මහජන බැංකුව අසාදු ලේඛන ගත කෙරේ – චීන තානාපති කාර්යාලය

මහජන බැංකුව අසාදු ලේඛන ගත කෙරේ – චීන තානාපති කාර්යාලය

*********************************************

මහජන බැංකුව අසාදු ලේඛන ගත කෙරේ – චීන තානාපති කාර්යාලය

(29.10.2021 – 11:50 +0530 – hirunews.lk/sinhala)

හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට එවීමට තැත් කළ චීන සමාගමට අධිකරණයේ නියෝගයක් මත ණය වර ලිපි යටතේ ගෙවීම් සිදු නොකිරීම නිසා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වානිජ දෙපාර්තමේන්තුව මගින් මහජන බැංකුව අසාදු ලේඛනගත කර තිබෙනවා.

ලංකා පොහොර සමාගම විසින් චින්දාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණය විසින් තවත් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

එමඟින් චින්දාඕ චීන සමාගම වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් කළ නොහැකිවන ලෙසටයි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල වෙබ් අඩවියේ දැක්වෙන්නේ අදාළ ගෙවීම් සිදු කිරීම පැහැර හැරීම නිසා මෙරට රාජ්‍ය බැංකුව ණයවර ලිපි සම්බන්ධයෙන් අවදානම් සහගත වන බවයි.

චින්දාඕ චීන සමාගමට අදාළ ගෙවීම සිදු නොකිරීමෙන් ජාත්‍යන්තර වෙළඳාමේ නිරත චීන ව්‍යාපාරයකට විශාල පාඩුවකට මුහුණදීමට සිදුව ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.

මේ නිසා අවදානම් පාලන පියවරක් ලෙස ශ්‍රී ලංකාව සමඟ සිදු කරන ජාත්‍යන්තර වෙළඳ ගණුදෙනුවලදී මහජන බැංකුව මගින් නිකුත් කරන ණයවර ලිපි භාර නොගන්නා ලෙස සියලුම චීන ව්‍යවසායන්ට දැනුම් දෙන බවද තානාපති කාර්යාලයේ වෙළඳ හා වානිජ කාර්යාලය සඳහන් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් මහජන බැංකුව ප්‍රකාශ කර ඇත්තේ, ඉහත ගණුදෙනුවලට අදාළ ණයවර ලිපිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති අධිකරණ නියෝගයක් බල පවත්වන බවයි.

ඒ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය දැනුවත් කිරීම දැනටමත් සිදු කර තිබෙනවා.

අදාළ අධිකරණ නියෝගය ඉවත් කළ විට සාමාන්‍ය පරිදි මෙම ණයවර ලිපියට අදාළ ගෙවීම් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි මහජන බැංකුව අවධාරණය කළේ.

******************************************

මූඩීස් ශ්‍රේණිගත කිරීමට මහ බැංකුවෙන් පිළිතුරු

(29.10.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

මූඩීස් ජාත්‍යන්තර ආයෝජන සේවාව මඟින් මෙරට ක්‍රයශක්ති වර්ගීකරණය පහත හෙළීම කාලානුරූප නොවන බව මහබැංකුව පවසනවා.

2022 අයවැය ප්‍රකාශයට පත් කිරීමට ආසන්නව සිටිද්දී එම පියවර ගැනීම රජයේ මූල්‍ය සැළසුම් වටහා ගැනීමෙන් තොරව සිදු කර ඇති බවයි එමඟින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මූඩීස් ආයෝජන සේවාව මගින් මෙරට දිගුකාලීන විනිමය නිකුත් සහ ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත ණය වර්ගීකරණය Caa1 සිට Caa2 දක්වා පහත හෙළනු ලැබුවා.

ඒ සඳහා මූඩිස් ආයතනය සලකා බලා ඇත්තේ මෙරට කල්පිරෙන විදේශ විනිමය බැඳුම්කර සහ විදේශ විනිමය සංචිත පහත වැටීමයි.

කෙසේ නමුත් මෙහිදී මෙරට සුභවාදී වර්ධනයන් සැලකිල්ලට ගෙන නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ අදහසයි.

එමෙන්ම එමඟින් නැඟී එන වෙළඳපොළවල ධනාත්මක වර්ධනයන් සහ අපේක්ෂාවන් සිතාමතාම නොසලකා හරිමින් ඍණාත්මක අවදානම් හුවා දැක්වීමට කටයුතු කරන බව ද මහ බැංකුව පෙන්වා දෙනවා.

එය, අදාළ ආයෝජන සේවා සමාගම්වල බරපතළ පාලන දුර්වලතා පිළිබිඹු කරන බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

******************************************

යුගදනවි ‍රැකගන්න ලංවිම වෘත්තිය සමිතිවලින් පෙත්සමක්

(29.10.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකානු සමාගමක් සමඟ එළඹ ඇති ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය අද (29) දීපව්‍යාප්තව විරෝධතා සහ පෙත්සම් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

දිවයින පුරා පිහිටි විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාල ඉදිරිපිටදී අද (29) දහවල් මෙම විරෝධතා පවත්වන බවයි එම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ ෴

******************************************

කාදිනල් හිමිපාණන්ගෙන් කතෝලික මන්ත්‍රිවරුන්ට කැඳවීමක්

(29.10.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් අතර හමුවක් අද (29) පැවැත්වෙනවා.

බොරැල්ල – බැල්කොම් පෙදෙසේ පිහිටි රදගුරු සංසදයේ නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ සඳහා රදගුරු පදවි දොළහ (12) නියෝජනය කරන සියලු රදගුරුවරුන් එක්වීමට නියමිතයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු වන පරීක්ෂණ කටයුතු පිළිබඳව සහ ඉදිරියේදී එළැඹිය යුතු නෛතිකමය ක්‍රියාමාර්ග ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සඳහන්.

පාස්කු ප්‍රහාරයට මාස 30 ක් ගතවීම නිමිත්තෙන් පසුගිය දා පැවති විශේෂ දේව මෙහෙයකදී කාදිනල් හිමිපාණන් සඳහන් කළේ, යුක්තිය ඉල්ලා තමන් ඇතුළු කතෝලික සභාව වෙනත් මඟකට යොමුවීමට පෙර සත්‍යය හෙළි කිරීම බලධාරීන්ගේ වගකීමක් බවයි ෴

******************************************

ළමයින් සහ කාන්තාවන් වෙනුවෙන් පොලිස් කොට්ඨාස දෙකක් (2)

(29.10.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පොලිස් කොට්ඨාශ දෙකක් (2) ලෙස ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති සමාජමය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අධීක්ෂණය යටතේ මෙතෙක් ක්‍රියාත්මක වූ ‘පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය’ ඉදිරි දින කිහිපය තුළදී කොට්ඨාශ දෙකක් (2) ලෙස ක්‍රියාත්මක වනු ඇති.

ඉන් එක් කොට්ඨාසයක් ළමයින්ගේ හා කාන්තාවන්ගේ නීතිමය රැකවරණය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන අතර, එම ඒකකයට වෙනමම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් පත් කිරීමට නියමිතයි.

එමෙන්ම, ළමයින් හා කාන්තාවන් සම්බන්ධයෙන් ඉදිරිපත් වන අපචාර ඇතුළු විෂමාචාර ක්‍රියා පිළිබඳව විමර්ශනය කිරීමට තවත් කොට්ඨාසයක් වෙනම ස්ථාපිත කෙරෙනවා.

එම කොට්ඨාසයද වෙනමම අධ්‍යක්ෂවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙහිදී විමර්ශන අංශය භාරව නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා කටයුතු කරන අතර, නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය ළමා හා කාන්තා නීති සවිබල ගැන්වීමේ ඒකකය භාරව කටයුතු කරනු ඇති.

එළැඹෙන නොවැම්බර් 01 වැනි දා සිට ඒකක ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් ලබාදී ඇත්තේ ෴

******************************************

කාබනික පොහොර සාම්පල ආනයනය සඳහා බලපත්‍ර 100 කට වැඩි සංඛ්‍යාවක්

(29.10.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර සාම්පල ආනයනය සඳහා මේ වනවිට ආනයන බලපත්‍ර 100 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇති බව ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පවසනවා.

ඔහු කියා සිටියේ, මෙරටට කාබනික පොහොර ආනයනයේදී ශාක ආනයන බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය බවයි.

එහිදී ආනයනකරු ඒ සඳහා වන විස්තර සහිත ඉල්ලීමක් ජාතික පොහොර ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර එහි නිර්දේශ සහිතව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ද අනුමැතිය ලබා ගත යුතු වනවා.

ඉන් අනතුරුවයි කරුණු සලකා බැලීමෙන් පසුව ජාතික ශාක නිරෝධායන සේවය අදාළ සාම්පල ආනයනය සඳහා ආනයන බලපත්‍රයක් නිකුත් කරනු ලබන්නේ.

මේ අතර, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වගා කටයුතු සඳහා අවශ්‍ය කාබනික පොහොර එම දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 7 ක් වෙත ලබා දී තිබෙනවා.

පොහොර ලබාදෙන ලෙස ඉල්ලා පොළොන්නරුව – බකමූණ ප්‍රදේශයේ ගොවි සංවිධාන 41 ක නියෝජිතයන් එක්ව ආරම්භ කළ අඛන්ඩ උපවාසය අද (29) 6 වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර, පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇළහැර ගොවිජනපද ව්‍යාපාරයේ මහා කන්නයේ වගාවන් සඳහා මොරගහකන්ද ජලාශයෙන් යෝධ ඇළ ඔස්සේ නිකුත් කළ ජලය කිසිදු ප්‍රයෝජනයකින් තොරව අපතේ යන බවට ගොවීන් චෝදනා කරනවා.

උඩරට එළවළු වගාව සඳහා රසායනික පොහොර හා කෘෂි රසායනික ඉල්ලා බෙරලන්ද ගොවි සංවිධාන එකමුතුවද විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

පිටපොළ ප්‍රදේශයේ සිට විරෝධතා රථ වාහන පෙළපාලියකින් පැමිණි ගොවීන් අණතුරුව බෝගහකුඹුර – කැප්පෙටිපොළ හා වැලිමඩ නගර වලට පැමිණ උද්ඝෝෂණයේ නිරත වුණා.

මේ අතර, විරෝධතා නවතා කාබනික වගාව අත්හදා බලන්නැයි ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ ඉඩම් අමාත්‍යාංශය මගින් මඩකලපුව ප්‍රදේශයේ පවත්වාගෙන යන කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් නිරීක්ෂණයකට එක්වෙමින් ෴

******************************************

අපනයන ආදායම් ඉලක්ක සියයට 70 ක් සපුරා ගනී

(29.10.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ මෙරට අපනයන ආදායම් ඉලක්කයෙන් සියයට 70 ක් සැප්තැම්බර් මාසය අවසාන වනවිට සපුරා ගැනීමට හැකි වී තිබෙනවා.

ඒ, සැප්තැම්බර් මාසයේ ඩොලර් මිලියන 995.8 ක අපනයන ආදායමක් උපයා ගැනීමත් සමඟයි.

ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය සැළකූ විට අපනයන ආදායම ඩොලර් බිලියන 8.8 ක් වන අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 19 ක වර්ධනයක්.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා ප්‍රකාශ කළේ, කොරෝනා වසංගතය පාලනය කිරීමේ සීමාවන් හමුවේ ලද මෙම ආදායම කැපී පෙනෙන ජයග්‍රහණයක් බවයි.

වෙළඳ භාණ්ඩ මෙන්ම සේවා අංශයේ අපනයන වර්ධනයක් මෙහිදී දක්නට ලැබීම විශේෂත්වයක්.

වසරේ මුල් මාස 9 තුළ එලෙස සේවා අංශයේ අපනයනයන්ගෙන් ලද ආදායම ඩොලර් බිලියන 2.2 කට අධිකයි ෴

******************************************

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා සඳහා වෙලාව වෙන් කරවා ගැනීමේ ක්‍රමයක්

(29.10.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

විවිධ සහතික හා ලේඛන සත්‍යාපනය කරගැනීම සඳහා රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාව ලබා ගැනීමට පැමිණෙනවා.

එහි දී ඇති වෙන අනවශ්‍ය කාලය නාස්තිය හා පෝලිම්වල දිගු වෙලාවක් රැඳී සිටීමට සිදු වීම යන කාරණා මත, ඒ සඳහා කලින් දිනයක් වෙන් කරවා ගැණීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

එම මාධ්‍ය නිවේදනය හා සබැඳිය පහතින් :

******************************************

රාජා කොල්ලුරේ පිළිබඳ අධිකරණයෙන් වාරණ නියෝගයක්

(29.10.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධූරයෙන් ඉවත් කර, එම තනතුරට වෙනත් අයෙකු පත් කිරීම වළක්වමින්, කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

නිවෙස්ගත කොරෝනා ආසාදිතයින්ගේ අඩුවක්

(29.10.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

නිවෙස්ගතව රැඳී සිටින කොවිඩ් රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව එම රෝගී සත්කාරක සේවාවේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා.

කෙසේ වෙතත් ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් අවදානම පිළිබඳව තවදුරටත් ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.

මේ වනවිට කොරෝනා වෛරසය අසාදනය වුවන්ගේ අඩුවක් දක්නට ලැබුණත් නිසි සෞඛ්‍ය උපදෙස් ජනතාව නොපිලිපැදිම නිසා ඉදිරියේදි එහි යම් වැඩි වීමක් සිදු විය හැකි බවයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *