දිවයින පුරා සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි අද (25) සිට යළි ඇරඹෙයි

දිවයින පුරා සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි අද (25) සිට යළි ඇරඹෙයි

*********************************************

දිවයින පුරා සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි අද (25) සිට යළි ඇරඹෙයි

(25.10.2021 – 06:27 +0530 – hirunews.lk/sinhala)

ප්‍රාථමික අංශවල අධ්‍යාපන කටයුතු අද (25) යළි ආරම්භ කළ සියලු පාසල්වල සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ථ මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ වනවිට ලැබී ඇති වාර්තාවලට අනුව බොහෝ පාසල්වල ප්‍රාථමික අංශයේ සමස්ත සිසුන්ගෙන් 60% ක් හෝ ඊට ඉක්ම වූ ප්‍රතිශතයක් පාසල් වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ද සඳහන් කළේ, සිසුන් සහ ළමයින් ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පාසල් වෙත පැමිණි අයුරු නිරීක්ෂණය කළ බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම අල් හික්මා විද්‍යාලයේ ළමුන් පාසල් පැමිණියද එහි ගුරුවරුන් විසින් ඔවුන් යළි නිවෙස් වෙත හරවා යවා තිබෙනවා. පාසල් ආරම්භ කිරීමට සුදුසු පරිදි පවිත්‍රා කටයුතු සිදු නොකර තිබීම ඊට හේතුවයි.

කෙසේ වෙතත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෙසු පාසල්වල සිසුන්ගේ පැමිණීම සාධනීය මට්ටමක පැවති බව හිරු අනුරාධපුර වාර්තාකරු තම්සීර් හමීඩ් කියා සිටියා.

මේ අතර උතුරේ පාසල්වල ප්‍රාථමික අංශ ද අද (25) නියමිත පරිදි ආරම්භ වුණා.

අප වාර්තාකරු මාධව කුලසූරිය කියා සිටියේ, ඇතැම් පාසල් දරුවන් සැහැල්ලු ඇදුම්වලින් සැරසී පැමිණෙන අයුරු නිරීක්ෂණය කළ බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ (24) ප්‍රකාශ කළේ, නිල ඇඳුම නොමැති නම් වෙනත් සුදුසු ඇඳුමකින් පාසලට පැමිණිය හැකි බවයි.

කොළඹ පාසල්වල ප්‍රාථමික අංශ ද අද (25) සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම අද ඉහල මට්ටමක පැවති බවයි.

කෙසේ වෙතත් ගුරු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ නියමිත වේලාවෙන් බැහැරව ස්වෙච්ජාවෙන් සිදු කරන කිසිදු කටයුත්තකට ගුරුවරුන් සහාය ලබා නොදෙන බවයි.

එමෙන්ම අද (25) පස්වරුවේ පාසල් අසල විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද කොළඹ අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළා.

අද (25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ, පාසල් කටයුතු පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය නිර්දේශවලට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ෴

+++++++++++++++++

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 3,05,370 ක් දිවයිනට

(25.10.2021 – 06:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 3,05,370 ක් අද (25) අලුයම මෙරටට රැගෙන විත් තිබෙනවා.

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී නීතීඥ දිනූෂ දසනායක මහතා සඳහන් කළේ අද (25) අලුයම දිවයිනට රැගෙන එනු ලැබූ ෆයිසර් එන්නත් තොගයත් සමඟ ශ්‍රී ලංකාව මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන දෙකක් (2) මෙරටට ලැබී ඇති බවයි.

මේ අතර නව ආසාදිතයන් 555 දෙනෙකු ඊයේ (24) හදුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතන් සංඛ්‍යාව 5,36,084 ක් ලෙස ඉහළ ගියා.

මේ අතර ඊයේ (24) වාර්තාවූ නව ආසාදිතයන් 555 දෙනාම අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වනවා.

ඒ අනුව මෙරට සක්‍රිය ආසදිතයන් සංඛ්‍යාව 19,085 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට ඊයේ (24) තහවුරු කරන ලද නව මරණ 18 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,611 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 5,03,388 ක් ෴

++++++++++++++++

දුම්රිය ධාවනයත් ඇරඹේ

(25.10.2021 – 07:08 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය අද (25) ආරම්භ කෙරුණා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ අද (25) පෙරවරුවේදී දුම්රිය ගමන් වාර 60 ක් ක්‍රියාත්මක බවයි.

කෙසේ වෙතත්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන අතර දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි පුද්ගලයින්ට පමණක් අද (25) සිට දුම්රිය භාවිත කළ හැකියි.

එසේම, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීම සඳහා දුම්රිය ස්ථානවලට පොලිස් නිලධාරීන් ද යෙදවීමට කටයුතු කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++

විදේශ වෛද්‍ය අධ්‍යාපනය ලබන සිසුන්ට දැනුම් දීමක්

(25.10.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

විදේශ විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙරට සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය පාඨමාලා හැදැරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ වංචනික ක්‍රියාවක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා.

කෙසේ වෙතත්, මේ වනවිට ගෝලීයව පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විදේශගතව වෛද්‍ය අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් විශාල පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙරට සිට තම අධ්‍යයන කටයුතු සිදු කරගෙන යනු ලබනවා.

එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, විදේශ වෛද්‍ය විද්‍යාල, විශ්වවිද්‍යාල සහ වෙනත් ආයතනවලට ශ්‍රී ලංකාවට අදාළ වන ලෙස වෛද්‍ය උපාධි පිරිනැමීමට අවසර දී ඇත්තේ නේවාසික පාඨමාලා පැවැත්වීමේ පදනම මත බවයි.

ඒ අනුව එම පාඨමාලාවන් හි පූර්ව සායනික, අර්ධ සායනික සහ රෝහල් සායනික පුහුණුවීම් සියල්ල අදාළ විශ්වවිද්‍යාල පිහිටි රටේ නේවාසිකව සිට සම්පූර්ණ කළ යුතුවීම අනිවාර්ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවධාරණය කරනවා.

ඒ අනුව යම් ආයතනයක් හෝ සිය පාඨමාලා නේවාසිකව සම්පූර්ණ නොකර මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කර සහතික ඉදිරිපත් කිරීම වංචනික සහ නීතිවිරෝධී ක්‍රියාවක් බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

යම් පුද්ගලයෙකු අදාළ කොන්දේසි සම්පූර්ණ නොකර උපාධි සහතික පත්‍රයක් ඉදිරිපත් කළ හොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට වෛද්‍ය ආඥා පනත යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බලය ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් අප කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ වෛද්‍ය උපාධිය පිරිනමන විදේශ වෛද්‍ය විද්‍යාල, විශ්වවිද්‍යාල සහ අනෙකුත් ආයතන රැසක් ශ්‍රී ලංකාව සමග මීට පෙර එළඹ ඇති අවබෝධතා ගිවිසුම් උල්ලංඝනය කරමින් කටයුතු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් අදාළ වෛද්‍ය විද්‍යාල හා විශ්වවිද්‍යාල වෙත අවස්ථා ගණනාවකදී දැනුම් දීම් සිදුකළ ද කිහිපයක් හැර බහුතරයක් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව ද වෛද්‍ය සභාව තහවුරු කළා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමග එළඹ ඇති ගිවිසුමෙන් බැහැරව වෛද්‍ය උපාධියට අදාළ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමේදී ඒ පිළිබදව වෛද්‍ය සභාව දැනුවත් කිරීමට එම වෛද්‍ය විද්‍යාල හා විශ්වවිද්‍යාල බැදී සිටින බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියා සිටියා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

මා ඔයේ දිය නෑ අයෙක් දියේ ගිලී මරුට

(25.10.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala)

කොච්චිකඩේ පොලිස් වසමේ කොච්චිකඩේ මා ඔයේ දියනෑමට ගිය පුද්ගකයෙකු දියේ ගිලී මිය ගිය සිදුවීමක් වාර්තා වෙනවා.

මරණකරු වයස අවුරුදු 18 ක අම්බලයාය, කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය මීගමු රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කොච්චිකඩේ පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

******************************************

සාමූහික වගකීම ආරක්ෂා කරන්නැයි ජනපති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

(25.10.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

සාමුහික වගකීම ආරක්ෂා කර ගනිමින් ඉදිරි වැඩපිළිවෙල සඳහා සහයෝගය දක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙනවා.

ඒ ඊයේ (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදීයි.

මෙහිදී ඉදිරි අයවැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා.

******************************************

සුදු සීනි තොග අවසන් වෙයි

(25.10.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

වෙළදපොළේ මේ වනවිට සුදු සීනි තොග අවසන් වී ඇති බවට වෙළදපොළ ආරංචි මාර්ග පවසනවා.

දැනට වෙළදපොළෙහි සීනි හිඟයක් ද පවතින අතර, රජය විසින් සීනි සඳහා නිකුත් කර ඇති පාලන මිල ද ඉක්මවා දැනට වෙළදපොළෙහි සීනි අලෙවි වන බවට අප පසුගිය දින කිහිපය තුළම තොරතුරු අනාවරණ කළා.

මේ වනවිට සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෙළදපොළෙහි දැනට ඇත්තේ දුඹුරු සීනි පමණක් බවයි සීනි ආනයනකරුවන් සදහන් කළේ.

රජය විසින් සීනි ආනයනය කිරීම සදහා අවස්ථාව ලබා දී ඇතත් රට තුළ පවතින ඩොලර් හිගය හේතුවෙන් සීනි ආනයනයට බාධා එල්ල වී ඇති බවයි ආනයකරුවන් කියා සිටියේ ෴

******************************************

උපවාසයේ නිරත ඇලහැර ගොවීන්ගෙන් ඉල්ලීම් 3 ක්

(25.10.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

බකමූණ නගරයේ උපවාසයේ නිරත වන ගොවි සංවිධාන 41 ක නියෝජිතයින් රජය වෙත ඉල්ලීම් 3 ක් ඉදිරිපත් කර තිබෙනවා.

එම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර ලැබෙනතුරු තමන් අඛණ්ඩ උපවාසයේ නිරත වන බවයි ඇලහැර රාජ්‍ය ගොවි සංවිධාන නියෝජිතයින් ප්‍රකාශ කළේ.

ඔවුන් ඊයේ (24) බකමූණ නගරයේ උපවාසයක් ආරම්භ කළේ පොහොර ගැටලුව මුල් කර ගනිමින් ෴

******************************************

පයාගල පොලිස් ස්ථානාධිපතිට බලපෑම් කළ, ව්‍යාජ CID අධ්‍යක්ෂ අත්අඩංගුවට

(25.10.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

පොලීස් දෙපාර්තමේන්වේ උසස් නිලධාරියෙකු බව පවසමින් සිය පුත්‍රයා නිදහස් කරන්නැයි ඉල්ලා පොලිස් ස්ථානාධිපතිවරයෙකුට බලපෑම් එල්ල කළ පියෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පහරදීමකට අදාළ සැකකරුවෙකු නිදහස් කරන්නැයි ඉල්ලා දුරකථන ඇමතුමකින් මෙලෙස බලපෑම් එල්ල කර ඇත්තේ පයාගල පොලිසියේ ස්ථානාධිපතිවරයාටයි.

පයාගල – වඩුගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකට සම්බන්ධ තරුණයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව අදාල තරුණයාගේ පියා විසින් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා බව පවසමින් පසුගිය 22 වන දා පයාගල පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දී තිබෙනවා.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයා නිදහස් කරන ලෙසයි.

නැතහොත් තමාට ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු කරන බව සැකකරු ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පොලිස් ස්ථානාධිපතිවරයා මේ පිළිබදව රාජකාරී සටහනක් ද යොදා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පසුව සිද්ධියට අදාළව දෙපාර්ශවයම පොලීසියට කැදවන්නේ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අහඹු ලෙස රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයා බවට පවසමින් ලැබුණු දුරකථන ඇමතුමට ඇමතුමක් ලබාගෙන තිබුණා.

එහිදී පොලිස් ස්ථානයේ ගැටුමට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුගේ පියාගේ ජංගම දුරකථනය නාද වී තිබෙනවා.

එම අවස්ථාවේදී හෙළි වූයේ ඔහු විසින් මෙලෙස ඇමතුමක් ලබාදී ව්‍යාජ අන්දමින් රඟපෑමක් සිදුකර ඇති බවටයි.

සැකකරු අත්අඩංගුවට ගෙන මේ මස 02 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කළුතර මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබුණේ ෴

******************************************

ජාතික රුපවාහිනි ආයතනයේ සේවකයන් සිය වැටුප ඉල්ලා විරෝධතාවයක (25.10.2021)

මෙම මාසයට නියමිත වැටුප ගෙවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවකයෝ අද (25) දිනයේ විරෝධතාවක නිරත වූහ.

මෙම විරෝධතාවය පැවැත්වී ඇති රූපවාහිනී සංස්ථාවේ ඉහළ නිලධාරීන්ගේ රැස්වීමක් සභාපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබෙන අතරතුරදී ඒ අසලදීය.

වැටුප් කප්පාදුව නතර කරන ලෙස ද විරෝධතාවේ යෙදුණු සේවකයන් ඉල්ලුහ.

++++++++

******************************************

මේක ඇති ‍හොදටම ඇති – අපේ දැන් රතුකට්ට පැනලා – මම වැඳලා කියන්නම් – මේ රට විනාශ කරන්න එපා – ආචාර්යවරියක් කියයි (25.10.2021)

******************************************

අදානි සමාගමේ සභාපති සහ ජනපති අතර හමුවක් අද (25)

(25.10.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගතව සිටින ඉන්දියාවේ අදානි සමාගමේ සභාපති ගෞතම් අදානි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (25) පැවැත්වෙනවා.

‘ද හින්දු’ පුවත්පත වාර්තා කළේ, පෞද්ගලික සංචාරයක් සඳහා අද (25) දිවයිනට පැමිණීමෙන් අනතුරුව ගෞතම් අදානි කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනයක් සහිත කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා පසුගිය සැප්තැම්බර් 30 වැනි දා අත්සන් තැබුණු අතර, එහි 51% ක කොටස් හිමිකාරීත්වයක් පවතින්නේ ඉන්දියාවේ අදානි සමාගමටයි ෴

******************************************

අපරික්ෂාකාරී ධාවනයෙන් කැබිතිගොල්ලෑවේ රිය අනතුරක්

(25.10.2021 – 10:07 +0530 – hirunews.lk/sinhala)

අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මැදවච්චිය, කැබිතිගොල්ලෑව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් කැබ් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දැඩි අලාභ හානි සිදුව ඇති බව මැදවච්චිය පොලීසිය පවසනවා.

ඊයේ (24) මැදවච්චිය, කැබිතිගොල්ලෑව මාර්ගයේ තම්මැන්නාව වෙල් යාය අසල මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් රියැදුරන් හට තුවාල සිදුව ඇති අතර, එම තුවාල බරපතළ නොවන බව ද රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ, මත්ස්‍යයින් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් වන අතර, එය මෝටර් රථයේ ගැටීමෙන් පසුව ප්‍රධාන මාර්ගයේ ඉදිරියට පෙරළී ගොස් තිබෙනවා.

කැබ් රථය මෝටර් රථයේ වැදීමෙන් පසුව, අදාළ මෝටර් රථයට සිය වේගය පාලනය කරගත නොහැකිව එය අසල තිබූ වෙල් යායකට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *