මූල්‍ය වංචා වලින් ප්‍රවේශම් වන්න – ශ්‍රී ලංකා මහ බැංකුව

මූල්‍ය වංචා වලින් ප්‍රවේශම් වන්න – ශ්‍රී ලංකා මහ බැංකුව

*********************************************

මූල්‍ය වංචා වලින් ප්‍රවේශම් වන්න – ශ්‍රී ලංකා මහ බැංකුව

26.10.2021 – cbsl.gov.lk)

විවිධ සංවිධානාත්මක පාර්ශව විසින් ඔවුන්ගේ ගිණුම් වලට, විශාල පරිමාණයෙන් විදේශ විනිමය සහ/හෝ දේශීය මුදල් බැර කර ඇති බවත් එම ගිණුම් තාවකාලිකව අත්හිටුවා ඇති බවත් දක්වමින් සහ එම මුදල් නිදහස් කර ගැනීම සඳහා සහය දෙන්නන් හට ප්‍රමාණාත්මක ගෙවීමක් සිදු කරන බවට දැනුම් දෙමින් සිදු කරන මුල්‍ය වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබෙමින් පවතී. ඇතැම් අවස්ථාවලදී එම වංචාකරුවන් විශාල මුදල් ප්‍රමාණයක් විවිධ ගිණුම් වෙත බැර වී ඇති බව දැක්වෙන ව්‍යාජ ලේඛන පෙන්වා සිටින අතර ඔවුන්ට එම මුදල් ආපසු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ලබා ගැනීම පමණක් අවශ්‍ය වන බව පවසනු ලබයි.

මෙවැනි අවස්ථාවන්හිදී, වංචාකරුවන් අදාළ ගනුදෙනුව සිදු කිරීම සඳහා බැංකු ගනුදෙනු කරුවන්ගෙන් සිය පුද්ගලික හැඳුනුම් අංක (PIN), කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදා ගන්නා CVV යන්නෙන් හැඳින්වෙන ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක, ගනුදෙනු සහතික කිරීමේදී යොදා ගන්නා එක්වරක් පමණක් භාවිතා කල හැකි මුරපද (OTP) වැනි හර කාඩ්පත්/ණය කාඩ්පත් වලට අදාළ තොරතුරු සහ ජංගම බැංකුකරණයේදී /අන්තර්ජාල බැංකුකරණයේදී යොදා ගන්නා පරිශීලක නාමය (User ID), මුරපදය (Password) හා එක්වරක් පමණක් භාවිතා වන මුරපද වැනි ගිණුම් තොරතුරු ඉල්ලා සිටිනු ලබයි. එවැනි විස්තර සැපයීමෙන් ගනුදෙනුකරුවන් නිසැකයෙන්ම බරපතල මූල්‍ය වංචාවකට ලක් වනු ඇත.

මෙවැනි ව්‍යාජ දැන්වීම් හා ක්‍රියාවන් වලට හසු නොවන ලෙසත් මෙවැනි වංචා පිළිබඳ සුපරීක්ෂාකාරී වන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අවධාරණය කර සිටී. තමන්ගේ රහස්‍ය තොරතුරු, විශේෂයෙන්ම ගිණුම් පරිශීලක නාම, මුරපද, පුද්ගලික හැඳුනුම් අංක, එක්වරක් පමණක් භාවිතා වන මුරපද, හෝ ගිණුම්වලට පිවිසීමේදී ගිණුම් හිමියා ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා භාවිතා කළ හැකි වෙනත් ඕනෑම තොරතුරක් අනෙකුත් කිසිඳු පාර්ශවයක් සමඟ හුවාමාරු කර නොගත යුතු බවටද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දන්වා සිටී.

තවද, මහජනතාවට සිය ගිණුම් භාවිතා කරමින් සිදුවන ඕනෑම වංචනික ක්‍රියාවක් පිළිබඳව ක්ෂණිකව දැනුම්වත් වීම සඳහා තම බැංකු වලින් කෙටි පණිවිඩ වැනි එසැනින් ගනුදෙනු සම්බන්ධ තොරතුරු දැනුම් දීමේ සේවා සක්‍රීය කරගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී ෴

******************************************

කොල්ලුපිටිය නව වෙළෙඳ සංකීර්ණ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි උපදෙස්

(27.10.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය නව වෙළද සංකීර්ණ ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, කොළඹ මහනගර සභාවේ පක්ෂ නායකයින් සමඟ ඊයේ (26) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදියි.

ආයෝජකයින් දිරිමත් කර සහ එහි පවතින ගැටලු සාකච්ඡා කරමින්, මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් සියලු දෙනා එක්ව එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.

දැනට කොල්ලුපිටිය වෙළෙඳපල පවතින ස්ථානයේ මෙම සංකීර්ණය ඉදිකිරීමට යෝජිත අතර, එය පසුගිය මාර්තු 12 වන දා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වුණා ෴

******************************************

මහ කන්නයේ කුඹුරු වගා කිරීමේ අඩුවක්

(27.10.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

මහ කන්නයේ හෙක්ටයාර් 8,32,000 ක් පමණ වී වගා කිරීමට සැලසුම් කර තිබුණ ද මෙතෙක් වගා කර ඇත්තේ හෙක්ටයාර් 2,70,000 ක පමණක් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

පෙර වසරවලට සාපේක්ෂව මෙය යම් ප්‍රමාණයක් අඩුවක් බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මහා වාරිමාර්ග සහ මහවැලි කලාපයන්ට අයත් කුඹුරු මේ වන තෙක් මහ කන්නය සඳහා වගා කටයුතු ආරම්භ කර නොමැති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියා සිටියා.

පොහොර ගැටලුව සහ ජලය නිකුත් නොකිරීම හේතුවෙන් එම කලාපවල වගා කරයුතු ආරම්භ කිරීම මෙලෙස පමා වී තිබෙනවා.

කෙසේ වෙතත්, ලබන පළමු වැනි දා (01) වනවිට මහවැලි සහ මහ වාරිමාර්ගවලට ජලය නිකුත් කිරීමට පියවර ගන්නා හෙයින් නොවැම්බර් මස 15 වැනි දා වනවිට කුඹුරු වගා කිරීම් සිදු කළ හැකි බව ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර, පොහොර ඉල්ලා අදත් (27) ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

ඇලහැර ගොවිජන සංවිධාන 41 ක නියෝජිතයින් මේ වනවිට බකමූණ නගරයේ මාරාන්තික උපවාසයක නිරත වන්නේ ද පොහොර ගැටලුව මුල් කර ගනිමින්.

අනුරාධපුර – රාජංගනයේ ගොවීන් අද පුත්තලම මං සන්ධියේ විරෝධතාවක නිරත වූයේ රසායනික පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත් යුද හමුදාවේ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මෙහෙයවීමෙන් නිෂ්පාදනය කළ මෙට්‍රික් ටොන් 86.9 ක ප්‍රථම පොහොර තොගය ලක් පොහොර සමාගම වෙත භාර දෙනු ලැබුවා.

එමෙන්ම, දඹුල්ල නගරයේ ඔරලෝසු කණුව වටා කාබනික පොහොර යොදා එළවළු වගාවන් සිදු කර ඇති අතර, නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේ පොහොර ගැටලුව සම්බන්ධයෙන් කරන චෝදනාවලට මෙය ආදර්ශවත් වගාවක් බවයි.

******************************************

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ යකඩ ඇණ 112 ක් ගලවයි

(27.10.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

මුහුදුබඩ මාර්ගයේ ගිංතොට ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ යකඩ ඇණ 112 ක් කිසියම් පිරිසක් විසින් ගලවා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ගාල්ල හා රත්ගම පොලිස් ස්ථානවලට පැමිණිලි සිදුකර ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

පසුගිය දින දෙක (2) තුළ ගිංතොට දුම්රියපළ අසල සිට පාලම දක්වා ඇණ 70 ක් ද, පාලම අසල සිට රත්ගම දෙසට ඇණ 42 ක් ද, මෙලෙස ගලවාගෙන ගොස් ඇති බව සඳහන්.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මෙලෙස දුම්රිය මාර්ගයේ යකඩ ඇණ ගැලවීමේ කටයුතු සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා ෴

******************************************

ඩෙංගු රෝගීන් ඉහළට

(27.10.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකය සඳහන් කළේ, මෙම මාසයේ ගත වූ දින 26 තුළ ඩෙංගු රෝගීන් 2,228 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, බස්නාහිර පළාතෙන්.

ඒ අනුව මෙම මාසයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 856 ක් ගම්පහින් 476 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 209 ක් වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමත් සමඟ මේ වනවිට මීගමුව රෝහලේ ඩෙංගු සහ ඩෙංගු රක්තපාත කළමනාකරණ විශේෂ වාට්ටු 2 හි ඇඳන් 21 ම රෝගීන්ගෙන් පිරී ඇති බව සදහන්.

පවතින තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි නිවාස ඇතුළු පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු යළි ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියා.

ඒ අනුව මදුරුවන් බෝවන ස්ථාන පැවතිය හොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි එම සංගමයේ උප සභාපති එච්.ඒ.යූ.පී. කුලතිලක මහතා සඳහන් කළේ.

ඩෙංගු රෝග ලක්ෂණ පවතී නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා යොමු වන ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිරන්ති සෙනෙවිරත්න මහත්මිය කියා සිටියේ.

******************************************

යල් පැන ගිය නීති සංශෝධනයට

(27.10.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

යල්පැන ගිය නීති 60 ක් සංශෝධනය සඳහා මේ වනවිට අමාත්‍ය මණ්ඩල අනුමැතියට යොමුකර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ඉදිරි වසර ඇතුළත මෙලෙස යල්පැන ගිය නීති බොහොමයක් සංශෝධනය වනු ඇති බවයි, මැදවච්චිය ප්‍රදේශයේ ඊයේ (26) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

******************************************

කුරුණෑගල මහ රෝහල සංවර්ධනයට පියවර

(27.10.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල මහ රෝහලේ නව සංවර්ධන ව්‍යාපෘති සංකල්පය ඇතුළත් සංදේශය ලබන කැබිනට් හමුවට යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

******************************************

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂගේ පැමිණිල්ලට අනුව විමර්ශන ඇරඹේ

(27.10.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පුද්ගලයින් සිදුකර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට අද (27) දන්වනු ලැබුවා.

2019 වසරේ සිදු වූ පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාළව සිදුකර ඇති ද්වේෂසහගත චෝදනාවන් ගණනාවකට විරෝධය පළ කරමිනුයි, ඔහු මෙම පැමිණිල්ල පසුගිය සඳුදා (25) ගොනු කරනු ලැබුවේ.

එම ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබාදුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් වෙත බුද්ධි අංශ විසින් මූල්‍යමය සහ වෙනත් අත්‍යවශ්‍ය සහය ලබාදුන් බව පසුගිය 23 වන දා පැවති සංවාද මණ්ඩපයකට එක්වෙමින්, සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කර ඇති බවයි, රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් දක්වා තිබුණේ.

සිරිල් ගාමිණී පියතුමා

******************************************

වත්මන් දේශපාලන තත්ත්වයන් ගැන පක්ෂ විපක්ෂ අදහස්

(27.10.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

පොහොර අර්බුදය, ඉහළ යන භාණ්ඩ මිල සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා :

******************************************

දරුවන්ට වස දී මවත් වස බොයි

(27.10.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – හාලිඇළ – වේවැල්හින්න ප්‍රදේශයේ කාන්තාවක් තම දියණියන් තිදෙනාට (3) වස දී ඇය ද වස පානය කර රෝහල් ගත කර තිබෙනවා.

35 හැවිරිදි මෙම මව අවුරුදු 3, 4 සහ 6 හැවිරිදි වයස්වල පසුවන දියණියන් තිදෙනාට (3) ඊයේ මෙලෙස වස පොවා ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

මේ වනවිට මව සහ දරුවන් තිදෙනා (3) බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

******************************************

චීන පොහොර පිළිබඳ දයාසිරිගෙන් ප්‍රකාශයක්

(27.10.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

චීනයෙන් මෙරටට පොහොර ගෙන්වීමේ ක්‍රියාවලිය හරහා මෙරට ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට බලපෑම් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මහතා පවසනවා.

පක්ෂ මූලස්ථානයේ අද (27) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ අදහස් පළ කළ අතර, තවත් නිදහස් පක්ෂ නියෝජිතයින් පිරිසක් ද එහිදී අදහස් පළ කළා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

මෙරට ජනගහනයෙන් 60% ක් පුර්ණ එන්නත්කරණයට

(27.10.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනගහනයෙන් සියයට 60 ක් පුර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයින්ට කොරෝනා පරික්ෂණ සිදුකිරීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පසුගියදා ස්ථාපනය කළ කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථානය අද (27) යළි විවෘත කෙරුණා.

ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගම පෞද්ගලික ආයතනයක් හා එක්ව පසුගිය 23 වැනිදා මෙහි වැඩකටයුතු ආරම්භ කළද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි නොවීම හේතුවෙන් එහි වැඩ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වුයේ නැහැ.

පුර්ණ එන්නත්කරණයට භාජනය වු සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සහ මෙරටින් පිටත්ව යන ගුවන් මගීන් සඳහා මෙමගින් කොරෝනා පරික්ෂණ සිදුකර ගත හැකියි.

පැය තුනක (3) කාලයක් ඇතුළත වාර්තා ලබාදීමට මෙහි පහසුකම් පවතින අතර, ඒ සඳහා දිවයිනෙන් පිටත්ව යන මගීන් නියමිත වේලාවට වඩා පැය 06 කට පෙර ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණිය යුතු වනවා.

මේ අතර, වව්නියාව දකුණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙල්ලයිසාමි මහේන්ද්‍රන් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඊයේ (26) මියගොස් තිබෙනවා.

ඔහුගේ ආදාහන කටයුතු වව්නියාව පූන්තෝට්ටම් ආදාහනාගාරයේදී අද (27) සිදු කිරීමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *