IOC පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

IOC පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

*********************************************

IOC පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

(21.10.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් වැඩිකිරීමට ලංකා IOC සමගම තීරණය කර තිබෙනවා.

******************************************

හරි දේ කිරීම විශාල අභියෝගයක් – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

(21.10.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

හරි දේ කිරීම විශාල අභියෝගයක් බවත්, ඊට එක්ව මුහුණදී ඉදිරියට යාමෙන් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කළ හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ගොවිජන සේවා නිලධාරීන් සමග අද (21) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ගොවීන් මුහුණ දෙන අපහසුතාවලට විසඳුම් දීමෙන් අපේක්ෂිත අරමුණු කරා ගමන් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එහිදී ගොවීන් හමුවට ගොස් කරුණු පැහැදිලි කර දීම ඉතා වැදගත් බව සඳහන් කළා.

පරිසරයත්, මහජන සෞඛ්‍යාරක්ෂාවත් රැක ගනිමින් වැඩි ආදායමක් ගොවියා අතට පත් කිරීම රජයේ ප්‍රමුඛඅපේක්ෂාවයි.

හරිත කෘෂිකර්මාන්තයේ ඉලක්කය එක් කන්නයකට, දෙකකට පමණක් නොව පරම්පරා ගණනකට සෙත සැලසීම බව ජනාධිපතිතුමා කියා සිටියා.

ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු හඳුනාගෙන ඒ පිළිබඳ රජය දැනුවත් කිරීම නිලධාරීන්ගේ වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එවිට එම ගැටලු විසදීමේදී විශේෂඥ සහාය ලබා ගැනීමේ හැකියාව උදා වන බව ද සඳහන් කළා.

වැරදි දෙයක් කරන්නැයි තමා කිසිවිටෙක කිසිවෙකුගෙන් ඉල්ලා සිටින්නේ නැතැයි ද ජනාධිපතිතුමා නිලධාරීන් හමුවේ අවධාරණය කළා.

හරිත කෘෂිකර්මාන්තයට අවතීරණ වීම නිසා වගා කෙරෙන භූමි ප්‍රමාණයේ අඩුවකට ඉඩ තැබිය නොහැක.

කාබනික පොහොර භාවිතය සමග ඉදිරියට යාමට ගොවීන් දිරිගැන්වීම රට වෙනුවෙන් සියලුදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිතුමා කියා සිටියා.

ලෝකයේ පිළිගත් ඉහළම පරිසර හිතකාමී පොහොර ගොවියා අතට පත් කිරීම සඳහා නයිට්‍රජන් පෝෂක සහිත දියර නයිට්‍රජන් පොහොර ගෙන්වීමට රජය පියවර ගනු ලැබුවා.

නැනෝ තාක්ෂණය භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇති මෙම දියර පොහොරවල ඇති නයිට්‍රජන් සංඝටක ශාඛ පත්‍ර මගින් සෘජුවම අවශෝෂණය කර ගනු ලබනවා.

එම දියර නයිට්‍රජන් ඉදිරියේ දී සියලු ගොවීන්ට ලබාදීමට රජය කටයුතු කරනබව ජනාධිපතිතුමා සඳහන් කළා.

අස්වැන්න අඩුවීම පිළිබඳ ගොවීන් තුළ අනිසි බියක් මතුව ඇති අතර නිසි කලට පොහොර ගොවීන් අතට පත් කිරීමෙන් සහ නිවැරදි දැනුවත් කිරීමෙන් ගොවීන් තුළ වන බිය සහ පසුබෑම සමනය කරගත හැකි බව පැවසූ ගොවිජන සේවා නිලධාරීහූ ගොවීන් නිෂ්පාදනය කරන කාබනික පොහොරවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතියපරීක්ෂා කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් එම පහසුකම් පුළුල් කර දෙන ලෙස ද ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා.

රජය විසින් ගොවීන්ට ලබා දී ඇති දිරිදීමනා, මූලික ගෙවීම් මේ වන විට නිදහස් කරමින් තිබෙනවා.

ඉදිරි කන්නවලදී කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවද නිලධාරීහු සඳහන් කළා.

******************************************

ඇමරිකාව සමග යුගදනවි ගිවිසුමෙන් පසු තවත් ගිවිසුම් හතරක්.. 13 වතාවක් කැබිනට්ටුව රවටලා.. ජාතික සංවිධනය උසාවි යයි..

(22.10.2021 – 00:02 +0530 – lankacnews.com)

එල් එන් ජී බලාගාරය ඇමරිකානු සමාගමකට බදු දීමට එරෙහි රිට් ආඥාවක් ලබා ගැනීම සඳහා ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ (21) අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ සදහා පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ ආචාර්ය ගුණදාස අමරසේකර‍, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරු එක්ව සිටියහ.

එහිදි අදහස් දැක්වූ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි :

“එල්.එන්.ජී. බලාගාරය ඇමරිකාවට බදු දීම වහාම නවත්තන්න කියලා උසාවි නියෝගයක් දෙන්න කියලා අපි අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. එහෙම කරන්න හේතුව මේ ජාතික සම්පත් විදේශයන්ට බදු දෙනවට මේ රටේ මහජනතාව කැමති නෑ. මහජනතාවට බැහැ මේවට ඉදිරිපත් වෙන්න. ඒ නිසා පොදු ජනතාව වෙනුවෙන් තමයි අපි මේ ඉදිරිපත් වෙන්නේ.

ඊට අමතරව මහ ජනතාව දැනුවත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මොකද නැත්තං ජනතාව අපෙන් අහනව හාමුදුරුවෝ ඇයි නිහඬව ඉන්නේ කියලා. දැන් ජනතාව හැම පැත්තෙන්ම දුරකථන මාර්ගයෙන් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ‘අපේ හාමුදුරුවෝ අපට ඡන්දෙ දෙන්න කිව්වා; ඡන්දය දුන්නට ජනතාවට ඕන දේ වෙන්නේ නෑ; ඇයි අපිට ඡන්දෙ දෙන්න කිව්වේ; හාමුදුරුවෝ බොරු නේද කිව්වේ’ කියලා එහෙම අහනවා. ඉතිං අපිට දැන් කට උත්තර නැතුව ඉන්නේ.”

මෙහිදී අදහස් දැක්වූ ආචාරය ගුණදාස අමරසේකර මහතා :

“මේ ගිවිසුම අත්සන් කරලා තියෙන විදිය ඉතාමත් අසෝබනයි. මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නෑ. කැබිනට්ටුවට ඉදිරිපත් කර නෑ. තනි පුද්ගලයෙකුගේ අත්තනෝමතික ක්‍රියාවක්. මේක නීති විරෝධී ක්‍රියාවක්. මේක ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක්. ඒවගේම මේ ගිවිසුම නිසා මේ රටේ ආරක්ෂාවට විශාල හානියක් වෙනවා. රටේ ආරක්ෂාව ඇමෙරිකාවේ සමාගමකට දෙනවා වගේ වැඩක් තමයි මේ. ස්විච් එක අනිත් පැත්තට හැරෙව්වා ම ඕන වෙලාවක රටේ බල ශක්තිය අඩපණ කරන්න එයාලට පුළුවන්. ඒ නිසා මේකට ඉඩ දෙන්න නරකයි. ජාතික සංවිධාන වශයෙන් මේකට විරුද්ධව කළ යුතු සියලුම දේ කරන්න අපි සූදානම්.”

එහිදී මාධ්‍ය වේදීයෙකු ඇමෙරිකන් පුරවැසිභාවයක් හිමි අයෙකුට මුදල් අමාත්‍ය ධුරය ලැබීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමරසේකර මහතා :

“ඔව් ඒක ඇත්ත. ඔව් එක ඉතාමත්ම අසෝබන දෙයක්. ඔහුට පාර්ලිමේන්තුවට එන්න ඕන වුනා නම් මුදල් ඇමති වෙන්න ඕන උනානම් අඩු ගානෙ ඔහුට තිබුණා ඔහුගේ ඇමෙරිකානු පුරවැසිකම ඉවත්කරගෙන එන්න. එහෙම නැතිව ඔහු පාර්ලිමේන්තුවට පැමිණිලා මුදල් ඇමති වීම ඉතාමත් පහත් ක්‍රියාවක්. ඇමෙරිකන් පුරවැසිකම තිබෙනවයි කියන්නේ ඔහු ඇමරිකාවට සේවය කරන්න බැදී සිටිනවා කියන එක.”

මෙහෙදී අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා :

“ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඇමරිකානු සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම බලරහිත කිරීමේ රිට් ආඥාවක් ලබා ගැනීම සඳහා අභියාචනාධිකරණයට අද (21) පෙත්සමක් ඉදිරිපත් කළා. මෙතනදි කොන්ත්‍රාත් හතරක් (4) තියෙනවා. ආණ්ඩුවේ සමාගම් දෙකකින් එකක කොටස් විකිකුණලා තියනවා. අනෙක් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා සාකච්ඡාවක් සිදුවෙනවා.

ඒ අතර දැනට ගිවිසුම් හතරක් (4) අත්සන් කරලා තියෙනවා. මූලික ගිවිසුම් රාමු අස්සන් කරලා තියෙනවා. ඊළඟට කොටස් විකිණීමේ ගිවිසුම් අස්සන් කරලා තියෙනවා. ඊළඟට සුබදනවි සමාගමේ ගෑස් මිල දී ගැනීමට අදාළ කොන්දේසි පත්‍රිකාව අත්සන් කරලා තියෙනවා. ඊළඟට අලුතෙන් ඉදිකෙරෙන සුබදනවි සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අස්සන් කරලා තියෙනවා.

එතකොට මේ සියලු ගිවිසුම්, කොන්ත්‍රාත් අස්සන් කරලා තියෙන්නේ – කොන්ත්‍රාත් ලබා දීලා තියෙන්නෙ ශ්‍රී ලංකාවේ නීතියට පටහැනිව, බලශක්ති ප්‍රතිපත්තියට පටහැනිව සහ අමාත්‍ය මණ්ඩලයේ නිසි අනුමැතියක් නැතිව. ඉතින් ඒ නිසා තමයි අපි ඒවා ‘නිසි ලෙස අනුමැතියක් නොමැතිව අත්සන් කරපු ගිවිසුම්, කොන්ත්රාතත්’ ලෙස සලකලා ඒවා බල බලරහිත කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලීම් කරලා තියෙන්නේ. මෙතනදි භාණ්ඩාගාර ලේකම්වරයා දහතුන් (13) වතාවක් අමාත්‍ය මණ්ඩලය නොමඟ යවලා තියෙනවා. අමාත්‍ය මණ්ඩලයට තොරතුරු වසන් කරලා තියෙනවා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරන්නේ නැතුව අනුමැතිය ලබාගෙන තියෙනවා. අවසාන වශයෙන් 17 වැනිදා සිකුරාදා මහ රෑ 12 ට අත්සන් කරපු ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඊයේ (20) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමටත් ඒ ගිවිසුම ඉදිරිපත් කරල නෑ. එතකොට මේ අමාත්‍ය මණ්ඩලයත් එක්ක හොරා පොලිස් සෙල්ලම කරනව මේ භාණ්ඩාගාර ලේකම්වරයා. අපි ඔහුට විරුද්ධව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා මේක රජයට පාඩු සිදු කරලා තියෙන බරපතළ දූෂණයක් කියන කාරණය මත.

repoter

******************************************

ඇමරිකාව සමග තවත් ගිවිසුම් දෙකක් (2) ගහන්න යනවා.. පක්‍ෂ 11 වහා රැස්වී තීන්දුවක් ගන්න සූදානම්.. – විමල් මාධ්‍ය හමුවේ..

(22.10.2021 – 22:01 +0530 – lankacnews.com)

ලංකාවට LNG සැපයීමේ ඒකාධිකාරය ඇමරිකානු සමාගමට හිමි වීම සම්බන්ධයෙන් තම බලවත් අප්‍රසාදය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුවේ සෙසු පක්ෂ 11 නායකයින් අත්සන් කර ලිපියක් යොමු කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එහි ඇති භයානක කම පැහැදිළි කරමින් තවදුරටත් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ අවස්ථාවක් ඉල්ලුවද එම අවස්ථාව නොලැබුණු බව ද ඇමතිවරයා පැවසීය.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දන්නේ අග්‍රාමාත්‍යතුමා සහ අදාල නිලධාරීන් බවත් ඔවුන් සමඟ සාකච්ඡා කිරීම වඩාත් සුදුසු බව ජනාධිපතිවරයා පක්ෂ නායකයින් වෙත වෙන වෙනම ලිපි යොමු කර තිබූ බවද ඔහු සඳහන් කළේය.

මෙම ප්‍රශ්නයට විසදුමක් නොලැබුනු බවත් අදාළ ඇමරිකානු සමාගම සමඟ තවත් ගිවිසුම් දෙකකට (2) අත්සන් තැබීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇති බව ද ඇමතිවරයා පැවසීය.

එම ගිවිසුම් දෙක (2) අත්සන් කිරීම සඳහා වන ක්‍රියාදාමයක් ආරම්භ වී නැතත් ආණ්ඩුවේ තමන් ඇතුළු සෙසු පක්ෂ 11 ක් රැස්වී මේ සම්බන්ධයෙන් වහා ප්‍රතිචාර දැක්වීමට සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.

මාධ්‍ය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය ෴

******************************************

‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා.. රටටම තෙවැනි මඟ අරඹනවා..’ – ආණ්ඩුවේ සෙසු පක්‍ෂත් සමග විමල් කියයි…

(22.10.2021 – 12:00 +0530 – lankacnews.com)

‘තෙවැනි මඟ’, සඟරාවක භූමිකාවෙන් ඔබ්බට ගොස් මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිළෙන ‘කෝ අපේ මාවත ?’ කියා අසන පැනයට උත්තර දෙන මහා සංවාද මණ්ඩපයක් බවට නිසැක ලෙසම පත්වනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඊයේ (21) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවති ජාතික නිදහස් පෙරමුණේ ‘නිදහසේ නියමුවෝ’ ප්‍රකාශනයක් ලෙස ‘තෙවැනි මඟ’ මාසික සඟරාව ජනගත කිරීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය :

“ඉදිරි කාලය පුරා නිශ්චිතව ඔබගේ සංවාද මණ්ඩපයට එන, ඔබගේ සිතීමේ හැකියාව වැඩි දියුණු කරන ප්‍රකාශනයක් ලෙසයි මෙම තෙවැනි මග මාසික සඟරාව එළි දක්වනු ලබන්නේ. මේ අවස්ථාවේ මෙම සඟරාව එළි දැක්වීම වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ඉසුරු ප්‍රසංග සහෝදරයා ඇතුළු පිරිසට මගේ කෘතවේදීත්වය පළ කළ යුතුව තිබෙනවා.

සුදුසු විසඳුම් – සුදුසු මාවත්

ලෝක පරිමාණයෙන් ගත්තත් අපේ රට ගැන සිතුවත් අද අපි ඉන්නේ අවුල් වියවුල් වටපිටාවකයි. මේ වෙලාවේ ලෝකය, අපේ ජීවිත කාලය තුළ සිදු වූ බරපතළම වසංගතයට ගොදුරු වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක ආර්ථිකය බිඳ වැටී තිබෙනවා. දියුණු රටවල පවා ආර්ථිකයන් ඍණ මට්ටමට පත්වී තිබෙනවා. අපේ රටට ඩොලර් ආදායම ලැබෙන බොහෝ මාර්ග අවහිර වී තිබෙනවා. මේ වගේ වෙලාවකදී තමයි මිනිස්සු වෙනදාට වඩා වැඩියෙන් සිතන්න පෙළඹෙන්නේ. මානව සංහතිය තමන් අභිමුව ප්‍රශ්න පත්‍ර මාලාවක් නිර්මාණය කරන කාලවලදී තමයි, ඉතිහාසය සුදුසු විසඳුම්, සුදුසු මාවත් නිර්මාණය කර ගන්නේ. මම විශ්වාස කරනවා අපි මේ පසුකරමින් සිටින්නේ එවැනි වෙලාවක් කියලා. මේක ලංකාවේ අපට පමණක් නොවෙයි මුළුමහත් ලෝකවාසීන්ගේ පැත්තෙන් බැලුවත් හැමෝටම හිතන්න බල කරන, සාමූහික විඥානය පාදාගන්නත් බල කරන වේලාවක්.

කබලෙන් ලිපට නොවැටෙන උත්තරයක්

ඒ නිසා අපි මේ පසුකරමින් සිටින කාලපරිච්ඡේදය ඉතාමත් තීරණාත්මකයි, මෙම කාල පරිච්ඡේදය තුළ තමයි අපි සුදුසු තීරණ ගැනීමට ඉඩ තියෙන්නේ. ඇතැම් විට සුදුසු යැයි සිතමින් නුසුදුසු තීරණ ගැනීමටත් ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපට යම්කිසි සංවාදයක්, ‘අපේ මාවත’ පිළිබඳ එකිනෙකා අතර ගැඹුරු හැදෑරීමක් උවමනා වන්නේ. එහෙම වුණොත් පමණයි අපි සොයාගන්නා උත්තරය ‘කබලෙන් ලිපට නොවැටෙන උත්තරයක්’ වන්නේ.

ලිබියාව – ඉරාකය

ඇමෙරිකා එක්සත් ජනපදයට පුළුවන් වුණා ලිබියානු සමාජයේ පැවති පීඩනයන් පාවිච්චි කරලා වත්මන් ලිබියාව නොවෙයි නූතන ලිබියාව නිර්මාණය කළ මුවම්මර් ගඩාෆි පාරෙදි මැරයෙකුට අත්වන ඉරණමට සමාන ඉරණමකට ලක් වන විදියට මරා දමන්න. එතැනදී සිදුවුණේ ලිබියානු සමාජය පැවැති තැනින් තවත් පහළට ඇද වැටීමයි. අද ලිබියාව කියා රාජ්‍යයක් නැහැ; ඇත්තේ ලිබියාව කියා රටක් පමණයි. අද ලිබියානුවන් ලොව පුරා යුරෝපය ඇතුළු බොහෝ රටවල හිඳිමින් හිඟාකනවා. ඒ විතරක් නෙවෙයි ඉරාකය වැනි රටක් සම්බන්ධයෙන් ගත්තත් පෙනෙන්නේ නුසුදුසු උත්තර සොයා ගත්තොත් ඉන්න තත්ත්වයටත් වඩා නරක තත්වයකට ඇද වැටීමට තිබෙන ඉඩකඩ වැඩි බවයි. මේක අපේ සමාජය, තමන් විසින්ම නිවැරදි යැයි විශ්වාස කරපු උත්තර, ‘සැබෑ උත්තරයක් වෙලා නැහැ නේද?’ කියා හිතන වෙලාවක්. ලැබුණු උත්තරේ සැබෑ උත්තරයක් නොවෙයි කියා හිතන වෙලාවක ඊට වඩා වැරදි උත්තරයක් තමන්ගේ තෝරා ගැනීම බවට පත්විය හැකියි. මේ වගේ වෙලාවල ලෝකයේ බොහෝ රටවල එහෙම වෙලා තිබෙනවා.

ඒ නිසා ලැබුණු උත්තරය ගැන සෑහීමකට පත් නොවන ජන සමාජයක් ඔවුන් සෑහීමකට පත්වන ආකාරයේ උත්තරයක් කරා රැගෙන යාමට අපට සාමූහික වගකීමක් තිබෙනවා. ඒ වගකීම අද අපේ දෙවුර මත පැටවී තිබෙනවා. ඒ වගකීමෙන් අපට අත්මිදෙන්න බැහැ. මේ රටේ මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතිකවාදී බලවේග ඒ වගකීම දෙවුර මත දරා සිටිනවා. ඒ නිසා තමයි අපි මේ ‘තෙවැනි මඟ’ මගින් උත්සාහ කරන්නේ ලබාගත්තු උත්තරය ගැන වේදනාවට පත්ව, ‘හරි උත්තරයක් හොයන්න ඕනේ’ කියලා හිතන ජන සමාජයට ‘ඒ උත්තරය කුමක් විය යුතුද?’ යන සාකච්ඡාවට සංවාද මණ්ඩපයක් සැකසීමට. ඒ සංවාද මණ්ඩපයට පණදීම තමයි ‘තෙවැනි මඟ’ සඟරාවේ ප්‍රමුඛතම සහ එකම අපේක්ෂාව වන්නේ.

වැරදි අනුවණ තීරණ

වසංගතය කියන්නේ අපි නිර්මාණය කර ගත්තු අභියෝගයක් නොවෙයි. නමුත් අපි නිර්මාණය කර ගත්තු අභියෝගත් තිබෙනවා. අපට වළක්වන්නට බැරි, මුහුණ දීමට සිදුවන, ජයග්‍රහණය හැර අන් තේරීමක් නැති අභියෝග වගේම සමහරවිට පාලකයන් විසින් ගනු ලබන වැරදි අනුවණ තීන්දු විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලටත් අපිට මුහුණ දීමට සිදුව තිබෙනවා. තමන් විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලට නොවෙයි අපි බිය විය යුත්තේ. ඒවා නිර්මාණය නොකරගෙන හිටියාම ඒවායෙන් ගැලවෙන්න පුළුවන්. නමුත් අපට මුහුණ දී ජය ගැනීම අනිවාර්ය වී තිබෙන අභියෝගවලට විසඳුම් සෙවිය හැකි මගක් අපි විසින් වහාම නිර්මාණය කරගත යුතුව තිබෙනවා.

රට තිබෙන තැන

අපි හැමදාම කියනවා, ‘අපේ රට උපායමාර්ගිකව ඉතා වැදගත් තැනක පිහිටි රටක්’ කියා. ඒ වගේම ගුරුත්වාකර්ෂණ බලයට අඩුවෙන්ම ලක් වන රට මෙයයි. ලෝකයේ අනෙක් රටවල් සමඟ සැසඳූ විට අපේ රටේ ජනතාවගේ බුද්ධිමය හැකියාවන් යහපත් තත්ත්වයක තිබෙනවා. එවැනි මානව සම්පතක් සමඟ ස්වභාවධර්මයා විසින් ලබා දී ඇති සම්පත්වලින් ද මේ රට අනූනයි. ස්වභාවධර්මයා විසින්ම දේශසීමාව නිර්මාණය කොට දී තිබීම ද දැකගත හැකියි. එවැනි රාජ්‍යයක් 2021 වන විට තිබිය යුතු තැන ද මේ තිබෙන්නේ? මානව සම්පත, ස්වභාවධර්මයා විසින් ලබාදී ඇති සම්පත්, දේශසීමා ආදී මේ සියලු ඉහළ විභවයන් සැලකූ විට මේ රාජ්‍යය තිබෙන්නේ, තිබෙන්න ඕනේ තැනට වඩා ගොඩක් පහළ ස්ථානයක. මේ රටට ඒ වැරැද්ද සිදුවීම සඳහා බලපෑ හේතු ගණනාවක් තිබෙනවා. ඒ හේතු ගැන පමණක් කථා කරමින් ඉන්නවා වෙනුවට අපේ රාජ්‍යයට සිදුව ඇති ඓතිහාසික වැරැද්දෙන් එය එළියට ගැනීමේ පොටයි අපි පාදාගත යුත්තේ. මම හිතන්නේ, මේ ඉතිහාසය සෙමින් ‘විළිරුදාවෙන්’ පෙළෙන්නේ එක්තරා ආකාරයක එවැනි ‘දරු ප්‍රසූතියක්’ සඳහා කියලයි.

ඉතිහාසය නිර්මාණය කරන ඇතැම් අවස්ථා අපට පෙනෙන්නේ ‘නරක අවාසනාවන්ත’ අවස්ථා ලෙසයි. නමුත් ඉතිහාසය විසින් සමහර විසඳුම් බිහි කරන්නෙත් එවැනි අවස්ථාවලයි. සාමාන්‍ය තත්වයකදී පරිභෝජනය නොකරන දේවල් විශේෂ තත්ත්වයකදී පරිභෝජනය කරන්න වෙනවා. නිදසුනක් ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ සිටි අපේ රණවිරුවෙක් දින විස්සකට වැඩි කාලයක් මහ මුහුදේ බෝට්ටුවක පාවෙමින් තායිලන්තය වෙත යනවා. එම ගමනේ දින පහළොවක් පමණ යන විට කන්න බොන්න කිසිවක් නැති වෙනවා. එහිදී ඒ බෝට්ටුවේ සිටි නිරාහාරව මියගිය තමන්ගේ සඟයාගේ ලේ ටික බීපු අවස්ථා, මාළු අල්ලාගෙන අමුවෙන් කාපු අවස්ථා, තමන්ගේ මූත්‍රා ටික බීපු අවස්ථා තිබෙනවා. ඒක විශේෂිත අවස්ථාවක්. ඒ විශේෂිත අවස්ථාවට හරියන උත්තරවලට යමෙකු ඒ අවස්ථාවේ යනවා. සාමාන්‍ය අවස්ථාවලදී අපි එවැනි උත්තරවලට යන්නේ නැහැ. අපි මේ ඉන්නේ සාමාන්‍ය උත්තරවලින් විසඳුම් නොලැබුණු විශේෂිත අවස්ථාවකට මුහුණ දීලා. ඒ නිසා දැන් අපට තෝරාගන්න වෙන්නේ සාමාන්‍ය අවස්ථාවක තෝරාගැනීම් නොවෙයි. මේ විශේෂිත තත්ත්වය දකින්න පුළුවන්, එය අබිබවන්න පුළුවන්, රාජ්‍යයට සිදුවන ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න පුළුවන්, අපේ නූතන තරුණ පරම්පරාව අපේක්ෂා කරන පරමාදර්ශී අනාගතය නිර්මාණය කරන්න පුළුවන් උත්තර අප විසින් සපයාගත යුතුව තිබෙනවා.

පැනයට පිළිතුර

අප මෙතෙක් දේශපාලනයේ ඉටු කරන ලද කාර්යභාරයේ, තීරණාත්මක පිළිතුරු සැපයීම කරා ගමන් කරමින් සිටිනවා. ඉන් අපට ගැළවෙන්න බැහැ. අපි මේ රටේ ජාතිකවාදී බලවේග, වාමවාදී බලවේග හැටියට තමන්ගේ හෘදසාක්ෂිය පැත්තක තියලා දේශපාලනය කරන බලවේගයක් නොවෙයි. අපි තීරණාත්මක අවස්ථාවක තමන්ගේ හෘදසාක්ෂිය සමග හිටගන්න බලවේගයක්. හෘදසාක්ෂියත් සමඟ ගනුදෙනු නැති – ඩොලර් මිටි සමඟ ගනුදෙනු ඇති අයට මේවා තේරෙන්නේ නැති වුණාට හෘදසාක්ෂියත් සමග ගනුදෙනු ඇති මේ රටේ ජාතිකවාදී වාමවාදී බලවේගවලට ඒ කාරණය හොඳහැටි තේරෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා, අද ජනගත වන මේ ‘තෙවැනි මඟ’ මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිළෙන ‘කෝ අපේ මාවත ?’ කියා අසන පැනයට උත්තර දෙන මහා සංවාද මණ්ඩපයක් බවට නිසැක වශයෙන්ම පත්වේවි, කියා. ඒ සංවාද මණ්ඩපය වර්ණවත්ව බබලවන්න ඔබ සියලුදෙනාට හැකි වේවා’යි ප්‍රාර්ථනය කරනවා.”

මෙහිදී පැමිණ සිටි ආරාධිත පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සිදු කළේය.

මෙම අවස්ථාවට පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක, අමාත්‍ය උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, යුතුකම සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය යන ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයෝ ද ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම යන මහත්වරු ඇතුළු විද්වත්හු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

21-10-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *