නව කුලපති තනතුරට කොළඹ සරසවි මහා ශිෂ්‍ය සංගමයේ විරෝධය

නව කුලපති තනතුරට කොළඹ සරසවි මහා ශිෂ්‍ය සංගමයේ විරෝධය

*********************************************

නව කුලපති තනතුරට කොළඹ සරසවි මහා ශිෂ්‍ය සංගමයේ විරෝධය

(03.11.2021 – 14:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව, එම විශ්වවිද්‍යාල‍යීය මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව කියා සිටියා.

අදාළ සම්පූර්ණ ලිපිය මෙසේයි :

“කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ධව ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද ලිපිය.

ඕනෑම විශ්වවිද්‍යාලයක ඉතාමත් ගෞරවනීය ම සහ උත්තරීතර ම පදවිය ලෙස හඳුන්වනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරයි.

කුලපති තනතුර සඳහා ව්‍යවස්ථාපිත පරිපාලන බලතල කිසිවක් නොමැති වුවද විශ්වවිද්‍යාලයේ ගෞරවයේ සංකේතය වන්නේ කුලපති තනතුරයි.

විශේෂයෙන්ම උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධිය පිරිනැමීම ඇතුළු ගෞරවනීය අවස්ථාවන්හිදී කුලපති හරහා විශ්වවිද්‍යාලය නියෝජනය වන්නේ එම නිසාය.

කෙසේ නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපති තනතුරු සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජය විසින් පත්කොට ඇත.

නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ ශිෂ්‍ය ප්‍රජාව ලෙස එම පත් කිරීම සඳහා අප එකහෙළා අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටින්නෙමු.

මන්ද විශ්වවිද්‍යාලයක කුලපති තනතුරු යනු කිසිදු විටක දේශපාලන පත් කිරීමක් හෝ දේශපාලන න්‍යාය පත්‍රය අනුව සිදු නොවිය යුතු බව අප විශ්වාස කරන බැවිනි.

තවද විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ ස්වාධීනත්වයක් ගෞරවයත් ආරක්ෂා වන්නේ එම තත්ත්වය තුළ ය.

නමුත් විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට දේශපාලනික පත්කිරීමක් සිදු කිරිම තුළ විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ ස්වාධීනත්වයත්, විශ්වවිද්‍යාලයේ ගෞරවයක් යන දෙකම විනාශ වී යා හැකි බවට අප විශ්වාස කරන්නෙමු.

එබැවින් විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ කීර්තිමත් ඉතිහාසයක් සහ වර්තමානයේ ද කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කොළඹ විශ්වවිද්‍යාලයට මෙම දේශපාලන පත් කිරීම සිදු කිරිම සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය ලෙසත් සමස්ත සිසු ප්‍රජාව වෙනුවෙනුත් අපගේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටින්නෙමු.

මහා ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය”

******************************************

පොහොර නො මැතිව ගොවියෝ අපහසුතාවයෙන්

(03.11.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර ලක්ෂ 24 ට අදාළ 2 වන පොහොර තොගය අද (03) ගුවන් මගින් මෙරටට රැගෙන එමට නියමිතයි.

මේ අතර ඇතැම් ප්‍රදේශවල ගොවින් පොහොර අපෙක්ෂාවෙන් සිය වගා කටයුතුද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

******************************************

ගව ඝාතනය ගැන ඕමල්පේ සෝභිත හිමිගෙන් ප්‍රකාශ‍යක්

(03.11.2021 – 14:19 +0530 – hirunews.lk/sinhala)

ගව ඝාතනය තහනම් කිරීමට ගත් තීරණය ස්ථිරවම ක්‍රියාත්මක කරන ලෙස ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඇඹිලිපිටිය ඩී.ඒ. රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ගුණ සැමරුමකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

******************************************

පස්සර ප්‍රදේශයේ අබලන් වූ පාර ගම්වැසියන්ගේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණයට

(03.11.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

දේශපාලඥයින් හා බලධාරීන්ට ආදර්ශයක් වූ ගම්වැසියන් පිරිසක් පිළිබඳව පස්සර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඒ දේශපාලඥයින් හා බලධාරීන්ට කොතෙක් දැන්වීම් කළද ප්‍රතිසංස්කරණය නොවූ තම ගම්මානයට පිවිසෙන මාර්ගය තමන් විසින්ම පිළිසකර කර ගැනීම අරඹමින්.

******************************************

ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ අඛන්ඩ වැඩවර්ජනයක්

(03.11.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා විශේෂ දීමනාව ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රාජගිරිය ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කළ බව සමස්ත ලංකා සුවසේවා ආයුර්වේද සංගමය ප්‍රකාශ කළා. ඔවුන් මේ වනවිට විරෝධතාවක ද නිරත වනවා ෴

******************************************

ජෛව විවිධත්වය වනසන මිනිස් ක්‍රියාකාරකම්

(03.11.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

ජෛව විවිධත්වය සහ ස්වභාවික පරිසර පද්ධති මෙරට සතු මිල කළ නොහැකි සම්පත් බවට විවාදයක් නැහැ.

නමුත් වගකිවයුත්තන්ගේ අවධානය යොමු නොවීමෙන් මෙන්ම වගකීම් විරහිත මිනිස් ක්‍රියාකාරකම් ද හේතුවෙන් විනාශ වී යන ස්වභාවික සම්පතක් පිළිබඳවයි මේ තොරතුරු.

******************************************

දිනෙන් දින උග්‍ර වෙමින් නොවිසඳෙන අලි මිනිස් ගැටුම

(03.11.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

වන අලින් ගම්වැදීම පිළිබඳ නිරන්තරයෙන් පුවත් වාර්තා කිරීමට සිදුව ඇත්තේ අලි මිනිස් ගැටුමට තවමත් නිසි විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම නිසයි.

එලෙස දිනපතා ගම්වදින වන අලි හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර අරගලයක යෙදෙමින් රැය පහන්කරන ගම්වාසීන් පිරිසක් පිළිබඳව මේ පුවත වාර්තා වන්නේ බකමූණ ප්‍රදේශයෙන්.

******************************************

ගෝලීය බලශක්ති සම්මුතියේ ප්‍රමුඛතම සාමාජිකයෙකු වීම ගැන ශ්‍රී ලංකාව ආඩම්බරයෙන් – ජනපති කියයි

(03.11.2021 – 14:46 +0530 – hirunews.lk/sinhala)

‘නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ’ සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි දී පසුගියදා (01) ආරම්භ කෙරුණු COP:26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

‘දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව’ ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197 ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරිකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක (25,000) පමණ පිරිසක් එක්ව සිටිනවා.

එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බවයි වාර්තා වන්නේ.

ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන් විසින් ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීම මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට දේශගුණික අභියෝග ජය ගැනීමට සහාය වීම අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, මෙම අර්බුදයෙන් මිදීමට සහ පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන ලෙසට සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටියා.

මහජන සෞඛ්‍ය ගැටලු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කිරීම පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණා.

මුල්බැස ගත් කණ්ඩායම් මේ සඳහා විරුද්ධ වුව ද, මෙය අනාගතයේ දී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගත් පියවරක් බව සඳහන් කළ ජනාධිපතිවරයා ඉන් නවෝත්පාදන සහ ආයෝජන අවස්ථා නිර්මාණය කරන බව ද පෙන්වා දුන්නා.

දේශගුණික විපර්යාස සියලු ජාතීන්ට බලපාන නමුත් සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන්ට අසමාන ලෙස බලපාන අතර, දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම් සඳහා නිර්භීත පියවර ගන්නා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

******************************************

පාවහන් යුගලේ සඟවාගෙන ආ ජංගම දුරකථන 04 ක් අත්අඩංගුවට

(03.11.2021 – 14:57 +0530 – hirunews.lk/sinhala)

කළුතර බන්ධනාගාරයේ ක්‍රියාත්මක සී.සී.ටී.වී. පද්ධතිය හා අවි අංශයේ නිලධාරීන්ගේ දැඩි සුපරික්ෂාව නිසා පිටතින් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට විසිකිරීම වැළකී තිබෙනවා.

මේ හේතුවෙන් වෙනත් ක්‍රමවලින් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට රැගෙන ඒමට උත්සාහ දරමින් සිටින අතර, කළුතර බන්ධනාගාරයේ නිලධාරීන්ගේ දැඩි සුපරික්ෂාව නිසා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම කරනු ලැබූ සිරකරුවෙකු විසින් පාවහන් යුගල තුළ සූක්ෂමව සඟවාගෙන ආ ජංගම දුරකථන 04 ක් මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

******************************************

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර, ඩොලර් මිලියන 500 ක මූල්‍ය ගිවිසුමක්

(03.11.2021 – 15:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සැපයුම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා ලක් රජය සහ ලෝක බැංකුව අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මූල්‍ය ගිවිසුමකට අද (03) අත්සන් තැබුණා.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාට්වික් ෂෝපර් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මෙම ගිවිසුමට අද අත්සන් තැබූ අතර, එම අවස්ථාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද එක්ව තිබෙනවා.

මෙම ගිවිසුම යටතේ තෝරා ගත් දිස්ත්‍රික්කවල මිලියන 16 ක ජනතාවට ප්‍රතිලාභ හිමිවනු ඇති. එමගින් ලක් රජය ක්‍රියාවට නංවනු ලබන ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සවිබල ගැන්වෙන බව ද සඳහන් ෴

******************************************

කේරළ ගංජා සමග පාසල් සිසුවෙකු අත්අඩංගුවට

(03.11.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, මන්නාරම – මූර් වීදියේදි සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (02) මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවා සිය සන්තකයේ තබා ගත්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 04 යි, ග්‍රෑම් 700 ක් පොලිස් භාරයට ගැනුණා.

මෙම සැකකාර පාසල් සිසුවා කුමන ක්‍රියාවකට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියේ දැයි මේ වන විට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

මීට අමතරව මන්නාරම යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත මන්නාරම -තල්ලඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01, ග්‍රෑම් 665 ක් ළඟ තබාගෙන සිටි, පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

46 හැවිරිදි සැකකරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

වැලිකඩ බන්ධනාගාරයේ උගන්ඩා කාන්තාවක් ළග තිබී සිම් 7 ක් සොයා ගැනේ

(03.11.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින උගන්ඩා ජාතික කාන්තාවක් 4G වර්ගයේ සිම්කාඩ්පත් 7 ක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රැඳවියන් පරීක්ෂා කරනු ලැබූ අවස්ථාවේදි බෑගයක සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම සිම්කාඩ්පත් සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළා ෴

******************************************

දීපාවලී උත්සවය සැමරීමට වතුකරයේ ජනතාව සුදානම්

(03.11.2021 – 16:20 +0530 – hirunews.lk/sinhala)

හින්දු ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන දීපාවලී උත්සවය 04 දිනට යෙදී තිබෙනවා.

දීපාවලී උත්සවය නිමිත්තෙන් අලුත් ඇදුම් පැළදුම් , නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට වතුකරයේ ජනතාව හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගරවලට විශාල වශයෙන් පැමිණ සිටින ආකාරයක් අප කැමරාවේ සටහන් වුණා.

එසේ පැමිණි ජනතාව වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබු අතර, වෙළෙඳසැල් පාරිභෝගිකයන්ගෙන් පිරී ගොස් තිබුණේ මෙලෙසින්.

එසේ පැමිණි පරිභෝගිකයන් විශාල පිරිසක් නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කරන ආකාරයක් ද දක්නට ලැබුණු අතර, ව්‍යාපාරිකයන් ද නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබනවා.

******************************************

යුගදනවි ගිවිසුමට නීතිපතිගේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මණ්ඩල සභාපති කියයි

(03.11.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි ගිවිසුම අත්සන් කළේ එහි මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40 ක කොටස් ඇමෙරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුම අහෝසි කරන්නැයි ඉල්ලා විදුලි, වරාය, ඛනිජ තෙල් සහ ජල සේවකයන් අද (03) විරෝධතාවයේ නිරත වුණා.

විදුලි සේවකයන් සිය විරෝධතාවයේ නිරත වුණේ කොළඹ පිහිටි විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීයි.

මේ එම විරෝධතාව සඳහාලංකා විදුලිබල මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් මහතා ද එක්ව සිටියා.

එමෙන්ම, ඛනිජතෙල් සංස්ථා සේවකයන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සහ කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වුණා.

වරාය සේවකයන් ද කොළඹ වරාය ආසන්නයේ පිහිටි කාන් ඔරලෝසු කණුව ආසන්නයේ විරෝධතාවයක නිරත වුණා.

මේ අතර, විරෝධතා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ අද (03) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ වර්ජනයෙන් කිසිදු බලපෑමක් සිදුනොවූ බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *