දිවයින පුරා පැය 48 ක විදුලිය ඇනහිටීමකට සූදානම් වන්න – ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවයි

දිවයින පුරා පැය 48 ක විදුලිය ඇනහිටීමකට සූදානම් වන්න – ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවයි

*********************************************

දිවයින පුරා පැය 48 ක විදුලිය ඇනහිටීමකට සූදානම් වන්න – ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවයි

(27.10.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පැය 48 ක විදුලිය කප්පාදුවකට ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය සුදානම් වන බව පවසනවා.

යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට ලබා දීමේ ගිවිසුම සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජිතයින් පිරිසක් අතර පැවති සාකච්ඡාවකදී ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය මෙම අදහස් පල කළා.

රජය නියෝජනය කරන පක්ෂ 11 ක නියෝජිතයින්ගේ මෙම හමුව පැවැත්වුණේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදීයි.

වරාය, ඉන්ධන, විදුලිය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණා ෴

******************************************

චීන කාබනික පොහොර භාර ගන්නේ නෑ – ඇමති මහින්දානන්ද ගෙන් ප්‍රකාශයක්

(27.10.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු කර ඇති චීන කාබනික පොහොර නෞකාව කිසිසේත් රට තුළට නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්නද අලු‍ත්ගමගේ මහතා පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම පොහොර තොගය යළි පරීක්ෂා කිරීමක් හෝ ඒ සඳහා මුදල් ගෙවීමක් ද සිදු නොකරන බවයි.

අහිතකර බැක්ටීරියා අඩංගු බවට ජාතික ශාක නිරෝධායන සේවය මගින් දෙවරක්ම (2) තහවුරු කළ චීන කාබනික පෙහොර තුන්වන (3) පාර්ශ්වයක් මාර්ගයෙන් යළි පරීක්ෂා කිරීමට චීන තානාපති කාර්යාලය සමඟ එකඟතාවයකට පැමිණි බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඊයේ (26) සඳහන් කළා.

මෙම කාබනික පොහොර තොගය වීනයේ සිට මෙරටට රැගෙන ඒම සිදුවන්නේ ‘හිපෝ ස්පිරිට්’ නම් නෞකාව මගින්.

මේ අතර, චීන පොහොර සමාගම වන ‘චින්ඩා – ඕ සීවින් බයෝටෙක් ගෘප්’ සමාගමද මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි දැක්වුණේ තම කාබනික පොහොරවල අර්වීනියා බැක්ටීරියාව ඇත්දැයි සොයා බැලීම සඳහා ලොව බලයලත් හා ඉහළම තෙවන (3) පාර්ශ්වීය ආයතන සංවිධානය වන ‘සුවිස් එස් ජී එස් සමූහය’ මගින් පරීක්ෂා කළයුතු බවයි.

ඉන් ලැබෙන ප්‍රතිඵලය දෙපාර්ශ්වය කොන්දේසි විරහිතව පිළිගත යුතු බව එහි සඳහන් වුණා.

කෙසේ වෙතත්, ‘හිපෝ ස්පිරිට්’ නම් අදාළ නෞකාව කොළඹ වරාය පරිශ්‍රයට ඇතුල් කර නොගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ලිඛිතව දැනුම් දී ඇති බවයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ද සඳහන් කළේ ෴

******************************************

තවත් වනාන්තර හෙළිපෙහෙළි කිරීමක් මනම්පිටියෙන් වාර්තා වේ

(27.10.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

වන වගාවක් මුවාවෙන් වනාන්තර හෙළි පෙහෙළි කිරීමක් පිළිබඳව මනම්පිටිය, මහවැව ගම්මානයෙන් වාර්තා වනවා.

ගම්වැසියන් චෝදනා කරන්නේ වසර 100 කටත් වඩා පැරණි දැවැන්ත ගස් බිම හෙළමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවටයි.

******************************************

සිය වෘත්තියට පිළිසරණක් පතන බදුලු පුරවරයේ කුඹල්කරුවෝ

(27.10.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

මැටි පිඩක් අපූරු නිර්මාණයක් බවට පත් කරමින් මෙරට කුඹල් කර්මාන්තකරුවන් වෙළෙඳපොළට දායාද කරන්නේ ශරීර සෞඛ්‍යයට ද හිතකර භාණ්ඩ බව නොරහසක්.

දැඩි පරිශ්‍රමයක් යොදා නිපදවන තම භාණ්ඩ විකුණා ගැනීමට නොහැකිවීමෙන් ගැටලු රැසකට මුහුණ පා සිටින බදුල්ල දිස්ත්‍රික්කයේ කුඹල් කර්මාන්තකරුවන් පිළිබඳවයි මේ විමසා බැලීම.

******************************************

චීන පොහොර ගැටලුව රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් නෙවෙයි – මන්ත්‍රී කිරිඇල්ලගෙන් ප්‍රකාශයක්

(27.10.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට දැඩි කතාබහකට ලක්ව ඇති චීන කාබනික පොහොර ගැටලුව රාජතාන්ත්‍රික ගැටලුවක් නොව, එය හුදෙක් පෞද්ගලික සමාගමක් සමග ඇති අර්බුදයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද (27) පැවති මාධ්‍ය හමුවකදී, මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම කාබනික පොහොර චීනයේ පෞද්ගලික සමාගමක් විසින් ලබා දෙන අතර, එහි අඩංගු අහිතකර ක්ෂුද්‍රජිවීන් හේතුවෙන් එම පොහොර සිදු කරන ලද පරීක්ෂණ මගින් දෙවතාවක්ම ප්‍රතික්ෂේප වී ඇති බවයි.

මෙම චීන කාබනික පොහොර ගැටලුව අද වනවිට අධිකරණ නියෝගයක් දක්වා ගොස් ඇති අතර, එය සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත් වී ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළා.

එමෙන්ම, එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ , මෙම චීන කාබනික පොහොර අර්බුදය රටවල් දෙකක් අතර පවතින ගැටලුවක් ද යන්නයි.

එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, මෙය රටවල් දෙකක් අතර පවතින ගනුදෙනුවක් වුව ද, මෙම පොහොර ගෙන්වීම සිදු කර ඇත්තේ, පෞද්ගලික සමාගම් මගින් බැවින්, එම සමාගම්වලට කිසිසේත්ම මෙරට රජයට හෝ බැංකු පද්ධතියට බලපෑම් කිරීමට අයිතියක් නැති බවයි.

මේ අතර, රජයේ නිලධාරීන් සිය තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කරමින් කියා සිටියේ, ප්‍රතිපත්ති සකසන්නේ ආණ්ඩුව බවත්, ඒවා හරි හෝ වැරදි හෝ ක්‍රියාත්මක කිරීම රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන බවයි.

මෙහිදී ආණ්ඩුව විසින් දිනෙන් දින ප්‍රතිපත්ති වෙනස් කිරීම තුළින් ඉන් අපහසුතාවට පත් වන්නේ රාජ්‍ය නිලධාරීන් බව ද මන්ත්‍රීවරයා පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

******************************************

නව ගුවන් සමාගම් 5 ක් මෙරට ගුවන් ගමන් ඇරඹීමට සූදානම්

(27.10.2021 – 16:14 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස දෙක (2) තුළදී නව ගුවන් සමාගම් 5 ක් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීමට සූදානම් බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව අන්තර්ජාතික මට්ටමින් සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි, මෙම සමාගම් මෙරට ගුවන් සේවා ඇරඹීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව, නොවැම්බර් පළමුවැනිදා (01) සිට ස්විට්සර්ලන්තයේ එඩ්ල් වයිස් ගුවන් සමාගම, රුසියාවේ එයාරෝ ෆ්ලොට් ගුවන් සේවය, සහ ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම, දෙසැම්බර් පළමු සතියේ සිට රුසියාවේ එයාර් අසූර් ගුවන් සේවය මෙන්ම, ඉතාලියේ නියෝස් එයාර් ගුවන් සමාගම ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි, සංචාරක අමාත්‍යාංශය සඳහන් කරන්නේ ෴

******************************************

මෙරට නෞකා බලඇණියට තවත් නෞකාවක් එක් වේ

(27.10.2021 – 16:38 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකා එක්සත් ජනපදය මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ප්‍රදානය කළ, ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro)ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම ඊයේ දින (26) සිදු කෙරුණා.

ඒ, ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ, ‘සියැට්ල්’ වරායෙහි පිහිටි ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක කඳවුරේදීයි.

මේ අවස්ථාව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා නියෝජනය කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහතා සහභාගී වූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පවසන්නේ.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට පී627 ධජ අංකය යටතේ ඊයේ (26) සිට එක්වන මෙම නෞකාවේ ප්‍රධාන කුඹ ගසෙහි එදින සිට ශ්‍රී ලංකා ජාතික ධජය අභිමානවත්ව එසවීම ද සිදු කෙරුණා.

සාගර කාලාපයේ පොදු අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරිමේ සහ වර්ධනය කිරිමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත මීට පෙර ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ (පි 621) සහ ‘ගජබාහු’ (පි 626) යන නෞකා ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති අතර, එම හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් තෙවන නෞකාව ලෙස මෙම ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව ප්‍රදානය සනිටුහන් වනු ඇති.

‘Hamilton Class High Endurance Cutter’ යන නෞකා පන්තියට අයත් දෙවන (2) නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා ගන්නා ලද මෙම නෞකාව දිගින් මිටර 115 ක්, උපරිම වේගය පැයට නාවික සැතපුම් 29 ක් ද එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 14,000 ක දුරක් ආවරණය වන පරිදි ආවේක්‍ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187 ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදු කළ හැකි නවීන තාක්‍ෂණික උපාංග හා පහසුකම්වලින් ද සමන්විතයි.

එමෙන්ම මෙම නෞකාව ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදු කළ වකවානුවේ, එරට මුහුදු කලාපයේ සිදු වූ නීතිවිරෝධී මත්ස්‍ය කර්මාන්තය, නීතිවිරෝධී සංක්‍රමණ කටයුතු මෙන්ම ටොන් 11.5 කට අධික කොකේන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුම් සඳහා ද සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ගොඩබිම මෙන් හත් (7) ගුණයක් විශාල වූ මෙරට අනන්‍ය ආර්ථික කලාපයෙහි ඇති සාගරික සම්පත් ආරක්‍ෂා කිරීම, සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම, නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදු කිරීම, ඉන්දියන් සාගරය ඔස්සේ ඇති නාවික ගමන් මාර්ග සඳහා ආරක්‍ෂාව සැපයීම ඇතුළු සාගර කලාපය ඔස්සේ සිදු කෙරෙන ආර්ථික කටයුතු ආරක්‍ෂිතව සිදු කිරීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම උදෙසා ඉදිරියේදී මෙම නෞකාව කාර්යක්‍ෂමව යෙදවීමට නාවික හමුදාව අපේක්‍ෂා කරන බව ද නාවික හමුදා මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා ෴

******************************************

හයිලෙවල් මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනකු (2) ජීවිතක්ෂයට

(27.10.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)

නුගේගොඩ හයිලෙවල් මාර්ගයේ හතේ (7) කණුව ආසන්නයේ මෝටර් රථයක් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ, අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනකු (2) එම ස්ථානයේදී මිය ගොස් තිබෙනවා .

මහරගම දෙස සිට නුගේගොඩ දෙසට ධාවනය වූ මෝටර් රථයක් වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී නුගේගොඩ දෙස සිට මහරගම දෙසට ධාවනය වූ යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කටුබැද්ද සහ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු (2) වන අතර, ඔවුන්ගේ සිරුරු කළුබෝවිල ශික්ෂණ රෝහලට යොමු කර ඇත්තේ, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමටයි.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි රියැදුරු බීමත්ව සිට ඇති බවත්, අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවත් පොලීසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය පරීක්ෂණ පවත්වන අතර, මෝටර් රථ රියදුරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

******************************************

මුල්ලේරියාව වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි

(27.10.2021 – 17:48 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ දී ඊයේ (26) වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා.

පොලීසිය සඳහන් කරන්නේ සැකකරුවන් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබාදෙන්නෙකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යාග මුදලක් ලබාදෙන බවයි.

සැකකරුවන් සිදුකළ එම වෙඩි තැබීමේ දී පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇති සැකකරුවන් නිවස තුළටම ගොස් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් ආසාදිතයින් 373 ක් පූර්ණ සුවය ලබයි

(27.10.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala)

නව්‍ය කොරෝනා වයිරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, තවත් ආසාදිතයින් 373 දෙනෙකු අද (27) දිනයේදී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ සමග මෙරට වයිරසය ආසාදිතව සුවය ලද මුළු පුද්ගලයින් සංඛ්‍යාව 5,04,376 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කෙසේවෙතත්, මේ වනවිට කොරෝනා ආසාදිතයින් 19,731 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන බව‍ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා ෴

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) දිනයේදී නව්‍ය කොරෝනා ආසාදිත පුද්ගල මරණ 20 ක් තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මුළු මරණ සංඛ්‍යාව 13,674 ක් දක්වා ඉහළ යනු ඇති ෴

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 425 දෙනෙකු අද (27) දිනයේදී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම ආසාදිතයින් සමග මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 5,38,186 ක් දක්වා ඉහළ යනු ඇති ෴

තවත් කොරෝනා ආසාදිතයින් 134 ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව අද (27) දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 559 ක් වන අතර මෙරට මුළු ආසාදිතයින් ගණන 5,38,320 ක් ෴

+++++++++++++++++

ගුවන්තොටුපළ PCR රසායනාගාරය නැවත විවෘත කෙරේ

(27.10.2021 – 16:09 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයුම්වලට අවසර ලබා නොදීම හේතුවෙන් වසා දමා තිබූ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පී.සී.ආර්. රසායනාගාරය අද (27) යළි විවෘත කෙරුණා.

මේ අනුව, රටින් පිටවන සියලුම මගීන් සහ එක් එන්නතක් ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මගීන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කෙරෙනු ඇති.

මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පී.සී.ආර්. රසායනාගාරය වන SASL Hospinorm වෙත ක්‍රියාත්මක වීමට අවසර ලබා දී තිබූ අතර, එතුළින් පැය තුනක් (3) ඇතුළත පී.සී.ආර්. වාර්තාව ලබාදීමට හැකියාව ලැබූ බවයි, රසායනාගාරයේ කළමනාකාර සුමුදු සරසිරාජ මහතා පැවසුවේ.

කොවිඩ් සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ අය ගුවන්තොටුපළ යටතේ ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවන අතර, ඕනෑම මගියෙකුට පැය තුනකින් (3) පී.සී.ආර්. ප්‍රතිඵල ලබා ගත හැකි බව ද ඒ මහතා සඳහන් කරනවා.

මේ අනුව මගීන් තම ගුවන් ගමනට පැය හයකට (6) පෙර ගුවන් තොටුපළට පැමිණිය යුතු අතර, මගීන්ට සියලු පහසුකම් එහිදී සැපයීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ගුවන්තොටුපළ සන්නිවේදන අංශය පවසන්නේ.

විද්‍යාගාරයෙන් ප්‍රතිලාභ ලැබූ පළමු මගීන් වූයේ කටාර් එයාර්වේස්හි QR 668 කින් පැමිණි මගීන් කණ්ඩායම වන අතර, එම ගුවන් යානය ඔක්තෝබර් 27 වන දින අලුයම 02:15 ට මෙරටට ගොඩ බැස්සා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *