ඥානසාර හිමියන්ගේ සභාපතීත්වයෙන් ‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්‍ය සාධක බලකාය ස්ථාපිත කෙරෙයි

ඥානසාර හිමියන්ගේ සභාපතීත්වයෙන් ‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්‍ය සාධක බලකාය ස්ථාපිත කෙරෙයි

*********************************************

ඥානසාර හිමියන්ගේ සභාපතීත්වයෙන් ‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්‍ය සාධක බලකාය ස්ථාපිත කෙරෙයි

(27.10.2021 – 06:42 +0530 – hirunews.lk/sinhala)

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතීත්වයෙන් ‘එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පිහිටුවා තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඊයේ (26) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඇති අතර, ඊට සාමාජිකයින් 13 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයන කර ඒ සදහා පනත් කෙටුම්පතක් සකස් කිරීම, අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වන විට මීට අදාළව සකස් කරන ලද නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයන කොට ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධනයන් වේ නම් ඒ සදහා යෝජනා ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන රාජකාරී වනවා.

මසකට වරක් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදෙන ලෙසත් අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි මස 28 වැනි දිනට හෝ ඊට පෙර ලබාදෙන ලෙසත් අදාළ ගැසට් නිවේදනයේ සදහන්.

ජනපතිගේ අපේක්ෂාව ඉටු කරනවා – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

(27.10.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතීත්වයෙන් පත් කෙරුණු ‘එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ පළමු (1) රැස්වීම ඉදිරි සතියේ පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

අප කළ විමසීමකදී එම බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සදහන් කළේ, මෙමගින් ජනාධිපතිවරයා අපේක්ෂා කරන කාර්ය භාරය ඉටු කිරීමට උපරිම දායකත්වය ලබාදෙන බවයි.

******************************************

‘චීන පොහොර ගැන තුන් වැනි පරීක්ෂාවක් අවශ්‍ය නැහැ’ තනතුරුවලින් ඉවත් කළ මහාචාර්යවරයා කියයි

(27.10.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

දෙවරක් (2) ප්‍රතික්ෂේප වූ චීනයෙන් මෙරටට ගෙන්වීමට නියමිත පොහොර යළිත් වරක් පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන බවත්, එය සුදුසු ක්‍රියාවක් නොවන බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලු තනතුරුවලින් ඉවත් කරන ලද පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසනවා.

මේ අතර, චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර නැවත පරික්ෂා කිරිමට එකඟ වූ බවයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා කොළඹදී ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

මේ අතර ‘ලංකා පොහොර සමාගම’ විසින් ‘චින්දාඕ’ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණය විසින් තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එමඟින් චින්දාඕ චීන සමාගම වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් කළ නොහැකිවන ලෙසටයි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපි යටතේ කිසිදු ගෙවීමක් ලබා ගැනිමටද අවහිර වන පරිදි වානිජ මහාධිකරණය අංක දෙකෙහි විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි විසින් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ඉල්ලීමක් මත මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

පසුගිය සිකුරාදා ද කොළඹ වානිජ මහාධිකරණ අංක 3 විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින්ම චීන සමාගමට සහ දේශීය නියෝජිතයාට එරෙහිව තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

මෙම ගිවිසුම යටතේ චීන සමාගම විසින් ජීවාණුහරණය කළ කාබනික පොහොර මෙරටට නැව් ගත කිරීමට අවශ්‍ය වුවද එම තොගයේ ක්‍ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බවට තිබූ නාවුක උපදෙස්වලදී සමාගම පිළිගෙන ඇති බවද අධිකරණයේදී අනාවරණ වී තිබෙනවා.

ජාතික ශාඛ නිරෝධායන සේවය විසින් ඔවුන් වෙත යවන ලද නියැදිය පරීක්ෂා කර ඇති අතර, ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බවටයි තහවුරු වී ඇත්තේ.

මෙම තොගය කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ටෙන්ඩර් ක්‍රියාවලියකින් ලබාගත් නැව්ගත කිරීමක කොටසක්ද වනවා ෴

******************************************

එකම පවුලේ තුනක් (3) බිලිගත් ඇල්ලවල දියඇල්ලට යෑම තහනම්

(27.10.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇල්ලවල දියඇල්ල නැවත දැනුම් දෙනතුරු සංචාරකයින් සඳහා තහනම් කර තිබෙනවා.

ඒ, පසුගිය දා එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනා (2) එම ඇල්ලේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියත් සමඟයි.

පසුගිය කාලය තුළදී පමණක් ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම කරුණු සැලකිල්ලට ගනිමිනුයි වැල්ලවාය පරිසර කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් පසු ඇල්ලවල දිය ඇල්ල යළිත් සංචාරකයින් සඳහා විවෘත කරන බවයි වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක මහතා සඳහන් කළේ ෴

******************************************

දේශීය ව එකලස් කරන ලද ජීප් රථයක් අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් වෙළදපොළට

(27.10.2021 – 08:53 +0530 – hirunews.lk/sinhala)

30% ක දේශීය අගය එකතු කිරීමක් සහිතව පළමු වරට දේශීයව එකලස් කරන ලද ජීප් රථයක් වෙළදපොළට හදුන්වා දීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) සිදු කෙරුණා.

ඒ, මතුගම – වැලිපැන්නේ පිහිටි වාහන එකලස් කිරීමේ අංගනයේදී යි.

එහිදී කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කළේ, සම්මත මෙහෙයුම් පටිපාටිය හෙවත් එස්.ඕ.පී. හදුන්වා දීමත් සමඟ මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බවයි.

‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත වාහන මහ මඟ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට හැකියාවක් ඇති බවට විශ්වාසය පළ කරන බවයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළේ.

******************************************

කුවේට් අරමුදලේ ආධාර මත මෙරටට තවත් වෛද්‍ය පීඨයක්

(27.10.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

මොරටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට ‘අරාබි ආර්ථිකය සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල’ එකඟතාව පළ කර තිබෙනවා.

මීට පෙර අදාළ වෛද්‍ය පීඨය ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබූ අතර, ඒ සඳහා වන අරමුදල් ලබා දීමටයි කුවේට් අරමුදල එකඟතාව පළ කර ඇත්තේ.

ඒ අනුව යෝජිත ව්‍යාපෘති සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 33.2 ක් ලබාදීමට නියමිතයි.

එම මුදල් ලබාගැනීම සඳහා අදාළ ගිවිසුමට එළඹීම පිණිස මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවද අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා ෴

******************************************

ATM යන්ත්‍රය කඩා මුදල් කොල්ලකෑමට තැත් කළ දෙදෙනකු (2) පොලිස් අත්අඩංගුවට

(27.10.2021 – 09:46 +0530 – hirunews.lk/sinhala)

රාජගිරිය සුපිරි නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සවිකර ඇති , ATM යන්ත්‍රය තියුණු ආයුධයක ආධාරයෙන් කැඩීමට උත්සාහ දරන අයුරු එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ මෙසේ සටහන් ව තිබුණා.

කෙසේ වෙතත්, ATM යන්ත්‍රය කඩා එහි තිබූ මුදල් සොරා ගැනීමට නොහැකිව තිබෙනවා.

යන්ත්‍රයට වූ හානිය මෙතෙක් ගණනය කර නොමැති අතර, සිද්ධියට සම්බන්ධ කෝට්ටේ නගර සභාවේ කම්කරුවෙකු ඇතුළු දෙදෙනෙකු (2) වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි ‘අයිස්’ මත්ද්‍රව්‍යයට දැඩි ලෙස අබ්බැහි වූ දෙදෙනෙකු (2) බව ද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්කඩේ අංක හතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැලිකඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා.

******************************************

වැලි බෙදා හැරීම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතට

(27.10.2021 – 10:13 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ (2022) සිට දිවයින පුරා වැලි බෙදා හැරීම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදු කිරීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

වැලි බෙදා හැරීමේදී අතරමැදියන් විසින් සිදු කරනු ලබන මිල දී ගැනීම් සහ ගසා කෑම් නැවැත්වීම මෙහි අරමුණ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

වැලිතොටුපොළ අයිතිකරුවන් සහ ටිපර් රථ රියදුරන් සමග පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

එමෙන්ම, වැලි නිකුත් කිරීමේදී ආගමික ස්ථානවල සිදු කෙරෙන ඉදිකිරීම් සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව ද පරිසර අමාත්‍යාංශය සදහන් කළා ෴

******************************************

පූජිත්ට සහ හේමසිරිට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව අවසන් කෙරේ

(27.10.2021 – 11:08 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළව වගකීම් පැහැර හැරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහි නඩුව අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, එම නඩුව කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් සංජය ගමගේ හමුවේ අද (27) කැඳවූ අවස්ථාවේදියි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, මෙම චෝදනාව යටතේ සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුවක් විභාග වන බවයි.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගය අවසන් කිරීමටයි, වැඩබලන මහේස්ත්‍රාත් සංජය ගමගේ නියෝග කළේ ෴

******************************************

යුගදනවි ගිවිසුමේ පළමු කොටස නොවැම්බර් අග දී – මහ බැංකුව

(27.10.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ‘නිව් ෆෝට්‍රස් එනජි සමාගම’ යුගදනවි බලාගාරයේ කොටස් මිල දී ගැනීමට අදාළ ඇමරිකානු ඩොලර් මිලියන 250 ක මුදල නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවලදී මෙරටට ලැබීමට නියමිත බව මහබැංකුව ප්‍රකාශ කළා.

එසේම කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ බහුතර කොටස් ඉන්දියානු අදානි සමූහ ව්‍යාපාරය වෙත පැවරීම මේ වන විට අවසන් කර ඇති අතර, ඒ හරහා ද ඩොලර් මිලියන 650 ක මුදලක් මෙරටට ලැබීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ.

මෙරට විදේශ විනිමය සුරක්ෂිත කිරීම සඳහා මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය අදාළ නිවේදනයෙන් විස්තර කර තිබෙනවා.

ඒ අනුව ඌණ උපයෝජිත සහ උපාය මාර්ගික නොවන වත්කම්වලින් මුදල් රැස් කිරීමේ කටයුතුවලට අදාළව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් කර ඇති බවයි සිය නිවේදනයෙන් මහ බැංකුව ප්‍රකාශ කර ඇත්තේ.

ඒ යටතේ කොළඹ කොටුවේ පිහිටි චාමර්ස් භූමිය, වන් ගෝල්ෆේස් සංකීර්ණය පිටුපස ඇති දේපොළ සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණ ඇති අතර, ඊට අදාළව ඇමරිකානු ඩොලර් 200 ක මුදලක් මෙරටට ලැබීමට නියමිතයි.

එහි අත්තිකාරම් මුදල නුදුරේදීම ලැබෙනු ඇති බව මහ බැංකුව විශ්වාසය පළ කර තිබෙනවා.

තවද විදේශ විනිමය හුවමාරු පහසුකම් ඇති කර ගැනීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව, චීන මහජන බැංකුව සහ මැදපෙරදිග බැංකු කිහිපයක් සමග සාකච්ඡා සිදු කරමින් පවතින බව මහබැංකුව සඳහන් කළා.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, විදේශ රජයකට අදාළ ආයතනයකින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක දිගුකාලීන ණයක් ලබාගැනීමට ද රජය කටයුතු කරමින් පවතින බවයි.

මේ අතර, ඇමරිකානු ‘නිව් ෆෝට්‍රස් එනජි සමාගම’ යුගදනවි බලාගාරයේ සිදු කිරීමට යන ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදුලිබල වෘත්තිය සමිති සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් අතර සාකච්ඡාවක් ඊයේ (26) පැවැත්වුණා.

ඒ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදීයි ෴

******************************************

මරණ සහ විවාහ රෙජිස්ට්‍රාර් තනතුර සමග සාමදාන විනිශ්චකාර තනතුරත්

(27.10.2021 – 11:21 +0530 – hirunews.lk/sinhala)

මරණ සහ විවාහ රෙජිස්ට්‍රාර් තනතුර ලබාදීමේදී ඔවුන්ට සාමදාන විනිශ්චකාරකම පිරිනැමීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

දීප ව්‍යාප්තව උප්පැන්න, මරණ සහ විවාහ රෙජිස්ට්‍රාර් සංගමයේ සාමාජිකයින් සමග ඊයේ (26) අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් පැවති අතර, එහිදී රෙජිස්ට්‍රාර්වරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුවයි අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මෙම කටයුතු සිදු කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දී ඇත්තේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

30 ට වැඩි පුරවැසියන් එන්නත් කර අවසන්

(27.10.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

මෙරට වයස අවුරුදු 30 ට වැඩි පුරවැසියන් 100% ක් කොරෝනා එන්නත්කරණය කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ (26) දිනයේදී නව කොරෝනා ආසාදිතයන් 556 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,37,201 ක් දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ, ඊයේ (26) හඳුනා ගත් නව ආසාදිතයින්ගෙන් දෙදෙනෙකු (2) විදේශයන් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 19,544 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (25) සිදු වූ බවට ඊයේ (26) තහවුරු කළ කොරෝනා මරණ 14 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,654 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව මේ වනවිට පුද්ගලයින් 1,50,61,354 දෙනෙකුට කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු (1) මාත්‍රාව ලබා දී ඇති අතර, පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1,32,01,141 ක්.

එළඹෙන නොවැම්බර් මස 01 වැනි දා සිට මෙරට පුරවැසියන්ට කොරෝනා මර්දන එන්නත්වල තුන්වන (3) මාත්‍රාව ලබාදීම සඳහා වන සියලු කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට සිදු කරන කොරෝනා පරීක්ෂාව කටුනායක – 18 කණුව ප්‍රදේශයේ පිහිටි කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථානයේදී අද (27) සිට යළි ආරම්භ කර තිබෙනවා.

මීට පෙර එහි කොරෝනා පරීක්ෂණ ආරම්භ කළ අතර, පසුව එය තාවකාලිකව නතර කිරීමටයි පියවර ගෙන තිබුණේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *