ඉන්ධන අර්බුදයට විෂය භාර ඇමති උදය ගම්මන්පිල මහතා ගෙන් පිළිතුරු

ඉන්ධන අර්බුදයට විෂය භාර ඇමති උදය ගම්මන්පිල මහතා ගෙන් පිළිතුරු

*********************************************

ඉන්ධන අර්බුදයට විෂය භාර ඇමති උදය ගම්මන්පිල මහතා ගෙන් පිළිතුරු

(18.11.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

******************************************

රසායනික පොහොර යොදා වී වගා කිරීමක් ගැන ගොවීන්ගෙන් චෝදනා

(18.11.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර යොදා වගා කටයුතු සිදුකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුණද, කන්තලේ රජයේ බීජ නිෂ්පාදන ගොවිපොල විසින් මෙවර අක්කර 300 ක් පමණ රසායනික පොහොර යොදා ගනිමින් වී වගා කටයුතු සිදුකරන බවට ගෝවීන් චෝදනා කරනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් කන්තලේ 87 ප්‍රදේශයේ ඇති රජයේ බීජ නිෂ්පාදන ගොවිපල මගින් සිදුකරන වී වගාවට මෙලෙස රසායනික පොහොර යොදා ගන්නා අතර, ගොවීන් පවසන්නේ තමන්ට රසායනික පොහොර ලබානොදීම අසාධාරණ බවයි.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසක වී, එළවළු සහ තේ වගාවන්ද පොහොර නොමැතිවීමෙන් අර්බුදයකට ලක්ව ඇති බවටයි ගොවීන් මැසිවිලි නගන්නේ.

පොළොන්නරුව ගිරිතලේ ගොවි ජනපද ව්‍යාපාරයට මෙවර මහ කන්නයේ වගා කටයුතු සඳහා ගිරිතලේ වැවෙන් ජලය නිකුත් කර තිබුණත්, අවශ්‍ය පොහොර හෝ පලිබෝධ නාශක මෙතෙක් ලැබී නොමැති බවයි ගොවීන් කියා සිටියේ.

******************************************

අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්

(18.11.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකීය දේශපාලනයේ නොමැකෙන සලකුණක් තැබූ විශිෂ්ටයාට මෙන්ම සටන්කාමියෙකු වූ සිය සොහොයුරාට සුබ පතන බව අග්‍රාමාත්‍යවරයාගේ ඡන්ම දිනය වෙනුවෙන් ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මානව හිතවාදියෙකු, ජනහිතකාමියෙකු මෙන්ම සුවහසක් ජනයාගේ සාතිශය ගෞරවයට පාත්‍ර වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇසුරේ කුඩා කළ පටන් ගුරුහරුකම් ලැබීම තමන් ලද භාග්‍යයක් බවයි.

මේ අතර, අදට (18) යෙදී ඇති අග්‍රාමාත්‍යවරයාගේ 76 වැනි ඡන්ම දිනයට සමගාමීව කිරි අම්මාවරුන් වෙනුවෙන් දානමය පුණ්‍ය කර්මයක් නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේදී අද (18) අලුයම පැවැත් වුණා.

එමෙන්ම, අග්‍රාමාත්‍යවරයාගේ ඡන්ම දිනය නිමිත්තෙන් දෙහිවල මොහිදින් ජුම්මා පල්ලියේ විශේෂ දේව මෙහෙයක් සිදු කෙරුණු අතර, එම අවස්ථාවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි එක්ව සිටියා.

හැට නව ලක්ෂයක වාර්තාගත ජනවරමකින් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ (2) පූර්ණය අදට (18) යෙදී තිබෙනවා.

වැඩි ඡන්ද මිලියන 1.3 ක් ලබා ගනිමින් 2019 වසරේ නොවැම්බර් මස 18 වැනි දා මෙරට 07 වන විධායක ජනාධිපතිවරයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ අනුරාධපුර ඵෙතිහාසික රුවන්වැලි මහා සෑරදුන් ඉදිරිපිටදීයි.

******************************************

විදේශ ඇමති ජී.එල් පීරිස් මහතා, බංග්ලාදේශයේ අගමැතිනිය හමුවෙයි

(18.11.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

විදේශ අමාත්‍ය මාහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අතර හමුවක් පැවැත්වුණා.

ඒ ඊයේ (18) ඩකා නුවර පිහිටි එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

එහිදී කොරෝනා වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව මෙන්ම, වර්තමානය රජය මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, කොළඹ සහ ඩකා නුවර අතර ගුවන් සබඳතා වැඩි දියුණු කිරීම සහ සංචාරක ක්ෂේත්‍රය ඉහළ නැංවීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා ෴

******************************************

ඉපැරණි බෝධිඝරයක් විනාශ මුඛයේ

(18.11.2021 – 14:48 +0530 – hirunews.lk/sinhala)

දකුණු ආසියාවේ එක ම සංරක්ෂිත බෝධිඝරය ලෙසින් සැලකෙන ගල්ගමුව – බුල්නෑව ප්‍රදේශයේ පිහිටා ඇති බෝධිඝරය දවසින් දවස විනාශ මුඛයට යන පුවතක් වාර්ථා වනවා.

******************************************

හම්බන්තොටදී වාරිමාර්ග සේවකයින් දෙදෙනෙකුට (2) ප්‍රහාරයක්

(18.11.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට වාරිමාර්ග කාර්යාලයට අනුයුක්ත සේවකයින් දෙදෙනෙකුට (2) හම්බන්තොට සමගිපුර ප්‍රදේශයේදි කිසියම් පුද්ගලයෙකු විසින් පහර දී තිබෙනවා.

මව්ආර ජලාශයේ ජලය බෙදීම සිදුකිරීම සඳහා ඇති බාධක ඉවත් කිරීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

පහරකෑමෙන් තුවාල ලැබූ වාරිමාර්ග නිලධාරින් දෙදෙනා (2) ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහරදුන් පුද්ගලයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

******************************************

වෙඩි නොවදින ත්‍රිත්ත්ව ලෝහ ඇඳුමක් නිපදවූ සිරි ලංකාවේ දිරිය දියණිය

(18.11.2021 – 16:24 +0530 – hirunews.lk/sinhala)

ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මෙරට ශිෂ්‍යාවක් විසින් අධි තාක්ෂණික වෙඩි නොවදින ත්‍රිත්ත්ව ලෝහ ඇඳුමක් නිපදවීමට සමත් වී තිබෙනවා.

මේ වනවිටත් සිය පශ්චාත් උපාධිය සිඩ්නි සරසවියෙහි හදාරමින් සිටින ඇය නමින් ප්‍රභානි රණවීර යි.

තම පශ්චාත් උපාධිය අවසන් කිරීමට සිදු කළ යුතු පර්යේෂණය සඳහායි, ඇය විසින් මෙම නව නිපදවීම සිදු කර ඇත්තේ.

මේ වනවිටත් ලෝකය තුළ ප්‍රයෝජනයට ගනු ලබන්නේ, වානේ නැතහොත් ආමර් වර්ගයේ වෙඩි නොවදින ඇඳුම් වුව ද, යම්කිසි ප්‍රහාරයකදී ඉන් හානියක් සිදු නොවුණ ද පැය කිහිපයක් තුළ ප්‍රහාරයේ කම්පන සංඛ්‍යාතය ශරීරයට දරා ගැනීමට නොහැකි වීමෙන් ජීවිත හානි සිදු වන බවයි ඇය පෙන්වා දෙන්නේ.

එමෙන්ම ප්‍රහාරයෙන් මිනිස් ශරීරයෙහි අවයවවලට එල්ල වන තරංග ප්‍රමාණයෙන්ද, අහිතකර විකිරණශීලී ද්‍රව්‍යය හේතුවෙන්ද ජීවිත හානියක් සිදු නොවුණ ද, පසුව එය විවිධ අතුරු ආබාධ හට ගැන්මට හේතුවක් වනබව ඇය සඳහන් කරනවා.

නමුත්, වැඩිදියුණු කර, නිපදවූ අධිතාක්ෂණික වෙඩි නොවදින ත්‍රිත්ත්ව ඇඳුම මගින් සටන් බිමේදී සිදුවන ප්‍රහාර තුළින් ජීවිත හානි සිදුවීම වළක්වන බවයි සිය පර්යේෂණයෙන් හෙළි වී ඇති බවයි ප්‍රභානි රණවීර සිසුවිය ප්‍රකාශ කළේ.

වානේ ලෝහයේ ස්කන්ධය අධික හෙයින්, ලෝකයේ බොහෝ දියුණු රාජ්‍යයන්වල න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන්නේ, වානේ සහ ඇලුමිනියම් යොදා ගනිමින් බවයි ඇයගේ මතය.

මෙම නව නිර්මාණයේ පවතින බර ප්‍රමාණය බොහෝ සෙයින් අවම කිරීම සඳහා වානේ ලෝහයට අමතරව භාවිත කර ඇත්තේ, ටයිටේනියම් සහ ඇලුමිනියම් බව ද ඇය සඳහන් කළා.

අදාළ නව නිපැයුම මගින් ප්‍රහාරයෙන් පසු සිදුවන කම්පන තත්ත්ව සියයට 80 කින් පමණ අවම කිරීම ද මෙහි වාසි සහගත තත්ත්වයක්.

ඔස්ට්‍රෙලියාවේ සිට ක්‍රියාත්මක වන සිංහල නාලිකාවක් සමග සංවාදයකට එක් වෙමින් තම නිර්මාණය ගැන අදහස් පළ කර ඇති ප්‍රභානි රණවීර, මෙම නිර්මාණය පළඳින පුද්ගලයාගේ ශරීරයට දරාගත හැකි වන අයුරින් මෙම ඇඳුමේ බර ප්‍රමාණය තවදුරටත් අවම කිරීමට ඉදිරි පර්යේෂණ කටයුතු සිදුකරන බව ප්‍රකාශකලා.

ප්‍රභානි රණවීර නම් වූ මෙම දක්ෂ ඉංජිනේරුවරිය මූලික අධ්‍යාපන ලැබුවේ කොළඹ මියුසියස් විද්‍යාලයෙන්. පසුව උසස් අධ්‍යාපනය සඳහා මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත් වන ඇය, එහිදී සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් දෙවසරක පාඨමාලාව අවසන් කර, වැඩිදුර අධ්‍යාපනය සඳහා තායිලන්තයේ තාක්ෂණික විශ්වවිද්‍යාලයකට ද ඇතුළත් වී ඇත. තමන් පැමිණි ගමන් මග සතුටින් මෙන්ම අනතිමානීව ඇය සිහිපත් කරයි.

පසුව, පශ්චාත් උපාධි සිහිනය යථාර්ථයක් බවට පත් වන්නේ, ඒ සඳහා ඇයට ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ශිෂ්‍යත්වයක් ලැබීමෙන් අනතුරුවයි.

එවන් පසුබිමකදී කාන්තාවක් ලෙසින් සිය දක්ෂතා ඔප මට්ටම් කරගනිමින්, මෙම නව තාක්ෂණික නිර්මාණය බිහිකිරීමේ වාසනාව ද හිමි කරගන්නේ, තම උපන් දේශය වූ ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ද තිළිණ කරමින් ෴

******************************************

ජාතික ළමාරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක්

(18.11.2021 – 16:45 +0530 – hirunews.lk/sinhala)

ජාතික ළමාරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පත් කර තිබෙනවා.

ඒ අනුව, ඔහු ලබන සඳුදා (22) එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

උදය කුමාර අමරසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කරනවා ෴

******************************************

බ්‍රෝඩ්ලන්ඩ්ස් බලාගාරයේ උමං මාර්ගයට ජල මුදා හැරේ

(18.11.2021 – 16:49 +0530 – hirunews.lk/sinhala)

ලක්ෂපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීමේ සමාරම්භක අවස්ථාව අද (18) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

අරලියගහ මන්දිරයේදී එය සිදුවුණේ ඔන්ලයින් ක්‍රමයටයි.

මස්කෙළිය ඔය හරස් කර පොල්පිටියේ ඉදිකර ඇති වේල්ලේ සිට කිතුල්ගල පිහිටි බලාගාරය දක්වා කිලෝමීටර් 3.5 කින් යුතු මෙම උමං මාර්ගය නිර්මාණය කර තිබෙනවා.

ව්‍යාපෘතියෙන් වාර්ෂිකව මෙරට විදුලිබල පද්ධතියට ගිගාවොට් පැය 126 ක් එක්වන බව සඳහන් ෴

******************************************

සඳහිරු සෑය සම්බුදු සසුනට පූජා කෙරේ

(18.11.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

21 වන සියවසේ ඉදිවූ විශාලතම චෛත්‍ය රාජයාණන් වහන්සේ වන අනුරාධපුර සඳහිරු සෑයේ කොත්වහන්සේ නිරාවරණය කරමින් එය සසුනට පූජා කර බැතිමතුන් වෙනුවෙන් විවෘත කිරීමේ පුන්‍යෝත්සවය අද (18) සිදු කෙරුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

වසර 30 ක ත්‍රස්තවාදය අවසන් කර මව්බිම ලැබූ ජය සැමරීමත්, දිවි පිදූ සියලුදෙනාට ජාතික ආගම් භේදයකින් තොරව පුණ්‍යානුමෝදනා කිරීමත් අරමුණු කරගෙන 2010 වසරේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම අනුව මෙරට විශාලත්වයෙන් 4 වන චෛත්‍ය රාජයාණන් ලෙසයි සඳහිරු සෑය ඉදිකිරීම ආරම්භ වුණේ.

යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක විරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවුණු සඳහිරු සෑය අද (18) සිට බැතිමතුන්ට වන්දනා මාන කළ හැකියි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පූජා භූමියට සම්ප්‍රාප්ත වූ පසු උත්සව කටයුතු ආරම්භ වූ අතර සෙත් පිරිත් සජ්ඡායනා මධ්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කෙරුණා.

මේ වනවිට චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා ගිලන්පස පූජාව සිදු කෙරෙමින් පවතිනවා.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන ජන්ම දිනය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙවන (2) පදවි ප්‍රාප්ති සැමරුම අදට (18) යෙදී තිබෙනවා.

******************************************

ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවස ඡායාරූප ගතකළ පාකිස්ථාන ජාතිකයන් තුන්දෙනකු (3) අල්ලයි

(18.11.2021 – 17:43+0530 – hirunews.lk/sinhala)

කොළඹ තර්ස්ටන් මාර්ගයේ පිහිටි ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවස ඡායාරූප ගතකළ පාකිස්ථාන ජාතිකයන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් තුන්දෙනා (3) ත්‍රීරෝද රථයකින් ගමන් කරන අතරතුර නිවස ඡායාරූප ගත කිරිම සහ විඩියෝගත කිරිම සිදුකර ඇති බවටයි පොලිසියට පැමිණිලි ලැබි ඇත්තේ.

ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති අතර මේ මස 25 වනදා තෙක් රටින් පිටව යාම වලක්වමින් නියෝගයක්ද නිකුත් කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *