කොළඹ රීඩ් මාවතේ පැරණි තුරග තරග පිටියේ ගොඩනැගිල්ලක පිපිරීමක් – මැක්ඩොනල්ඩ් අවන්හලට දැඩි අලාබ

කොළඹ රීඩ් මාවතේ පැරණි තුරග තරග පිටියේ ගොඩනැගිල්ලක පිපිරීමක් – මැක්ඩොනල්ඩ් අවන්හලට දැඩි අලාබ

*********************************************

කොළඹ රීඩ් මාවතේ පැරණි තුරග තරග පිටියේ ගොඩනැගිල්ලක පිපිරීමක් – මැක්ඩොනල්ඩ් අවන්හලට දැඩි අලාබ

(20.11.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

රීඩ් මාවතේ ගොඩනැගිල්ලක පිපිරීමක්

අද අලුයම් කාලයේ දී කොළඹ රීඩ් මාවතේ ගොඩනැගිල්ලක පිපිරීමක් සිදු වී තිබෙනවා.

පැරණි තුරග තරග පිටියේ පහළ ප්‍රේක්ෂකාගාරයේ, ජාත්‍යන්තර ආහාර සැකසුම් සමාගමකට අයත් හෝටල් පරිශ්‍රයක් තුළයි.

හෝටල් පරිශ්‍රයේ සිදු වූ ගෑස් කාන්දුවක් නිසා මෙම පිපිරීම සිදු වී ඇති බවටයි දැනට සැක කරන්නේ.

පිපිරීමෙන් අනතුරු ව ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා පොලිසිය විසින් කටයුතු කරනු ලබන බව වාර්තා වෙනවා.

සිදුවීමෙන් තුවාල ලැබූ හෝ මියගිය පුද්ගලයින් සම්බන්ධ තොරතුරු මෙතෙක් වාර්තා වී නො මැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

(20.11.2021 – 16:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ රීඩ් මාවතේ – තුරඟ තරග පිටියේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ බිම් මහලේ පිහිටි මැක්ඩොනල්ඩ් අවහන්හලේ සිදුවූ පිපිරීම ගෑස් කාන්දුවකින් සිදුව ඇති බව රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර තිබෙනවා.

එමෙන්ම එය, ගෑස් ටැංකියක් පිපිරීමෙන් හෝ පුපුරණ ද්‍රව්‍යයක් නිසා ඇතිවූ තත්වයක් නොවන බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද (20) අලුයම 05:30 ට පමණ අදාළ අවන්හලේ ඇති වු මෙම පිපිරීමෙන් තරුණයන් දෙදෙනෙකු (2) සුළු තුවාල ලැබූ අතර, අවන්හලට දැඩි අලාභහානි සිදුවුණා.

ගින්නෙන් තුවාල ලැබුවේ කුලි රථයක් පැමිණෙන තුරු එහි රථ ගාලේ රැඳී සිටි තරුණයින් දෙදෙනෙක් (2).

ගින්න පාලනය කිරිම සඳහා කොළඹ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 6 ක් ද යොදා ගැනුනා.

******************************************

‘අපේ ජනබල පක්ෂයේ’ මධ්‍යම කාරක සභාව අද (20) රැස් වේ

(20.11.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

සිය පක්ෂයේ දේශපාලන කටයුතු සඳහා භික්ෂුන් වහන්සේ සම්බන්ධ කර නොගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අපේ ජනබල පක්ෂය පවසනවා.

එහි නායක සමන් පෙරේරා ප්‍රකාශ කළේ, අද (20) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මේ පිළිබඳව අවධානය යොමු කරන බවයි ෴

******************************************

ඉන්දියාවෙන් නැනෝ පොහොර බෝතලයක් ඩොලර් 10 ට

(20.11.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට ආනයනික නැනෝ පොහොර බෝතලයක් ඇමරිකානු ඩොලර් 10 ක මිලකට ලබා දීමට, පොහොර ගෙන්වීමට අදාළ සමාගමේ දේශීය නියෝජිතයා එකඟතාව පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් සහ පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී ඔහු එම එකඟතාවයට පැමිණි බවයි.

ඉන්දියාවේ ඇමරිකානු ඩොලර් 5 යි ශත විසි පහකට (25) අලෙවි වන නැනෝ පොහොර බෝතලයක්, ඇමරිකානු ඩොලර් 12 යි ශත 45 කට ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති බව පසුගිය දා අනාවරණ වුණා.

කෙසේ වෙතත් දේශිය නියෝජිතයා එකඟ වී ඇති පරිදි නැනෝ පොහොර බෝතලයක් ඇමරිකානු ඩොලර් 10 ක මිලකට ලබා ගත්තද එය ඉන්දියාවේ අලෙවි වන මිලට වඩා ඇමරිකානු ඩොලර් 7 යි ශත 75 කට වැඩි මිලක්.

ඉන්දියාවේ සිට නැනෝ පොහොර ලීටර ලක්ෂ 21 ක් ආනයනය කිරීමට නියමිත අතර, ඉන් කොටසක් මේ වන විට අදියර කිහිපයක් යටතේ මෙරටට ගෙන්වා ගොවීන් වෙත බෙදා දී තිබෙනවා ෴

******************************************

නිර්දේශ නොමැතිව මිලියන දස දහස ඉක්ම වූ වෛද්‍ය සැපයුම් ගෙන්වූ බවට හෙළිදරව්වක්

(20.11.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය සැපයීම් සමාලෝචන කමිටුවේ නිර්දේශයකින් තොරව වසර 5 ක් තුල රුපියල් මිලියන 10,193 ක අයිතම 4,619 ක් මිල දී ගෙන ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, 2011 වසරේ සිට 2016 දක්වා කාලය තුල මෙය සිදුව ඇති බවයි.

ඊට අදාළව විගණකාධිපති විශේෂ විගණන වාර්තාව පරීක්ෂා කිරීමටයි කාරක සභාව රැස් වූයේ.

අවස්ථා කිහිපයකදී ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ගැටලු හේතුවෙන් අතිරේක පිරිවැය දැරීමට සිදු වූ බවද මෙහි දී හෙළිව තිබෙනවා.

මෙම මුදල රුපියල් මිලියන 800 කට ආසන්නයි.

තත්ත්වය පිළිබඳ තහවුරුවකින් තොරව වෛද්‍ය සැපයීම් වාර්ෂිකව රට තුළට එන බව තහවුරු වී ඇති අතර, එමගින් රෝගීන්ට සිදු වන හානිය මැනිය නොහැකි බවද ජාතික විගණන කාර්යාලය මෙහි දී පෙන්වා දී තිබෙනවා ෴

******************************************

බොරතෙල් නැව් දෙකක් (2) ලබන මස දිවයිනට

(20.11.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

බොර තෙල් රැගත් නෞකා 2 ක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඒ අනුව බොරතෙල් රැගත් පළමු නෞකාව දෙසැම්බර් 10 වන දින මෙරටට ළගාවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

අනෙකුත් නෞකාව දෙසැම්බර් මස අවසානයේදී දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ජනවාරි මාසයේදීද තවත් නෞකාවක් බොරතෙල් රැගෙන දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා ෴

******************************************

ලන්ඩනයේ නිවසක ගින්නකින් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු මියයයි

(20.11.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බෙක්ස්ලිහීත් හි නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයන් හතරදෙනෙකු (4) ජීවිතක්ෂයට පත්වුණා.

කාන්තාවන් දෙදෙනෙකු (2) සහ කුඩා ළමයින් දෙදෙනෙකු (2) මෙලෙස මියගොස් ඇති අතර, තවත් අයෙකු (1) නිවසේ උඩු මහලෙන් බිමට පැන දිවි ගලවාගෙන තිබෙනවා.

ඔහුගේ දෙපාවලට දැඩි හානි සිදුව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අවුරුද්දක් (1) වයසැති දැරියක, සිව් (4) හැවිරිදි පිරිමි ළමයෙකු, ඔවුන්ගේ මව සහ ඇගේ නැන්දණිය මෙලෙස මියගොස් ඇති බවයි බ්‍රිතාන්‍ය මාධ්‍යය වාර්තා කළේ.

බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ ඇති වූ ගින්නෙන් මියගිය දරුවන්ගේ මිත්තනිය ඊයේ (19) නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බව සඳහන්.

ඇය ලන්ඩනයට ගොස් ඇත්තේ සිය මුණුපුරු මිනිපිරියන් දැක බලාගැනීමේ අපේක්ෂාවෙන්.

තුවාල ලබා ඇති පියාගේ සොහොයුරාගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව දැන් වාර්තා වනවා.

රාත්‍රියේ ගින්න ඇතිවන අවස්ථාවේ පියා නිවසේ සිට නොමැති බව සඳහන්.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ හයක් (6) සහ ගිනි නිවන භටයන් 40 දෙනෙකු පමණ සහභාගි වී තිබෙනවා.

******************************************

මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 28 වැනි දා විවෘත වෙන ලකුණු

(20.11.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 28 වැනි දා විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.

මහා මාර්ග අමාත්‍යංශය පැවසුවේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කිරීමට මේ වන විට කටයුතු කරන බවයි.

මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස හුවමාරු මධ්‍යස්ථාන 5 කින් සමන්විත වනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අදියර 4 ක් යටතේ සිදු කෙරෙන බවයි මහා මාර්ග අමාත්‍යංශය සඳහන් කළේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *