දෙසැම්බරයේ යළිත් රට වැසෙයි ?

දෙසැම්බරයේ යළිත් රට වැසෙයි ?

*********************************************

දෙසැම්බරයේ යළිත් රට වැසෙයි ?

(19.11.2021 – 16:45 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොරෝනා වයිරසය මර්දනයට පෙර, ප්‍රථමයෙන්ම වයිරසය පාලනයට පියවර ගැනීමට සැවොම වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති සිදු කළ විමසීමකදී සභාපතිවරයා කියා සිටියේ, මේ මොහොත වන විට රට තුළ සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන්, බොහෝ ජනතාව විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින්, විනෝද චාරිකාවල පවා නිරත වීම දැකිය හැකි බවයි.

සති අන්තයේ එළැඹෙන දීර්ඝ නිවාඩු කාලය තුළ නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් බැහැර කරමින්, මහජනතාව හැසිරෙන්නේ නම්, යළිත් රට සම්පූර්ණයෙන්ම අගුලු දැමීමට අවකාශය ලැබෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බැවින්, ඒකරාශී වී සාමුහික ක්‍රියාකාරකම් කිරීමේදී මෙන්ම, විශේෂයෙන්ම පූජනීය ස්ථාන, වැව්, අමුණු ආදී ස්නානය කරන ස්ථානවලදී පවා මැනවින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට වග බලා ගන්නා ලෙසටයි සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව ද, මහජනතාව සංචරණයට අවසර හිමි වූ සිය රට තුළ කෙතරම් වගකීම්සහගතව හැසිරෙන්නේ ද යන කාරණාව මත ඉදිරියේදී එළැඹෙන නත්තල් සමය සහ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ද රට මේ අයුරින්ම විවෘත කිරීමට පවතින අවසරය ද තීන්දු වන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

අයහපත් මිනිස් හැසිරීම් මත සෞඛ්‍ය උපදෙස් කැඩෙන බව දිගින් දිගටම නිරීක්ෂණය වන්නේ නම්, දිගු කාලයක් පුරා වසා දමා තිබූ මෙරට පාසල් පද්ධතිය ද යළි වසා දැමීමට සිදු වන බවයි, මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා විසින් තරයේ අවධාරණය කරනු ලැබුවේ.

එමෙන්ම හෙතෙම සඳහන් කළේ, අද වන විට පී.සී.ආර්. මෙන්ම ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ පළමු පෙළ ආශ්‍රිත සියල්ලටම සිදු නොකරන අතර, මෙරට බොහෝ ආයතනවල ද අහඹු පරීක්ෂණ සිදු නොකරන බවයි.

යළි එම පරීක්ෂණ ක්‍රියාවලිය ඇරඹුණහොත් අනිවාර්යයෙන්ම දෛනික ආසාදිත සංඛ්‍යාව 1000 ඉක්මවා යාම සිදු වන බව ද ඔහු ප්‍රකාශ කළා.

ආසාදිතයින් වැඩි වන්නේ ඇඳිරිනීතියෙන් පසුව සෞඛ්‍ය උපදෙස් රැකීම යන කාරණාව මත වන අතර, දෙසැම්බර් මැද වනවිට ආසාදිත සංඛ්‍යාව තවදුරටත් තීව්‍ර වන්නේ නම් නිසැකවම රට නැවතත් වසා දැමීමට සිදු වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

+++++++++++++++++++

කොරෝනා නිසා ගුවන් තොටුපල සමාගමට 2020 දී රුපියල් මිලියන 3,748 ක පාඩුවක්

(19.11.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ අගෝස්තු මාසය දක්වා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමට රුපියල් මිලියන 1,792 ක් පමණ අහිමි වී තිබෙනවා.

එමෙන්ම පසුගිය 2020 වසර තුළ එලෙස ගුවන් තොටුපල මෙහෙයුම්වලින් ලද පාඩුව රුපියල් මිලියන 3,748 ක් බවයි මුදල් අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙන්නේ.

2019 වසරේදී ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම රුපියල් බිලියන 15.2 ක ලාභයක් වාර්තා කළා ෴

+++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා අනුප්‍රභේදයක්

(19.11.2021 – 14:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනුණු විකෘතිතා 3 ක් සහිත ඩෙල්ටා කොරෝනා අනුප්‍රභේදයට අමතරව, තවත් අනු ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

එම නව ප්‍රභේදය වර්ගීකරණය කර ඇත්තේ බී-01-617-2-104 ලෙසයි.

මීට පෙර ශ්‍රී ලංකාවට ආවේණිකව හඳුනා ගැණුනු ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය බී-01-617-2-28 ලෙස නම් කෙරුණා.

දැනට ශ්‍රී ලංකාවෙන් හමුවන කොරෝනා රෝගීන්ගෙන් බහුතරයක් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වූවන් බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මීට පෙර ප්‍රකාශ කළේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන පරිදි දැන් ලොවපුරා නව කොරෝනා ආසාදිතයින් ලෙස සියයට 99 ක්ම ඩෙල්ටා ප්‍රභේදයන් ආසාදනය වූ අයයි.

පසුගිය මාස දෙකක (2) කාලය තුල වාර්තා වූ කොරෝනා ආසාදිතයින් නව ලක්ෂයක් (9,00,000) අතුරෙන් බහුතරයක් ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් බව එහි කොවිඩ් පාලන තාක්ෂණික ප්‍රධානි මරියා වෑන් කර්කොව් සඳහන් කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ කිසියම් පාසලක කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ සිසුවෙකු හෝ එලෙස රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන සිසුවෙක් ඇත්නම්, එහිදී අදාළ පාසල විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයි මෙම මාර්ගෝපදේශයේ ඇතුළත් වන්නේ ෴

++++++++++++++++

කොරෝනා ආසාදිතයින් 351 දෙනෙකු අදත් සුවය ලබයි

(19.11.2021 – 17:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 351 දෙනෙකු අද (19) දිනයේදීත් සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරට වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 5,25,911 ක් දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව සහ නිවෙස්වලට වී නිරෝධායන කටයුතුවල සිටින සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 14,827 ක් වන අතර, මෙරට සිදු වූ මුළු මරණ සංඛ්‍යාව 14,072 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගල මරණ 14 ක් අද (19) දිනයේදීත් තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ සමග වයිරසය ආසාදනය වීමෙන් මෙරට ජීවිතක්ෂයට පත් මුළු සංඛ්‍යාව 14,086 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 509 දෙනෙකු අද (19) දිනයේදී මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,54,968 ක් දක්වා ඉහළ යනු ඇති ෴

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් 236 දෙනෙකු අද (19) දිනයේදීත් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ සමග අද (19) දිනට පමණක් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 745 ක්. මේ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 5,55,204 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකටත් ගෑස් නැහැ

(19.11.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අදත් (19) පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක්වුණා.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න අයවැය විවාදයට එක්වෙමින් කියා සිටියේ මාදිවෙල තම නිවසේ ගෑස් සිලින්ඩරය ද හිස් වී ඇති අතර, මේ දක්වා ගෑස් සොයාගැනීමට නොහැකි වී ඇති බවයි.

******************************************

ගුරු හා විදුහල්පති සේවාව සංවෘත සේවාවක් කරන්නැ යි ස්ටාලින්ගෙන් ඉල්ලීමක්

(19.11.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන 20 වැනි දාට පෙර ගුරු හා විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලිං පවසනවා.

ඔහු පවසන්නේ, අමාත්‍ය අනුකමිටු වාර්තාව මගින් ලබා දුන් සියලු නිර්දේශ පොරොන්දු වූ පරිදි ක්‍රියාත්මක කළ යුතු බවයි.

******************************************

ගිනි අවියක් සමග ගන්දර සමන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට

(19.11.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයන් බිය වද්දමින් කප්පම් ගැනීමේ නිරත වූ ‘ගන්දර සමන්’ යන අන්තර්ථ නාමයෙන් පෙනී සිටි ‘එදිරිසිංහ සමන්’ නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත තලල්ල දකුණ ගන්දර ප්‍රදේශයේදි සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඔහු සතුව තිබී මෙරට නිෂ්පාදිත ටී-56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සහ ටී-56 උණ්ඩ 12 ක් මෙන්ම කඩුවක් හා ආරක්ෂක අංශයේ නිලධාරින් භාවිත කරන සපත්තු යුගලක් ද සොයා ගෙන තිබෙනවා ෴

******************************************

ජනපති අනුරාධපුරයට

(19.11.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ගත්තා.

******************************************

නාය යෑමෙන් කුරුණෑගල කැබැල්ලෑගොඩකන්දේ පවුල් කිහිපයක් ම අවතැන්

(19.11.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින කිහිපය තුළ ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ කුරුණෑගල කැබැල්ලෑගොඩකන්ද පස්කන්ද නාය යෑමෙන් ප්‍රදේශයේ පවුල් කිහිපයක්ම මේ වනවිට අවතැන්ව සිටිනවා.

සෑම වර්ෂා කාලයක දී ම පාහේ නාය යෑමේ තර්ජනයන්ගෙන් පීඩා විඳින ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, තමන්ට ජිවත් වීම සඳහා වෙනත් ඉඩමක් ලබා දෙන ලෙසයි.

******************************************

කැබිනට් මණ්ඩලය තහනම් කරන ලෙස ඉල්ලා පෙත්සමක්

(19.11.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය පත් කර ඇති ආකාරය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරමින් එහි ක්‍රියාකාරිත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

එය ඉදිරිපත් කර ඇත්තේ වෘත්තීකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා විසින්.

වත්මන් අමාත්‍ය මණ්ඩලය සාමාජිකයින් හා රාජ්‍ය අමාත්‍යවරුන්, පත් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47-1-අ සහ ආ ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරු ප්‍රකාශ කරනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩලය, සියලුම රාජ්‍ය අමාත්‍යවරුන්, ජනාධිපති ලෙක්ම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු 82 දෙනෙකු නම් කර ඇති අතර, පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ ව්‍යවස්ථා සීමාවන් ඉක්මවා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු (2) සහ රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු පත් කර ඇති බවයි ෴

******************************************

සඳහිරු සෑය අභියස දී සංඝගත දක්ෂිණාවක්

(19.11.2021 – 15:28 +0530 – hirunews.lk/sinhala)

ත්‍රෛනිකායික අනුනායක නාහිමිපාණන් වහන්සේ ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කළ මහා සංඝරත්නයට ‘සඳහිරු සෑය’අභියස දී අද (19) දහවල් සංඝගත දක්ෂිණාවක් පැවැත්වුණා.

දශක තුනකට (3) අධික කාලයක් පැවති යුද්ධයෙන් මියගිය රණවිරුවන්ටත්, සෙසු සියලු දෙනාටත් පිං පැමිණවීම සහ රටවැසි සියලු දෙනාට සෙත් පැතීම උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් මෙම පිංකම සිදු කරනු ලැබුවා.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක්, ආරක්ෂක ලේකම් ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරු, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

******************************************

යොහානි ද සිල්වා ඇගයීම සඳහා වන වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී

(19.11.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා වන වැඩසටහනක් ලබන අඟහරුවාදා (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එය සංවිධානය කරන බවයි එම සංසදයේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගි වීමට නියමිතයි.

මෙම වැඩසටහන පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වන බවයි කුෂානි රෝහණදීර මහත්මිය වැඩිදුරටත් කියාසිටියේ.

යොහානි ද සිල්වා මෙනවිය විසින් ප්‍රතිගායනා කරනු ලැබූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මේ වන විට දේශීය හා විදේශීය වශයෙන් ජනාදරයට පත්ව තිබෙනවා.

(183,631,900 views)

******************************************

තම පියා ඝාතනය කළ පුතෙකුට වසර 9 කට පසු මරණ දඬුවම

(19.11.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

සිය පියා ඝාතනය කළ පුද්ගලයෙකුට වසර 9 කට පසු අද (19) කුලියාපිටිය මහාධිකරණය මරණ දඬුවම නියම කළා.

දේපල ආරවුලක් මත විත්තිකරු විසින් 2012 වසරේ පෙබරවාරි 19 වනදින පහරදී සිය පියා ඝාතනය කර තිබුණා.

ඊට අදාළ නඩුවේ තීන්දුව අද (19) ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී කුලියාපිටිය මහාධිකරණ විනිසුරු ජගත් ඒ. කහඳගම මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

විත්තිකරු මෙම ඝාතනය සිදුකරන විට ඔහුගේ වයස අවුරුදු 60 ක් වු අතර, මියගිය පියාගේ වයස අවුරුදු 90 ක් ෴

+++++

ආනන්තරීය පාප කර්ම පහකි. 1) තම මව මැරිම, 2) තම පියා මැරීම, 3) රහත් උතුමෙකු මැරීම, 4) බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) සංඝ භේදය සිදුකිරීම (කළහැක්කේ උපසම්පදා භික්ෂුවක විසින් පමණි). ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම දරුණු කර්ම විපාකයකට මුහුණදීමට සිදුවේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු අවිචී මහා නරකයෙහි ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *