ඉන්ධන මිල සූත්‍රයක් එයි ද ? – මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල සූත්‍රයක් එයි ද ? – මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් ප්‍රකාශයක්

*********************************************

ඉන්ධන මිල සූත්‍රයක් එයි ද ? – මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් ප්‍රකාශයක්

(19.11.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ගෙන ඒමට මෙතෙක් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළා.

ඒ හිරු ප්‍රවෘත්ති අංශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

වෙළෙඳපොළේ මේ වන විටත් පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20 ක්, ඩීසල් ලීටරයකට රුපියල් 36 ක් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 60 ක පමණ පාඩුවක් දැරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසනවා.

එවන් අවස්ථාවකදී ඉන්ධන මිල සූත්‍රයක් ගෙන එමෙන් සිදු වන්නේ, මිල වැඩිවීමේ ප්‍රවණතාවක් නිසා එය ජනතාවට දරාගත නොහැකි වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොවිඩ් මර්දනය වෙනුවෙන් මෙම වසරේ දැනට රුපියල් බිලියන 210 ක් වැය කර අතර, ඉන් රුපියල් බිලියන 65 ක් වෙන් කර ඇත්තේ, කොවිඩ් එන්නත් මිලදි ගැනීම වෙනුවෙන් බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළා.

එමෙන්ම ඉදිරියේදී ෆයිසර් එන්නත මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 94 ක් මේ වනවිටත් වෙනම ගිණුමකට බැර කර ඇති බවයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ.

එම මුදල ලෝක බැංකු ණයක් යටතේ හිමිවූ මුදලක් බව ද හෙතෙම ප්‍රකාශ කළා.

මේ අතර, අයවැයෙන් හඳුන්වා දුන්, ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත භාණ්ඩ හා සේවා බද්දේ ප්‍රතිශතය තවමත් තීරණය කර නොමැති අතර, මීට පෙර පනවා තිබු, වැට් බද්දට එය ආදේශනයක් බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

******************************************

අසාද් සාලි විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේ ද නැද්ද ? තීන්දුව දෙසැම්බර් දෙක (02)

(19.11.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව දෙසැම්බර් 02 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේදී කැඳවනු ලැබූ අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කෙරුණා.

පසුගිය මාර්තු 09 වනදා සිදු කළ අන්දෝලනාත්මක ප්‍රකාශයකට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගිය ජුනි මාසයේදී මහාධිකරණය හමුවේ ඔහුට එරෙහිව අධිචෝදනා ගොනුකර නඩු පවරා තිබෙනවා ෴

******************************************

ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන්ට අමරවීරගෙන් වරමක්

(19.11.2021 – 17:45 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතනවල ඉදිරි අය-වැයවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පක්ෂයෙන් කිසිදු බලපෑමක් සිදු නොකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය සමග පැවති සාකච්ඡාවේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරි අය-වැයේදී කුමක් කළ යුතු ද යන්න සම්බන්ධයෙන් මතුකළ පැනයකට පිළිතුරු ලෙසයි මහලේකම්වරයා මේ බව සඳහන් කළේ.

ප්‍රාදේශීය සභාවකින් යම් ආකාරයකින් මන්ත්‍රීවරුන්ට සහයක් නොලැබෙන්නේ නම්, ස්වාධීනව තීන්දු ගන්නා ලෙසත්, ඒ සම්බන්ධයෙන් පක්ෂය විසින් කිසිදු අයුරකින් විනය ක්‍රියාමාර්ග නොගන්නා බවත් මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙම හමුවේදී පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන සඳහා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම මෙන්ම පළාත් පාලන මන්ත්‍රීවරුන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා, අනුරාධපුර දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් හා පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

******************************************

ජනපති සහ අගමැති ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනියි

(19.11.2021 – 19:04 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තා.

බෝ සමිඳුන් උදෙසා උදෑසන කිරි ආහාර පූජාව සිදු කෙරුණේ ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

එසේම, අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත් ජනාධිපතිවරයා ශ්‍රී මහාබෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණ සිටි ජනතාව සමග සුහද කතාබහක ද නිරත වුණා.

එසේම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර, ත්‍රෛනිකායික අනුනායක නාහිමිපාණන් වහන්සේ ඇතුළු දිවයිනේ නන්දෙසින් වැඩම කළ මහා සංඝරත්නය සඳහිරු සෑය අභියසදී අද (19) දහවල් සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වුණා.

******************************************

මිලේනියම්සිටි බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගැනීම ගැන ෆොන්සේකා හෙළි කරයි

(19.11.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

මිලේනියම්සිටි හි බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගැනිම කිසිදු නිතී විරෝධි ක්‍රියාවක් නොවන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (19) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා. ඒ අයවැය විවාදයට එක්වෙමින්.

******************************************

රැවුල කප කපා ඉන්නකොට 100 ක් විතර ආවා – කුමාර වෙල්ගම

(19.11.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

මේ ආණ්ඩුවට පිස්සු, අහන අහන එකා මූට පිස්සු කියනවා, මහින්දට, ජේ.ආර්. ට, චන්ද්‍රිකාට, පිස්සු කීවේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

ඔහු මෙම අදහස් පැවසුවේ අයවැය විවාදයට එක්වෙමින්. තවදුරටත් කථාකළ කුමාර වෙල්ගම :

******************************************

ගිනි ගණන් වූ එළවළු මිල මැද සහනදායී මිලකට එළවළු විකුණන ව්‍යාපාරිකයා

(19.11.2021 – 21:35 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

වෙළෙඳුන් පෙන්වා දෙන්නේ ඉතිහාසයේ කවරදාටත් වඩා වැඩි මිල ගණන් යටතේ බෝංචි, තක්කාලි, මාලු මිරිස් ඇතුළු එළවළු වර්ග අලෙවි වන බවයි.

මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම ලබන ජනවාරි මාසය වන තෙක් අපේක්ෂා කළ හැකි බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ.

මේ අතර, මේ දිනවල දිවයිනේ එළවළු මිල ද ඉහළ ගොස් ඇති මොහොතක සිය ව්‍යාපාර කටයුතු සහනදායී මිලකට පාරිභෝගකයින් වෙත ලබාදෙන ව්‍යාපාරිකයෙකු පිළිබඳ පුවතක් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් අපට වාර්තා වනවා.

‘නිමන්ත හර්ෂණ’ නමැති මෙම ව්‍යාපාරිකයා බෝංචි සහ ලීක්ස් හැර සෙසු සියලුම එළවළු පාරිභෝගිකයා වෙත අලෙවි කරන්නේ, කිලෝග්‍රෑමයක් රුපියල් සියයක මුදලකටයි.

ඔහු විසින් බෝංචි සහ ලීක්ස් යන එළවළු කිලෝග්‍රෑමයක් රුපියල් 150 ක මුදලකට අලෙවි කරන්නේ, එම මිලට අද වනවිට කිසිදු ආර්ථික මධ්‍යස්ථානයක හෝ අදාළ එළවළු දෙවර්ගය මිලට ගැනීමට නොහැකි පසුබිමකයි.

ඊට හේතුව රට තුළ පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වීමේ පසුබිමකදී මෙවන් සහනදායී මුදලකට කිසිසේත් එළැවළු අලෙවිය සිදු නොකරන හෙයින්.

මීට කදිම නිදසුන් ලෙස අද (19) දිනයේදී දිවයිනේ බොහෝ වෙළෙඳ ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි තොග මිල රුපියල් 380 ඉක්මවා තිබූ අතර, මාළු මිරිස් තොග මිල දැක්වූයේ රුපියල් 500 කටයි.

එමෙන්ම අද (19) දිනය නිමා වන විට සියලුම ආර්ථික මධ්‍යස්ථානවල පාහේ අවම මිල ගණන් යටතේ පැවතුණේ, වට්ටක්කා පමණක් වන අතර, සෙසු සියලුම එළවළු අධික මිලක් යටතේ අලෙවි කිරීම සිදු කෙරුණා.

එහෙත් එවන් පසුබිමක් තුළදී නිමන්ත හර්ෂණ නමැති මෙම ව්‍යාපාරිකයා විසින් සහනදායී මිලකට මෙලෙස එළවළු අලෙවි කරන්නේ කෙසේ දැයි අප ඔහුගෙන් සිදු කළ විමසුමකට පිළිතුරු වශයෙන් ඔහු කියා සිටියේ, මෙම සෑම එළවළුවක්ම තම ප්‍රදේශයේ පිහිටි විව්ධ ගම්මානවල හේන් සහ කොරටු ආශ්‍රයෙන් සාධාරණ මිලක් යටතේ ගෙනැවිත් විකුණන හෙයින්, සෑම එළවළුවක්ම රුපියල් 100 ක අවම මිලක් යටතේ මේ මොහොත වන විට පාරිභෝගිකයා වෙත ලබාදීමට තමන්ට හැකි බවයි.

******************************************

යුධ සැමරුමට සඳහිරු සැයක් අපට අවශ්‍ය ද? – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

(20.11.2021 – 07:59 +0530 – lankaleadnews.com)

අගලකඩ සිරිසුමන මහාචාර්ය හාමුදුරුවෝ උන්වහන්සේගේ මුහුණු පොතේ සටහනක් දාලා තියෙනවා ‘යුද සැමරුමට සඳහිරු සැයක් අපට අවශ්‍ය ද? මෙය විවෘත කිරිමේ උළෙලට ලද ආරාධනය ප්‍රතික්ෂේප කලෙමි’ කියලා.

චෛත්‍යය විවෘත කරන සම්ප්‍රදායක් නෑ; සාසනයට පූජ කරනවා මිසක්කා. මට මතක් වුනේ ප්‍රේමසිරි කේමදාස, ජේ.ආර්. ගෙන් සම්මානයක් ගැනීම ප්‍රතික්ෂේප කලා වගේ, නැත්නම් අර අලුත් පරපුරේ ‘සෙට්’ එක රාජ්‍ය නාට්‍ය උළෙලෙදි සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කලා වගේ ‘වීර ක්‍රියාවක්’ ද කියලා. මා ඇතුළු බොහෝ දෙනෙකුටත් ආරාධනා ලැබුනා. අද දවල් කෑමට එන්න කියලත් තිබුනා. අපි බොහෝ දෙනෙක් ඒක ප්‍රතික්ෂේප කලා. අගලකඩ හාමුදුරුවන්ගේ ප්‍රතික්ෂේප කිරිම සඳහා දක්වපු හේතුව තමයි මාතෘකාව. පස්සේ හිතුනා ඒ ගැන වැඩිය හිතන්න ඕනේ නෑ කියලා හාමුදුරුවන්ගේ මුහුණු පොතේ ‘උදාන වාක්‍යය’ දැක්කම. ‘ශ්‍රි ලාංකේය සංස්කෘතික සමාජයක්’ කියන කොටම හාමුදුරුවන්ගේ චින්තනය එළි දකිනවා.

මේ රට සම්බුද්ධ සාසනය වෙනුවෙන් ඓතිහාසිකව කැප වුන රටක්. අපේ රාජ්‍යයේ පැවත්ම සාධාරණිකරණය වෙන්නේ ‘සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය’ තහවුරු වෙන ප්‍රමාණයටයි. ජෙට්ඨ ගාමිණි අභය අපි දන්න විදිහට දුටු ගැමුණු කුමාරයා යුද්ධයට ගියේ ඒ අරමුණින්.

එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මැඩලින් ඕල්බ්‍රයිට් තමයි ඉරාක යුද්ධය ‘මානුෂික මෙහෙවරක්’ කියලා මුලින්ම කිව්වේ. දැන් ඔය ‘නිරාගමික භෞතිකවාදි මල්ලිලා’ රෙද්ද උස්සන් කියනවා ‘යුද්ධය එපා – මිනිස්සු මැරෙනවා’ කියලා. නිර්ධන පංතියේ විප්ලවයෙදිත් ධනපතින් කියලා මැරෙන්නේ – මරන්නේ මිනිස්සුම තමා. අරමුණයි වැදගත් වෙන්නේ. අපේ හමුදාවත් මානුෂික මෙහෙවරක තමා යෙදුනේ. අවසාන අවස්ථාවේදි ප්‍රභාකරන් මිනිස් පළිහක් විදිහට යොදා ගත්ත ලක්ෂ තුනක දෙමළ මිනිස්සුන්ට කාගේ සරණක් ද? රට හැම තැනම් බොම්බ පුපුරන කොට , ශ්‍රී මහා බෝධිය අසල උවැසියන් කෑලි කෑලි වලට කැපෙන කොට ඒ වගකීම මානුෂික මෙහෙවරක් තමයි. ඉතිහාසයේ එක් එක් යුද්ධ වලට අරමුණු තියෙනවා. අපි යුද්ධ ආරම්භ කරපු ජාතියක් නෙමේ.

මේ රාජ්‍යය නව වතාවක් බුද්ධ සාසනයට පූජා කරලා තියෙන්නේ. දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය. අගලකඩ හීමියන්ට මහාචාර්‍ය ධුරය කරගෙන ඉන්න නම් මේ කාරණය වැදගත් නැති වෙන්න පුළුවන්. ඒත් ඉන්දුනිසියාවේ මැලේසියාවේ සිදුඋනා වගේ ඉස්ලාම්කරණයට , ඊළාම්වාදයට එරෙහිව සටන් කරලා, බුද්ධ සාසනයේ පැවත්ම වෙනුවෙන් ශිෂඨාචාරය රකින එක සිංහලයන්ට ලෙයින් ආපු වගකීමක්. ඒ වගකීම වෙනුවෙන් කැප වෙන්න විතරක් නෙමේ ජයග්‍රහණයෙන් අවසන් කරන්නත් නොහැකි නම් මේ රටේ ජීවත් වෙන්න සිංහලයන්ට අයිතියක් නෑ.

අපේ ව්‍යවස්ථාවේ පරමාධිපත්‍යය ගැන කියවෙන 4(2) ව්‍යවස්ථාවේ තියෙන්නේ ‘රටේ ආරක්ෂාව ඇතුලු ජනරජයේ ජනතාවගේ විධායක බලය’ ජනාධිපතිට පැවරෙන බවයි. රටේ ආරක්ෂාව කියන්නේ ගැමුණු කුමාරයා පෙන්වපු විදිහට ‘බුදු දහමේ චිරස්ථිතිය’ මිස වෙන කිසිවක් නොවේ. 09 වෙනි වගන්තියේ තිබෙන්නේ බුදු දහමට ප්‍රමුඛත්වය දීමයි. 09 වගන්තිය බලාත්මක කරන්න 4(2) වගන්තිය අනුව ජනාධිපතිවරයා පෞද්ගලිකවම බැඳී සිටිනවා. ඒක තමයි ඓතිහාසිකව ‘සිංහලේ සම්මුතිය’.

මහින්දලා එක්ක තියෙන ‘ඇරියස්’ කොහොම ‘කවර්’ කලත් ප්‍රශ්නයක් නෑ. ඒත් ‘ශ්‍රී ලාංකේය මොඩල්’ අස්සේ බුද්ධාගම අපේ රාජ්‍යයට ඇති බැඳිම හංගන්න චීවරයට අයිතියක් නෑ.

නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

******************************************

මූණට මූණ සංවාදයකට චම්පිකගෙන් අනුරට ආරාධනයක්

(20.11.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිදු වූ ක්‍රියාවන් සම්බන්ධයෙන් යම්කිසි චෝදනාවක්, ගැටලුවක් හෝ සැකයක් ඇති නම්, තමා සමඟ ඒ පිළිබඳ සංවාදයකට එන්නැ යි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික, ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට ආරාධනා කර තිබෙනවා.

මෑත කාලීනව බොහෝ අවස්ථාවල දී ජනතා විමුක්ති පෙරමුණේ පහළ මට්ටමේ සාමාජිකකයින් විසින් තමා අරභයා ඉතා අභූත චෝදනා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඊට අමතර ව, ජවිපෙ ඉහළ මට්ටමේ නායක කාරකාදින් ද එවැනි චෝදනා වක්‍රාකාරයෙන් තමාට කරන බවට මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

‘වෝටර්ස් එජ්’ ආයතනයේ ඕකිඩ් උද්‍යානය පිළිබඳ සහ තමන් පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී හඳුන්වා දුන් දුම් පරීක්ෂාව හරහා කොමිස් ලැබුණු බවට, අසත්‍ය පුවතක් ප්‍රචාරය කිරීම, උක්ත සාවද්‍ය චෝදනා අතර ආසන්නතම චෝදනාව ලෙස චම්පික අමාත්‍යවරයා හුවා දක්වනවා.

මෙම චෝදනා සඳහා ජවිපෙ ඉහළ පෙළේ නායකයින් ද අනුබල දුන් බව යි අමාත්‍යවරයා පවසන්නේ.

මෙවැණි අනවශ්‍ය, අසත්‍ය පුවත් මැවීම හරහා ප්‍රගතිශීලී බලවේග අතර කුළල් කා ගැණීමක් සිදු වී දූෂිත, අත්තනෝමතික, පාලනයට එදිරි වීමට අවැසි ඉඩ ප්‍රස්තාවන් මැකෙනු ඇති බවයි පාඨලී චම්පිකගේ අදහස.

එළඹෙන මැතිවරණය හුදෙක් තවත් එක මැතිවරණයක් නොව, ශ්‍රී ලාංකේය ජනතාවගේ අනාගතය තීරණය වෙන ඓතිහාසික සන්ධිස්ථානයක් වන බව අවධාරණය කරන මන්ත්‍රීවරයා, ඒ සඳහා ශිෂ්ට සම්පන්න හා බුද්ධිමය සංවාදයන් විනා අවිචාරවත් චෝදනා වැදගත් නො වන බව යි සඳහන් කළේ.

පරිසර, විදුලිබල, විද්‍යා හා තාක්ෂණ, බලශක්ති සහ මහනගර සංවර්ධන යනාදී ඕනෑ ම අමත්‍යාංශයක කාර්‍යභාරය සම්බන්ධ කුමන හෝ කුහුලක්, ගැටලුවක් ඇති නම්, තමා හා සුහද සංවාදයකට එන්නැ යි පාඨලී චම්පික රණවක අනුර කුමාර දිසානායකට ආරාධනා කරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *