යතුරුපැදි අනතුරුවලින් ළමුන් දෙදෙනෙකු ඇතුලු 4 ක් මරුට

යතුරුපැදි අනතුරුවලින් ළමුන් දෙදෙනෙකු ඇතුලු 4 ක් මරුට

*********************************************

යතුරුපැදි අනතුරුවලින් ළමුන් දෙදෙනෙකු ඇතුලු 4 ක් මරුට

(31.10.2021 – 05:55 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ කිහිපයක සිදුවූ යතුරුපැදි අනතුරුවලින් ළමුන් දෙදෙනෙකු (2) ඇතුලු 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බලංගොඩ, ඇල්පිටිය සහ වැලිපැන්නගහමුල යන ප්‍රදේශවලදීයි ඊයේ (30) මෙම අනතුරු සිදුවී ඇත්තේ.

බලංගොඩ රත්මල්වින්න ප්‍රදේශයේදී යතුරුපැදියක් විරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රී රෝද රථයක ගැටීමෙන් ඊයේ (30) සවස අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු බලංගොඩ රෝහලට ඇතුලත් කිරීමේදීයි මියගොස් ඇත්තේ.

ඔහු පින්නවල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පිරිමි ළමයෙක්.

මෘත ශරීරය බලංගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුරට අදාළව ත්‍රී රෝද රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර නාත්තන්ඩිය වැලිපැන්නගහමුල මාර්ගයේ කුඹුක්ගහමුල්ල හංදිය අසලදී ඊයේ (30) රාත්‍රී අනතුරක් සිදුවුණා.

යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ යතුරුපැදිය පැදවූ 13 හැවිරිදි පිරිමි ළමයෙක්.

ඔහු වැලිපැන්නගහමුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය දුනකදෙණිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

වෑන් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මේ අතර ඇල්පිටිය මාපලගම මාර්ගයේ කැන්දගහ හංදිය අසලදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරියක ගැටීමෙන් ඊයේ (30) සවස අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසු පැදිකරු ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ අවුරුදු 30 සහ 35 වයස්වල පසුවන ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

******************************************

අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 13 ක් අත්අඩංගුවට

(31.10.2021 – 06:43 +0530 – hirunews.lk/sinhala)

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසක අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 13 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවි ආයුධ ළඟ තබාගෙන සිටින කණ්ඩායමක් උපන්දින සාදයක් පවත්වන බවට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදීයි ඊයේ (30) පස්වරුවේ මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

ඔවුන් සතුව තිබී කඩු හතරක් (4), යතුරුපැදි දෙකක් (2), යතුරුපැදි සහ පාපැදි චේන් යොදා ගනිමින් පහරදීමට සකස් කළ ආයුධ දෙකක් (2) අයිස් සහ ගංජා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයන් අවුරුදු 20 ත් 40 ත් අතර වයස්වල පසුවනවා.

සැකකරුවන් පසුගිය දිනවල යාපනයේ ක්‍රියාත්මක වූ සන්නද්ධ කල්ලියක සාමාජිකයන් ද නැතහොත් වෙනත් කණ්ඩායමක් ද යන්න සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සැකකරුවන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්වැටිතුරෙයි පොලිසිය පරීක්ෂණ සිදුකරනවා ෴

අනතුර සම්බන්ධයෙන් ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්පිටිය පොලිසිය පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

සහල් සහ සීනි මිල තවදුරටත් ඉහළට – තවත් ආනයනික සහල් තොගයක් අද (31) දිවයිනට

(31.10.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

අද (31) සහ හෙට (01) ඉන්දියානු සහල් රැගෙන තවත් නෞකා දෙකක් (2) මෙරටට ළඟාවීමට නියමිතයි.

ඊයේ (30) දිනයේද ඉන්දියාවේ සිට සහල් නෞකාවක් දිවයිනට ළඟා වූ අතර, මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස්දහසක් (1,50,000) සහ පාකිස්තානයෙන් මෙට්‍රික් ටොන් පනස්දහසක් (50,000) ද ඉදිරියේදී මෙරටට ආනයනය කෙරෙනු ඇති.

වෙළෙඳපොලේ සහල් සහ සීනි මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මේවන විට පිටකොටුව සහල් තොග වෙළෙඳපොලේ නාඩු කිලෝවක් රුපියල් 130 ක්, සම්බා කිලෝවක් රුපියල් 150 ක් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 220 ක් වැනි ඉහළ මිලකටයි අලෙවිවන්නේ.

​පසුගිය අගෝස්තු හා සැප්තැම්බර් මාස වලදී සහල්මිල අධික ලෙස ඉහළ යාමත් සමඟ රජය සහල් සඳහා පාලන මිලක් පවනවු ලැබුවා.

ඒ කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 125 ක්, සම්බා කිලෝවක් සඳහා රුපියල් 103 ක්, නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 98 ක් වශයෙන්.

කෙසේ වෙතත් ඉන් පසු වෙළෙඳපොලේ සහල් හිඟයක් නිර්මාණය වු අතර පසුව රජය සහල් පාලන මිල ඉවත් කළා.

ඒ සමඟම මහා පරිමාණ වී මෝල් හිමියන්ද සහල් මිල ඉහළ දැමුවේ කීරි සම්බා කිලෝවක් රුපියල් 165 ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 140 ක් සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 115 ක් වශයෙන්.

කෙසේ වෙතත් මේ වන විට වෙළෙඳපොලේ මේ වන විට සහල් මිල තවදුටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පිටකොටුව සහල් තොග වෙළෙඳපොලේ කීරි සම්බා කිලෝවක් රුපියල් 220 ක්, සම්බා කිලෝවක් රුපියල් 150 ක් සහ නාඩු කිලෝවක් රුපියල් 140 ක් වැනි ඉහළ මිලකටයි අලෙවි වන්නේ.

ඒ අනුව සිල්ලර වෙළෙඳපොලේද සහල් මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සහල් මිල පාලනය කිරීමේ පියවරක් ලෙස රජය ඉන්දියාවෙන් සහල් මෙට්‍රික්ටොක් 1,00,000 ක් කොටස් වශයෙන් ආනයනය කිරීමට කටයුතු කළ අතර මේවන විට එම නාඩු සහල් සතොස මාර්ගයෙන් කිලෝවක් රුපියල් 98 ක මිලකට අලෙවි වනවා.

කෙසේ වෙතත් එහිදී පාරිභෝගිකින්ට ලබා දෙනු ලබන්නේ එකවරකට සහල් කිලෝ 5 ක් පමණයි.

මේ අතර ඉන්දියවෙන් ආනයනය කළ තවත් සහල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ (30) කොළඹ වරායට ළඟා වුණා. අද (31) සහ හෙට (01) ද ඉන්දියාවෙන් සහල් රැගෙන තවත් නෞකා දෙකක් (2) මෙරටට පැමිණීමට නියමිතයි.

එම සහල් ලබන සතියේ සිට සමූපකාර මෙන්ම සුපිරි වෙළෙඳ සැල් හරහා ලබා දීමටයි වෙළෙඳ අමාත්‍යංශය සැළසුම්කර ඇත්තේ. සහල් හිඟයට පිළියමක් ලෙස තවත් රටවල් දෙකකින් (2) ඉදිරියේදී සහල් ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් 150,000 ක් සහ පාකිස්ථානයෙන් සහල් මෙට්‍රික්ටොන් 50,000 ක් වශයෙන්. එමෙන්ම, මේ වනවිට වෙළඳපොලේ සීනි හිඟයක් ද වාර්තා වනවා.

පාරිභෝගිකයන් සහ වෙළඳසැල් හිමියන් පවසන්නේ වෙළඳපොලේ සහල් මිලද දිනෙන් දින ඉහල යමින් පවතින බවයි. මේ අතර වෙළෙඳපොලේ සිනි මිලද අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 122 ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 125 ක උපරිම සිල්ලර මිලක් ද පනවා ඇති පසුබිමකයි සීනි මිල ඉහළ ගොස් ඇත්තේ.

කෙසේ වෙතත් මේවන විටත් කොළඹ වරාය තුළ මුදා නොගත් සිනි බහාලුම් 200 ක් පමණ පවතිනවා. සිනි ආනයනයකරුවන් පවසන්නේ වෙළෙඳපොලේ පවතින සීනි අර්බුදය නිමා කිරීම සඳහා අවශ්‍ය ඩොලර් මෙතෙක් ලැබී නොමැති බවයි.

මේ අතර හිඟයකින් තොරව වෙළඳසැල් වෙත භාණ්ඩ සැපයීමට රජය මගින් අවශ්‍ය පියවර ගත යුතු බව සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හා සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

මේ අතර ඊයේ (30) දිනයේදීත් දඹුල්ල, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල් අසල දිගු පෝලීම් නිරීක්ෂණය වුණා. ඒ එම අලෙවි සැල් වෙත සිමෙන්ති තොග ලැබෙන බවට ප්‍රචාරය වීමත් සමගයි.

එමෙන්ම, කුරුණෑගල ප්‍රදේශයේ පෙදරේරුවෙකු සිය ඉදිකිරීම් සඳහා යොදා ගැනෙන උපකරණ රැගෙන ඊයේ (30) කුරුණෑගල නගර මධ්‍යයේ උපවාසයක් ආරම්භ කළා. ඒ, සිමෙන්ති සහ ටයිල් මිල අඩු කරන ලෙස රජයට බල කරමින්.

මේ අතර මැනිං තොග වෙළෙඳපොලේ එලවළු තොග මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා.

******************************************

මොරටුවේදී පොලිසියට පහරදුන් සිද්ධියට 18 ක් රිමාන්ඩ්

(31.10.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – මාදන්ගහවත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයින් 18 දෙනෙකු ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 10 දෙනෙකුද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

පෙරේදා (29) රාත්‍රියේ පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ නිලධාරීන් දෙදෙනා (2) මාදන්ගහවත්ත ප්‍රදේශයට ගොස් තිබුණේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් නිරාකරණය කිරීමටයි.

එහිදී පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති අතර, හිසට බරපතල තුවාල සිදුවූ එක් පොලිස් නිලධාරියෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

අනෙක් පොලිස් නිලධාරියාගේ පාදයකට බරපතල තුවාල සිදුව ඇති අතර, ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

මේ අතර, විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් (2) සමඟ කාන්තාවක් නුගේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් එක සිදුකළ විමර්ශනයකදීයි.

ගිනි අවි දෙක (2) සමඟ කාන්තාව කිරුලපන පොලිසියට භාර දී ඇති අතර, පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

අන්තර් පළාත් සංචරණ සීමා ඉවතට – බස් ධාවනය අද (31) ඇරඹෙයි – දුම්රිය හෙට (01) සිට

(31.10.2021 – 06:04 +0530 – hirunews.lk/sinhala)

පළාත් අතර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා අද (31) අලුයම හතරට (4) අවසන් කෙරුණා.

අන්තර් පළාත් සංචරණ සීමා අද (31) අළුයම 4 න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරුණේ ඒ සිකුරාදා (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදීයි.

නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

පවතින තත්ත්වය පාලනය කරමින් රට සාමාන්‍යකරණයට ගෙන ඒමේ ක්‍රියාවලියේ දී පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් වැඩි වගකීමක් ගත යුතු බව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ සියලු අංශ සම්බන්ධීකරණය කරමින් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථක කර ගැනීමට කැපවන ලෙසටයි.

කෙසේවෙතත් පළාත් අතර ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවා ආසනගත මගීන් සඳහා පමණක් ක්‍රියාත්මක විය යුතු බවයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

මේ අතර පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ අද (31) සිට අන්තර්පළාත් පොදු ප්‍රවාහන සේවා යළි ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළා.

ඒ යටතේ අන්තර් පළාත් දුර ගමන් සේවා බස් රථ 1,600 ක් පමණ ධාවනයට එක් කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා හිරු ප්‍රවෘත්තී අංශයට සඳහන් කළේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සුඛෝපභෝගී බස් රථද මගී අවශ්‍යතා අනුව අද (31) සිට ධාවනය කෙරෙන බවයි.

එමෙන්ම අද (31) සිට අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සියයට 50 ක ප්‍රමාණයක් ධාවනයට එක් කෙරෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ධාවනය පෙර පැවති සාමාන්‍ය තත්වයට පත් වීමට වසරක පමණ කාලයක් ගත වනු ඇති බවයි.

මෙලෙස බස් රථ ධාවනයට අවසර දී ඇත්තේ ආසනගත මගීන් සඳහා පමණක් බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කලේ.

එය උල්ලංඝණය කරන බස් රථ වල මාර්ග බල පත්‍ර අත්හිටුවීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර අද (31) දිනයේදීත් මෙතෙක් පැවති කාල සටහන් අනුවම දුම්රිය ධාවනය කෙරෙන අතර සාමාන්‍ය කාල සටහන් අනුව දුම්රිය ධාවන කටයුතු සිදු වන්නේ හෙට (01) දිනයේ සිටයි.

කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික දසනායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ හෙට (01) සිට ධාවනය කෙරෙන්නේද කාර්යාල දුම්රිය පමණක් බවයි.

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී මුව ආවරණ පැළදීම, දෑත් විෂබීජහරණය සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම යන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය වනවා.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මහජන ඒකරාශීවීම් තවදුරටත් තහනම් කර තිබෙනවා.

මේ අතර දිවයිනේ සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන මස 08 වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියළුම කතෝලික පාසල් සහ ඇංග්ලිකානු පාසල්වල ද 10, 11, 12, සහ 13 වැනි ශ්‍රේණී එදිනම විවෘත කිරීමට නියමිතයි.

මේ අතර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්තිද 50% ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වැනිදා සිට ආරම්භ කිරීමටද අවසර හිමිවී තිබෙනවා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි.

කොවිඩ් වසංගතය හමුවේ වසර දෙකක (2) පමණ කාලයක් දිවයිනේ පාසල් වසා දමා තිබූ අතර වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමග සියලු පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය 25 වැනිදා ආරම්භ කෙරුණා.

+++++++++++++++++

කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාව ලබාදීම හෙට (01) ඇරඹෙයි

(31.10.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයින්ට කොරෝනා මර්දන එන්නතේ 3 වන මාත්‍රාව ලබාදීම හෙට (01) ආරම්භ කෙරෙනවා.

හෙට (01) සිට මෙරට පුරවැසියන්ට කොරෝනා මර්දන එන්නත් තුන්වන (3) මාත්‍රාව ලබාදීම සඳහා වන සියලු කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

බූස්ටර් එන්නතක් මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කෙරෙන අතර එහිදී සෞඛ්‍ය, ආරක්ෂක හා සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ඇතුළු ඉදිරි පෙළ පිරිස් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එම වැඩපිළිවෙළ ආරම්භ කිරීම සඳහා මිලියනයක එන්නත් තොගයක් ලැබී ඇති අතර සෑම සතියකම ලක්ෂ 04 ක එන්නත් ප්‍රමාණයක් මෙරටට ලැබෙන බව ද ඔහු පෙන්වා දුන්නා.

විවිධ ආගමික මෙන්ම සම්ප්‍රදායික මත හේතුවෙන් එන්නත්කරණයට යොමු නොවූ පිරිස් ඒ සඳහා යොමු කරවීමට එවැන්නන් සොයා ගෙයින් ගෙට ගොස් එන්නත්කරණයට යොමු කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස ආරක්ෂා නොකළහොත් යළි වසංගත තත්ත්වය ඉහළ යා හැකි බවයි.

දිවයිනේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි නොවැම්බර් 08 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළා.

ඒ අනුව 10, 11, 12 සහ 13 ශ්‍රේණි මෙලෙස අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට කොවිඩ් මර්දන කමිටුවේ නිර්දේශ ලැබී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සියයට 50 ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වනදා සිට ආරම්භ කිරීමට ද අවසර හිමිවුණා.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මහජන ඒකරාශීවීම් තවදුරටත් තහනම් කර තිබෙනවා.

රැස්වීම් පැවැත්වීම, ආසන ධාරිතාවයෙන් තුනෙන් එකකට (1/3) සීමා කර ඇති අතර, එහි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 150 නොඉක්මවිය යුතුයි.

ඊයේ (30) දිනයේ කොරෝනා ආසාදිතයින් 565 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර, සුවය ලැබූ සංඛ්‍යාව 316ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *