කොරෝනා ආසාදිත‍යින් වැඩි වීම අවතක්සේරු නොකරන්නැ යි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

කොරෝනා ආසාදිත‍යින් වැඩි වීම අවතක්සේරු නොකරන්නැ යි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

*********************************************

කොරෝනා ආසාදිත‍යින් වැඩි වීම අවතක්සේරු නොකරන්නැ යි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

(14.11.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ සුළු වැඩි වීම අවතක්සේරු නොකරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

මේ අතර, ඊයේ (13) දිනයේත් කොරෝනා ආසාදිතයින් 716 දෙනෙකු සහ මරණ 22 ක්ද වාර්තා වුණා.

ඊයේ (13) දිනයේත් කොරෝනා ආසාදිතයින් 716 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,49,500 දක්වා ඉහළ ගියා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරේදා (12) සිදු වූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 22 ක් ඊයේ (13) තහවුරු කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 13,972 ක් ලෙසයි.

තවදුරටත් රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලබන සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,025 ක්.

මේ වනවිට ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සැලකිය යුතු අඩුවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ සහ කොවිඩ්-19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා කියා සිටියා ෴

කොවිඩ් ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 426 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,23,929 ක් දක්වා ඉහළ ගියා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 498 ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,51,343 ක් ෴

තවත් කොරෝනා මරණ 23 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 13,995ක් ෴

තවත් කොරොනා ආසාදිතයින් 197 ක් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,51,540 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

උතුර පළාතේ ප්‍රජා පොලිස් ඒකක ස්ථාපිත කිරීමට පියවර

(14.11.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

උතුර පළාතේ රැකියා විරහිත තරුණයින් නිවැරදි මගට යොමුකිරීමේ අරමුණින් එම පළාත තුළ ප්‍රජා පොලිස් ඒකක ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා.

උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මෙහෙයවීම යටතේ සිදු කෙරෙන මෙම ප්‍රජා පොලිස් සේවාව හරහා විවිධ ක්‍රියාකාරකම්වලට රැකියා විරහිත තරුණයින් සම්බන්ධ කරගැනීමට නියමිතයි.

ඊට සුදුසු තරුණයින් තෝරාගැනීම යාපනය, කන්කසන්තුරෙයි, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම දිස්ත්‍රික් කොට්ඨාස භාර පොලිස් නිලධාරීන් මගින් සිදු කෙරෙනවා.

ඊට සහභාගිවන තරුණ පිරිසට විශේෂ සහතික පත්‍රයක්ද පිරිනැමීමට කටයුතු ඇති බවයි උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

පොලිස් ආබාධිත රණවිරු සංගමය විෂය භාර ඇමති සමඟ සාකච්ඡාවක්

(14.11.2021 – 10:55 +0530 – hirunews.lk/sinhala)

88 – 89 සමයේ මියගිය හා ආබාධිත වූ පොලිස් නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පොලිස් ආබාධිත රණවිරු සංගමය හා මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර ඊයේ (13) පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේදී අනාවරණ වී ඇත්තේ අදාළ කාලසීමාව තුළ පොලිස් නිලධාරීන් 290 ක් මියගොස් නිලධාරීන් 25 ක් ආබාධිත තත්ත්වයට පත්ව ඇති බවයි.

වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වන ලද පොලිස් නිලධාරීන් හට ජීවිතාන්තය දක්වා දීමනා ගෙවීමට රජය මේ වසරේ ගත් තීන්දුව ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් එහිදී පොලිස් ආබාධිත රණවිරු සංගමය පෙන්වාදී තිබෙනවා.

තාක්ෂණික ගැටලු හේතුවෙන් ප්‍රමාද වූ මෙම ගැටලුව විසඳීමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පොරොන්දු වූ බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

******************************************

අන්දමන් දූපත් අසල අඩුපීඩන කලාපයක් වර්ධනය වේ

(14.11.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව, වයඹ, මධ්‍යම, උතුර සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් (14) වැසි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකියි.

එමෙන්ම දකුණු අන්දමන් මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබෙනවා.

මෙය වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරන අතර, හෙට (15) දිනය වනවිට පීඩන අවපාතයක් බවට පත්විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුව මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ලබන 18 වැනි දා වනවිට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ වෙත ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා.

මේ නිසා දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරුැ මුහුද ආශ්‍රිත ධීවර කටයුතු අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝමිටර 55 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර ප්‍රධාන ජලාශ 30 ක් පිටාර මට්ටමට ළඟාවී ඇති බැවින් ඒවායේ පහළ ප්‍රදේශවල ගංඟා ඇළදොළ භාවිතයේදී සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. එසේම දැදුරු ඔය, ඉඟිනිමිටිය, රාජාංගණය සහ අංගමුව ඇතුලු ජලාශ කිහිපයක තවදුරටත් වාන් දොරටු විවෘත කර තිබෙනවා ෴

******************************************

වෙළෙඳපොළේ ගෑස් හිඟයක්

(14.11.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොළ තුළ යළිත් ගෑස් සැපයුමේ හිඟයක් පවතින බව වාර්තාවනවා.

පාරිභෝගිකයන් පවසන්නේ වෙළඳපොළ තුළ ලාෆ් ගෑස් සැපයුම මුළුමනින්ම අඩාල වී ඇති අතර, ඇතැම් ස්ථානවල ලිට්රෝ ගෑස් සැපයුමේද ගැටලු පවතින බවයි.

ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසීමකදී සඳහන් කළේ, ඩොලර් අර්බුදය හේතුවෙන් යළිත් වරක් සිය නිෂ්පාදන වෙළඳපොළට ලබාදීමේ ගැටලුවක් නිර්මාණය වී ඇති බවයි.

ගෑස් සැපයුමේ පවතින තත්වය සම්බන්ධයෙන් අප ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ගෙන්ද විමසීමක් කළා.

ඔහු කියා සිටියේ, දෛනික ලිට්රෝ ගෑස් සැපයුම අඛන්ඩව සිදුකරන බවයි.

කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර 75,000 ක් සහ කිලෝග්‍රෑම් පහ (5) සහ දෙකයි දශම පහ (2.5) සිලින්ඩර 25,000 ක් ලිට්රෝ ගෑස් පාරිභෝගිකයන් සඳහා දෛනිකව වෙළඳපොළට යොමු කෙරෙනවා.

කෙසේ වෙතත් ලාෆ් ගෑස් සැපයුමේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය මත ඉල්ලුම ඉහළ යාමෙන් ගෑස් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත විය හැකි බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා ෴

******************************************

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අර්බුදයක

(14.11.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු හෙට (15) දිනයේ සිට නතර කරනු ඇති බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එම තෙල් පිරිපහදුවේ ගබඩා කර ඇති බොරතෙල් අවසන්වීම ඊට හේතුව බවයි.

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිළි කළා.

ඒ සම්බන්ධයෙන් අප ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා ගෙන් විමසීමක් කළා. එහිදී ඔහු පැවසුවේ තවත් දින 15 කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි ෴

******************************************

කාබනික පොහොරෙන් මහ කන්නයේ වගා කටයුතු සිදු කෙරේ

(14.11.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර භාවිතයෙන් ප්‍රදේශ රැසක ගොවීන් මෙවර මහ කන්නයේ වගා කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, එම වගා කටයුතු සාර්ථක බව ගොවීන් පවසනවා.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ගොවීන් පොහොර නොමැතිව වගා කටයුතුවලින් ඉවත්ව ඇති අතර, කාබනික පොහොර භාවිතය අසාර්ථක බවයි එම ගොවීන් පවසන්නේ.

රජය ලබාදෙන පොහොර අපේක්ෂාවෙන් මහනුවර – වත්තේගම සහ පන්විල ප්‍රදේශයේ ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කර තිබෙනවා.

ගොවීන් පවසන්නේ තමන්ට මෙතෙක් පොහොර නොලැබුණු බවයි.

රසායනික පොහොර නොමැතිව වගා කළ නොහැකි බව බදුල්ල – කොස්ලන්ද ප්‍රදේශයේ ගොවීන්ද ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් පොළොන්නරුව – පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවීන් මෙවර මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම පොළොන්නරුව අලුත්වැව ප්‍රදේශයේ ගොවීන් තමන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කර ඇති අතර, ගොවීන් පවසන්නේ එය සාර්ථක බවයි.

තබ්බෝව ගොවි ජනපදයේ සහ නීලබැම්ම ගොවි ජනපදයේද කාබනික පොහොර යොදාගෙන සිදු කළ මුං වගාව සාර්ථක වී තිබෙනවා.

++++++

******************************************

රටේ ආර්ථිකයේ විශාල කොටසක් ඩීල්කරුවන් අතට

(14.11.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

රටේ ආර්ථිකයේ විශාල කොටසක් ඩීල්කරුවන් අතට පත්ව ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරනවා.

ඒ, මාර්ගගත ක්‍රමවේදයට අනුව ඊයේ (13) පැවති 32 වන ඉල් මහා විරු සැමරුමට එක්වෙමින්.

******************************************

ගුරු – විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

(14.11.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා මුල් කරගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට අද (14) තීරණය කළා.

ඒ, සියලු වෘත්තිය සමිති නියෝජිතයන් කොළඹදී පැවැත් වූ නියෝජිත හමුවකදියි.

මෙවර අයවැයෙන් ගුරු හා විදුහල්පති වැටුප් වැඩි කිරීමට මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සැළකිල්ලට ගෙන මෙලෙස තාවකාලිකව සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ ෴

******************************************

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේයන්ගොඩට පමණයි

(14.11.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය වේයන්ගොඩට පමණක් සීමා කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළේ, පල්ලෙවෙල සහ මීරිගම දුම්රිය ස්ථාන අතර, ජල ගැලීමක් නිසා දුම්රිය මාර්ගය සේදීයාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ වනවිට මාර්ගයේ ජලය ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය වේයන්ගොඩට පමණක් ධාවනය වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

******************************************

මෙරට කාන්තා ව්‍යවසායකයින් දිරි ගැන්වීමට ඇමරිකාවෙන් ආධාර

(14.11.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

මෙරට කාන්තා ව්‍යවසායකයින් දිරි ගැන්වීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාර ලබා දී තිබෙනවා.

දේශීය ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීම මෙහි මූලික අරමුණයි.

ඩොලර් මිලියන 265 ක මූල්‍යාධාරයක් මෙලෙස ලබාදීමට නියමිත අතර, එහි එක් කොටසක් වශයෙන් ඩොලර් මිලියන 150 ක මුදලක් මෙරට කාන්තාවන් වෙනුවෙන් ලබාදී ඇති බවයි කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ෴

******************************************

අයවැය පිළිබඳ විපක්ෂයේ අප්‍රසාදය

(14.11.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

2022 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් කිහිපයක් ම පළ කළා.

******************************************

පිළියන්දල දී තියුණු ආයුධයකින් සිදු කළ පහර දීමක්

(14.11.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) පිළියන්දල මඩපාත ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදු කර තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වීමට හේතුව නිශ්චිතව අනාවරණය වි නැහැ.

******************************************

ප්‍රතික්ෂේප කරන ලද චීන කාබනික පොහොර තුන්වන පාර්ශවයක් හරහා නැවත පරීක්ෂාවට

(14.11.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතික්ෂේප කරන ලද චීන කාබනික පොහොර තුන්වන (3) පාර්ශවයක් හරහා නැවත පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාව එකඟ වූ බව චීන තානාපති කාර්යාලය පවසනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *