19 තත්ත්වය හමුවේ ජනතාව ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය නිර්දේශ නොමැතිව භාවිත කිරීම කිසි ලෙසකින්වත් සුදුසු නොමැති බව ද ඇය පැවසුවාය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය ගීතිකා පටබැඳිගේ මහත්මිය,

“සාමාන්‍යයෙන් ප්‍රතිජීවක ඖෂධ ගත්තහම ඒවා බැක්ටීරියා සඳහා, වයිරස සඳහා, දිලීර සඳහා සහ පරපෝශිතයින් සඳහා උන් විනාශ කිරීමට යොදාගන්නා ඖෂධ වර්ග වෙනවා. ඒ අතරින් වැඩියෙන්ම සමාජය තුළ පාවිච්චි කරනු ලබන්නේ, ඇන්ටිබයොටික්ස්. අපි කියනවා ඒවා ප්‍රතිජීවක කියලා. ඒවා භාවිත කරන්නේ බැක්ටීරියා විනාශ කිරීම සඳහා සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම සඳහා. නමුත් සමාජයේ සිටින පුද්ගලයින් සමහර වෙලාවට දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම ප්‍රතිජීවක එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් පාවිච්චි කරනවා වයිරස ආසාදන මැඩපැවැත්වීමට. ඒ වගේම සුළු බැක්ටීරියා ආසාදන වළක්වා ගැනීම සඳහා භාවිත කරනවා. නමුත් මෙම ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කළ යුත්තේ ටිකක් බරපතළ බැක්ටීරියාවලින් ඇතිවෙන ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා යි. ඒවා ඉතාම වටිනා අනගි ඖෂධ. මේවා ජීවිත ආරක්ෂක ඖෂධ කියලයි අපි කියන්නේ. මෙම ඇන්ටිබයොටික් ප්‍රතිජීවක නිෂ්පාදනය දැනට අවම මට්ටමක පවතින්නේ. මොකද ඉක්මනින් නිෂ්පාදනය කරාට පස්සේ, ඉක්මනින් ප්‍රතිරෝධය ඇතිවෙන නිසා. අපි සාමාන්‍ය රෝහල්වල වැඩ කරනකොට අපි දැකලා තියෙනවා බහු ප්‍රතිරෝධී සහ සියලුම ඇන්ටිබයොටික් ඖෂධ සඳහා ප්‍රතිරෝධී වු බැක්ටීරියාවන් විශාල වශයෙන් පවතින බව. ඒකෙන් වෙන්නේ කලින් ප්‍රතිකාර කළ හැකිව තිබුණු ආසාදන රෝග දැන් ප්‍රතිකාර කිරීමට නොහැකි තත්ත්වයට පත්වෙලා මරණය පවා සිදුවිය හැකි අවස්ථාවක් ඇතිවී තියෙනවා. ඒ වගේම විශාල වශයෙන් රෝගාතුර වෙලා වැඩි කාලයක් රෝහල් තුළ ගතකිරීම මඟින් විශාල ධනයක් යෙදවීමට සිදුවෙනවා.”

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ‘දැනුවත් කරමු; ප්‍රතිරෝධය වළක්වමු’ යන මැයෙන් ප්‍රතිජීවක ඖෂධ භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ සතිය මුල් කරගනිමින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *