ඉන්දියානු ප්‍රකෝටිපති ගෞතම් අදානි ජනපති හමුවේ – මන්නාරමේ ආයෝජන අවස්ථා ගැනත් සොයයි

ඉන්දියානු ප්‍රකෝටිපති ගෞතම් අදානි ජනපති හමුවේ – මන්නාරමේ ආයෝජන අවස්ථා ගැනත් සොයයි

*********************************************

ඉන්දියානු ප්‍රකෝටිපති ගෞතම් අදානි ජනපති හමුවේ – මන්නාරමේ ආයෝජන අවස්ථා ගැනත් සොයයි

(25.10.2021 – 20:43 +0530 – hirunews.lk/sinhala)

තුන් (3) දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දියාවේ අදානි සමාගමේ සභාපති ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි සමග පැමිණි කණ්ඩායම අද (25) මන්නාරම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

කොළඹ වරාය බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා එක්ව සිටින අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ෆෝබ්ස් ඉන්දියානු ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවේ දෙවැන්නා (2) යි.

මුකේෂ් අම්බානිට පමණක් දෙවැනි වන ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 75 කට ආසන්නයි.

ඊයේ (24) රාත්‍රියේ පෞද්ගලික ගුවන් යානා දෙකකින් (2) ගෞතම් අදානි ඇතුලු 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට පැමිණි අතර, ජනාධිපතිවරයා සමඟ අද (25) දිනයේ හමුවක් පැවැත්වීමට ද නියමිත බව හින්දු පුවත්පත වාර්තා කර තිබුණා.

ගෞතම් අදානි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට නියමිත හමුවේදී මෙරට වරාය, බලශක්ති සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැළසුම් කර ඇති බව ද හින්දු පුවත්පත් වාර්තාවේ දැක්වුණා.

ඒ අනුව ගෞතම් අදානි අද (25) උදෑසන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මුණ ගැසී තිබෙනවා.

ඔහු සමග පැමිණි නියෝජිතයින් අතරට ගෞතම් අදානිගේ පුත් සගාර් අදානි, අදානි ට්‍රාන්ස්මිෂන් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් අයත්.

ඔවුන් අද (25) මන්නාරම ප්‍රදේශයේ සංචාරයක නිරත වූයේ සුළං සහ සූර්යබල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක ආයෝජනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමටයි.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා, ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපතිවරයා මෙන්ම සාමාන්‍යාධිකාරීවරයා ද එක්වුණා. මන්නාරමේ ඉදිකර ඇති මෙරට විශාලතම සුළං බලාගාරය ඔහු නිරීක්ෂණයට ලක් කර තිබෙනවා.

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කරනු ලබන්නේ ද ඉන්දියාවේ අදානි සමාගමයි.

ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනයක් සහිත එම ව්‍යාපෘතිය සඳහා පසුගිය සැප්තැම්බර් 30 වනදා අත්සන් තැබුණු අතර, එහි සියයට 51 ක කොටස් හිමිකාරීත්වයක් අදානි සමාගමට හිමි වනවා.

හවුල් ව්‍යාපෘතියක් ලෙස වසර 35 ක කාලයක් ආවරණය වන පරිදි කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකොට, මෙහෙයුම් ක්‍රියාත්මක කර අයිතිය පැවරීම සිදුවනු ඇති.

මේ අතර කොළඹ වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස සවි කිරීමේ උත්සවය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් අද (25) පැවැත්වුණා.

******************************************

සය (6) මසකට පසු පාසල් පැමිණි ගුරුවරු විරෝධතාවල

(25.10.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

වැටුප් ගැටළු විසදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සන්ධානය අද (25) පාසල් නිමා වීමෙන් පසු විරෝධතාවල නිරත වුණා.

ඔවුන් දිවයින පුරා නගර රැසක අද (25) පස්වරුවේ මෙම විරෝධතා සංවිධාන කර තිබූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ මාස 6 කට ආසන්න කාලයක් වසා දමා තිබූ දිවයිනේ සියළු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යයන කටයුතු අද (25) යළි ආරම්භ කෙරුණා.

වර්ජනයේ නිරත ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජනය කරන ගුරුවරුන් ද අද (25) ඉගැන්වීමේ කටයුතු සඳහා පාසල් පැමිණීම විශේෂත්වයක්.

මේ අතර, හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ප්‍රධාන පාසලක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් අද (25) පාසලට කැදවා ඉගැන්වීමේ කටයුතු සිදුකර ඇති අතර විදුහල්පතිවරයාට අවවාද කර එම සිසුන් යළි හරවා යැවීමට පොලීසිය කටයුතු කර තිබුණා.

එමෙන්ම, ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සංවිධාන කළ විරෝධතා මාලාවේ ප්‍රධාන විරෝධතාව අද (25) පස්වරුවේ පැවැත්වුණේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදියි.

ඒ හේතුවෙන් කොළඹ කොටුව සහ පිටකොටුවේ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් ද හටගෙන තිබුණා.

******************************************

කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගය සලකා බැලීම 29

(25.10.2021 – 20:21 +0530 – hirunews.lk/sinhala)

විදේශීය රටවලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 29 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මේ අතර, පොහොර ගැටළුව මුල් කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල අදත් උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා.

පොළොන්නරුව – බකමුණ ප්‍රදේශයේ ගොවි සංවිධාන 41 ක නියෝජිතයින් බකමුණ නගරයේදී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේ ඊයේ (24) පස්වරුවේයි.

එම උපවාසය අඛණ්ඩව දෙවන (2) දිනටත් අද (25) ක්‍රියාත්මකයි. ඔවුන් පවසන්නේ සිය වගාවන් සඳහා පොහොර ලබා දෙන තුරු උපවාසය අත්නොහරින බවයි.

ඇලහැර ප්‍රදේශීය ලේකම්වරිය උපවාසය පවතින ස්ථානයට ඊයේ (24) රාත්‍රියේ පැමිණ උපවාසය අත්හරින ලෙසට ගොවින්ගෙන් ඉල්ලා සිටිය ද ගොවීන් ඊට එකඟ වූයේ නැහැ.

මේ අතර, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කළ ගොවි උද්ඝෝෂණයක් අද (25) පොළොන්නරුව නගර මධ්‍යයේදී පැවැත්වුණා.

පසුව විරෝධතාකරුවන් පොළොන්නරුව දිසාපතිවරයා වෙත ලිපියක් භාරදීම සඳහා තමන්කඩුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියා.

තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ විරෝධතාකරුවන් දිසාපති කාර්යාලය වෙත රැගෙන ගිය අතර, එහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයින් හා ගොවීන් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත සංදේශයක් භාරදෙනු ලැබුවා.

මේ අතර, මහනුවර – දවුලගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කාබනික දියර පොහොර සහ ඝන කාබනික පොහොර සකසා ගනිමින් තම ගෙවත්තේ එළවළු සහ පළතුරු වර්ග සාර්ථකව වගා කිරීමේ පුවතක් වාර්තා වනවා.

එසේම කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ රසායනික පොහොර වලින් වගාවන්ට ලැබෙන සංඝටක කාබනික පොහොර භාවිතයෙන් ලබාදීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, රත්නපුර ප්‍රදේශයේදී ඊයේ (24) මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ තේ, රබර් ඇතුළු වගා කිහිපයක් සඳහා අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර විදේශීය රටවලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 29 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය, මෝසමක් මාර්ගයෙන් ඉදිරිපත් කළ එම පෙත්සම අද (25) සලකා බලනු ලැබුවේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

මේ අතර, රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව හරිත ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වූ එහි කුලපති අතිපූජ්‍ය ආචාර්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් ප්‍රකාශ කළේ තිරසර සංවර්ධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙල අගය කළ යුතු බවයි.

******************************************

සීනි ගැටළුව උග්‍ර වේ – ආනයනකරුවන් සහ රජය අතර විශේෂ සාකච්ඡා

(25.10.2021 – 20:47 +0530 – hirunews.lk/sinhala)

ආනයනය සඳහා අවසර පැවතුණ ද රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් සීනි ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව සීනි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මෙරටට ආනයනය කළ සුදු සීනි තොග මේ වන විට අවසන් වී ඇති බවයි වෙළදපළ ආරංචි මාර්ග අනාවරණ කළේ.

දැනට වෙළදපළේ සීනි හිඟයක් පවතින අතර, රජය විසින් සීනි සදහා පැනවූ පාලන මිල ද ඉක්මවමින් දැනට වෙළදපළේ සීනි අලෙවි වන බවට අප පසුගිය දින කිහිපය පුරාම තොරතුරු වාර්තා කළා.

මේ වන විට වෙළදපළේ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 170 කට ආසන්න මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.

රජය, සීනි ආනයනය සඳහා අවසර ලබාදී ඇතත් රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් සීනි ආනයනයට බාධා එල්ල වී ඇති බව ආනයනකරුවන් පෙන්වා දෙනවා.

අවශ්‍ය සීනි ප්‍රමාණය මෙරටට ගෙන්වා ගැනීමට අදාළව හෙට සහ අනිද්දා දිනවල ආනයනකරුවන් සමග සාකච්ඡා පවත්වන බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් පීඩාවට පත්ව ඇත්තේ මෙරට පාරිභෝගික ජනතාවයි.

******************************************

කුකුලන් මරන්න බැරුව ගමෙන් ආපු මම ‘චූටිබබා’ ගෙන් සුපිරි ධනවතෙක් වුණා – ඊට පස්සෙ හාස්කමකින් පුතා උපන්නා (22.10.2021)

Imashi Education – Online School

https://imashipublications.lk/

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

සංචරණ සීමාවල වෙනසක් – රාත්‍රී සංචරණ සීමා අද (25) සිට ඉවත් කෙරේ

(25.10.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා තිබු සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සව ශාලා තුල අමුත්තන් 100 දෙනෙකුට ද එළිමහන් මංගල උත්සව සඳහා අමුත්තන් 150 ක උපරිමයකට යටත්ව රැස්වීම සඳහා අවසර ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

කෙසේ වුවත් විවාහ මංගල උත්සව වලදී මත්පැන් භාවිතා කිරිමට අවසර හිමි වන්නේ නැහැ.

මේ අතර ආපන ශාලා තුළ එකවර උපරිමව පුද්ගලයින් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර හිමිව ඇති අතර එළිමහන් උත්සව සඳහා සහභාගිවිය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100 ක් දක්වා වැඩි කර තිබෙනවා.

එමෙන්ම කාර්යාල රැස්වීම සඳහා අවසර හිමිවන්නේ අදාළ ශාලාවේ ඉඩ ප්‍රමාණයෙන් 1/3 ක ප්‍රමාණයකට වන අතර එය උපරිමය පුද්ගලයින් 150 කට සීමා වනවා.

මේ අතර රාත්‍රී 11:00 සිට අලුයම 04:00 දක්වා පනවා තිබු සංචරණ සීමාවන් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරෙනවා ෴

++++++++++++++++++

ජාත්‍යන්තර සමාගම් ත්‍රීරෝද රථ වෘත්තිය විනාශ කළා – නියමනයට ආයතනයක් තියා පියන් කෙනෙක් වත් නෑ (25.10.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *