ස්ලිට් (SLIIT) යළි මහපොළ අරමුදලට පවරා ගන්නා බව ඇමති බන්දුල කියයි

ස්ලිට් (SLIIT) යළි මහපොළ අරමුදලට පවරා ගන්නා බව ඇමති බන්දුල කියයි

*********************************************

ස්ලිට් (SLIIT) යළි මහපොළ අරමුදලට පවරා ගන්නා බව ඇමති බන්දුල කියයි

(26.10.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට ලක්ව ඇති මාලඹේ ශ්‍රී ලංකා පරිගණක තාක්ෂණ ආයතනය (SLIIT) යළි මහපොළ අරමුදලට පවරා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

******************************************

තම කර්මාන්තය දියුණු කර ගැනීමට රජයේ සහයෝගය අවශ්‍යයි – කරුවලගස්වැව කඩදාසි නිෂ්පාදකයින්

(26.10.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

තම කර්මාන්තය තවදුරටත් දියුණු කර ගැනීම සඳහා රජයේ අනුග්‍රහය හිමිවිය යුතු බව, කරුවලගස්වැව අලි වසුරු සහ අලි මානා යොදා ගනිමින් කඩදාසි නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයින් පවසනවා.

******************************************

කාබනික පොහොර යොදන ආකාරය ගැන උපදෙස් තවමත් ලැබී නැහැ – ගොවීන්ගෙන් චෝදනා

(26.10.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිතයේදී ගොවීන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ‘හිරු ටී.වි.’ ඔස්සේ විකාශය වුණු ‘සලකුණ’ දේශපාලන සංවාදයට එක්වෙමින් මුල්වරට කරුණු පැහැදිලි කළා.

මේ අතර, තම වගාවන්ට අවශ්‍ය පොහොර නොමැතිව ප්‍රදේශ රැසක ගොවීන් මේ වනවිට දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා.

ඇතැම් ගොවීන් පවසන්නේ තම වගාවන්ට කාබනික පොහොර යොදන ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලැබී නොමැති බවයි.

******************************************

‘කුෂ්’ මත්ද්‍රව්‍ය නිපදවන ශාක වගා කළ විශේෂිත කුටියක් හිඹුටානේ තෙමහල් නිවසක

(26.10.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව – හිඹුටාන ප්‍රදේශයේ තෙමහල් (3) නිවසක ඉහළ මාලයේ විශේෂිත කුටියක වගා කරන ලද ‘කුෂ්’ මත්ද්‍රව්‍ය නිපදවන ශාක 33 ක් තලංගම දූෂණ මර්දන අංශය විසින් අද (26) සොයා ගනු ලැබුවා.

ඒ, කුෂ් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදීයි.

වායු සමීකරණ යන්ත්‍ර සවි කර නියමිත උෂ්ණත්වය පවා පවත්වාගෙන යමින් අදාළ කුටියේ මෙම ශාක වගා කර තිබූ අතර, එම නිවස නිවාස ඉදිකිරීම් සිදු කරන පුද්ගලයෙකුට අයත් බවට හෙළි වී තිබෙනවා.

43 හැවිරිදි එම සැකකරු සහ අදාළ නිවසේ වගා කරන ලද ශාක තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා තලංගම දූෂණ මර්දන අංශය විසින් මුල්ලේරියාව පොලීසිය වෙත භාර දී තිබෙනවා.

******************************************

ගිලෙන නැවකට අපි නගින්නේ නැහැ – පා.ම හේෂා විතානගේ

(26.10.2021 – 16:57 +0530 – hirunews.lk/sinhala)

තමා සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන බවට පළවී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.

මාදිවෙල අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

කෙසේ වෙතත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ලිපියක් මිට දින කිහිපයකට පෙර පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට භාරදුන් බවද හේෂා විතානගේ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

******************************************

කළුතර ප්‍රදේශ රැසකට අනිද්දා පැය 10 ක ජල කප්පාදුවක්

(26.10.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (28) පෙරවරු 9 සිට පැය 10 ක කාලයක් කළුතර අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, නාගොඩ, බෙන්තොට, පයාගල, මග්ගොන, බේරුවල, දර්ගා නගරය, අලුත්ගම, මොරගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක් ඊට අයත් ෴

******************************************

කොවිඩ් තත්ත්වය නිසා මේ වසරේ රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමියි

(26.10.2021 – 18:04 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් තත්ත්වය නිසා මේ වසර තුළ මේවන විට රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇති බව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් M.J. ගුණසිරි මහතා පසුගියදා (22) පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී පවසා තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160 ක් වුවද පවතිත තත්ත්වය හමුවේ ඊට ළගා වීම අපහසු බවත් සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවට පෙන්වා දුන්නා.

ඒ මහතා මේබව පැවසුවේ සුරාබදු දෙපාර්තමේන්තුවට අදාළව 2019 වර්ෂය සදහා වූ විගණාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද විමසා බැලීම සදහා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.

සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්ත‍මේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව එකිනෙකට සම්බන්ධ වන පරිඝණක පද්ධතියක් සැකසීම සම්බන්ධයෙන් 2019 වසරේදී පැවති කෝපා කමිටු රැස්වීමවකදී නිර්දේශ ලබාදී තිබුණද එය මේ දක්වා ක්‍රියාත්මක කර නොතිබීම පිළිබදව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

තවද දෙපාර්තමේන්තුවේ සුරාබදු ආදායම ගණනය කිරීමේ ක්‍රියාවලිය නිවැරදි කිරීමට අදාළව පරිඝණක මෘදුකාංග පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද කමිටුව අවධාරණය කළ අතර 2016 වර්ෂයේ සිට 2018 වර්ෂය සදහා අයවැය සහ පරිපූරක මගින් ප්‍රතිපාදන වෙන් වී තිබුණද එම ව්‍යාපෘතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නොතිබීම පිළිබදව ද ‍අවධානය මෙහිදී යොමු වුණා.

මේ අනුව දෙපාර්තමේන්තුව අයත් සියලුම ආයතන ඒකාබද්ධ කරමින් ද ඉතා කඩිනමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දෙනු ලැබුවා ෴

******************************************

මෙරට සංචාරක ප්‍රවර්ධනයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට වෙළෙඳ අමාත්‍යාංශයේත් සහය

(26.10.2021 – 18:11 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් යුතුව ලොව පුරා විසිරී පැතිරී සිටින විදේශ දූත මණ්ඩල සාමාජිකයින්, වාණිජ දෙපාර්තමේන්තු නියෝජිතයින් හා අනෙකුත් නිලධාරීන් අතර හමුවක් අද (26) දින මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණා.

සංචාරක ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා කඩිනම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.

වෙළෙඳ අමාත්‍යාංශය, රජයේ වාණිජ දෙපාර්තමේන්තුව මෙන්ම සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් තුළින් මෙරටට ඒ ඒ රටවල්වලින් සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග රැසක් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

පූර්ණ එන්නත්කරණයට ලක් කරන ලද සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වූ සෞඛ්‍යාරක්ෂක මාර්ගෝපදේශයන් සැපයීමට කටයුතු කිරීම තුළ මෙරට ජන ජීවිතයට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවන අයුරින් මෙම සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය ද මෙහිදී සාකච්ඡා කළා.

මෙහිදී අදහස් දැක්වූ වෙ‌ළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ජාතික වශයෙන් අපහසු අවස්ථාවකදී ඒ ඒ තනතුරට පැවරී ඇති රාජකාරීවලට අමතරව හැකි උපරිම ශක්‍යතාවයෙන් යුතුව මෙරටට සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට කටයුතු කිරීමෙන්, රටේ ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදයට සාර්ථකව මුහුණ දිය හැකි වන බවයි.

එමෙන්ම දේශීය ආයුර්වේද ක්‍රමය, සිනමා කර්මාන්තය සඳහා පසුතල සැපයීම්, කාබනික නිෂ්පාදන මෙන්ම මෙරටට ආවේණික නිෂ්පාදනවල නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමටත් ඒ පිළිබඳව නිසි දැනුවත් කිරීම තුළින් පහසුවෙන්ම සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේ හැකියාව ද ලැබෙනු ඇති බව මෙහිදී අනාවරණය කෙරුණා.

මීට අමතරව සිනමා කර්මාන්තයට අවශ්‍ය පසුතල සැපයීමටත්, සංචාරක හෝටල් ප්‍රවර්ධනය හා ගැමි පරිසර තුළ නව සංකල්ප බිහි කරමින් සංචාරක පුරවර ඇති කිරීමටත් මෙහිදී යෝජනා වූ අතර, ඒ සඳහා භූගෝලීය පිහිටීම් හා පාරිසරික සාධක මත පදනම් වෙමින් ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාව උනන්දු කරවීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරුන් විසින් පෙන්වා දෙනු ලැබුවා.

විවිධ රටවල දැනට පනවා ඇති නීති රෙගුලාසි සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදහස් අනුව, එම නිලධාරීන් සඳහා උපදෙස් ලබා දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ ඒ රටවල තානාපතිවරුන් සමඟ සාකච්ඡා කොට මෙරට සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද හා සංචාරකයින් සඳහා ඇති ආරක්ෂිත බව පිළිබඳව ද දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ශ්‍රී ලංකා රජයට අයත් දේශීය නිෂ්පාදන අලෙවි කරනු ලබන ආයතනවල හා ලංකා සතොස වැනි රජයේ වගකීමෙන් යුතු අලෙවිසැල්වල ශාඛාවක් හෝ කිහිපයක් අනෙකුත් රටවල ඇති කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ද වෙළෙඳ අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් ආසාදිතයින් 300 ක් පූර්ණ සුවය ලබයි

(26.10.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, තවත් කොරෝනා ආසාදිතයින් 300 දෙනෙකු අද (26) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

අද (26) දිනයේදී සුවය ලද ආසාදිතයින් සමග, මෙරට වයිරසය ආසාදිතව සුවය ලද මුළු සංඛ්‍යාව 5,04,003 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 19,002 ක් ෴

+++++++++++++++++

ගුවන් මගීන්ගේ පහසුවට මාර්ගගත සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හඳුන්වාදීමට පියවර ගැනේ

(26.10.2021 – 16:49 +0530 – hirunews.lk/sinhala)

ගුවන්තොටුපළ මගී හැසිරවීමේ වත්මන් වෙනස්කම්වලට අවධානය යොමු කරමින්, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මගින් හැසිරවීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා මාර්ගගත සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

මෙවැනි ක්‍රමයක් හඳුන්වාදීමේ මූලික අරමුණ වනුයේ, භෞතිකව සෞඛ්‍ය ප්‍රකාශන පෝරම පිරවීම අවම කිරීම සහ ගුවන්තොටුපළ මගීන් හැසිරවීමේ කාලය අවම කිරීම සඳහායි.

එමගින් සෞඛ්‍ය බලධාරීන්ට මගීන්ගේ තොරතුරු කල් තියා ලබා ගැනීමට හැකි වන බැවින්, පෝලිම් කාලය අඩු කරමින් මගීන්ගේ සෞඛ්‍ය වාර්තා සමාලෝචනය කිරීමට මෙම නව ක්‍රියාවලිය උපයෝගී වනු ඇති.

පැමිණෙන මගීන් සඳහා මාර්ගගත සෞඛ්‍ය ප්‍රකාශන පෝරමය පිරවීමට www.airport.lk යන වෙබ් සබැඳියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකියි.

ඊට අදාළ සම්පූර්ණ වෙබ් අඩවි සබැඳිය වන්නේ,
https://www.airport.lk/health_declaration/index යන්නයි.

එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සන්නිවේදන අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, මගීන් වෙබ් අයදුම්පත්‍රය පුරවා ඉදිරිපත් කළ යුතු අතර, ඔවුන් විසින් සෞඛ්‍ය ප්‍රකාශයට අදාළ ලියකියවිලි ඊට අමුණා තිබිය යුතු බවයි.

ඒ අතර, තමන් ලබාගත් එන්නත් මාත්‍රා ද්විත්වයෙහිම කාඩ්පත සහ පිටත්වීමට පැය 72 කට පෙර සිදු කරන ලද කොවිඩ්-19 පරීක්ෂණ වාර්තාව ද ඊට ඇතුළත් විය යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

විස්තර ඉදිරිපත් කළ පසු මගියාට කේත අංකයක් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති අතර, ඊට අමතරව එම කේතය සහිත විද්‍යුත් තැපැල් පණිවිඩයක් ද අදාළ මගියාට ලැබෙනු ඇති.

එමෙන්ම මගීන් ගුවන්තොටුපළට පැමිණීමට පෙර, ගුවන්තොටුපළේ සෞඛ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ තොරතුරු ලැබෙන අතර, සෞඛ්‍ය නිලධාරීන් විසින් ගුවන් මගීන් විසින් සපයනු ලබන තොරතුරු සමාලෝචනය කිරීම ද සිදු කෙරෙනවා.

සෞඛ්‍ය ප්‍රකාශන පෝරම මාර්ගගතව පුරවා ඇති මගීන් කේතය සිය ජංගම දුරකතනයෙන් හෝ විද්‍යුත් තැපැල් පණිවිඩයක් මගින් සෞඛ්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

+++++++++++++++++

අද (26) දිනයේදීත් ආසාදිතයින් 440 ක්

(26.10.2021 – 17:50 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් නව්‍ය කොරෝනා වෛරස ආසාදිතයින් 440 දෙනෙකු අද (26) දිනයේදීත් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ සමග මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,37,085 ක් දක්වා ඉහළ යනු ඇති ෴

නව්‍ය කොරෝනා ආසාදිත මරණ 14 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) දිනයේදී තහවුරු කර තිබෙනවා. එම මරණ 14 ට පිරිමි මරණ 09 ක් සහ කාන්තා මරණ 05 ඊට ඇතුළත්. ඒ සමග මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිත මුළු මරණ සංඛ්‍යාව 13,654 ක් දක්වා ඉහළ යනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *