අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ Z-score අගයන් නිකුත් වෙයි

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ Z-score අගයන් නිකුත් වෙයි

*********************************************

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ Z-score අගයන් නිකුත් වෙයි

(29.10.2021 – 15:24 +0530 – hirunews.lk/sinhala)

2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් Z-score අගයන් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ACADEMIC YEAR 2020/2021 Minimum Z-Scores

(Based on the results of the G.C.E (A/L) Examination 2020 – before re-srcutiny)

+ https://www.ugc.ac.lk/

2020 උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ස්කෝර් අගයන් අද (29) පස්වරුවේ නිකුත් කෙරුණා.

ඒ අනුව, අධ්‍යයන උපාධි පාඨමාලා 130 සඳහා, සිසුන් 41,510 දෙනෙකු විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබා ඇති බවයි විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචර්ය සම්පත් අමරතුංග මහතා කොළඹ අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

මේ අතර, විශ්ව විද්‍යාල පද්ධතියට අලුතින් උපාධි පාඨමාලා 16 එකතු කර තිබෙනවා.

එමෙන්ම, එන්නත් මාත්‍රා දෙකම (2) ලබා ගෙන සති දෙකක් (2) ගත වීමෙන් පසුව විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා සිසුන් සහභාගි විය යුතු බවයි එම මාධ්‍ය හමුවට එක්වෙමින් විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

පුද්ගලයින්ට පහර දීමේ චෝදනා ලැබූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ස්ථාන මාරුවක් ලබද්දී කොස්තාපල්වරයාට රාජකාරි තහනමක්

(29.10.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

ගත වූ කාල සීමාව දෙස හැරී බැලීමේ දී අවස්ථා දෙකක (2) දී පොලිසිය විසින් සිවිල් වැසියන්ට පහර දීමේ සිදුවීම් දෙකක් (2) වාර්තා වුණා.

ඉන් එකක් පොලිස් කොස්තාපල්වරයෙකු හා අනෙක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හා සම්බන්ධවයි.

ගත වූ 23 වැනි දා මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ රථවාහන රාජකාරි සිදු කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් මෙම එක පහර දීමක් සිදු කළ බව වාර්තා වුණා.

මෙම කොස්තාපල්වරයා, රථවාහන පරීක්ෂා කරන අතර වාරයේ දී රාජකාරියට හා පරීක්ෂාවන්ට බාධා වෙන අයුරින් ගමන් කළා යැ යි පවසමින්, තරුණයින් දෙදෙනෙකුට (2) බරපතළ ලෙස පහර දී තිබුණා.

නොනවත්වා ධාවනය කළ අදාළ යතුරුපැදිය පසුපස හඹා ගොසිනුයි කොස්තාපල්වරයා මෙම පහර දීම සිදු කළේ.

උක්ත සිද්ධිය, අසල සිටි පුද්ගලයෙකු වීඩියෝගත කර තිබූ අතර, සිද්ධිය පිළිබඳ විමර්ශනවලින් අනතුරු ව අදාළ කොස්තාපල්වරයා අත් අඩංගුවට ගත්තා.

අධිකරණයට ද ඔහු ව ඉදිරිපත් කර තිබූ අතර, කොස්තාපල්වරයාට සිදු වුණේ වැඩ තහනම් වී ගෙදර යන්නටයි.

මීට අදාළ අනෙක් සිද්ධිය වාර්තා වුණේ, 25 වැනි දා රත්නපුර – කිරිඇල්ල මාර්ගයේ ගොරකාඇළ ප්‍රදේශයෙන්.

එම පහර දීම සිදු කළේ, සබරගමුව පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින්.

මෙම පහර කෑමට හේතු වූ පුද්ගලයා සිදු කර තිබූ වැරැද්ද ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා හඳුනාගෙන තිබුණේ, අදාළ පුද්ගලයා විසින් තමන්ගේ නිල රථය පසු කර ධාවනය කිරීමයි.

එම රථය හරස් කොට වාහනය නැවැත් වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි සිටි පුද්ගලයාට පහර දී තිබුණා.

එම සිදුවීම ද කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝගත කර තිබූ අතර, ඒ පිළිබඳ සමාජ මාධ්‍යය තුළ මහත් කතා බහකට ලක් වුණා.

රන්මල් කොඩිතුවක්කුගේ සිද්ධිය සම්බන්ධ ව පරීක්ෂණයක් සිදු කළ පොලිස්පතිවරයා ඔහුට ලබා දී තිබුණේ අපූරු දඬුවමක්.

ඒ රන්මල් කොඩිතුවක්කු ව සබරගමුවේ සිට පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කර යැවීමයි.

‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’ යන ආදර්ශයෙන් ක්‍රියා කරන පොලිසියේ මෙවන් පහර දීම් අතිශය ජුගුප්සාජනක වනවා මෙන් ම, ඒ පිළිබඳ ව මෙවැනි හැඳි දෙකේ දඬුවම් දීම ද අතිශයින් අශිෂ්ට ය.

තරු හා කළු පටි නො පැළඳි කොස්තාපල්වරයාට එසැවුණු නීතියේ අත, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවේ දිරා ගිය පරඬැලක් මෙන් වුයේ කෙසේ ද? කාගෙ වුවමණාවට ද? කවුරුන් පැවසූ නිසා ද? කාගේ අණ කිරීමක් නිසා ද?

මෙවැනි ප්‍රශ්න ගණනාවකට පිළිතුරු අපේක්ෂාවෙන් සිටින මහජනයාට, පොලිසිය බඳින උත්තර මොනවා ද?

ඒ පිළිබඳ පොලිසිය විසින් අපක්ෂපාතී, පැහැදිලි හා නි‍රවුල් පිළිතුරක් දෙනු ඇතැ යි අපි අපේක්ෂා කරමු ෴

******************************************

ඖෂධ නියාමන අධිකාරියට පනත තුළින් බලයක් පවරා නෑ – පංච (5) පුද්ගල කමිටුවෙන් හෙළිදරව්වක්

(29.10.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ ආනයන බලපත්‍රයක කොන්දේසි උල්ලංඝනයකදී ඊට එරෙහිව පියවරක් ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට පනත තුළින් බලයක් පිරිනමා නොමැති බව, එම අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල විශේෂ කමිටුව අනාවරණ කරනවා.

එම කමිටු වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් ඒකාධිකාරයක් පවත්වාගෙන යමින් ජනතාවට අකාර්යක්ෂම සේවාවක් සපයන බව ද නිරීක්ෂණය වී ඇති බවයි.

******************************************

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර තොගයක් ත්‍රිකුණාමලයට

(29.10.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය කාබනික පොහොර එම දිස්ත්‍රිකයේ පොහොර මධ්‍යස්ථාන 7ක් වෙත මේ වන විට ලබා දී තිබෙනවා.

මේ අතර, වගාවන් සඳහා පොහොර ඉල්ලා පොළොන්නරුව – බකමූණ ප්‍රදේශයේ ගොවි සංවිධාන කිහිපයක් එක්ව ක්‍රියාත්මක කරන උපවාසය අද (29) හයවැනි දිනටත් ක්‍රියාත්මක අතර, තවත් ප්‍රදේශවල විරෝධතා සහ උද්ඝෝෂණ ද පැවැත්වුණා.

******************************************

සිරකරු විරෝධතාවෙන් බන්ධනාගාරයේ චැපල් අංශ වහලයට රුපියල් මිලියනයකට අධික අලාභයක්

(29.10.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

සතියකට වැඩි කලක් වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලය මත සිරකරුවන් පිරිසක් විසින් සිදු කළ විරෝධතාව හේතුවෙන් එම අංශයේ වහලයට රුපියල් මිලියනයකට අධික අලාභ හානියක් සිදු වී ඇති බව බන්ධනාගාර ඉංජිනේරු අංශය තක්සේරුකර තිබෙනවා

තමන්ට පොදු සමාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලය මතට පසුගිය 20 වැනි දා රැඳවියන් 13 දෙනෙකු ගොඩ වී විරෝධතාවක් ආරම්භ කළා.

පසු වූ එම විරෝධතාවට සහයෝගය පළ කරමින් තවත් බන්ධනාගාර රැඳවියන් 56 දෙනකු එක් වුණා.

මෙම විරෝධතාවට එක් වූ බොහෝ පිරිසක් බන්ධනාගාර කොමසාරිස්වරයාගේ සහ අනෙක් කොමසාරිස්වරුන්ගේ ඉල්ලීම්වලට කන් දෙමින් විරෝධතාව අවසන් කළද සිරකරුවන් අට දෙනකු (8) පමණක් සිය ස්ථාවරයේ දැඩිව රැඳී සිටිමින් ඔවුන්ගේ විරෝධතාව දිගින් දිගටම දියත් කළා.

මෙම විරෝධතාකරුවන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටි බන්ධනාගාර ආරක්ෂක අංශවලට පසුගිය 27 වැනි දා නිරීක්ෂණය වී ඇත්තේ එයට එක්ව සිටි විරෝධතා කරුවන් අතරින් එක් අයෙකු (1) අසනීප තත්ත්වයේ පසුවන බවයි.

ඒ අනුව අසනීපව සිටින බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිපාදන යටතේ ගතයුතු ක්‍රියාමාර්ග අනුව බන්ධනාගාර උපක්‍රමික බලකාය විසින් මෙහෙයුමකින් පසුව උපක්‍රමශීලීව ඔවුන් 08 දෙනා වහලයෙන් බීමට බැස්වීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර බන්ධනාගාර විෂයභාර අමාත්‍ය අලි ෂබ්‍රි පැමිණ විරෝධාතාකරුවන් සමඟ සාකච්ඡාකර අදාල පොදු සමාව ලබා දිමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත් ඉදිරියේදි මෙම සමාවන් ලබාදීම සිදුවන බව පවසා සිටියද විරෝධාතාවයේ යේදී සිටි සිරකරුවන් එම යෝජනාව පිලිගත්තේ නැහැ.

කෙසේ වෙතත් මෙම විරෝධතාවල යෙදුණ සිරකරුවන් රජයේ දේපොළවලට හානි කිරීම සහ අනෙක් සිරකරුවන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වෙත පැමිණිලිකිරීමෙන් පසු විමර්ශන කටයුතු සිදු කරන අතර බන්ධනාගාර නීතිරීතිවලයට අදාලව බන්ධනාගාරය තුල කලහාකාරී ලෙස හැසිරීම, නිලධාරීන්ට අවනත නොවීම හා රජයේ දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් වෙත ද මොවුන් ඉදිරිපත් කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

******************************************

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය ලබා ගැනීමට කලින් වේලාවක් වෙන් කරගැනීමේ පහසුකම ජනතාවට

(29.10.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීම සඳහා සියලු දිස්ත්‍රික් කාර්යාලවලින් අද (29) සිට කලින් වේලාවක් වෙන් කරගත හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා දිස්ත්‍රික් දුරකතන කේතය සමග 211 7116 යන දුරකතන අංකයට (0¤¤ 211 7116) ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

එය උදාහරණ ලෙස ‘ගාල්ල : 091 211 7116’ යනුවෙන් එම දෙපාර්තමේන්තුව විසින් දක්වා තිබෙනවා.

******************************************

2020 විගණකාධිපති වාර්ෂික වාර්තාව කතානායකට පිළිගන්වයි

(29.10.2021 – 15:29 +0530 – hirunews.lk/sinhala)

2020 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාව, විගණකාධිපති ඩබ්ලිව්. පී.සී. වික්‍රමරත්න මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

ඒ ඊයේ (28) ජාතික විගණන කාර්යාලයේදීයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වනවා.

එම කාර්ය වඩාත් ඵලදායී ලෙස සිදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවෙන් විගණකාධිපතිවරයාට පැවරී ඇති කාර්යභාරයට අනුවයි, 2020 වසරට අදාළව මෙම විගණන වාර්තාව ඉදිරිපත් කෙරුණේ.

මේ අනුව අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, අධිකාරී , මණ්ඩල හා ව්‍යවස්ථාපිත අරමුදල්, පළාත් සභා , පළාත් පාලන ආයතන , විදේශ ආධාර ව්‍යාපෘති ඇතුළු ආයතනවලට අදාළව සිදු කළ විගණනයන් කාණ්ඩ 09 ක් යටතේ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා ෴

******************************************

ලබන ඉරිදා (31) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

(29.10.2021 – 15:58 +0530 – hirunews.lk/sinhala)

අතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් ලබන ඉරිදා (31) ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් හා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඉරිදා පස්වරු 2 ට නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

එබැවින් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමටයි රජය තීරණය කර ඇති බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමට යුතු වනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල පිහිටා ඇති බලපත්‍ර ලත් සියලු සුරාසැල් ඉරිදා දිනයේ වසා තැබිය යුතු බවට සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

******************************************

හදිසි වැස්සකින් ප්‍රදේශ කිහිපයක් යට වෙයි

(29.10.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල, හාලිඇල, ඇල්ල සහ පස්සර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (29) පස්වරුවේ පැය 3 ක කාලයක් ඇදහැලුණු ක්ෂණික දැඩි වර්ෂාපතනය හේතුවෙන් නායයාම් සහ ගස් කඩා වැටීම් ඇතුළු ආපදා තත්ත්වයන් කිහිපයක් වාර්තා වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අනුව අවදානම් ප්‍රදේශවල ජනතාව අද (29) රාත්‍රියේදී ආරක්ෂිත මධ්‍යස්ථාන කරා රැගෙන යාමට කටයුතු කරන බවයි.

එසේම, මධ්‍යම කඳුකරයේ තවත් ප්‍රදේශ රැසකට ද මේ වනවිට දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින අතර, කාසල්රී ජලාශයට ජලය සපයන කෙසෙල්ගමුවඔය ද පිටාර ගලා තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බවයි ෴

******************************************

අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන සාකච්ඡාවක්

(29.10.2021 – 23:15 +0530 – hirunews.lk/sinhala)

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුතුමන්ලා සහ පක්ෂ විපක්ෂ කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් අද (29) පැවැත්වුණා.

එහිදී පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *