විදුලි වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක්

විදුලි වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක්

*********************************************

විදුලි වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක්

(28.10.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ලබන නොවැම්බර් 03 වැනිදායින් පසු මුළු රටම අඳුරට පත් කරමින් දීප ව්‍යාප්ත වර්ජනයකට අවතීර්ණ වන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරනවා.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කොළඹදී ඊයේ (27) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, යුගදනවි බලාගාරයේ කොටසක් ඇමරිකානු සමාගමකට ලබා දීම සඳහා අත්සන් කළ බව කියන ගිවිසුම ඉල්ලා අස් කරගන්නා ලෙස රජයට බල කරමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ලබන මස 03 වැනි දා දිවයින පුරා සියලු විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹට පැමිණ දැවැන්ත විරෝධතාවයක නිරත වීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම හෙට (29) මධ්‍යහ්න 12 ට දිවයිනම ආවරණය වන පරිදි විදුලිබල මණ්ඩල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාල 19 ක් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව හෙට (29) කුලියාපිටිය, කුරුණෑගල, අනුරාධපුර, තංගල්ල, ගාල්ල, රත්නපුර, බදුල්ල, ත්‍රීකුණාමලය සහ කිරිබත්ගොඩ ඇතුලු ප්‍රදේශ 19 කදී එම විරෝධතා පැවැත්වෙනු ඇති ෴

******************************************

තවත් නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් අද (28) එන ලකුණු

(28.10.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ආනයනය කෙරෙන නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයේ මීළඟ කොටස බොහෝ දුරට අද (28) දිවයිනට ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

යම් හදිසි තත්ත්වයක් මතු වුව හොත් ගොවීන්ට අවශ්‍ය පළිබෝධනාශක සුදුසු පරිදි නිකුත් කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි එම අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කළේ.

අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු කර ඇති චීන කාබනික පොහොර අඩංගු නෞකාව කිසිසේත් රට තුළට නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (27) ප්‍රකාශ කළා.

මෙවන් පසුබිමක් තුළ අප කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා කියා සිටියේ, මහ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් ගොවීන්ට හැකි උපරිම සහාය ලබාදෙන බවයි ෴

******************************************

අගමැති සහ මෙරට චීන තානාපති අතර හමුවක්

(28.10.2021 – 10:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසාදය පළ කර තිබෙනවා.

ඒ, මෙරට චීන තානාපති වී. ෂෙන්හොන් ඊයේ (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදියි.

කොරෝනා වසංගතය පාලනය කිරීමට එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ද චීන රජයට ප්‍රණාමය හිමි වන බවයි, අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

එහිදී මෙරට චීන තානාපතිවරයා සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වයට සුබ පැතුම් එක් කරන බවයි.

චීන පොහොර කන්ටේනරය නොගන්නා බවට අගමැති නිල වශයෙන් දැනුම් දේ

(28.10.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ප්‍රශ්නගත චීන කාබනික ඝන පොහොර රැගත් නෞකාව භාරගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට චීන තානාපති වී. ෂෙන්හොන් වෙත දැනුම් දී තිබෙනවා.

ඒ, ඊයේ (27) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී චීන තානාපතිවරයා, අගමැතිවරයා මුණගැසුණු අවස්ථාවේදියි.

එහිදී මෙරට ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයා වෙත ප්‍රසාදය පළ කර තිබෙනවා.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සම්බන්ධයෙන්ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා චීන රජයට ප්‍රසාදය පළ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

එහිදී මෙරට චීන තානාපතිවරයා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වයට සුබපැතුම් එක් කරන බවයි.

දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සහ රබර්, සහල් ගිවිසුම අත්සන් කර වසර 70 ක් සනිටුහන් කරන 2022 වසර ශ්‍රී ලංකා – චීන ද්විපාර්ශවික සබඳතාවන්හි වැදගත් වසරක් වනු ඇති බවද ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

පලිබෝධනාශක සුළු ප්‍රමාණයක් මෙරටට ආනයනය කිරීමට තීරණය කර ඇති බවත්, ඒවා විවෘත වෙළඳපොළට නිකුත් නොකරන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවට රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ද එක්ව සිටි අතර, ඔහු කියා සිටියේ මේ වනවිට මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර 2,44,000 ක් වගා කර ඇති බවයි ෴

******************************************

මග වැටී තිබූ රුපියල් පනස් දෙදහස යළිත් එහි මුල් අයිතිකරුට

(28.10.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala)

හැටන් නගරයේ අතුරු මාර්ගයක පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරමින් සිටියදී, හැටන් – දික්ඔය නගර සභාවේ කම්කරුවෙකු විසින් අහුලාගත් රුපියල් 52,000 ක මුදල් සහිත පාර්සලයක් යළි එහි අයිතිකරු වෙත ලබාදීමට එම පුද්ගලයා ඊයේ (27) දින කටයුතු කර තිබෙනවා.

හැටන් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි ආර්.ජේ.සෙල්වම් නමැති 43 හැවිරිදි මෙම පුද්ගලයා, ඊයේ (27) උදෑසන නගරය පිරිසිදු කිරිමේ කටයුත්තේ නියැලි සිටින අතරතුරදියි, අදාළ මුදල් සහිත පාර්සලය හමුවී ඇත්තේ.

ඔහු මුදල් පාර්සලය හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා වෙත ගෙන ගොස් භාරදීමට පියවර ගෙන තිබෙනවා.

දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වන එම කම්කරුවා සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, මේ දිනවල සෑම අයෙකුම විශාල ආර්ථික අපහසුතා මැද ජිවත්වන හෙයින්, මෙම මුදල් සහිත පාර්සලය නියම අයිතිකරු සොයා ලබාදීමට කටයුතු කරන ලෙසයි.

මුදල් සහිත පාර්සලය අස්ථානගත වී ඇති බව දැනගත්, හැටන් ආරියපුර ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් සිය අස්ථානගත වූ මුදල් සහිත පාර්සලය සොයා යළි නගරයට පිවිස , මාර්ගය දිගේ එය සොයමින් පැමිණෙන අවස්ථාවේදී, නගර සභාවේ තවත් කම්කරුවෙකු එය දැක, ඇයගෙන් කරුණු විමසා, එම මුදල් සහිත පාර්සලය නගර සභාවේ සභාපතිවරයාට භාර දී ඇති බවට දැනුම් දී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඉන් අනතුරුව එම කාන්තාව නගර සභාවට පැමිණ මුදල් සහිත පාර්සලය සොයා භාරදුන් සේවකයාට සහ නගර සභාවේ සභාපතිවරයාට ද සිය ස්තුතිය පුද කර, මුදල් සහිත පාර්සලය භාරගෙන තිබෙනවා ෴

******************************************

ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් වෙනුවෙන් පියතුමන්ලා තුන් දෙනෙකු (3) සී.අයි.ඩී.යට

(28.10.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශයක් ලබාදීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන්ට අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් එම පියතුමන් එහි පැමිණ සිටියේ නැහැ.

ඒ වෙනුවට වෙනත් පියතුමන්ලා 3 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (28) පෙරවරුවේ පැමිණ සිටි බවයි එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.

පාස්කු ප්‍රහාරයට අදාළව පාර්ශවයන් කිහිපයක් සිදු කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් ‘සුරේෂ් සලේ’ කළ පැමිණිල්ලට අනුව සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන්ට දැනුම් දී තිබුණා.

ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් අද (28) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නොසිටි අතර, ඒ වෙනුවට වෙනත් පියතුමන්ලා තුන් දෙනෙකු (3) එහි පැමිණි බවයි, එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ශාන්ති කුමාර් වැලිවිට පියතුමන්, රවීන් සඳසිරි පියතුමන් සහ ශ්‍රීනාත් මනෝජ් පියතුමන් මෙලෙස පෙරවරුවේ සීඅයිඩීය වෙත පැමිණ සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා කාලය ලබාදෙන ලෙස ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් කරනු ලැබූ ඉල්ලීම ඇතුළත් ලිපිය මෙම පියතුමන්ලා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා ෴

******************************************

ඉදිරි සති 3 ඇතුළත සිමෙන්ති ආනයනය කරනවා – රාජ්‍ය ඇමති අලගියවන්න

(28.10.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති 3 ඇතුළත වෙළදපොළට අවශ්‍ය සිමෙන්ති ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට ආනයනකරුවන් ප්‍රකාශ කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

සිමෙන්ති ආනයනකරුවන් සමග ඊයේ (27) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

දැනට රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් සිමෙන්ති ආනයනික සමාගම්වලට බැංකුවලින් ණයවර ලිපි නිකුත් කර ගැනීමේ අපහසුතාව සිමෙන්ති හිඟයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට සිමෙන්ති ඉල්ලුමෙන් සියයට 60 ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන අතර ඉතිරි සියයට 40 ආනයනය කෙරෙනවා.

දැනට සිමෙන්ති ආනයනය කරන සමාගම්වලට මසකට මෙට්‍රික් ටොන් 10,000 ක පමණ අතිරේක තොග ආනයනය කිරීමට හැකි වුවහොත් මෙම සිමෙන්ති හිඟය මග හැරෙනු ඇති.

දේශීය සිමෙන්ති නිෂ්පාදනය මසකට මෙට්‍රික් ටොන් 1,50,000 ක් ඉක්මවනවා.

මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් සහ පුද්ගලයින් සිමෙන්ති එක්රැස් කිරීමට පටන් ගැනීම හේතුවෙන් ද මෙම හිඟය තවත් වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

රජය සිමෙන්ති පාලන මිල පසුගිය දා ඉවත් කිරීමත් සමඟ කිලෝ 50 ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් ඉහළ දමනු ලැබුවා.

කෙසේ වෙතත් එම මිල ගණන් ද ඉක්මවමින් මේ වන විට වෙළෙඳුන් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1400 ක් වැනි ඉහළ මිලකට අලෙවි කරන බවයි ව්‍යාපාරිකයන් සඳහන් කළේ ෴

******************************************

බකමූණේ උපවාසයට අදට (28) දින 5 යි

(28.10.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

වගාවන් සඳහා පොහොර ඉල්ලා පොළොන්නරුව – බකමුණ ගොවීන් ආරම්භ කළ අඛණ්ඩ උපවාසය අද (28) පස්වන (5) දිනටත් ක්‍රියාත්මකයි.

ඊයේ (27) මෙම උපවාසයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ද සහය පළ වුණා.

මේ වනවිට මෙම උපවාසයට එක්ව ඇති ගොවි සංවිධාන සංඛ්‍යාව 41 ක්.

පොළාන්නරුව ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින්ද උපවාස භූමියට පැමිණ ඊයේ (27) ගොවීන් හමුවුණා.

අනතුරුව භික්ෂූන් වහන්සේලා මෙලෙස උපවාසයේ නිරත පිරිසට ආශිර්වාද කරනු ලැබුවා.

මේ අතර, ඇළහැර ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානයේ නියෝජිතයින් ඉල්ලා සිටින්නේ අවම වශයෙන් ජනවාරි මාසය වනවිට හෝ වගාවන් සඳහා ප්‍රමාණවත් පොහොර සපයන ලෙසයි.

වගාවන් සඳහා කෘමිනාශක නොමැතිකමින් පොළොන්නරුව සිරිකඳුයාය ප්‍රදේශයේ මෑ වගාවන්වල ඵලදාව හීන වී ඇති බවටත් ගොවීන් මැසිවිලි නඟනවා.

මේ අතර, රසායනික පොහොර නොමැතිව ගොවිතැන් කිරීමට අපහසු බවට රට පුරා ගොවීන් මැසිවිලි නඟන පසුබිමක කාබනික පොහොර භාවිතයෙන් වගාවන් සඳහා පොහොර නිෂ්පාදනය කරන පාරම්පරික දේශීය කර්මාන්තකරුවෙකු පිළිබඳව හොරණ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ස්වභාවික පරිසරයෙන් සොයාගන්නා අමුද්‍රව්‍ය යන්ත්‍රානුසාරයෙන් කැබලි කර මාස 3 ක පමණ නිෂ්පාදන අධීක්ෂණයකින් මෙම පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සිදුකරනු ලබනවා.

මාස 3 කට වරක් මෙම කර්මාන්තශාලාවෙන් පොහොර ටොන් 5 ක් පමණ නිෂ්පාදනය කළ හැකියි.

******************************************

කොළඹ ඉදිවූ ඇල්ටෙයාර් ගොඩනැගිල්ල විවෘත වේ

(28.10.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

මහල් 68 කින් සමන්විත බහු මහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ නගරයේ ඉදි වූ ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) විවෘත කෙරුණා.

සියලු පහසුකම්වලින් සමන්විතව අක්කර දෙකක (2) භූමි භාගයක ඉදිකෙරුණු මෙම ගොඩනැගිල්ලේ නිවාස 404 ක් අලෙවි කර ඇති අතර, ඒවා හිමිකරුවන් වෙත නිල වශයෙන් භාරදීම ඉදිරි සති කිහිපය තුළ දී සිදු කිරීමට නියමිතයි.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල මෙරට විශාලතම ඍජු විදේශ ආයෝජන ව්‍යාපෘතියක් ලෙසයි සැලකෙන්නේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

දෙසැම්බරය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අගවයි

(28.10.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ලබන දෙසැම්බර් මාසයේදී මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යාමේ අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එමෙන්ම, වෛද්‍යවරුන් ඉල්ලා සිටියේ, කොවිඩ් අවදානම තවදුරටත් පවතින බැවින් දරුවන් රැගෙන විනෝද ගමන් යාමෙන් වැලකී සිටින ලෙසයි.

මෙරටින් ඊයේ (27) තවත් කොරෝනා ආසාදිතයන් 559 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,38,320 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 20,270 ක්.

පෙරේදා (26) සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ මරණ 20 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,674 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, දෙසැම්බර් මාසයේදී මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහල යාමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම කොවිඩ් අවදානම තවමත් පවතින බැවින් දරුවන් රැගෙන විනෝද සවාරිවල මේ මොහොතේ දී නොයන්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉල්ලීමක් කළා.

මේ අතර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීමේදී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා ගත් බව තහවුරු කෙරෙන එන්නත්කරණ කාඩ්පත රැගෙන එන ලෙස ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහල ජනතාවට දැනුම් දී සිටිනවා ෴

+++++++++++++++++++

මහාචාර්ය නීලිකා මලවිගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශක කමිටුවට

(28.10.2021 – 11:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කොවිඩ්-19 තාක්ෂණ ප්‍රවේශ සංචිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂික උපදේශක කණ්ඩායමේ විශේෂඥයෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

කොරෝනා සම්බන්ධ පර්යේෂණ සිදු කරන විශේෂඥයන් 10 දෙනෙකුගෙන් මෙම කණ්ඩායම සමන්විත අතර එම පත් කිරීම වසර දෙකක (2) කාලයක් සඳහා වලංගු වනු ඇති.

ඇමරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවකට අනුව ලොව ප්‍රමුඛතම පර්යේෂණ විද්‍යාඳයින් සියයට දෙක (2%) අතර ශ්‍රී ලංකිකයන් 24 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

ඒ අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ, මහාචාර්ය මෙත්තිකා විතානගේ සහ ආචාර්ය අනුෂ්කා යූ. රාජපක්ෂ යන මහත්මියන් ඇතුළත්.

එමෙන්ම මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙන්ම පේරාදෙණිය, වයඹ, කොළඹ, කැළණිය සහ යාපනය විශ්වවිද්‍යාලවල පර්යේෂකයන් පිරිසක්ද වනවා.

මේ අතර, සංකූලතා හා අවශ්‍යතා ඇති ජනතාවට අනාගතයේදී සෑම වසරකම කොවිඩ් එන්නතක් ලබාදීමට සිදු වනු ඇති බව ළමා රෝග විශේෂඥයින්ගේ විද්වත් සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාමන් රාජේන්ද්‍ර මහතා ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *