සැමියාට හොරා බිරියට කාමරයකට එන්න කියපු, අඹුසැමි ආරවුල විසඳමින් සිටි ඕ.අයි.සී. කාමරයේදී අල්ලස් කොමිසමට මාට්ටු

සැමියාට හොරා බිරියට කාමරයකට එන්න කියපු, අඹුසැමි ආරවුල විසඳමින් සිටි ඕ.අයි.සී. කාමරයේදී අල්ලස් කොමිසමට මාට්ටු

*********************************************

සැමියාට හොරා බිරියට කාමරයකට එන්න කියපු, අඹුසැමි ආරවුල විසඳමින් සිටි ඕ.අයි.සී. කාමරයේදී අල්ලස් කොමිසමට මාට්ටු

(29.10.2021 – gossiplankanews.com)

වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා පුත්තලම හෝටල් කාමරයකදී කාන්තාවක සමග සිටියදී හසුවී ඊයේ (28) අත්අඩංගුවට ගත් පුවත පසුපස දිවෙන ‘අමුතු කතාව‘ පොලිසියේ කීර්ති නාමයට මහත් කැලලකි.

කෙනෙකු පොලිසියට යන්නේ තමන්ට සිදුවූ අසාධාරණයක් වෙනුවෙන් සාධාරණය ඉටු කරගන්නටය. නමුත් වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටීමක් වැනි මෙවැනි සිදුවීම් අද සුලබය.

ව්‍යාපාරික සැමියෙකු හා ඔහුගේ රූමත් බිරිය අතර පසුගිය කාලයේ පැවති ආරවුල් සහගත තත්වයක් මෙම සංසිද්දිය පසුපස තිබේ.

වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන පනස් (50) හැවිරිදි ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා හමුවේ පසුගිය කාලයේ සැමියෙකු හා බිරියක වරින්වර පැමිණිලි ඉදිරිපත් කරමින් ඔවුනගේ කතාව කියා තිබේ.

වනාතවිල්ලුව ප්‍රදේශයේ ව්‍යාපාරයක් සිදුකරමින් සිටින මෙම සැමියා, ‘තම බිරියට අනියම් ඇසුරක් ඇති බවත් තමන්ගේ වස්තුව සොරාගෙන අනියම් පුරුෂයාට ලබාදී ඇති බවත්’ කියමින් අඬදබර කරගෙන තිබේ. මේ ගැන සොයා බලන ලෙස ඔහු පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර මේ හේතුවෙන් පොලිස් ස්ථානයට බිරියටද යන්න එන්න සිදුව ඇත.

රූමත් කාන්තාවක පොලිසියේ සැරිසරද්දී ඒ කවර කරුනු නිසාදැයි සොයා බලා ඇති ස්ථානාධිපතිවරයා සුළු පැමිණිල්ලක් වුවද එය තමන්ම විභාග කළ යුතු බවට තීරණය කර ඇය කැඳවා ඒ ගැන විමසා ඇත. එම අවස්ථාවේ තමන්ගේ පැත්තෙන් ඒ ගැන කරුණු කීමට බිරිය ඉදිරිපත්ව ඇත. සැමියා තමාට කරන හිරිහැර ගැන ඇය හඬමින් කරුණු කියා ඇත.

ඒ අනුව ඇගේ කතාව පැය ගණනාවක් තිස්සේ විමසූ ස්ථානාධිපතිවරයා ඇයට උදව් කළ හැකි බවත් සිද්ධිය ගැන ඇයටද පැමිණිල්ලක් කරන ලෙසත් දන්වා ඇත.

අඩදඹර හේතුවෙන් දෙදෙනා වෙන් වෙන්ව එකම නිවසේ ජීවත් වන බවත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් දක්වා තිබුණි.

මෙම පැමිණිලි විභාග කිරීම සඳහා වනාතවිල්ලුව පොලිසියේ අවස්ථා ගණනාවක පෙනී සිටීමට සැමියා හා බිරිය පැමිණ තිබූ අතර පසුගිය සතියේ එක් දිනෙක පොලිස් ස්ථානාධිපතිවරයා බිරියට කතා කර දන්වා ඇත්තේ වහා පැමිණෙන ලෙසත් විශේෂ කරුණක් කීමට ඇති බවත්ය.

ඒ අනුව පොලිසියට ඇය ගිය අවස්ථාවේ ස්ථානාධිපතිවරයා දන්වා ඇත්තේ :

“මේ කේස් එක දැන් උසාවියට දාන තැනට ඇවිත්තියෙන්නෙ. ඔයා සල්ලි ගත්ත ඒවා ඔක්කොම විස්තර හස්බන්ඩ් අපට දීල තියනවා. මේක උසාවි ගියොත් ඔයාට ලේසි වෙන්නැහැ. ලක්ෂ ගාණක් ගත්ත සල්ලි ආපහු දෙන්නත් වේවි කරපු වැරදි වලට තවත් දඩ ගසාවි නැත්නම් රිමාන්ඩ් කරන්නත් ඉඩ තියනවා. මොකද හස්බන්ඩ් එවපු ඔක්කොම පැහැදිලි සාක්ෂි හැටියට තමා තියෙන්නෙ.”

“අනේ මං දැන් එහෙනම් මොකද කරන්නේ?” ඇය විමසා ඇත.

“මෙහෙමයි මට මේක හැන්ඩ්ල් කරද්දි පොඩි ෆේවරේෂන් එකක් කරන්න පුළුවන්. හැබැයි මේව හැමෝටම කරන්නෙ නැහැ. එකක් තමයි ඔයා මට ලක්ෂයක් ගෙවන්න. ඔයාට ලක්ෂ ගාණක් බේරගන්න ලක්ෂයක් විතරයි යන්නෙ.”

“මට මේ වෙලාවෙ නං එච්චර ගෙවන්න අමාරුයි.” ඇගේ පිලිතුර විය.

“මෙහෙමයි මං ඔයාට පැහැදිලි කළානෙ බේරෙන විදිය. දැන් ඔයාට අවස්ථාවක් ලැබිලයි තියෙන්නෙ ඒක පාවිච්චි කරන්න. හ්ම් හැබැයි ඔයාට ඒක අමාරුනම් තවත් ක්‍රමයක් තියනව.”

“ඒ මොකක්ද?”

“මං කියන තැනක හෝටලේක කාමරේකට එන්න පුළුවන් නම් මේ ඔක්කොම බේරල දෙන්නම්. හැබැයි මේක අපි දෙන්න අතරෙ රහසක්.”

“මං ඒ ගැනකල්පණා කරල කියන්නම්. සල්ලි හොයාගන්න පුළුවන්ද නැතිනම් වෙන දෙයක්ද කරන්නෙ කියල.”

“හරි මං ඔයාට හෙට කතා කරනවා. ඒ වෙනකොට උත්තරේ ඕන. එහෙනම් ගිහින් එන්න.”

පොලිස් නිලධාරියා යෝජනාව සිදු කර ඇත්තේ ඒ ආකාරයටය.

පසුව නිවසේ සිට මේ ගැන සංකීර්ණ ලෙස කල්පනා කළ බිරිය අල්ලස් කොමිසම වෙත දුරකථන ඇමතුමක් ලබාදී ‘ලිංගික අල්ලස’ ගැන පැමිනිල්ලක් කළාය. අනෙක් පැත්තෙන් ලැබුණ උපදෙස වූයේ අල්ලසට කැමති වන ලෙසත් අනතුරුව වේලාව හා තැන කියන ලෙසත්ය.

අල්ලස් කොමිසම උපාය දූතයන් යොදවා සියලු සාක්ෂි සටහන් කරගනිමින් සිද්ධියට අවතීර්ණ වූයේ ඉන් පසුවය.

පුත්තලම ප්‍රදේශයේ හෝටල් කාමරයකට එන්නට නිලධාරියා අඩ ගැසූ අතර ඇය ඊට කැමැත්තදී වේලාවද ස්ථිර කළාය.

කාමරයේ සිටියදී අල්ලස් නිලධාරීන් මෙම ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ, බිරිය කොමිසමේ උපදෙස් පරිදි නාගෙන ඒමට කියා කාමරයේ බාත් රූම් එකේ සැඟවී පණිවිඩය ලබාදී තිබුණි.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (29) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ වංචා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් කර ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේ දෙදරු මවකි ෴

******************************************

පොලිසියට ඔත්තු දුන්නැයි හමුදාවේ පිරිසක් දරුවන් බලා සිටියදී පියාට කළ අපරාධය

(28.10.2021 – 16:04 +0530 – aruna.lk)

කැලෑමහත්තුරු හා හමුදාව එකතු වී ලුණුගම්වෙහෙර රක්ෂිතය වනසලා

තිස්සමහාරාම රන්මුදුගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට පිරිසක් විසින් පහර දී ඇති බවට තිස්සමහාරාම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පසුගිය 25 වනදා මෙම පහරදී සිදුකර ඇත්තේ, ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරීන් සහ කාවන්තිස්සපුර යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් බවටයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව අප කළ සොයාබැලීමේදී පහරකෑමට ලක්වූ පුද්ගලයා පැවසුවේ, මෙම ප්‍රදේශයේ බහුලව සිදුවන දඩමස් ජාවාරම, ගංජා ජාවාරම සහ ව්‍යාජ මත්පැන් සකස් කිරීමේ ජාවාරම් මෙන්ම මහාපරිමාණ වන සංහාර පිළිබඳව පොලීසියට සහ මාධ්‍යයට තොරතුරු ලබාදීම හේතුවෙන්, ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ කාර්යාලයේ වන අඩවි නිලධාරීවරයෙකු තමන් සමඟ විරසක වී සිටි බවත් මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඔහු තමන්ට තර්ජනය කළ බවයි. මේ අතර වසර පහළොවක් (15) පමණ කාලයක් තිස්සේ තමා වගා කටයුතු කරමින් පදිංචි වී සිටින ඉඩමට, අනවසරයෙන් ඇතුළු වූබවට චෝදනා කරමින් පැමිලි නිලධාරීන් නඩු පවරා ඇති බවද ඔහු කියා සිටියා.

මේ පිළිබඳව ඔහුගේ වයස අවුරුදු අටක් (8) වන දරුවාගෙන් අප විමසීමක් කළ අවස්ථාවේදී එම දරුවා පැවසුවේ පිස්තෝලයක් ඔළුවට තියලා තාත්තා බය කරලා තාත්තට හොඳටම පහර දුන් බවයි. එම අවස්ථාවේදීත් එම දරුවා කම්පනයට ලක්ව සිටියේය.

පසුව මේ පිළිබඳව ලුණුගම්වෙහෙර වන අඩවි නිලධාරී දර්ශන ගමගේ මහතා ගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ වනසංරක්ෂණ භූමියකට අනවසරයෙන් ඇතුළු වී පදිංචි වීම සම්බන්ධයෙන් ඔහු රැගෙන විත් තිස්සමහාරාම උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවයි.

කෙසේ වෙතත් ප්‍රකාශයක් නොමැතිව උසාවියට ඉදිරිපත් කිරීම හේතුවෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස පහරකෑමට ලක්වූ පුද්ගලයාට තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචනා පෙරේරා මහත්මිය විසින් දන්වා සිටි බවත් සඳහන් කළේය.

අමිල සම්පත් ශ්‍රී – තිස්සමහාරාම

******************************************

ජනාධිපති කාර්ය සාධක බලකායට දෙමළ නියෝජිත‍යින් පත් කිරීම පිළිබඳ විශේෂ තීරණයක්

(29.10.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වි තිබෙනවා.

යුගදනවි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40% ක් ඇමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් විරෝධය පළ කර තිබුණා.

මේ සම්බන්ධයෙන් එම පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡා වට කිහිපයක් මීට පෙර පැවැති අතර, පසුව එම පක්ෂ ජනාධිපතිවරයා ගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේ මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසයි.

කැබිනට් මණ්ඩලයේදී හෝ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමකදී මේ පිළිබඳව සාකච්ඡා කිරීම සුදුසු බව ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ලිඛිතව දන්වා තිබුණා.

මේ අතර, යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මෙන්ම සමඟි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණද මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර තිබෙනවා.

එමෙන්ම, යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අද (29) කොළඹ දී මහජන මන්ත්‍රණ සභාව නමින් සම්මන්ත්‍රණයක් ද සංවිධාන කර ඇති අතර, මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම ද කැඳවා තිබුණේ එවන් පසුබිමක් තුළයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත්, එක් රටක්, එක් නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායට දෙමළ නියෝජිතයන් පත් කිරීමටද ජනාධිපතිවරයා එහි දී එකඟත්වය පළ කර තිබෙනවා ෴

******************************************

වෘත්තීය සමිති රුපියල් දස දහසක (10,000) වැටුප් වැඩිවීමක් ඉල්ලයි

(29.10.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ජීවන වියදම ඉහළ යාමේ තත්ත්වය හමුවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ගේ රුපියල් දස දහසක (10,000) වැටුප් වැඩි කිරීමට රජය විසින් වහා පියවර ගත යුතු බව වෘත්තීය සමිති පවසනවා.

ඔවුන් සඳහන් කළේ, ඉදිරි අයවැයෙන් වැටුප් වැඩිවීමක් සිදු නොවුනහොත් ඊට එරෙහිව විරෝධතා පැවැත්වීමට කටයුතු කරන බවයි ෴

******************************************

කාබනික පොහොර පිටරටින් ගෙන්වන්න අවශ්‍ය නැහැ

(29.10.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටවලින් කාබනික පොහොර මෙරටට ගෙන්වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, එය රසායනික පොහොර ගෙන්වීමට වඩා භයානක තත්ත්වයක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (28) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ කාබනික පොහොර මෙරට ගොවීන්ට නිෂ්පාදනය කිරීමට හැකි අතර, ඒ සඳහා තාක්ෂණික දැනුම සහ මූල්‍ය ආධාර ලබාදිය යුතු බවයි ෴

******************************************

දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසමේ නිර්දේශ සලකා බලන ජනාධිපති කොමිසමේ නිල කාලය යළි දීර්ඝ කෙරෙයි

(29.10.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය තවත් මාස හයකින් (6) දීර්ඝ කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්.

ඒ අනුව ඊයේ (28) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ මෙම ජනාධිපති කොමිසමේ නිල කාලය ලබන වසරේ අප්‍රේල් මස 28 වැනි දා දක්වා මාස හයකින් (6) දීර්ඝ කර තිබෙනවා.

මෙම කොමිසමේ නිල කාලය දීර්ඝ කළ තුන්වන (3) අවස්ථාව මෙයයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

නව කොවිඩ් ආසාදිතයින් 540 ක්

(29.10.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් කොරෝනා ආසාදිතයින් 540 දෙනෙකු ඊයේ (28) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,38,860 දක්වා ඉහළ ගියා.

පෙරේදා (27) සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ මරණ 22 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,696 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 13,301 ක්.

මේ අතර, හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර 15 ක වෘත්තිකයින් ලබන 09 වැනි දා සිට වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *