අණ නොතකා යතුරුපැදියකින් පළා ගිය, තරුණයින් දෙදෙනෙකු (2) ලොරි රථයකට යට වී මරුට

අණ නොතකා යතුරුපැදියකින් පළා ගිය, තරුණයින් දෙදෙනෙකු (2) ලොරි රථයකට යට වී මරුට

*********************************************

අණ නොතකා යතුරුපැදියකින් පළා ගිය, තරුණයින් දෙදෙනෙකු (2) ලොරි රථයකට යට වී මරුට

(20.10.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

තණමල්විල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේදීයි ඊයේ (19) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත්තේ.

යතුරුපැදිය වේගය පාලනය කර ගත නොහැකිව වෑන් රථයක ගැටී ලොරි රථයකට යට වී ඇති බව පොලිසිය සඳහන් කළා.

අදාළ යතුරුපැදිය ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ගමන් කරමින් සිටින අතරතුර ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී පොලීසිය විසින් නතර කරන ලෙසට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ අදාළ තරුණයින් පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කර ඇති අතර එම අවස්ථාවේදියි මෙම අනතුර සිදුව ඇත්තේ ෴

******************************************

හවුල්කාර පක්ෂවල ඉල්ලීම, ජනපති ප්‍රතික්ෂේප නො කළ බව හිටපු ජනපති කියයි

(20.10.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11 ක් යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඉල්ලා සිටි සාකච්ඡාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

හෝමාගම – ගොඩගම ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේ අභිනව රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට අද (20) එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එක්ව සිටියා.

******************************************

තෙල් සංස්ථාවේ රුපියල් සංචිත ගොඩ ගැසේ – ඉන්ධන ගන්න ඕමානයෙන් ණයක්

(20.10.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ රුපියල් සංචිත ගොඩගැසී තිබුණ ද ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඉන්ධන මිල දී ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු පවතින බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසනවා.

මේ අතර, ඉන්ධන මිල දී ගැනීම සඳහා රජය ඕමානය සමග ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ක ණය මුදලක් සඳහා අත්සන් තැබීමට නියමිතයි.

ඛනිජ තෙල් සංස්ථාව විසින් එදිනෙදා පවතින මුදල් ප්‍රමාණයන්ට අනුව මේ වන විට ඉන්ධන ලබා ගැනීම සිදු කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් ඉන්ධන හිඟයක් නිර්මාණය විය හැකි බැවින් ජාත්‍යන්තර රටවල් සමග ඒකාබද්ධ වී ඉන්ධන මිලදී ගැනීම සඳහා විධිමත් වැඩපිලිවෙළක් සකස් කළ යුතු බවයි ඔහු කියා සිටියේ.

අප මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ, අද (20) දිනයේදී පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.

එබැවින් ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා ෴

******************************************

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගොවිජන මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම අද (20) පස්වරුවේ

(20.10.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

වී ඇතුළු සියලු වගාවන් සඳහා යොදා ගැනීමට ඉන්දියාවෙන් ආනයනය කළ ‘නැනෝ නයිට්‍රජන්’ දියර පොහොර අද (20) පස්වරුවේ ගොවීන්ට ලබාදීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට නියමිතව තිබෙනවා.

ඒ, වත්තල – හුණුපිටියේ පිහිටි කලම්බු කොමර්ෂල් පොහොර මධ්‍යම ගබඩා සංකීර්ණයේදීයි.

ගොවි බිම් හෙක්ටයාර් ලක්ෂ 10 කට යෙදීම සඳහා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර් තිස් එක් ලක්ෂයක් (31,00,000) ආනයනයට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර, ඒ අනුවයි අද (20) අලුයම ඉන් පළමු තොගය ලෙස ලීටර් ලක්ෂයක් (1,00,000) දිවයිනට රැගෙන එනු ලැබුවේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා සඳහන් කළේ, ඉතිරි ‘දියර නයිට්‍රජන්’ පොහොර තොගය නැව් මඟින් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි.

මේ අතර තම වගාවන්ට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් අදත් (20) ප්‍රදේශ කිහිපයක ගොවි විරෝධතා සංවිධාන කර තිබුණා.

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුකුළාපොළ ප්‍රදේශයේ ගොවීන් ඊයේ (19) විරෝධතාවයෙන් නිරත වූයේ කොම්පෝස්ට් පොහොර යොදා සිදු කළ තම වගාවන් අසාර්ථක බව පවසමින්.

එමෙන්ම අර්තාපල් වගාව ජීවනෝපාය කර ගත් ඌව පරණගම ගොවීන් මැසිවිලි නගන්නේ මාස 06 ක සිට වගාවට අවශ්‍ය රසායනික පොහොර නොමැති අර්බුදයට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි බලපෑම් කරමින්.

පොලොන්නරුව – ඇළහැර – ගඟේයාය ගොවීන් ද අක්කර සියයක (100) පමණ වගා බිම් ප්‍රදේශයක් මෙම කන්නයේ අතහැර දැමීමටද තීරණය කර තිබෙනවා.

******************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ, පරිසර හානිය පිළිබඳ නවතම හෙළිදරව්ව

(20.10.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ, පරිසර හානියකට හේතු විය හැකි ඉන්ධන මෙට්‍රික් ටොන් 278 ක ප්‍රමාණයක් තවදුරටත් ඇතැයි උපකල්පනය කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළා.

එහි සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ, එම ඉන්ධන සම්බන්ධ නිශ්චිත තොරතුරු ලබා ගැනීම දුෂ්කර වී ඇති බවයි.

******************************************

ශ්‍රී.ල.නි.ප. ප්‍රබලයින්ට කුට්ටිආරච්චි ගෙන් දොස් මුරයක්

(20.10.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ වැඩපිළිවෙළට බාධා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.

අද (20) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එම පක්ෂයට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.

******************************************

ෆේස්බුක් නම වෙනස් කිරීමට සැරසෙයි

(20.10.2021 – 15:19 +0530 – hirunews.lk/sinhala)

ලොව ප්‍රමුඛතම සහ ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක්, සිය නාමය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සමාගම නව සන්නාමකරණ වැඩසටහනකට යොමුවීමේ සැලසුම මත මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව ෆේස්බුක් නිර්මාතෘ සහ එහි ප්‍රධාන විධායක නිලධාරි මාක්ස් සකර්බර්ග් විසින් ලබන 28 වනදා පැවැත්වෙන සමුළුවකදී එය එළිදැක්විමට නියමිත බව ද සඳහන් වනවා.

කෙසේ වෙතත් එම නව නාමය කුමක් ද යන්න මෙතෙක් නිෂ්චිතව ප්‍රකාශ වී නැහැ ෴

******************************************

සීනි මිල යළි ඉහළට – 160 ටත් අලෙවි වෙයි

(20.10.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ සීනි මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

අද (20) වනවිට සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 160 ත් 190 ත් අතර මිලක අලෙවි වන බවටයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

පිටකොටුවේ සීනි තොග වෙළඳුන් සඳහන් කළේ තමන් සතුව සීනි තොග නොමැති බවයි.

ඒ අනුව, කොළඹින් පිට ප්‍රදේශවල ද සීනි හිඟයක් මතුව තිබෙනවා.

ඇතැම් වෙළඳසැල්වලින් එක් පාරිභෝගියෙකුට සීනි ග්‍රෑම් 500 ක් පමණක් නිකුත් කරන බව ද හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

සීනි මිල මෙලෙස යළි ඉහළ ගොස් ඇත්තේ රජය ඒ සඳහා පාලන මිලක් නියම කර ඇති තත්ත්වයක් තුලයි.

සුදුසීනි කිලෝග්‍රෑමයක් රුපියල් 122 කට සහ දුඹුරු සීනි රුපියල් 125 කට ඒ අනුව අලෙවි කළ යුතුයි.

පසුගිය කාලසීමාව තුලදී සීනි තොග සඟවා තැබීම හේතුවෙන් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 230 දක්වා සීග්‍ර ලෙස ඉහල ගියා.

මේ අතර, සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන ලෙස ද ප්‍රධාන පෙළේ සීනි ආනයනකවරුන් කිහිප දෙනෙකු මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

මීට පෙර සහල් සඳහා ද පාලන මිලක් ප්‍රකාශයට පත් කර තිබූ අතර, පසුව එම පාලන මිල ඉවත් කිරීමට ද රජය කටයුතු කළා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

දුම්රිය ධාවනය දින නියමයක් නොමැතිව කල් යයි

(20.10.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

හෙට (21) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ දුම්රිය ධාවන කටයුතු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් කසුන් චාමර මහතා සඳහන් කරන්නේ, හෙට (21) දිනයේදී දුම්රිය ධාවන කටයුතු සඳහා සේවකයින් කැඳවා තිබුණ ද එය පසුව අවලංගු කර ඇති බවයි.

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31 දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් දුම්රිය ධාවනය ද තවදුරටත් කල් යනු ඇති බව සඳහන් ෴

++++++++++++++++++

තවත් ආසාදිතයින් 360 කට පූර්ණ සුවය

(20.10.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala)

අද (20) දිනයේදීත් නව්‍ය කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි, රෝගීන් 360 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව , මෙරට කොවිඩ් ආසාදිතව සුවය ලද මුළු පුද්ගලයින් සංඛ්‍යාව 4,93,674 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19) දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 18 ක් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින්ගේ මුළු මරණ සංඛ්‍යාව 13,543 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

අද (20) දිනයේදීත් තවත් නව්‍ය කොරෝනා ආසාදිතයින් 442 ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එම නව ආසාදිතයින් 442 ත් සමඟින් මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,33,208 ක් දක්වා ඉහළ යනු ඇති ෴

තවත් කොරෝනා ආසාදිතයින් 95 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. අද (20) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 537 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,33,303 ලෙසයි පවතින්නේ ෴

++++++++++++++++++

හෙටින් (21) ඇරඹෙන නවමු පාසල් වාරයට අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(20.10.2021 – 15:35 +0530 – hirunews.lk/sinhala)

හෙට (21) දිනයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුකූලව පාසල් විවෘත කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

රට තුළ පවතින නව්‍ය කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් තාවකාලිකව වසා දමා තිබුණා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා දමා ඇති මොහොතක රට තුළ සියලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරනු ලැබුවේ, පාසල් ගුරුවරුන් විසින් ඔන්ලයින් හෙවත් මාර්ගගත ඉගැන්වීම් ක්‍රමය භාවිත කරමින්.

එහෙත්, දින 100 ඉක්ම වූ අඛණ්ඩ ගුරු වැටුප් වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල් ගුරුවරුන් මාර්ගගත ඉගැන්වීම් ක්‍රියාවලියෙන් ඉවත් වීමත් සමඟ, එතෙක් මෙරට පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රියාවලිය ද බිඳ වැටීමට ලක් වුණා.

මෙවන් තත්ත්වයක් හමුවේ හෙට (21) දිනයේ සිට ඇරඹෙන නවමු පාසල් වාරය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පාසල් දරුවන්ගේ අනාගතය දෙමව්පියන්ගේ සතුට පමණක් නොව, මුළු මහත් ජාතියේම සතුට බවයි.

එබැවින් එකී සතුට රැගෙන ලක්ෂ සංඛ්‍යාත දූ දරුවන් හෙට (21) නැවතත් පාසල් බිම හැඩ කරනු ඇති බව තම විශ්වාසය බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම කලෙකින් නුදුටු සිය දරු දැරියන්ගේ සතුටු මුහුණු සජීවීව දකින්නට ගුරු පියවරුන්, ගුරු මෑණිවරුන් හෙට පාසලට එනු ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අධ්‍යාපනය යනු ජාතියේ අනාගතය වන අතර, එය වනාහි ජාතියේ දියුණුවේ ශක්තියයි.

එය ලබාදෙන ගුරුවරයාගේ වැටුප් වැඩිවීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා මැදිහත්ව විශ්වසනීය විසඳුමක් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එහෙයින්, පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වාත්, බස්නාහිර සිට නැගෙනහිර දක්වාත්, විසිරී සිටින පාසල් දරුවන් හා ගුරුවරුන් පාසලට පැමිණීම කිසිවෙකුටත් නතර කළ නොහැකි අතර, මෙරට දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සුරැකීමට අප සැවොම අත්වැල් බැඳගත යුතු බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරනවා.

මේ අතර පාසල් නැවත විවෘත කිරීම මෙරට දරු පරපුරේ ජයග්‍රහණයක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මාවත් දෙකක් (2) ඔස්සේ පැමිණ හෝ ගුරු – විදුහල්පති ගැටළුව විසඳීම සම්බන්ධයෙන් සාධනීය මංසන්ධියකට පැමිණීමට හැකිව ඇති බවයි.

ගුරුවරුන්ට අදාළ ප්‍රශ්න රාශියක් ඇති බවත්, එයට එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන් හෝ අපහාස කිරීමෙන් මෙම ප්‍රශ්නය විසඳාගත නොහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එබැවින් ගැරහුම් වෙනුවට පැසසුම් ද , බැනුම් වෙනුවට වැනුම් ද , අවමාන වෙනුවට සම්මාන ද , වෛරය වෙනුවට අවෛරය ද , මර්දනය වෙනුවට ආදරය ද රැගෙන අපගේ දූ පුතුන් පාසල් වෙත හෙට (21) දිනයේ රැගෙන එන ලෙසයි ජනමාධ්‍ය අමාත්‍යවරයා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *