ලෝකයම මිල පීඩනයට ගොදුරු වුව ද, සතොසෙන් ජනතාවට සහන – ඇමති බන්දුල කියයි

ලෝකයම මිල පීඩනයට ගොදුරු වුව ද, සතොසෙන් ජනතාවට සහන – ඇමති බන්දුල කියයි

*********************************************

ලෝකයම මිල පීඩනයට ගොදුරු වුව ද, සතොසෙන් ජනතාවට සහන – ඇමති බන්දුල කියයි

(03.11.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

මුළු ලෝකයම දැඩි මිල පීඩනයකට ගොදුරු ව තිබියදීත්, ලංකා සතොස මගින් ජනතාවට සහන ලබාදෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, වෙළෙඳ අමාත්‍යාංශයේ අද (03) පැවති ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන භාණ්ඩ මිල සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදීයි.

මුළු ලෝකයේම ඇති වූ හදිසි තත්ත්වය මත සෑම රටක්ම පාහේ මුහුණ දී ඇති අර්ථික අර්බුදය හේතුවෙන් ලෝකවාසී සියලුම දෙනාට අත්විඳින්නට සිදුව ඇති භාණ්ඩ මිළ ඉහළයාමේ තත්ත්වය, ශ්‍රී ලංකාවටත් බලපාන බව වෙළෙඳ අමාත්‍යවරයා පවසනවා.

අනෙකුත් රටවල් හා සැසඳීමේදී එම මිල වැඩිවීම් තුළ ජනතාවට යම්තාක් දුරකට හෝ සහන ලබාදීමට ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා කටයුතු කර ඇති බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ලෝක තත්ත්වය තුළ මිළ තීරණය කරනු ලබන රටවල් විසින් ඛනිජ තෙල්, ගෑස් හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් තීරණය කරන විට, ශ්‍රී ලංකාවට පමණක් එහි බලපෑමට යටත් නොවී සිටීමේ හැකියාවක් නැතැයි පැවසූ අමාත්‍යවරයා, මේ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කරමින්, දේශීය නිෂ්පාදකයින් හා නිෂ්පාදන ධාරිතාව පිළිබඳ සම්පූර්ණ විශ්වාසය තැබූ බව ද ප්‍රකාශ කළා.

එහෙත්, දේශපාලන කෝණයකින් මෙම ක්‍රියාමාර්ගය පිළිගත් දේශීය ගොවීන්, වෙළෙඳපොල මෙහෙයවීමට කෘත්‍රීම භාණ්ඩ හිඟ තත්ත්ව ඇති කිරීම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩයක් සේ සලකා සහල් සහ සීනි ආනයනය කිරීමට සිදු වී ඇති බවයි හෙතෙම සඳහන් කළේ.

මෙම අවස්ථාවට සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

සිමෙන්ති කොට්ට ලක්ෂයක් කඩිනමින් දිවයිනට – ඇසුරුම් ගැටලුවත් විසඳෙයි

(03.11.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද වෙළඳපොලේ පවතින භාණ්ඩ හිඟය පිළිබඳව අද (03) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ සීනි පාලන මිල ඉවත් කර ආනයනකරුවන් විසින් සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 150 ක මුදලකට අලෙවි කිරීමට තීරණය කළ බවයි.

වෙළඳපොලේ සිමෙන්ති හිඟය මඟ හරවා ගැනීම සඳහා සිමෙන්ති කොට්ට ලක්ෂයක් ද ආනයනය කිරීමට කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා ෴

******************************************

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයෑමේ අවදානම් නිවේදනය දීර්ඝ කෙරේ

(03.11.2021 – 17:32 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල, ගාල්ල, කළුතර, නුවරඑළිය, , මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළව ප්‍රකාශයට පත්කළ නාය යෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩණැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා ෴

******************************************

අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල – පස්සර මාර්ගය වැසේ

(03.11.2021 – 19:04 +0530 – hirunews.lk/sinhala)

ගල් පෙරලීම් සහ ගස් කඩා වැටීමේ අවදානම හේතුවෙන් නමුණුකුල හරහා ඇල්ල – පස්සර මාර්ගය වසා දමා තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ, මෙම තීරණය පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවන ආපදා අවම කිරීමට ගත් පියවරක් බවයි ෴

******************************************

පළාත් රැසකට තවදුරටත් වැසි

(03.11.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට බලපා වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මට්ටම ඉහළ යාම නිසා ජලාශ කිහිපයක වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබෙනවා.

කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, සහ රන්ටැඹේ, යන මහවැලි ජලාශ වල වාන් දොරටු විවෘත කිරිම හේතුවෙන් මහවැලි ගඟ දෙපස සිටින ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බවයි අපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

උඩවලව ජලාශය ද වාන් දොරටුවක් අද විවෘත කෙරුණු අතර, එහි ජලය වලවේ ගඟට මුදා හැරෙනවා.

කෙසේ වෙතත් සෙසු ජලාශ වල ඉහළ ගිය ජල මට්ටම් මේ වන විට අඩු වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම, බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, සහ කෑගල්ල, මාතලේ, මෙන්ම, නුවරඑළිය, රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති නායයැම් අනතුරු ඇගවිමේ නිවේදනය හෙට (04) පස්වරු 4 දක්වා දිර්ඝ කර තිබෙනවා.

මේ අතර, ඉදිරි පැය 36 දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ෴

******************************************

විපක්ෂ නායකවරයා කෑගල්ලේ විරෝධතාවක

(03.11.2021 – 19:09 +0530 – hirunews.lk/sinhala)

රටට එරෙහි කැබිනට් පත්‍රිකා අනුමත කිරීමට කටයුතු කළ ආණ්ඩුවේ නියෝජිතයන් මේ වනවිට රංගනයක නිරත වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

විපක්ෂ නායකවරයා මෙම චෝදනාව එල්ල කළේ කෑගල්ලේදී පැවති උද්ඝෝෂණයකට එක්වෙමින්.

******************************************

කාබනික වී කිලෝවක් රුපියල් 100 ට ගන්න කෘෂිකර්ම ඇමති සූදානම්

(03.11.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

කාබනිකව වගා කරන ගොවීන්ගේ වී කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට රජය සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ ප්‍රකාශ කළා.

මේ අතර, ඇතැම් ප්‍රදේශවල ගොවින් පොහොර අපෙක්ෂාවෙන් සිය වගා කටයුතුද මේ වනවිට ආරම්භ කර තිබෙන පසුබිමක දිවයිනේ ප්‍රදේශ රැසක පොහොර ඉල්ලා ගොවි උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා.

පොහොර අර්බුදය සහ බඩු ඉහල යාමට එරෙහිව හගුරන්කෙත ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සමගිජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් විරෝධතාවයක් පැවැත් වූ අතර අනතුරුව ප්‍රාදේශීය සභා වාරයේදී ඔවුන් විශේෂ ප්‍රකාශයක් කිරීමට උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

මේ අතර, පොහොර ගැටලු‍ව සම්බන්ධයෙන් විමසීම සඳහා භික්ෂු සංවිධාන කිහිපයක නියෝජිතයින් අද (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ හමුවුණා.

එම අවස්ථාවට නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්, රාවණ බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

පසුව එම නියෝජිතයින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂද හමුවුණා.

මේ අතර, මෙරටට ගෙන්වන දෙවන නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගය අද (03) ගුවන් මගින් දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉදිරියේදී කාබනික වී කිලෝවක් රුපියල් 100 කට මිලදී ගැනීමට රජය සූදානමින් සිටින බව ප්‍රකාශ කළා.

******************************************

කොත්තු රොටියක් නිසා සිදු වූ ඝාතනය

(03.11.2021 – 20:07 +0530 – hirunews.lk/sinhala)

කොත්තු රොටියක් නිසා මතුවූ ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ පුද්ගල ඝාතනයක් ගාල්ල – බද්දේගම – නාගොඩ ප්‍රදේශෙයන් වාර්තා වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ගාල්ල – බද්දේගම – නාගොඩ පාරේ පිහිටි ආපන ශාලාවක් ඉදිරිපිටදී මෙම ඝාතනය සිදුව තිබුණේ ඊයේ (02) රාත්‍රී 9 ට පමණ.

ආපන ශාලාවෙන් කොත්තු රොටියක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකු කොත්තුරොටියේ තත්ත්වය සම්බන්ධයෙන් ආපන ශාලා හිමිකරු සමඟ බහින්බස්වීමක් ඇතිකරගෙන ඇති අතර, එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අදාළ පුද්ගලයා පසුව කියුණු ආයුධයක්ද රැගෙනවිත් ආපන ශාලා හිමිකරුට පහරදීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී ආපන ශාලා හිමිකරුගේ පුත්‍රයා සහ තවත් පිරිසක් ඔහුට පහරදී ඇති අතර, ආපන ශාලා හිමිකරුගේ පුත්‍රයා මෝල්ගසකින් පහරදෙන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු බද්දේගම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ආපන ශාලා හිමිකරුද කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ පුත්‍රයා අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමේන අනතුරුව ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කෙරුණා.

******************************************

දීපාවලී වෙනුවෙන් බස්නාහිර පළාතේ සියලුම හින්දු පාසල්වලට නිවාඩු දිනයක්

(03.11.2021 – 21:21 +0530 – hirunews.lk/sinhala)

හෙට (04) දිනට යෙදී ඇති දීපාවලී උත්සවය නිමිත්තෙන්, බස්නාහිර පළාතේ සියලුම හින්දු පාසල් මෙම මස 05 වැනි දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන නගරවල පිහිටි සියලුම හින්දු පාසල් සඳහා මෙම නිවාඩු දිනය වලංගු වනු ඇති.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසුවේ, එම නිවාඩු දිනය වෙනුවෙන් නොවැම්බර් මස 13 වැනි සෙනසුරාදා එම හින්දු පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිත බවයි ෴

******************************************

රටවටා හිරු (03.11.2021)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් ආසාදිතයින් 340 ක් පූර්ණ සුවයට

(03.11.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 340 දෙනෙකු අද (03) දිනයේදීත් සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5,13,880 ක්.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ තවත් 14,562 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර, මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වන විට පළමු (1) සහ දෙවන (2) මාත්‍රා සමස්තයක් ලෙස මිලියන 29 ක් ඊයේ (02) වන විට ලබා දී අවසන් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (03) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 474 ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,42,686 ක් ෴

නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත ව සිදු වූ මරණ 21 ක් ඊයේ දිනයේදී (02) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරටින් වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත් මුළු සංඛ්‍යාව 13,791 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

+++++++++++++++++++

දැනට මෙරට මිලියන 29 ක් පූර්ණ එන්නත්කරණයට

(03.11.2021 – 19:01 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වන විට පළමු (1) සහ දෙවන (2) මාත්‍රා සමස්තයක් ලෙස මිලියන 29 ක් ඊයේ (02) වන විට ලබා දි අවසන් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග වෛද්‍ය , විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව සදහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (03) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

පළමු (1) එන්නත් මාත්‍රාව ලබාගෙන කොපමණ කාලයක් ගත වුවත් දෙවන (2) මාත්‍රාව ලබාගෙන නොමැති පුද්ගලයින් හැකි ඉක්මනින් දෙවන (2) මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් පාලනය කිරීම සදහා ලබා දි ඇති සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිලිපැදිමේ වැඩපිලිවෙල ජනතාව ඉදිරියට ගෙන යා යුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

මේ අතර, කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 340 දෙනෙකු අද සුවය ලැබුවා.

එසේම අද (03) දිනයේ මේ දක්වා ආසාදිතයින් 474 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 107 දෙනෙකු අද (03) දින හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙතෙක් අද (03) දිනට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළ යනු ඇති. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, අද (03) දිනට වාර්තා වී ඇති ආසාදිතයින් 581 දෙනාත් සමග මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,42,793 ක් බවයි ෴

+++++++++++++++++

මොඩර්නා දෙවන (2) මාත්‍රාව තවමත් නොගත් අයට දැනුම්දීමක්

(03.11.2021 – 20:18 +0530 – sinhala.adaderana.lk)

මහනුවර ප්‍රදේශයට ලබාදුන් මොඩර්නා එන්නත් කල්ඉකුත්වීමට පෙර වහාම දෙවන (2) එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා අද (03) ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා,

“මොඩර්නා එන්නත අපි නුවරට තමයි විශේෂයෙන් දුන්නේ. ඒ එන්නතේ දෙවන (2) මාත්‍රාව තාම නොගත්තු සුළු පිරිසක් ඉන්නවා. තව මාස 2 ක් ඇතුළත ඒකේ කාලය ඉකුත්වෙනවා.”

මේ අතර පසුගිය පළමු වැනිදා ආරම්භ කෙරුණු, කොවිඩ් මර්දන තුන්වන (3) මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් ලබාදීම අදත් ක්‍රියාත්මක වුණි.

ඒ අනුව මේ දක්වා ලබාදී ඇති තෙවැනි එන්නත් මාත්‍රා ගණන 9,107 කි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *