චීන පොහොර නැවට ගෙවීම් සිදුකිරීම වළක්වාලමින් අධිකරණය ලබාදුන් වාරණය නොවැම්බර් මස 30 වනදා දක්වා දීර්ඝ කෙරේ

චීන පොහොර නැවට ගෙවීම් සිදුකිරීම වළක්වාලමින් අධිකරණය ලබාදුන් වාරණය නොවැම්බර් මස 30 වනදා දක්වා දීර්ඝ කෙරේ

*********************************************

චීන පොහොර නැවට ගෙවීම් සිදුකිරීම වළක්වාලමින් අධිකරණය ලබාදුන් වාරණය නොවැම්බර් මස 30 වනදා දක්වා දීර්ඝ කෙරේ

(19.11.2021 – 10:49 +0530 – hirunews.lk/sinhala)

බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් රැගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 30 වැනි දා දක්වා යලි දීර්ඝ කෙරුණා.

ඒ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සම් අද (19) කොළඹ වානිජ මහාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි.

මේ අතර, ආනයනික නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් 94,000 ක් ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා දිවයින පුරා ගොවීන්ට බෙදා දී අවසන් බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පවසනවා.

කෙසේ වෙතත්, වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැතිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි ප්‍රදේශ රැසක ගොවීන් ප්‍රකාශ කළේ.

මේ අතර පරාක්‍රම සමුද්‍රයේ ව්‍යාපාරය යටතේ කුඹුරු වගා කරන ගොවීන් කියා සිටියේ පොහොර නොමැතිකම නිසා අස්වැන්න පිළිබඳ තමන් දෙගිඩියාවෙන් පසුවන බවයි.

කෙසේ වෙතත්, මෙවර මහකන්නයේ වගා කටයුතු සිදු කිරීමට නියමිත හෙක්ටයාර ලක්ෂ 8 ක භූමි ප්‍රදේශයෙන් හෙක්ටයාර ලක්ෂ 6 ක් කුඹුරු වගා කිරීම සඳහා සූදානම් බවට දැනුම් දී ඇති බවයි ජාතික ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ.

******************************************

රන් මිල ඉහළට

(19.11.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළෙඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ යමින් පවතින අතර, රන් අවුන්සයක මිල ඩොලර් 1,900 සීමාව නුදුරේදීම ඉක්මවනු ඇතැයි විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ඊයේ (18) දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ ඩොලර් 1,863 යි ශත 40 ක් ලෙසයි ෴

******************************************

සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද (19)

(19.11.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර 600 ක් තුල දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද (19) සිදු වන අතර, එහි දී චන්ද්‍රයාගේ මුහුණත 99% කින් රත් පැහැගැන්වෙනු ඇති.

මෙම පාර්ශ්වීය චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් අද (19) පෙරවරු 11:32 ට ආරම්භ වී පැය 3 යි මිනිත්තු 28 ක කාලයක් පවතිනු ඇති බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ.

එසේ වුව ද චන්ද්‍රග්‍රහණයේ සම්පූර්ණ කාලය පැය හයයි (6) මිනිත්තු 1 යි.

චන්ද්‍රයා එහි ඉලිප්සීය කක්ෂයේ පෘථිවියේ සිට ඇති දුර ම ස්ථානයේ පිහිටි විටක දී චන්ද්‍රයාගේ කක්ෂීය වේගය අවම වන අවස්ථාවක චන්ද්‍රග්‍රහණය සිදු වීම ඊට හේතුව බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළා.

කෙසේ නමුත් මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවන අතර, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, පොලිනීසියාව, ඔස්ට්‍රේලියාව සහ ඊසාන දිග ආසියාවේ ප්‍රදේශ රැසකට එය දිස්වනු ඇති.

මෙවැනි දීර්ඝ චන්ද්‍රග්‍රහණයක් යළි දිස්වනු ඇත්තේ තවත් වසර 648 කින් එනම්, 2669 වසරේ පෙබරවාරි අට (08) වැනි දා යි ෴

මේ දිනවල පස්වරුවේ ලංකාවට ඉහළ අහසේ දිස්වෙන ග්‍රහයෝ

(19.11.2021 – 12:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවාසීන්ට මේ දිනවල බ්‍රහස්පති, සෙනසුරු සහ සිකුරු ග්‍රහයින් ඉහළ අහසේ ඉතා පැහැදිලිව දැකබලා ගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

මහාචාර්යවරයා පවසන්නේ ඉර බැසයාමෙන් පසු බටහිර අහසේ පැය දෙකහාමරක (2½) කාලය ඇතුළත මෙම ග්‍රහයින් තුන (3) එක පෙළට දැකබලා ගත හැකි බවයි.

******************************************

ගිනි අවි නිෂ්පාදනය කළ සිව් (4) දෙනෙකු අත්අඩංගුවට

(19.11.2021 – 09:48 +0530 – hirunews.lk/sinhala)

පරයානම්කුලම් – මැණික්ෆාම් ප්‍රදේශයේ දී දේශීය ගිනි අවි නිපදවමින් සිටි සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව මෙම ගිනි අවි සකස් කරනු ලැබූ ස්ථානයේ ඊයේ (18) වැටලීමක් සිදු කළ බවයි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25, 28, 30 සහ 32 හැවිරිදි වයස්වල පසුවන්නන්.

සැකකරුවන් සතුව තිබී අඩක් නිමවන ලද තුවක්කු බඳ කොටසක් සහ යකඩ බට දෙකක් (2) ඇතුළු තුවක්කු නිපදවීම සඳහා යොදාගන්නා ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

******************************************

‘ආමි අමිල’ තංගල්ලේදී එස්.ටී.එෆ්. අත්අඩංගුවට

(19.11.2021 – 10:13 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කළු සාගර’ නමැත්තාගේ ගෝලයෙකු වන ‘ආමි අමිල’, විශේෂ කාර්ය බලකා නිලධාරීන් තංගල්ල – දංකැටිය ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි 41 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනුනේ.

එහිදී ඔහු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 3.7 ක් සහ කඩුවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුට මනුෂ්‍ය ඝාතන හතරක් (4) සම්බන්ධයෙන් චෝදනා එල්ලවන අතර, දැනට විදේශගතව සිටින ‘කළු සාගර’ගේ අපරාධවලට සම්බන්ධ බවට ද තොරතුරු අනාවරණ වී ඇති බව සඳහන් ෴

******************************************

ඉබ්බාගමුවේ දී යතුරුපැදියක් අනතුරට ලක් වී තරුණයෙකු ජීවිතක්ෂයට

(19.11.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

ඉබ්බාගමුව – මඩගල්ල මාර්ගයේ කුඹුක්ගැටේ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (19) අලුයම මෙම තරුණයා ඉබ්බාගමුව සිට මඩගල්ල දෙසට සිය යතුරුපැදියෙන් ගමන් ගනිමින් සිටිය දී වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටී ඇති බව සඳහන්.

එහි දී බරපතළ තුවාල ලැබූ මොහු පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි මකුල්පත ප්‍රදේශයේ තරුණයෙක් ෴

******************************************

නීතී විරෝධී දුම්වැටි තොගයක් STF අත්අඩංගුවට

(19.11.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ව තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වී තිබෙනවා.

ඊයේ (18) වන දින වත්තල පොලිස් වසමේ වත්තල, කල්‍යාණී පාර, රබීනා කම්පැණි ඉඩමේ දී සිදු කළ වැටලීමකිනුයි මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇත්තේ.

තව ද දුම්වැට් අලෙවි කර ලබාගත් රුපියල් නවලක්ෂ විසි දාහකට (9,20,000) අධික මුදල් ප්‍රමාණයක් හා වෑන් රථයක් ද අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.

දුම්වැටි ප්‍රවාහනය කර තිබෙන්නේ, වයස අවුරුදු 44 සහ 46 ක වන බේරුවල හා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් (2).

අත්අඩංගුවට ගත් දුම්වැටිවල වටිනාකම රුපියල් ලක්ෂ පනහකට (50,00,000) අධික ප්‍රමාණයක් ලෙසට යි ගණන් බලා ඇත්තේ.

වැඩිදුර පරීක්ෂණ වත්තල පොලිසිය විසින් සිදු කෙරෙනු ඇති ෴

******************************************

ගෑස් හිඟය දින 6 කින් අවසන්

(19.11.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් දක්වා සපුගස්කන්ද පිරිපහදුව රුපියල් බිලියන 11 ක ලාභයක් ලබා තිබියදී එය පාඩු ලබන බවට ප්‍රකාශ කිරීම පිටුපස පිරිපහදුව පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් ඇත්ද යන්න පිළිබඳ සැක මතුවන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසනවා.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් කෙටිකාලීනව බොරතෙල් ආනයනය අත්හිටුවීමට රජය තීරණය කිරිමත් සමඟ සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ කටයුතු දින 50 ක කාලයකට අත්හිටුවීමටයි පසුගිය දා පියවර ගනු ලැබුවේ.

ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, පිරිපහදු කළ පෙට්‍රල් සහ ඩීසල් මෙරටට ගෙන්වීමෙන් ලාභයක් සිදු වන බවයි.

කෙසේ වෙතත් පිරිපහදුව වසා දැමීම හේතුවෙන් සේවකයින් කිසිදු රාජකාරියක නිරත නොවුණත්, මාසිකව ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 10 ක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසුවේ, 1,300 ක් පමණ වන එම සේවකයන් සේවයට වාර්තා කර නිකරුණේ කාලය ගත කරන බවයි.

බොරතෙල් ගෙන්වනවා නම්, පරිභෝජනයට අවශ්‍ය දැවිතෙල්, ගුවන් යානා තෙල්, සහ භූමි තෙල් ආදිය සපුගස්කන්ද පිරිපහදුව හරහා නිෂ්පාදනය කරගැනීමට අවස්ථව තිබූ බව අශෝක රන්වල මහතා සඳහන් කරනවා.

පිරිපහදුව වසා දැමීම නිසා එම තෙල් වර්ග ද ඩොලර් ගෙවා ගෙන් වීමට සිදු වී තිබෙනවා.

අදත් (19) දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් සහ භූමිතෙල් ලබා ගැනීමට ජනතාව පිරිවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටියා.

කෙසේ වෙතත්, දින 06 ඇතුළත පවතින ගෑස් හිඟය මග හැරෙනු ඇති බව ලිට්රෝ සමාගමේ අලෙවි සහ වෙළෙඳ අධ්‍යක්ෂ ජානක පතිරත්න මහතා පවසනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

මුව ආවරණවලින් කොරෝනා ආසාදනය අඩක් අඩු කරයි

(19.11.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 12 ත් 19 ත් අතර සංජානනීය ආබාධ සහිත දරුවන් 27,000 කට මේ වනවිට කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම මුව ආවරණ පැලඳීම, අත් සේදීම වැනි සරල ක්‍රියාමාර්ග මගින් කොරෝනා ආසාදනය බොහෝ දුරට වැළැක්විය හැකි බව නව අධ්‍යයනයකින්ද තහවුරු වී තිබෙනවා.

ඊයේ (18) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 737 දෙනෙකු සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,55,196 ක් දක්වා ඉහළ ගියා.

එසේම, පෙරේදා (17) සිදු වූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 15 ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (18) තහවුරු කළා.

ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,072 ක්.

කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා කියා සිටියේ මුඛ ආවරණ භාවිතය ඇතුළු සෞඛ්‍ය පුරුදු හේතුවෙන් දරුවන් අතර ස්වසන රෝගවල අඩුවක් දක්නට ලැබෙන බවයි.

කෙසේ වෙතත්, උණ වැනි රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස ඔහු එහිදී ඉල්ලා සිටියා.

මේ අතර යුරෝපයේ කොරෝනා ව්‍යාප්තිය නැවත ඉහළ යද්දී මුව ආවරණ පැලඳීම, අත් සේදීම වැනි සරල ක්‍රියාමාර්ගවලින් කොරෝනා ආසාදනය බොහෝ දුරට වළක්වාගත හැකි බව නව අධ්‍යනයකින්ද තහවුරු වී තිබෙනවා.

බ්‍රිතාන්‍යය වෛද්‍ය සඟරාවේ මේ පිළිබඳ වාර්තාවක් පළ කර ඇත්තේ, නව අධ්‍යයනයන් අටක ප්‍රතිඵල ඇගයීමට ලක් කිරීමෙන්.

එහිදී අනාවරණ වී ඇත්තේ, මුව ආවරණ පැලඳීමෙන් කොරෝනා ආසාදනය අඩකින් අඩුකළ හැකි බවයි.

දෑත් සේදීමද එලෙසින් කොරෝනා වළක්වන බව තහවුරු වී ඇති කරුණක්.

එමෙන්ම සමාජ දුරස්ථභාවය අවම වශයෙන් කොරෝනා ආසාදන අවදානම හතරෙන් එකකින් (1/4) වළක්වන බව මෙහිදී අනාවරණ වී තිබෙනවා.

එන්නත්කරණය පමණක් කොරෝනා ආසාදනය වැළැක්වීමට ප්‍රමාණවත් නොවන බව මෙම අධ්‍යයනවලින් තහවුරු වන්නේ යැ යි වාර්තා ඉදිරිපත් කළ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ වසංගත රෝග විද්‍යා පර්යේෂණ ප්‍රධානී ස්ටෙලා ටැලික් ප්‍රකාශ කළා ෴

++++++++++++++++++

මෙරටින් තවත් ඩෙල්ටා උප ප්‍රභේදයක්

(19.11.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ තවත් ඩෙල්ටා උප ප්‍රභේදයක් බිහි වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

එම උප පෙළපත B.1.617.2.104 ලෙස නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴

+++++++++++++++++++

පාසල් සිසුන් කොටස් වශයෙන් ගෙන්වීමේ සැලැස්මක්

(19.11.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

සියලු පාසල් විවෘත වු පසු ඉදිරියේදි සිසුන් කොටස් වශයෙන් ගෙන්වීමේ සැලැස්මක් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

එමෙන්ම විවාහ උත්සව ඇතුළු අත්‍යවශ්‍ය ඒකරාශි වීම සඳහා ඉතා සුළු පිරිසක් පමණක් එක් කර ගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවගෙන් යළි ඉල්ලීමක් කළේ.

ලබන සඳුදා (22) සිට මෙතෙක් විවෘත නොවු 6 සිට 9 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන අතර, ඒ අනුව, ළමයින් 27,14,874 එදින සිට පාසල් වෙත පැමිණෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී සිසුන් කණ්ඩායම් වශයෙන් ගෙන්වීමට තීරණයක් කර ඇති බව කොළඹ ඊයේ (18) පැවැති උත්සවයකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීමේ අදත් (19) ක්‍රියාත්මකයි.

ඊයේ (18) දිනයේදී තවත් පුද්ගලයන් 18,460 දෙනෙකුට තුන්වන (3) මාත්‍රාව ලබාදී ඇති අතර, ඒ අනුව මෙරට කොරෝනා වර්ධක මාත්‍රාව ලැබූ සංඛ්‍යාව 1,63,789 දක්වා ඉහළ යනවා.

එමෙන්ම තවත් කොවිඩ් ආසාදිතයින් 737 දෙනෙකු ඊයේ (18) අලු‍තින් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,54,459 ක් දක්වා ඉහළ ගියා.

පෙරේදා (17) සිදු වූ කොවිඩ් මරණ 15 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (18) තහවුරු කළ අතර, ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,072 ක් ලෙසයි.

පවතින තත්ත්වය සලකා බලා මහජන ඒකරාශි වීමි අවම කරන ලෙසයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *