නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් – සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහාත් අවසර

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් – සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහාත් අවසර

*********************************************

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් – සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහාත් අවසර

(30.10.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති 50% ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වනදා සිට ආරම්භ කිරීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි.

මීට අමතරව පළාත් අතර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා හෙට (31) අලුයම හතරට (4) අවසන් වන අතර, පළාත් අතර ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවා ආසනගත මගීන් සඳහා පමණක් ක්‍රියාත්මක විය යුතු බවයි එහි දැක්වෙන්නේ.

එසේම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මහජන ඒකරාශීවීම් තවදුරටත් තහනම් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද (30) නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පහතින් දැක්වෙනවා.

Press Release : Page [01][02][03]

දිවයිනේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති නොවැම්බර් 08 ඇරඹෙයි

(30.10.2021 – 14:50 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් මස 08 වන දින ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට කොවිඩ් මර්ධන කමිටුවේ නිර්දේශ ලැබී ඇති අතර, ඒ අනුව ඉහත ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

එසේම 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට මෙන්ම අතපසුවූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට අදාළ කටයුතු පිළිබඳවද මේ වනවිටත් අවධානය යොමුව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අද (30) දින මහනුවර දි දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව මේ පිළිබඳව අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,

“ඉතා ප්‍රශස්ත ලෙස හා උසස් සහභාගිත්ව අගයකින් යුතුව දිවයිනේ සියලුම පාසල් හි ප්‍රාථමික අංශ අධ්‍යයන කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදුවෙමින් පවතිනවා. එමෙන්ම නොවැම්බර් 08 වැනිදා සිට 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ලැබීම සිසු දරු දැරියන් ලද තවත් ජයග්‍රහණයක්. සෞඛ්‍ය නිර්දේශ ලද වහාම 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණි දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට මෙන්ම පවතින කාලරාමුව කළමනාකරණය කර අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීමත්, විභාග පැවැත්වීමට අදාල අංශ හා මේ වන විට සැලසුම් කිරිම ඉතා වැදගත්. එකී අධ්‍යයන කාලරාමුව තුළ නිවැරදිව ගමන් කිරීම තුළින් අ.පො.ස උසස් පෙළ හා 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2022 වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වීමේ ඉලක්කයන් කරා අපට ළඟා වීමට හැකිවනු ඇති. මේ තත්ත්වයන් යළි උදාකිරීමට කැපවූ විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, අනධ්‍යන කාර්ය මණ්ඩල, සෞඛ්‍යය කාර්ය මණ්ඩල, ඇතුලු දේශපාලන අධිකාරියට මෙන්ම දෙමව්පියන් ඇතුළු සම්බන්ධ සැමට අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ඇතුලු රජයේ ගෞරවය පුද කරනවා.”

******************************************

මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන සුළු පක්ෂ විශේෂ සාකච්ඡාවක

(30.10.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සුළු පක්ෂ කිහිපයක් එක්ව මේ වනවිට කොළඹ දී විශේෂ සාකච්ඡාවක නිරතවනවා.

උතුරු නැගෙනහිර සහ වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටින බවයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

වෙනත් රටවල මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අත්දැකීම් හුවමාරු කරගැනීමද මෙම සාකච්ඡාවේ දී සිදුකිරීමට නියමිතයි ෴

******************************************

අඩුපීඩනයේ බලපෑමෙන් දිවයින පුරා තද වැසි – බදුලුඔය පිටාර ගලයි

(30.10.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

අන්තර් මෝසම් කාලගුණය සහ දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි ඇතිවිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ (29) පස්වරුවේ බදුල්ලට ඇද හැලුණු තද වැසි හේතුවෙන් බදුළු ඔය පිටාර ගැලීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් එක් (1) අයෙකු අතුරුදන් වී ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

පසුව එම පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන ඇති බවට වාර්තාවුණා.

බදුල්ල දිස්ත්‍රික් සහකාර ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා සඳහන් කළේ අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 210 කට පමණ හානි සිදුව ඇති අතර, ඒවායේ සිටි පවුල් රැසක් පීඩාවට පත්ව ඇති බවයි.

එමෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක් ද බදුලු ඔය පිටාර ගැලීම නිසා ජලයෙන් යට වුණා.

බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයට දෙමෝදර ප්‍රදේශයේ දී පස් කන්දක් කඩාවැටීම සහ එම ප්‍රදේශවල මාර්ග කිහිපයක ද ඊයේ (29) ජලයෙන් යටව පැවතීම නිසා පැය කිහිපයක් ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ

කෙසේ වෙතත් මේ වනවිට බදුලු ඔයේ ජල මට්ටම පහත බැස ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් සහකාර ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (29) පස්වරුවේ ඇඳහැලු‍ණු අධික වාර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ජලය ගලාබසින කෙසෙල්ගමු ඔය පිටාර ගලා ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා.

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3 ක් ද ඊයේ (29) පස්වරුවේ විවෘත කෙරුණු අතර මේ වනවිට එහි දොරටු දෙකක් (2) වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත්, නුවරඑළිය සහ කදපොල ප්‍රදේශයේ තවත් පහත්බිම් රැසක් ඊයේ (29) ජලයෙන් යටවුණා.

මේ අතර ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු 3 ක් විවෘත කර තිබෙනවා.

නාවලපිටිය – වැලිගම්පොළ ප්‍රදේශයේ මහවැලි ගඟ හරහා ඉදිකළ වැල් පාලම වර්ෂාව හේතුවෙන් කඩාගෙන ගොස් තිබු අතර මේ හේතුවෙන් ගම්මාන 10 කට අයත් පුද්ගලයන් දහසක් පමණ පීඩාවට පත්ව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එසේම, අද (30) අලු‍යම් කාලයේ කොළඹට ඇදහැලු‍ණු වර්ෂාව හේතුවෙන් ස්ථාන කිහිපයක් ජලයෙන් යට වුණා.

අද (30) පෙරවරු 08:30 අවසන් වු ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වු මිලීමිටර් 215.4 ක් වාර්තා වුයේ නොරෝච්චෝලේ ප්‍රදේශයෙන්.

මේ අතර , ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පැවතීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට අද (30) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ.

******************************************

බකමූණේ ගොවීන් මාරාන්තික උපවාසයකට සැරසේ

(30.10.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

සිය පොහොර ගැටලුවට විසදුම් ලබානොදෙන්නේ නම් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව දැනට උපවාසයේ නිරත බකමුණ ප්‍රදේශයේ ගොවින් පවසනවා.

පසුගිය ඉරිදා (24) ආරම්භ කළ මෙම ගොවි උපවාසයට මහා සංඝරත්නය ද අද (30) සහාය පළ කරනු ලැබුවා.

මේ අතර, අදත් (30) දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවින් පොහොර ඉල්ලා විරෝධතාවල නිරතවුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ සංවිධානය කර තිබු ගොවි විරෝධතාවයකට ඊයේ (29) එක් වුණා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද පේරාදෙණියේ අද (30) පැවති උත්සවයකදී පොහොර අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පොහොර ඉල්ලා ක්‍රියාත්මක විරෝධතා පසුපස සිටින්නේ දේශපාලන පක්ෂ සාමාජිකයින් බවයි.

එසේම පවුල් ලක්ෂ 12 කට බීජ කට්ටල බෙදාදීම අනිද්දා (01) සිට ආරම්භ කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

******************************************

විදුලිබිල වැඩි නොකරන බවට ඇමතිගෙන් සහතිකයක්

(30.10.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

විදුලි බිල වැඩි කිරීමට කිසිදු සූදානමක් නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව සැළසුම් කර ඇති බවට වෘත්තිය සමිති එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ෴

******************************************

රාජ්‍ය සේවයේ උපාධිධාරී රැකියා පුරප්පාඩු ගැන සංගණනයක්

(30.10.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

උපාධිධාරීන් වෙනුවෙන් පවතින තනතුරු පුරප්පාඩු පිළිබඳ රාජ්‍ය ආයතනවලින් තොරතුරු රැස් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රකාශ කළා.

රාජ්‍ය ආයතනවල ඇති පුරප්පාඩු මෙන්ම ස්ථිර පත්වීම ලබාගත් සේවයේ නිරත පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳ සොයාබැලීමට මෙහිදී වැඩි අවධානයක් යෙමුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගත් අභ්‍යාසලාභි උපාධිධාරීන් ස්ථිර තනතුරුවල පිහිටුවීම සඳහා මෙම තොරතුරු ලබා ගන්නා අතර මේ වනවිට 58,000 කට අධික උපාධිධාරීන් පිරිසක් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයේ පුහණුව සදහා පත්වීම් ලබා දී තිබෙනවා.

අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන් රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරුවල පිහිටුවීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර, ඒ අනුව ඔවුන්ට කඩිනමින් ස්ථීර පත්වීම් ලබාදීමට කටයුතු කරන බවයි ෴

******************************************

ඔක්තෝම්බරයේ උද්ධමනය 7.6 ක්

(30.10.2021 – 16:09 +0530 – hirunews.lk/sinhala)

ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය සියයට 7.6 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළා. එය පසුගිය මාසයේදී සටහන් වූයේ සියයට 5.7 ක් ලෙසයි. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම සිදුවූ මිල ගණන් ඉහළ යාම මෙම තත්වයට හේතුවී තිබෙනවා ෴

******************************************

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) පහරදුන් කාන්තාවන් ඇතුලු 18 ක් අත්අඩංගුවට

(30.10.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – මාදන්ගහවත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) පහරදීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවන් 10 දෙනෙකුද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ (29) රාත්‍රියේ පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ නිලධාරීන් දෙදෙනා (2) මාදන්ගහවත්ත ප්‍රදේශයට ගොස් තිබුණේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් නිරාකරණය කිරීමටයි.

එහිදී පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති අතර, හිසට බරපතල තුවාල සිදුවූ එක් පොලිස් නිලධාරියෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

අනෙක් පොලිස් නිලධාරියාගේ පාදයකට බරපතල තුවාල සිදුව ඇති අතර, ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

මේ අතර, කළුතර – බෝම්බුවල ප්‍රදේශයේදී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදුන් සිද්ධියකට අදාළව ද කාන්තාවන් තුන්දෙනෙකු (3) ඇතුලු හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

******************************************

ගොවීන් අදත් (30) විරෝධතාවයේ

(30.10.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

ඉහළ කාර්යක්ෂමතාවක් සහිත ආර්ථික වශයෙන් ලාභදායී පරිසර හිතකාමී නැනෝ පොහොර නිෂ්පාදනයට තවමත් ක්‍රියාකාරී සැළැස්මක් රට තුළ නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය පවසනවා.

බී.බී.සී. සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ එවකට කටයුතු කළ මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය ඇතුලු පර්යේෂණ කණ්ඩායමක් විසින් මීට වසර 11 කට පමණ පෙර නැනෝ පොහොර නිෂ්පාදනයට අදාළ තාක්ෂණය ලොවට හඳුන්වා දුන්නා.

කෙසේ වෙතත් එහි පේටන්ට් අයිතිය ඉන්දීය පොහොර සමාගමක් මගින් මෙරටින් මිලදී ගත් අතර, මේ වනවිට සිදුව ඇත්තේ ඉන්දියාවෙන් එම නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමට රජය කටයුතු කිරීමයි.

එවන් තත්වයක් තුළ මෙරට තුළ සිදු කෙරෙන පර්යේෂණ සහ ඊට අදාළව ලැබෙන ආයෝජන සහය සම්බන්ධයෙන් ඇය බී බී සී සිංහල සේවය සමඟ මෙලෙස අදහස් පළ කළා.

මේ අතර පොහොර ඉල්ලා සිදුකරන පොළොන්නරුව – බකමූණ ප්‍රදේශයේ ගොවි උපවාසයට මහා සංඝරත්නයද අද (30) සහය පළ කළා.

මේ අතර, අදත් (30) දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවින් පොහොර ඉල්ලා විරෝධතාවල නිරතවුණා.

මහ කන්නය ආරම්භ වී මාස එකහමාරක (1½) කාලයක් ඉක්මවා ගොස් තිබුණ ද තවමත් පොහොර නොලැබීම හේතුවෙන් තම වගා කටයුතු අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා කෘෂිකර්ම උපදේශකවරුන්ගේ වෘත්තිය සම්මේලනයේ සභාපති ඒ.එන්. උදයසිරි මහතා ප්‍රකාශ කළා.

මේ අතර ලිතුවේනියාවේ සිට මෙරටට අනයනය කරන ලද කාබනික පොහොර තොගයක් මහ කන්නය සඳහා ගොවීන්ට බෙදාදීමට මින්නේරිය – හිඟුරක්ගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත රැගෙන විත් තිබෙනවා.

එමෙන්ම දේශීය ශාඛසාර යොදාගනිමින් දියර පොහොරක් නිෂ්පාදනය කර එය, කහ වගාවට යොදා සාර්ථක අස්වැන්නක් ලැබූ උපාධිධාරිනියක පිළිබඳ පුවතක් – දඹුල්ල කණ්ඩලම කුඹුක්කදන්වල ප්‍රදේශයෙන් වාර්තාවනවා.

******************************************

ප්‍රදේශ රැසකට තද වැසි – ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

(30.10.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින බැවින් උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද (30) රාත්‍රියේ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සෙසු පළාත්වලටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි , එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

අධික වර්ෂාවත් සමඟ බදුලු‍ ඔය, පිටාර ගැලීම හේතුවෙන් බදුල්ල, සුමනතිස්සගම, උයන්වත්ත, යාම්පානම්වත්ත, දෙමෝදර, හල්පේ සහ උඩුවර යන ප්‍රදේශවල නිවාස 200 ක පමණ ජනතාව දැඩි පීඩාවට ලක්වුණා.

බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටව තිබූ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (29) පස්වරුවේ ඇදහැලු‍ණු අධික වර්ෂාව හේතුවෙන් කෙසෙල්ගමු ඔය පිටාර ගැලූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3 ක් ඊයේ (29) පස්වරුවේ සිට විවෘත කළ අතර, ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු 3 ක් ද විවෘත කර තිබෙනවා. දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් (4) ද අද (30) පස්වරුවේ විවෘත කිරීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ගතවූ පැය විසි හතර (24) තුළ වැඩිම වර්ෂාපතනය නොරොච්චෝලේ ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර, එය මිලිමීටර 215.4 ක්.

******************************************

ඉන්දීය සහල් නැවක් කොළඹ වරායට ළඟාවේ – තවත් සහල් තොග පාකිස්ථානයෙන් සහ මියන්මාරයෙන්

(30.10.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපලේ සහල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට පිටකොටුවේ සහල් වෙළඳසැල්වල නාඩු කිලෝවක් රුපියල් 140 කට, සම්බා රුපියල් 150 කට සහ කීරී සම්බා රුපියල් 220 කට අලෙවි වන බවයි වාර්තා වුණේ.

මෙවන් පසුබිමක් තුළ ඊට විසඳුමක් ලෙස ඉන්දියාවට අමතරව පාකිස්ථානය මෙන්ම මියන්මාරය යන රට වලින්ද සහල් ආනයනය කරන බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළා.

පසුගිය මාස වල සහල් මිල ඉහළ යාම හේතුවෙන් සහල් සඳහා පාලන මිලක් පැනවූ අතර කෙසේ වෙතත් ඉන් පසු වෙළඳපොලේ නිර්මාණය වූ සහල් හිඟය හේතුවෙන් එම පාලන මිල ඉවත් කිරීමටයි රජය කටයුතු කළේ.

පසුව මහා පරිමාණ මෝල් හිමියන් නව මිලක් ප්‍රකාශ කළා. ඒ නාඩු සහල් කිලෝව රුපියල් 115 ක් සම්බා සහල් කිලෝව රුපියල් 140 ක් සහ කීරී සම්බා කිලෝව රුපියල් 165 ක් වශයෙන්.

කෙසේ වෙතත් එම මිලද අභිබවා මේ වන විට වෙළඳ පොලේ සහල් මිල තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.

සහල් මිල පාලනය කිරීමේ පියවරක් ලෙස රජය, ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් (1,00,000) කොටස් වශයෙන් ආනයනය කිරීමට කටයුතු කළ අතර මේ වන විට එම සහල් සතොස හරහා කිලෝව රුපියල් 98 කට අලෙවි වනවා.

කෙසේ වෙතත් එහිදී එක් පාරිභෝගිකයෙකුට වරකට ලබා දෙන්නේ සහල් කිලෝ 5 ක් පමණයි.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ සහල් වලින් තවත් තොගයක් අද (30) කොළඹ වරායට ලඟා වූ බව වෙළඳ අමාත්‍යංශය සඳහන් කළා. හෙට (31) සහ අනිද්දා (01) ද ඉන්දියානු සහල් රැගෙන තවත් නෞකා දෙකක් (2) මෙරටට ළඟාවීමට නියමිතයි.

ඉන්දියවෙන් ආනයනය කරන නාඩු සහල් ලබන සතියේ සිට සමූපකාර මෙන්ම සුපිරි වෙළඳ සැල් හරහාද අලෙවි කිරීමටයි සැළසුම් කර ඇත්තේ. සහල් හිඟයට පිළියම් වශයෙන් තවත් රටවල් දෙකකින් (2) ඉදිරියේදී සහල් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස්දහසක් (1,50,000) සහ පාකිස්ථානයෙන් මෙට්‍රික් ටොන් පනස්දහසක් (50,000) වශයෙන්.

වෙළඳපොලේ සහල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක සීනී කිලෝ ග්‍රෑමයක මිලද රුපියල් 210 ඉක්මවා ගෙස් තිබෙනවා.

ඒ සුදු සීනී කිලෝවක් සඳහා රුපියල් 122 ක් හා දුඹුරු සීනී කිලෝවක් සඳහා රුපියල් 125 ක උපරිම මිලක් පනවා ඇති තත්වයකයි.

කෙසේ වෙතත් මේ වන විටත් කොළඹ වරාය තුළ නිදහස් කර නොගත් සීනි බහාලුම් 200 ක් පමණ පවතිනවා.

සීනි ආනයනකරුවන් පවසන්නේ වෙළඳපොලේ පවතින සීනි අර්බුදය නිමා කිරීම සඳහා අවශ්‍ය ඩොලර් මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ සඳහා මහ බැංකුවේ මැදිහත් වීම අපේක්ෂා කරන බවද ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට අවස්ථා කිහිපයකදී සඳහන් කළා.

මේ අතර දිවයිනේ බෙහෝ ප්‍රදේශ වල එළවළු මිල ගනන්ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පෑලියගොඩ මැනින් තොග වෙළදපොල් කැරට් සහ ලීක්ස් කිලෝවක මිල අද (30) රුපියල් 100 ත් 120 ත් අතර අගයක පැවති අතර බෝංචි කිලෝව රුපියල් 180 ත් 200 ත් අතර මිලකට ඉහළ ගොස් තිබෙනවා.

එසේම වෙළඳපොලේ ලොකු ලූණු මිලද ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනය පෙන්වා දෙන ආකාරයට පිටකොටුව තොග වෙළඳපොලේ ආනයනික ලොකු ලූණූ කිලෝව රුපියල් 150 ත් 180 ත් මිලකට පවතිනවා.

එම ආයතනයට අනුව දේශීය ලොකු ලූණූ කිලෝවක මිල දැක්වෙන්නේ රුපියල් 170 ත් 190 ත් අතර පරාසයකයි. සිල්ලර වෙළඳපොලේ ලොකු ලූණු රුපියල් 220 ඉක්මවා අලෙවි වන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

******************************************

ජනපති ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් වෙත ළඟා වෙයි

(30.10.2021 – 21:06 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP:26) සහභාගීවීම සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් වෙත ළඟාවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

එරට වේලාවෙන් අද (30) ප.ව 12.40ට ග්ලාස්ගොව් අන්තර් ජාතික ගුවන්තොටුපොළට ළඟාවූ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය විසින්.

දේශගුණික විපර්යාස සහ ඊට මුහුණදෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වෙනවා.

නොවැම්බර් 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබෙනවා.

“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වතුන්, ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන 25,000ක පමණ පිරිසක් සහභාගී වනවා.

එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වනවා.

******************************************

හෙට (31) කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්

(30.10.2021 – 22:06 +0530 – hirunews.lk/sinhala)

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (31) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී දේහය රැගත් රථ පෙරහැර ගමන් කරන මාර්ග පිළිබඳව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙනවා.

පොලීසිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම මාර්ගවල වාහන තදබදයක් ඇතිනොවන පරිදි අදාළ කාලයේදී විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන ලෙසය.

[ වැඩි විස්තර ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *