ෆයිසර් බූස්ටර් එන්නත 95% කින් ඵලදායී බව අධ්‍යයනයකින් හෙළි වෙයි

ෆයිසර් බූස්ටර් එන්නත 95% කින් ඵලදායී බව අධ්‍යයනයකින් හෙළි වෙයි

*********************************************

ෆයිසර් බූස්ටර් එන්නත 95% කින් ඵලදායී බව අධ්‍යයනයකින් හෙළි වෙයි

(22.10.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

ගත වූ දිනයේ කොරෝනා ආසාදිතයන් 555 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,33,860 දක්වා ඉහළ ගියා.

එමෙන්ම තුන්වන (3) මාත්‍රාවක් ලෙස ලබාදෙන ෆයිසර් වර්ධක එන්නත මඟින් 95.6% ක ශක්‍යතාවක් පවතින බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ෆයිසර් බයෝ එන්ටෙක් සමාගම ප්‍රකාශ කළේ, වයස අවුරුදු 16 ඉක්ම වූ දස දහසක (10,000) ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද තුන්වන (3) අදියරයේ සායනික පරීක්ෂණයෙන් වර්ධක මාත්‍රාවේ ඉහළ ශක්‍යතාව සනාථ වී ඇති බවයි.

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පැතිරී ඇති අවස්ථාවක සිදු කළ එම අධ්‍යයනයේදී මෙලෙස වර්ධක මාත්‍රාවෙන් 95.6% ක ශක්‍යතාවක් පෙන්නුම් කර තිබෙනවා.

මේ නිසා තුන්වැනි (3) මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමෙන් කොරෝනා වයිරස් ප්‍රභේදවලට එරෙහිව සුරක්ෂිතතාවක් ගොඩනගන බවද සමාගම පෙන්වා දී ඇති කරුණක්.

මේ අතර මෙරට වයස අවුරුදු 16 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ පාසල් ළමයින්ට ෆයිසර් කොරෝනා එන්නත ලබාදීම අද (22) සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, දිවයින පුරා පාසල් හරහා එම වයස් කාණ්ඩයේ ළමයින්ට මෙලෙස ෆයිසර් එන්නත ලබාදෙන බවයි.

මෙරටින් ඊයේ (21) හඳුනා ගැනුණු නව ආසාදිතයින්ගෙන් 554 දෙනෙකු ‘අලුත් අවුරුදු කොවිඩි පොකුරේ’ ආශ්‍රිතයින් වන අතර, විදේශයන් හි සිට පැමිණි එක් (1) අයෙකු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 17,834 ක්.

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,02,464 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (20) සිදු වූ බවට තහවුරු කරන ලද මරණ 19 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,562 දක්වා ඉහළ ගියා.

මේ අතර, රට තුළ කොරෝනා වසංගත තත්ත්වයේ පාලනයක් ඇති වර්තමානයේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව එතරම් තැකීමකින් තොරව කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කළා ෴

සෞඛ්‍ය, ආරක්ෂක හමුදා, පොලීසිය, සංචාරක ඇතුළු ඉදිරිපෙළ වෘත්තිකයින්ට කොරෝනා එන්නතේ වර්ධක හෙවත් බූස්ටර් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ, නොවැම්බර් මාසයේ පළමු වැනිදායින් (01) පසු ඉදිරිපෙළ වෘත්තිකයින්ට මෙලෙස එන්නත්කරණය ඇරඹෙන බවයි ෴

+++++++++++++++++

ඊයේ (21) දිනයේදී 1,51,000 කට කොරෝනා එන්නත්

(22.10.2021 – 09:06 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (21) දිනයේදී මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 75,763 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා.

එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 786 ක්.

මීට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (21) දිනයේදී 3,969 දෙනෙකුට ලබා දී ඇති අතර, දෙවන (2) මාත්‍රාව 59,428 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාවද ඊයේ (21) දිනයේ 5,834 දෙනෙකුට ලබා දී ඇති අතර, මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව 6,180 දෙනෙකුට ලබා දී තිබෙනවා.

මේ අතර මෙරට වයස අවුරුදු 16 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ දිවයින පුරා පාසල් ළමයින්ට ෆයිසර් කොරෝනා එන්නත ලබා දීම අද (22) සිදු කෙරෙනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

තැරැව්කරුවන්ට හසු නොවන්නැ යි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පණිවිඩයක්

(22.10.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

රැකියා සඳහා විදෙස්ගත වීමේදී තැරැව්කරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශ, විදෙස්ගත වන පුහුණු ශ්‍රමිකයින්ට දැනුම් දෙනවා.

එම කාර්යංශය සඳහන් කළේ, එහි නියාමනය යටතේ ලියාපදිංචි බලපත්‍රලාභීන් හරහා පමණක් ඍජුවම විදෙස් රැකියා ලබාගැනීමට කටයුතු කළ යුතු බවයි.

එවැනි බලපත්‍රලාභී ඒජන්තවරුන් සහ ආයතන 800 ක් පමණ පවතින බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය පෙන්වා දෙනවා.

රැකියා සඳහා විදෙස් ගතවීමේ ක්‍රියාවලියේදී යම් ගැටලුවක් ඇති වුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 1989 ක්ෂණික දුරකතන අංකය අමතා අදාළ උපදෙස් හා සේවාවන් ලබාගත හැකියි ෴

******************************************

ආදාහනගාර ගාස්තු වැඩි කර නැතැ යි කුලියාපිටිය නගර සභාවෙන් පණිවිඩයක්

(22.10.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය නගර සභාවේ ආදාහනාගාර ගාස්තු රුපියල් දෙදහසකින් (2000) ඉහළ නංවා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව එම නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ආදාහන කටයුතු සඳහා භාවිතා කරන ගෑස් මිල ඉදිරියේදී ඉහළ ගියහොත් පමණක් ආදාහනාගාර ගාස්තු ඉහළ නැංවීමට සභාව ඒකමතිකව තීරණය කළ බවයි ෴

******************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ වන්දි ඉල්ලූ නඩුව ලබන මස 09 වැනි දා

(22.10.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමෙන් ජීවනෝපාය අහිමි වූ ධීවර ජනතාවට රුපියල් බිලියන 7.77 ක වන්දියක් ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 09 වැනි දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

වරාය අධිකාරිය, එහි සභාපතිවරයා, හාබර් මාස්ටර් සහ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය ඇතුළු 20 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ගොනු කර තිබූ එම පෙත්සම මඟින් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර තිබුණේ, නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික හානිය පිළිබඳව මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති බවයි.

එම පාරිසරික හානිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා මින් ඉදිරියට එවැනි සිදුවීම් ඇතිවීම වළක්වා ගැනීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද එම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා ෴

******************************************

කොන්දොස්තර නැතිව බස් ධාවනය කරන්නැ යි ගැමුණුගෙන් යෝජනාවක්

(22.10.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

කොන්දොස්තර හෝ රිය සහායක නොමැතිව මඟී ප්‍රවාහන බස් රථ ධාවනය කළ හැකි පරිදි මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක් වූ බස් කර්මාන්තයේ ආදායම් අහිමි වීම සහ සේවක හිඟය ඇතුළු ගැටලු සැලකිල්ලට ගනිමින් එම යෝජනාව සිදු කළ බවයි ෴

******************************************

ඌරගස්මංහන්දියේ යුවළගේ මරණවල තොරතුරු රැසක් හෙළි වෙයි

(22.10.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේ නිවසකින් යුවළකගේ මළ සිරුරු හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මියගිය පුරුෂයා විසින් කාන්තාව ඝාතනය කර ඔහුද සියදිවි හානි කරගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේ නිවසකින් කාන්තා මළ සිරුරක් සහ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවුණේ ඊයේ (21) පෙරවරුවේදීයි.

එහිදී අදාළ කාන්තාවගේ මළ සිරුර එම නිවසේ කාමරයක ඇඳක් මත තිබී හමු වූ අතර ඇගේ දෑත් මත මල් කළඹක් ද තබා තිබුණා.

පසෙකින් ගෙල වැළලාගෙන මිය ගොස් සිටි පිරිමි පුද්ගලයකුගේ දේහයක් ද හමු වූ බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව සිදු කල මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, තම නීත්‍යානුකූල විවාහයන්ගෙන් වෙන් වී අදාළ යුවළ වසර 05 ක පමණ කාලයක් අනියම් සබඳතාවයක් පවත්වමින් එම නිවසේ කල්ගත කර ඇති බවයි.

ඔවුන්ට, සිය නීත්‍යානුකූල විවාහයන් තුළ දරුවන් සිටින බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

කෙසේ වෙතත්, එක්ව සිටි කාලය තුළ ඇති වූ ගැටලුවක් මෙම ඝාතනයට සහ සියදිවි හානිකර ගැනීමට හේතුව වන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

එලෙස මිය ගොස් ඇත්තේ ඌරගස්මංහන්සිය – කොරකීන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 38 හැවිරිදි කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර මෘතදේහ පිළිබඳ මරණ පරීක්ෂණයේ සහ මහේස්ත්‍රාත් පරීක්ෂණ වාර්තා අද (22) ලැබීමට නියමිතයි ෴

******************************************

මෙරට ආනයන වියදම් සහ අපනයන ආදායම් ඉහළ යයි

(22.10.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ අගෝස්තු මාසයේ මෙරට ආනයන වියදම් 31% කින් ඉහළ ගොස් ඇති අතර, අපනයනයන් 16% කින් පුළුල් වී තිබෙනවා.

මෙලෙස ආනයන වියදම් ඉහළ යාමට හේතු වී ඇත්තේ, ගෝලීය වශයෙන් වෙළෙඳ භාණ්ඩවල මිල ඉහළ යාමයි.

එමෙන්ම මෙරට අපනයනයන් සඳහා ඉහළ මිලක් ලැබීමටද එම තත්ත්වය හේතු වී ඇති බව සඳහන්.

විශේෂයෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ විනිමය අනුපාතිකය පහත වැටීම හේතුවෙන් ආනයන වියදම් ඉහළ ගිය අතර, පසුගිය මාසයේ ඇතැම් ආනයන සීමාවන් පැනවීමට ද රජය පියවර ගත්තා.

අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාව ආනයන සඳහා ඩොලර් මිලියන 1,687 ක් වැය කළ අතර, අපනයන ආදායම ඩොලර් මිලියන 1,100 ක්.

මේ අනුව මෙරට වෙළෙඳ පරතරය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 586 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසරේ මුල් මාස අට (8) සැලකූ විට එම පරතරය ඩොලර් මිලියන 5,509 ක් ෴

******************************************

‘සෑම රණවිරුවෙක් සඳහා ම ගසක්’ රුක්රෝපණ වැඩසටහන ඉපලෝගම රක්ෂිතයේ දී

(22.10.2021 – 10:26 +0530 – hirunews.lk/sinhala)

බෙදුම්වාදයට එරෙහි සටනේ දී මියගිය රණවිරුවන් සිහිපත් කිරීම පිණිස ‘සෑම රණවිරුවෙක් සඳහා ම ගසක්’ යන සංකල්පය යටතේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් හා යුද්ධයේ දී මිය ගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් සැලසුම් කොට තිබෙනවා.

ඒ වනජීවි රැකවරණ, අලිවැට හා අගල් ඉදිකිරීම, ආරක්ෂිත වැඩපිළිවෙළවල්, කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශ අනුදැනුම යටතේ යි.

ඉපලෝගම රක්ෂිතයේ දී ලබන සෙනසුරාදා ඇරඹෙන මෙම වැඩසටහන, රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති.

මෙහි දී අක්කර 80.5 ක භූමියක් ආවරණය වෙන පරිදි එක් (1) දිනක දී පැළ 25,930 ක් රෝපණය කිරීමට යෝජනා වී තිබෙනවා.

වැඩසටහන යටතේ කළුවර, බුළු, මැයි මාර, මිල්ල, ඇහැළ, සියඹලා, දොඹ, කොහොඹ, කරඳ, කුඹුක්, මී, ඇත්දෙමට, හල්මිල්ල, බුරුත, කෝන්, මයිල වැනි ශාක වර්ග රාශියක් රෝපණය කිරීමට නියමිතයි ෴

******************************************

රත් හඳුන් ශාකය මෙරට ව්‍යාප්ත කිරීමට වැඩපිළිවෙළක්

(22.10.2021 – 10:55 +0530 – hirunews.lk/sinhala)

දුර්ලභ හා ඉහළ වටිනාකමක් සහිත රත්හඳුන් ශාකය ව්‍යාප්ත කරලීමට පරිසර අමාත්‍යාංශය පියවර ගනිමින් සිටිනවා.

ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නැයි දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන තිරසාර ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට යෝජනා ඉදිරිපත් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා.

යෝජිත වැඩපිළිවෙළ මඟින් දිවයිනේ තෝරාගත් ප්‍රදේශවල රත් හඳුන් පැළ 1000 ක් රෝපණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි පරිසර අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාව, අරළු, බුළු, නෙල්ලි, කොහොඹ ඇට හා මී ඇට ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 9 ක මුදලක් වාර්ෂිකව වැය කරනු ලබනවා.

******************************************

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු STF අත්අඩංගුවට

(22.10.2021 – 11:59 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (21) දින වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ, රුපියල් දෙලක්ෂයකට (2,00,000) අධික වටිනාකමින් යුත්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01, ග්‍රෑම් 180 ක් සහ ජංගම දුරකථනයක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී තිබෙනවා ෴

******************************************

පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගැබේ විරෝධතාවක

(22.10.2021 – 12:26 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට රටේ ගොවි ජනතාව මුහුණ පා ඇති පොහොර අර්බුදයට කඩිනම් සහ නිසි විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභා ගැබේ විරෝධතාවක නිරත වුණා.

මේ අතර පොහොර ගැටළුව සහ අග්‍රාහාර රක්ෂණය සම්බන්ධයෙන් අද (22) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇතිවුණා.

******************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ බහලුම් 200 ක් මීගමුව සිට බම්බලපිටිය දක්වා මුහුදේ

(22.10.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමෙන් අනතුරුව මේ වනවිට මුහුදුබත් වී ඇති ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට අයත් බවට සැක කෙරෙන බහලුම් 200 ක් පමණ මීගමුව සිට බම්බලපිටිය දක්වා මුහුදේ තිබී සොයාගෙන තිබෙනවා.

ගින්න හට ගැනීමෙන් පසු සිදු වූ පිපිරීම් සමඟ නෞකාවේ තිබූ බහලුම් විශාල ප්‍රමාණයක් මුහුදට වැටුණු අතර, ඇතැම් බහලුම් ගිනිගෙන විනාශයට පත්වුණා.

නාරා ආයතනය විසින් සාගරයේ සිදු කළ සෝනාර් තරංග පරීක්ෂණයක් මඟින් මෙම බහලුම් සොයාගෙන ඇති අතර, ඒවා මෙම නෞකාවේ තිබූ බහලුම්ද යන්න නිශ්චිතවම හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවයි නාරා ආයතනයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අදාළ බහලුම් එම නෞකාවේ තිබූ ඒවා බවට තහවුරු වුවහොත් නෞකාව රක්ෂණය කර තිබූ ආයතනය හරහා ගොඩ ගැනීමට කටයුතු කරන බව එම නිලධාරීයා සඳහන් කළා.

පසුගිය මැයි මාසයේදී කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන මුහුදුබත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් නයිට්‍රික් ඇසිඩ් මෙට්‍රික් ටොන් 25 ක් සහ ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 400 ක් මුහුදට එක්වුණා ෴

******************************************

පත්තෑයෙකු දෂ්ඨ කිරීමෙන් මාස දෙකක (2) බිළිඳෙකු මරුට

(22.10.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

මාස දෙකක් (2) වයසැති බිළිඳෙකු පත්තෑයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක් මුන්දලම – දේවාලහන්දිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මාස දෙකයි දින 22 ක් වයසැති මෙම බිළිඳා නිදි යහනේදීම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මව සහ වැඩිමහල් සහෝදරියන් සමඟ නිදා සිටියදියි.

අලුයම අවදි වී බැලීමේදී දරුවා නිහඬතාව හේතුවෙන් පරීක්ෂා කළ පසු බිළිඳාගේ පිටේ සීරීම් තුවාල සහිතව සිරුර සීතලව පැවතීම හේතුවෙන් දරුවා මුන්දලම රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

රෝහලට රැගෙන යනවිටත් දරුවා මියගොස් සිට ඇති අතර, දරුවාගේ පියා සිදු කළ පරීක්ෂාවකදී නිදි යහනේ සිටි පත්තෑයෙකු හමු වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *