වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා අඛණ්ඩ උපවාසයක්

වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා අඛණ්ඩ උපවාසයක්

*********************************************

වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා අඛණ්ඩ උපවාසයක්

(24.10.2021 – 12:21 +0530 – hirunews.lk/sinhala)

වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා පොළොන්නරුව බකමුණ ප්‍රදේශයේ ගොවින් අද (24) අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළා.

පොළොන්නරුව – බකමුණ ප්‍රදේශයේ ගොවි සංවිධාන 35 ක නියෝජිකයින් බකමුණ නගරයේදී අද (24) පෙරවරුවේ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළ අතර ඔවුන් පවසන්නේ සිය වගාවන් සඳහා පොහොර ලබා දෙන තුරු උපවාසය අත්නොහරින බවයි.

මේ අතර පොහොර සහ කෘමි නාශක නොමැතිව තම වගාවන් විනාශවි ඇති බවට ඇල්ලලගොටුවල, උඩුවර ගොවින් මැසිවිලි නගනවා.

මහ කන්නයේ වගා කටයුතු සඳහා මේ වන විට ඇල වේලි පිරිසිදු කර අවසන් කල යුතු වුවද පොහොර නොමැති විම හේතුවෙන් ඇලහැර ගොවින් ගොවිතැන් කටයුතු ආරම්භ කිරිමට සුදානම් නොමැති බව පවසනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ මේ හේතුවෙන් මොරගහකන්ද ජලාශයෙන් තම ගොවිතැනට අවශ්‍ය ජලය නිකුත් නොකරන ලෙසයි.

තම ප්‍රධාන ආදායම් මාර්ගය වන තේ වගාවට පොහොර ඉල්ලා කුඩා තේ වතු හිමියන් ගාල්ල තවලම ප්‍රදේශයේදි උද්ඝෝෂණයක නිරත වුණා.

ඇලහැර සහ අතරගල්ලෑව ප්‍රදේශයේ ගොවින් පවසන්නේ තම වගාවන්ට අවශ්‍ය පොහොර නොමැති විම හේතුවෙන් අස්වනු බාල වි ඇති බවයි.

මැදිරිගිරිය කවුඩුලු වැව ගොවින් ප්‍රවෘත්ති සාකච්ජාවක් කැදවමින් සඳහන් කලේ පොහොර නොමැති විම හේතුවෙන් වගා කටයුතු වලින් ඉවත් විමට තීරණය කල බවයි.

මේ අතර, පෑළියගොඩ මැනිං වෙළදපොලට මේ වන විට එළවළු ලැබිමේ අඩුවක් දක්නට ලැබෙන බව එම වෙළදුන් පවසනවා.

මේ හේතුවෙන් එළවළුවල මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර වෙළදුන් පවසන්නේ ගොවින්ට අවශ්‍ය පොහොර නොමැති වීම හේතුවෙන් එළවළු වල ප්‍රමිතියද බාලවී ඇති බවයි.

මේ අතර රජය මගින් තමන්ට ලබාදෙන ඕනෑම පොහොර වර්ගයක් භාවිතා කරමින් ගොවිතැන් කටයුතු ආරම්භ කරන බව පොළොන්නරුව – වැලිකන්ද ප්‍රදේශයේ ගොවින් පවසනවා.

කාන්තලේ වාන් ඇල ප්‍රදේශයේ ගොවින් කාබනික පොහොර යොදාගනිමින් මෙවර මහ කන්නයේ වී වගා කටයුතු සිදු කරනවා.

මින්නේරිය හතරැස් කොටුව සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් කාබනික පොහොර භාවිතයෙන් සාර්ථකව වගා කටයුතු සිදු කරනවා.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකයේ පුර්ණ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් මුලික අධියරේදි කාබනික පොහොර ටොන් 25 ක් පමණ නිෂ්පාදනය කිරීමට නියමිතයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර තොග නිකුත් කිරිමේ සමාරම්භක උත්සවය කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

මේ අතර ඉන්දියාවේ සිට නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 15 ක තවත් තොගයක් මෙම සතීයේදී මෙරටට ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

මේ අතර ඉන්දියාවේ සිට තවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර ලක්ෂ 15 ක තොගයක් මෙම සතියේදී මෙරටට ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංහය සදහන් කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහතා පැවසුවේ ඉදිරි සති 2 ක තුල ලැබෙන මෙම පෙහොර තොග සමග මෙරට වී වගාවට පළමු නැනෝ නයිට්‍රජන් මාත්‍රාව ලබාදීමට අවශ්‍ය පොහොර ප්‍රමාණය සම්පුර්ණ වන බවයි.

******************************************

පත්තෑ විෂට බිලිවූ බිළිඳා

(24.10.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

පත්තෑයෙකු දෂ්ඨ කිරීමෙන් විෂ ශරීරගතව මාස දෙකක් (2) වයසැති බිළිඳෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වූයේ මුන්දලම ප්‍රදේශයෙන්.

බිළිඳාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (23) පස්වරුවේ සිදුකෙරුණා.

අවසානාවන්ත ලෙස මෙලෙස මියගොස් ඇත්තේ මුන්දලම – දේවල හන්දියේ පදිංචිව සිටි සිතුම් දිලුම් සචිත්‍ර නමැති මාස 2 යි දින 20 ක් වයසැති බිළිඳෙක්.

බිළිඳා මරණයට පත්වන අවස්ථාවේ සිය මව සහ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා (2) සමඟ එකම ඇඳක නිදාසිට තිබෙනවා.

අලුයම අවදි වූ මව බිළිඳාගේ නිහඬතාවය පිළිබඳ විමසිලිමත් වීමේදී බිළිඳාගේ සිරුර අධික ලෙස සීතල වී තිබී ඇති අතර, සීරීම්ද දක්නට ලැබී තිබෙනවා.

මව්පියන් විසින් බිළිඳා කඩිනමින් රෝහල කරා රැගෙන යාමට කටයුතු කර ඇත්තේ ඒ අනුවයි.

බිළිඳාගේ සීයා පැමිණ නිදාසිටි ඇඳ පරීක්ෂා කර ඇති අතර, එහිදී පත්තෑයෙකු සිටිනු දැක තිබෙනවා.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකරන ලද අතරල එහිදී තීරණය කර ඇත්තේ පත්තෑයෙකු සපාකෑම හේතුවෙන් විෂ ශරීරගතව මෙම මරණය සිදුව ඇති බවටයි.

දරුවන්ට ජීවත්වීමට ආරක්ෂිත පරිසරයක් තිබේදැයි නිරන්තරයෙන් සොයා බැලීම වැඩිහිටියන් සතු වගකීමක්.

ඔවුන් එලෙස දරුවන් ගැන සැලකිලිමත් වන්නේනම් මෙවැනි කණගාටුදායක පුවත් තවදුරටත් අපට අසන්නට නොලැබේවි.

******************************************

වනගත වෙමින් යන අරලගංවිල වෙළඳ සංකීර්ණය

(24.10.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල නගරයේ පිහිටා ඇති ​වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ල වෙළඳ ප්‍රජාව වෙනුවෙන් ඉදිකළද කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ක්‍ර‍මයෙන් වන ගත වෙමින් යනවා.

1999 වර්ෂයේ ආරම්භ කල මෙම ​වෙළඳ සංකීර්ණය තවමත් ජනතා අයිතියට පවරා දී නොමැත්තේ බලධාරීන්ගේ නොසලකිසකිල්ල හේතුවෙන්.

වෙළඳ කුටි 50 කින් පමණ සමන්විත වෙළඳ සංකීර්ණයෙන් කිසිදු කටයුත්තක් නොගෙනම විනාශයට පත් වීම විශාල පාඩුවක් බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ.

වසර 15 ක පමණ සිට වන වැදි විනාශ වී ගිය ගොඩනැඟිල්ලේ මේ වන විට වහල සිදුරු වී ගැලවී යන ආකාරයක් ද දක්නට ලැබෙනවා.

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ ගොඩනැගිල්ල මේ වන විට විවිධ අපචාර සදහා රජදහනක් වී ඇති බවයි.

ගොඩනැගිලි මේ ආකාරයෙන් විනාශ වීමට නොදී කුමන හෝ කාර්යයක් සදහා යෙදවීමට කටයුතු කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

******************************************

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිත්වයෙන් රාජා කොල්ලුරේ ඉවතට

(24.10.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, රාජා කොල්ලුරේ මහතා කියා සිටියේ අදාළ ක්‍රියාමාර්ගය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි.

වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩ වර්ජනයේ නිරත ගුරුවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවට පසුගිය 21 වන දා ප්‍රකාශ කළා.

මොහුගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය විපක්ෂයේ දේශපාලන පක්ෂවල මෙන්ම වෘත්තීය සමිතිවල ද දැඩි විවේචනවලට ලක්වුණා.

ආණ්ඩුකාරවරායාගේ ප්‍රකාශය කොමියුනිස්ට් පක්ෂය හෙළා දැක තිබූ අතර ඒ අනුවයි පක්ෂ මූලස්ථානයේදී අද (25) පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මොහු සභාපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවේ.

මධ්‍යම කාරක සභා රැස්වීමට රාජා කොල්ලුරේ මහතා ද සහභාගි වී සිට ඇති අතර එහිදී ඔහු කියා සිටියේ ආණ්ඩුකාරවරයා වශයෙන් තමා එවැනි ප්‍රකාශයක් සිදුකළ බවයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොවිඩ් ආසාදිත ළමුන්ගේ ප්‍රතිශතය සීඝ්‍රයෙන් අඩුවෙයි

(24.10.2021 – 12:29 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිත ළමුන්ගේ ප්‍රතිශතය ශීඝ්‍රයෙන් අඩුවී ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ශාමල් රජීන්ද්‍රජිත් මහතා සඳහන් කළේ ඊට සමගාමීව කොවිඩ් ආසාදිත ළමා මරණ සංඛ්‍යාවද පහළ ගොස් ඇති බවයි.

මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව අඩු වීමත් සමඟ ඔවුන් සඳහා වෙන් කර තිබූ වාට්ටු වෙනත් සාමාන්‍ය රෝගීන් සඳහා යළි ලබා දීමට කටයුතු කර තිබෙනවා.

යළි කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාම වළක්වා ගැනීම සඳහා පුද්ගල ඒකරාශීවීම් සහ උද්ඝෝෂණ සීමා කිරීමට පියවර ගතයුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ අහඹු කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමටද අවධානය යොමුකළ යුතු බවයි.

මේ අතර, සංචරණ සීමා හේතුවෙන් නවතා දමා තිබූ පළාත් තුළ දුම්රිය ධාවනය පමණක් හෙට (25) සිට ආරම්භ කෙරෙන අතර, පළාත් අතර දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන්නේ ලබන 31 වැනිදායින් පසුවයි.

තවත් කොවිඩ් ආසාදිතයින් 554 දෙනෙකු ඊයේ (23) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5,35,529 දක්වා ඉහළ ගියා.

ඊයේ (23) මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 19 ක්.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 13,593 ක් දක්වායි.

මේ අතර කොවිඩ් පාලනය සඳහා පනවා ඇති පළාත් අතර සංචරණ සීමා එළැඹෙන 31 වැනිදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව පළාත් අතර දුම්රිය ධාවනය 31 වැනිදා දක්වා සිදු නොවන අතර හෙට (25) සිට පළාත් ඇතුළත පමණක් දුම්රිය ධාවනයට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙම දුම්රිය ධාවනය කෙරෙන්නේ අත්‍යවශ්‍ය සේවකයින් සඳහා පමණක් වන අතර අනෙකුත් මගීන් දුම්රිය භාවිතයෙන් වළකින ලෙසද දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

++++++++++++++++++++

දරුවන්ට කොරෝනා එන්නත ලබාදීමට පසුබට නොවන්න – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

(24.10.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

සිය දරුවාට අනුමත කොරෝනා එන්නත ලබාදීමට පසුබට නොවන ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

සමාජිය ක්‍රියාකාරකම් මැඩපැවත්වීමට වඩා පුද්ගලිකව තම තමන්ගේ අය ආරක්ෂා කිරීම තුලින් කොරෝනා වයිරස ව්‍යාප්තිය වඩාත් අවම කර ගත හැකි බව එම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියා සිටියා ෴

නව්‍ය කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 298 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් අද (24) දිනයේදී පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 5,03,388 ක් දක්වා ඉහළ යනු ඇති ෴

තවත් කොරෝනා ආසාදිතයින් 433 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 5,35,962 ක් ෴

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (23) දිනයේදී නව්‍ය කොරෝනා ආසාදිත මරණ 18 ක් තහවුරු කර තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිතව මෙරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 13,611 ක් දක්වා ඉහළ යනු ඇති ෴

+++++++++++++++++

පාසල්වලට පැමිණීමේදී නිළ ඇඳුම අනිවාර්ය නොවන බව අධ්‍යාපන ලේකම් කියයි

(24.10.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියළුම පාසල්වල ප්‍රාථමික අංශ හෙට (25) ආරම්භ කිරීමත් සමඟ සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.

එසේම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ප්‍රාථමික අංශවල ළමයින් පාසලට එවීමට කිසිවිටෙකත් බියවීමට අවශ්‍ය නොවන බවයි.

කොරෝනා ව්‍යාප්තිය අඩු වීමත් සමග ළමයින් 200 ට අඩු පාසල් පසුගිය 21 වන දා සිට විවෘත කිරීමට කටයුතු කෙරුණා.

එහි තවත් එක් පියවරක් ලෙසයි සියළුම පාසල්වල ප්‍රාථමික අංශය හෙට (25) සිට විවෘත කිරීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව සෑම පාසලකම පාහේ දෙමව්පියන් පැමිණ පිරිසිදු කිරීමේ කටයුතුවල අද (24) නිරත වුණා.

ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දැනුම් දුන්නේ ළමයින් පාසලට එවීමට කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසටයි.

මේ අතර, පාසල්වලට පැමිණීමේදී සුදුසු ඇදුමකින් සැරසී පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ වසරකට වැඩි කාලයක් පාසල් නොපැවැත්වුණු බැවින් මේ වන විට බොහෝ දරුවන්ට දැනට පවතින නිළ ඇදුම් භාවිතයට ගත නොහැකි තත්ත්වයන් වාර්තා වී ඇති බවයි.

එම තත්ත්වය සැලකිල්ලටගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවට ප්‍රකාශ කළ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහිව ජාතික එකමුතුවේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රකාශ කළේ වැඩ වර්ජනය නිමා කොට හෙට (25) සිට පාසල්වලට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙසට ගුරු විදුහල්පතිවරුන්ගෙන් තම සංගමය ඉල්ලා සිටින බවයි ෴

++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *