අන්තර් පළාත් සංචරණ සීමා කාලය තවදුරටත් දිගු කෙරෙයි

අන්තර් පළාත් සංචරණ සීමා කාලය තවදුරටත් දිගු කෙරෙයි

*********************************************

අන්තර් පළාත් සංචරණ සීමා කාලය තවදුරටත් දිගු කෙරෙයි

(20.10.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ලබන 31 වැනි දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස අන්තර් පළාත් සංචරණ සීමා දීර්ඝ කිරීමට කටයුතු කළ බවයි.

අන්තර් පළාත් සංචරණ සීමා හෙට (21) අලුයම 4 ට අවසන් වීමට නියමිතව තිබුණා ෴

++++++++++++++++++

නිවෙස්ගත කොරෝනා රෝගීන් අඩුවෙයි

(20.10.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

නිවෙස්ගතව කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීමේ සේවාව යටතේ පහසුකම් ලබාගන්නා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට සියයට 25 ත් 30 ත් අතර අගයක් දක්වා පහත වැටී ඇති බව නිවෙස්ගත රෝගී සත්කාරක සේවාවේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා.

එමෙන්ම, ඊයේ (19) දිනයේ මෙරටින් නව ආසාදිතයින් 548 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,32,766 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (19) වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 546 ක් ‘අලුත් අවුරුදු කොවිඩි පොකුරේ’ ආශ්‍රිතයන් වන අතර විදේශයන් හි සිට පැමිණි දෙදෙනෙකු (2) ද ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 25,927 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (18) සිදු වූ බවට ඊයේ (19) තහවුරු කරන ලද මරණ 18 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,525 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,93,314 ක්.

නිවෙස්ගත රෝගී සත්කාරක සේවාවේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය කොළඹදී ඊයේ (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, එම සේවාව යටතේ පුද්ගලයින් ලක්ෂයකට (1,00,000) ආසන්න සංඛ්‍යාවකට උපදෙස් ලබා දී ඇති බවයි.

හෙට (21) සිට වයස අවුරුදු 18 ත් 19 ත් අතර කාණ්ඩයේ පාසල් දරුවන්ට දිවයින පුරා එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව පිළියන්දල ප්‍රදේශයේදී ඊයේ (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියා.

මේ අතර හෙට (21) සිට අවසර ලබාදෙන්නේ නම් අන්තර් පළාත් බස් රථ ධාවනයට සියලු කටයුතු සූදානම් බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, හෙට (21) සිට ආරම්භ වන පාසල්වලට සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය පරිදි සිසු සැරිය බස් රථ යෙදවීමට කටයුතු යොදා ඇති බවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ මඟී ප්‍රවාහන දුම්රිය ධාවනය පිළිබඳව ඉදිරියේදී පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කමිටු රැස්වීමෙන් පසු තීරණයකට එළඹෙන බවයි.

කෙසේ වෙතත් දැනට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පමණක් ධාවනය වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

‘නැනෝ නයිට්‍රජන්’ දියර පොහොර ලීටර් ලක්ෂයක් රැගෙන එයි

(20.10.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ කන්නය සදහා යෙදීමට ඇනවුම් කරන ලද ‘නැනෝ නයිට්‍රජන්’ දියර පොහොර ලීටර් ලක්ෂ 31 න් පළමු තොගය වන ලීටර් ලක්ෂය (1,00,000) අද (20) අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයකින් අලුයම 12:25 ට ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මෙරටට රැගෙනවිත් තිබෙනවා.

මේ සදහා යොදාගෙන ඇත්තේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයයි.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා සදහන් කළේ, මෙම සතිය තුළ ‘නැනෝ නයිට්‍රජන්’ දියර පොහොර තවත් ලීටර් ලක්ෂ 4 ක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි.

අද (20) අලුයම දිවයිනට රැගෙන එනු ලැබූ මෙම දියර පොහොර තොගය අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති දිස්ත්‍රික්වල ගොවි සංවර්ධන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබාදෙනු ඇති.

මෙලෙස දිවයිනට රැගෙන එනු ලැබූ ‘නැනෝ නයිට්‍රජන්’ දියර පොහොර භාර ගැනීමේ අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එක්ව සිටියා.

පරිසර හිතකාමී විශේෂිත පොහොර වර්ගයක් ලෙස සැලකෙන මෙම ‘නැනෝ නයිට්‍රජන්’ දියර පොහොරවල විශේෂත්වය වන්නේ ඒවා පාංශු ජලයේ ද්‍රාවණය නොවී ඍජුවම ශාක වලට අවශෝෂණය වීමයි.

ඒ හේතුවෙන් පොහොරවල අන්තර්ගත මූලද්‍රව්‍ය, පානිය ජලය ලබා ගැනීමට භාවිතා කරන ජලාශවලට එක් නොවන අතර, එම නිසා වකුගඩු රෝග වැනි විවිධ රෝගී තත්වයන් ඇති වීමේ අවදානමක් නොමැති බවටයි විශේෂඥයින් මඟින් තහවුරු කර ඇත්තේ.

මේ අතර මෙරටට ගෙන්වන ලද ‘නැනෝ නයිට්‍රජන්’ දියර පොහොර මෙරට වී වගාවට මෙන්ම සෙසු බෝග සඳහාද ලබා දීමට කටයුතු කරන බව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම පවසනවා.

එහි සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක් වෙමින් කියා සිටියේ, විෂ සහිත බැක්ටීරියා අඩංගු වීම මත ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර තොගය මෙරටට ගෙන්වීමේ සැලසුමක් නොමැති බවයි ෴

******************************************

මහා සඟරුවන සමඟ පළමු ජාත්‍යන්තර ගුවන් යානය කුසිනාරාවට

(20.10.2021 – 06:45 +0530 – hirunews.lk/sinhala)

කුසිනාරා හෙවත් කුෂිනගර් ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කිරීම සංකේතවත් කරමින් පළමු ජාත්‍යන්තර ගුවන් යානය මහා සංඝරත්නය 95 නමක් සමඟ අද (20) අලුයම පිටත්ව ගියා.

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අද (20) නිල වශයෙන් විවෘත කෙරෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.

කටුනායක ගුවන් තොටුපොළ හිරු වාර්තාකරු සදහන් කළේ, අලුයම 05:30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1147 දරන ගුවන් යානය මෙලෙස භික්ෂූන් වහන්සේලා ඇතුළු මඟීන් 111 දෙනෙකු සමඟ දිවයිනෙන් පිටත්ව ගිය බවයි.

මෙම අවස්ථාවට අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක සහ සිසිර ජයකොඩි යන මහත්වරු එක්ව සිටියා.

කුෂිනගර් වෙත පළමු ගුවන් ගමන සිදු කෙරුණු අවස්ථාවේදී එහි සිටි පිරිසට සුබ පැතීම සදහා මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ද එක්වුණා.

සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාවේ වන්දනා ගමන් වෙනුවෙන් ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව හිමිවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පසුගිය වසරේ පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි.

100 කට අධික මහා සංඝ රත්නය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පිළිගැනීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළා.

ශ්‍රී ලංකා දූත පිරිස වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් කුසිනාරාවේ සංවිධාන කර ඇති බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ.

මේ අතර මෙම සංචාරයට එක්වන අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනාහිමියන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඊයේ (19) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණා.

මුහුදු මට්ටමින් අඩි 261 ක උසකින් පිහිටා ඇති කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එක් ධාවන පථයකින් යුක්ත වන අතර, බෝයිං 737 වර්ගයේ ගුවන් යානාද ගොඩබැස්විය හැකි අයුරින් නිර්මාණය කර තිබෙනවා.

එය ඉන්දියාවේ 29 වන ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි.

මෙය විවෘත කිරීමත් සමඟ බෞද්ධ බැතිමතුන්ට නවදිල්ලිය හරහා නොගොස් ඍජුවම කුසිනාරාව වෙත ළඟාවීමට ඉඩ සැළසෙනවා.

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත වේ

(20.10.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

කුසිනාරා හෙවත් කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද (20) පෙරවරුවේ විවෘත කරනු ලැබුවා. එම අවස්ථාවට උත්තර් ප්‍රදේශ් මහඇමති යෝගි ආදිත්‍යනාත් ඇතුළු එරට ඉහළ පෙළේ දේශපාලනඥයින් රැසක් ද එක්ව සිටියා.

මෙම ගුවන් තොටුපළ විවෘත කිරීම සංකේතවත් කරමින් මහා සංඝරත්නය 95 නමක් සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු ඇමතිවරුන් පිරිසක් රැගෙන අද (20) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1147 දරණ යානය එහි පළමු ජාත්‍යන්තර ගුවන් යානය ලෙස කුෂි නගර් ගුවන් තොටුපළට ගොඩබස්වා තිබෙනවා.

අද (20) විවෘත කෙරුණු කුෂිනගර් ගුවන් තොටුපළ සැලකෙන්නේ ඉන්දියාවේ 29 වන ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙසයි.

කුෂිනගර් වෙත පළමු ගුවන් ගමන සිදුකෙරුණු අවස්ථාවේදී එහි සිටි පිරිසට සුබ පැතීම සඳහා මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

වස්කඩුව – රාජ්ගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ තැන්පත් කර තිබූ කපිල වස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේලා ද අද (20) දිනයේදී ඉන්දියාවට වැඩම කළ අතර එය අද (20) සහ හෙට (21) යන දෙදින තුළ කුශිනගර් හි බැතිමතුන්ට වන්දනා කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

22 වැනි දා දක්වා බරණැස දක්වා එම සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කිරීමට නියමිතයි.

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකය වෙත ගොස් ආගමික වතාවත්වල ද නිරතවුණා.

******************************************

ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙකු (3) අත් අඩංගුවට

(20.10.2021 – 06:57 +0530 – hirunews.lk/sinhala)

මීගමුව පොලිස් වසමේ කට්ටුව ප්‍රදේශයේ දී මීගමුව පොලිසිය විසින් සිදු කළ වැටලීමකින් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවක හා ගණිකා වෘත්තියේ නියැලුණු කාන්තාවන් තිදෙනෙකු (3) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 29, 31 හා 38 යන වයස්වල පසුවෙන දන්කොටුව, ඩයගම හා මාදම්පේ ප්‍රදේශවල පදිංචිකාරියන් තිදෙනෙක් (3).

සැකකාරියන් අද (20) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගමුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති ෴

******************************************

කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි මිලත් නගී

(20.10.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, කරාබුනැටි, කෝපි ඇතුළු ප්‍රධාන අපනයන භෝග රැසක වෙළඳපොළේ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර රට තුළ ඩොලර් හිඟ වී ඇති අවස්ථාවක මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනි දා වනවිට පමණක් කුළුබඩු අපනයනය කිරීමෙන් ඇමරිකන් ඩොලර් මිලියන 350 ක ආදායමක් ලැබී ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දැනට වෙළඳපොළේ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 900 දක්වා ඉහළ ගොස් ඇති අතර, එම මිල පසුගිය කාලසීමාව තුළ පැවතුණේ රුපියල් 500 ක් ලෙසයි.

මීට අමතරව කුරුඳු කිලෝවක මිල ද රුපියල් 3,400 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම කරාබුනැටි කිලෝවක මිල ද රුපියල් 1,400 දක්වා සහ සාදික්කා කිලෝවක මිල රුපියල් දහස (1000) දක්වා ඉහළ ගොස් ඇති බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෝපි කිලෝග්‍රෑමයක මිලද රුපියල් 1,250 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, පුවක් කිලෝවක මිලද රුපියල් දහස (1000) දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එසේම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි ඇතුළු ප්‍රධාන අපනයන භෝග මෙට්‍රික් ටොන් 45,000 කට වැඩි ප්‍රමාණයක් අපනයනය කර තිබෙනවා ෴

******************************************

වප් පුන් පොහොය දිනය අදයි (20)

(20.10.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදු වූ අතිශය වැදගත් පොහෝ දිනයක්.

මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදු කිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදු වූයේ අද වැනි වප් පුන් පොහෝ දිනයක දී වීම විශේෂත්වයක්.

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහෝ දිනය ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස හඳුනාගත හැකියි.

******************************************

ව්‍යාජ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි

(20.10.2021 – 09:36 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් – පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (19) සිදු කළ මෙම වැටලීමේදී රථ වාහන ලියාපදිංචි සහතික සකස් කිරීම සඳහා යොදා ගත් ලැප්ටොප් පරිගණකයක්, ව්‍යාජ අංක පුවරු කිහිපයක්, ව්‍යාජ ලෙස සකසන ලද රජයේ නිල මුද්‍රා කිහිපයක් සහ රාජ්‍ය ලාංඡනය සහිත ස්ටිකර් කිහිපයක් ද භාරයට ගෙන තිබෙනවා.

එම ස්ථානයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴

******************************************

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ලබන වසර සදහා නව වැඩපිළිවෙළක් සකසයි

(20.10.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ලබන වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ආදායමක් ඉපයීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා සිදු කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

කළුගල්, වැලි, පස් හා බොරලු සම්බන්ධව බලපත්‍ර නිකුත් කිරීමට අමතරව මෙරට වටිනා ඛනිජ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම නව වැඩපිළිවෙළේ අරමුණයි ෴

******************************************

ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට, රාජ්‍ය ඇමති සනත් නිශාන්තට චෝදනා

(20.10.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම – මහකුඹුක්කඩවල ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධ ගැටලු‍වකට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මැදිහත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මහකුඹුක්කඩවල – ජයරාජපුර ප්‍රදේශයේ පිහිටි අදාළ ඉඩම අක්කර 50 කින් සමන්විත අතර, එහි හිමිකරු බව කියන ලාල් ප්‍රියන්ත සඳහන් කළේ, ඉඩමේ සංවර්ධන කටයුතු සිදු කරන අතරතුර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී මුරකරු පලවා හැර ඉඩම ඩෝසර් කිරීමට කටයුතු කර ඇති බවයි.

පසුව තමන් මේ පිළිබදව මහකුඹුක්කඩවල පොලිසියට පැමිණිලි කළ බව, ඉඩමේ හිමිකරු බව කියන ලාල් ප්‍රියන්ත නැමැත්තා සදහන් කළා.

අප මේ පිළිබඳව චෝදනාව එල්ලවන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගෙන් විමසිමක් කළ අතර, ඔහු සදහන් කළේ ඉඩමේ හිමිකරු කියන පුද්ගලයා එම ඉඩම බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති හෙයින් ඒ සඳහා තමන් මැදිහත් වු බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරණ මහකුඹුක්කඩවල පොලිසිය දෙපාර්ශ්වයම කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

දෙපාර්ශවයම කැද වූ අවස්ථාවේදී පොලීසිය ඔවුන්ට අවවාද කරමින් සදහන් කර ඇත්තේ, අධිකරණයට ගොස් සිවිල් නඩුවක් පවරා හිමිකාරිත්වය සම්බන්ධ ගැටලු‍ව විසඳා ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් ඉඩමේ හිමිකරු බව කියන පුද්ගලයාගෙන් සහ මුරකරුගෙන් මෙන්ම අදාළ සිද්ධියට පැමිණි සෙසු පුද්ගලයින්ගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇතත් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් පොලිසිය මෙතෙක් ප්‍රකාශයක් ලබා ගෙන නොමැති බව සදහන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *