නාවික හමුදා යාත්‍රාවක ඉන්දීය ධීවර බෝට්ටුවක් ගැටේ

නාවික හමුදා යාත්‍රාවක ඉන්දීය ධීවර බෝට්ටුවක් ගැටේ

*********************************************

නාවික හමුදා යාත්‍රාවක ඉන්දීය ධීවර බෝට්ටුවක් ගැටේ

(19.10.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

යාපනය – කෝවිලම් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් මුහුදු තීරයේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් එහි සිටි ධීවරයෙකු (1) අතුරුදන්ව තිබෙනවා.

ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් ඊයේ (18) පස්වරුවේ අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදේ මසුන් මරමින් සිට ඇති අතර, එම පිරිස නාවික හමුදාව විසින් පලවා හැරීමට යාමේදී අදාළ යාත්‍රාව මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි නාවික හමුදාව සදහන් කළේ.

නාවික හමුදා යාත්‍රා මඟ හැරීම සඳහා ඉතා අනතුරුදායකව අදාළ යාත්‍රාව හසුරුවා ඇති අතර එම අවස්ථාවේ පෙරලුණු යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනෙකු (2) එම මොහොතේ නාවික හමුදාව විසින් බේරා ගෙන තිබෙනවා.

මෙම අවස්ථාවේ අදාළ යාත්‍රාව නාවික හමුදා වේග ප්‍රහාර යාත්‍රාවක ගැටීමට සලස්වා ඇති අතර, ඒ හේතුවෙන් එම යාත්‍රාවට හානි සිදුව තිබෙනවා.

බේරා ගත් ඉන්දීය ධීවරයින් දෙදෙනා (2) සම්බන්ධයෙන් ඉන්දීය බලධාරින් දැනුවත් කිරීමට පියවර ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

අතුරුදන්වූ ධීවරයා සෙවීම සඳහා කිමිඳුම්කරුවන් කණ්ඩායමක් නාවික හමුදාව විසින් යොදවා තිබෙනවා.

ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදේ මසුන් අල්ලන ධීවරයින්ට ප්‍රහාර එල්ල විය හැකි බව තමිල්නාඩු පොලීසිය ඉන්දීය ධීවරයින්ට ඊයේ (18) අනතුරු ඇගවීමක් ද සිදු කළ අතර, එවන් පසුබිමකයි මෙම ඉන්දීය ධීවර යාත්‍රා නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු තීරයට ඇතුළු වී ඇත්තේ.

එසේම, උතුරු නැගෙනහිර, ධීවරයින් ද පෙරේදා ගැඹුරු මුහුදේ කළුකොඩි ඔසවා ධීවර යාත්‍රාවල සිට විරෝධතාවල නිරත වූයේ තම මත්ස්‍ය සම්පත ඉන්දීය ධීවරයින් කොල්ලකන බවට චෝදනා කරමින්.

මෙම ගැටලුව විසඳීම සඳහා ධීවර අමාත්‍යවරයාගේ මැදිහත්වීමක් සිදු නොකරන බවටයි ඔවුන් චෝදනා කළේ ෴

******************************************

ගුවනින් නයිට්‍රජන් පොහොර පැමිණීම පමා වේ

(19.10.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

වී ඇතුළු සියලු වගාවන්ට යොදා ගත හැකි නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගය අද (19) පෙරවරුවේ ගෙන්වීමට නියමිතව තිබුණත්, එය අද (19) රාත්‍රියේ පැමිණෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

අද (19) පෙරවරු 11:45 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත අදාළ දියර පොහොර රැගත් ගුවන් යානය පැමිණීමට නියමිතව තිබූ නමුත් එය රාත්‍රී 08:45 දක්වා ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ.

හෙක්ටයාර ලක්ෂ 10 ක වගාවක් සඳහා මෙලෙස නැනෝ නයිට්‍රජන් දියර පොහොර මෙරටට රැගෙන ඒමට නියමිතයි.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට එහි පළමු තොගය වන ලීටර් ලක්ෂයක් මෙලෙස රැගෙන ඒමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.

කෙසේ වෙතත්, අද (19) දිනයේදීත් ප්‍රදේශ රැසක ගොවීන් විරෝධතාවල නිරත වූයේ පොහොර නොමැති බවට පවසමින්.

මේ අතර, පොහොර අර්බුදය පිළිබදව අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද සංවාදයට බඳුන් වුණා.

එහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ, ඇමෝනියම් සල්ෆේට් පොහොර තොගයක් ආනයනය කිරීම රසායනික පොහොර ආනයනය නොකිරීමේ රජයේ ප්‍රතිපත්තියට පටහැනි නොවේ ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදුන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ, මෙරට තේ කර්මාන්තයේ ප්‍රමිතිය සහ නිෂ්පාදනය පහත වැටීම වළක්වාලීම සඳහා එම පොහොර සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබූ බවයි.

ප්‍රමාණවත් අන්දමින් කාබනික පොහොර මෙරට නිෂ්පාදනය කරන තුරු එලෙස තේ කර්මාන්තයට අවශ්‍ය රසායනික පොහොර ආනයනය කරන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ ෴

******************************************

ගල් අඟුරු මිල දී ගැනීමත් කල් යන ලකුණු

(19.10.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

විදුලි බලාගාර සඳහා අවශ්‍ය වන ගල්අඟුරු ප්‍රමාණවත් බැවින් විදුලි නිෂ්පාදනයට එය බාධාවක් නොවන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා.

කෙසේ වෙතත්, ලෝක වෙළදපොළේ ගල් අගුරු මිල මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා ගල් අගුරු මිල දී ගැනීම එළඹෙන පෙබරවාරි මාසය දක්වා කල් දමා ඇති බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

ගල් අගුරු මිල දී ගැනීම කල් දැමුව ද විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු තොග ප්‍රමාණවත් පරිදි පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ලෝක වෙළදපොළේ ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 285 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙරට විදුලියෙන් 40% ක ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ ගල් අගුරු උපයෝගී කර ගනිමින් ෴

******************************************

කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධන කාර්යාල ගැටුම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන

(19.10.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

කොත්මලේ කැටඹුලාව – සංවර්ධන නිලධාරි කාර්යාලයේ ගම සමඟ පිළිසඳර වැඩ සටහනේ පළමු (1) අදියරේ වැඩසටහනක් අතරතුර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස හා කොත්මලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී චාමර සුභාෂ් ද සිල්වා අතර ඊයේ (18) මෙලස ගැටුමක් ඇතිව තිබුණා.

එම ගැටුමෙන් රුවන්පුර කොට්ඨාශයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා නාවලපිටිය රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රී චාමර සුභාෂ් ද සිල්වා සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදී අප උත්සාහ කළ නමුත් ඔහු දුරකතනය ක්‍රියාවිරහිත කර තිබුණා.

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවයෙන්ම මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි ෴

******************************************

කෝටි හතක (7) රන් පිටමං කිරීමට තැත් කළ අයෙකුට වැඩ වරදියි

(19.10.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද (19) අලුයම 02:00 ට පමණ ගුවන්තොටුපොළ පිරිසිදුකිරීම් අංශයේ සේවය කරන සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

25 හැවිරිදි වියෙහි පසුවන මොහු ගුවන්තොටුපොළ අංශයේ පිරිසිදුකිරීම් අධීක්ෂකවරයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරු සන්තකයේ ඉතා සූක්ෂ්ම ලෙස සඟවාගෙන තිබූ, රන් බිස්කට් තොගයක් ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් රන් බිස්කට් තොගයෙහි මුළු බර ග්‍රෑම් 4848 ක් වන අතර, එහිදී රන් බිස්කට් 48 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම රන් බිස්කට් තොගයෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 70 කට අධික බවයි මූලික විමර්ශන මගින් තහවුරු වී ඇත්තේ.

එලෙස අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ රාජසන්තක කිරීමට පියවර ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු, ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා ෴

******************************************

ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත හෙක්ටයාර 2000 ක් ආයෝජකයින්ට

(19.10.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ කේන්ද්‍රීය වරායක් ලෙස ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමේ සැලැස්මක් සකස් කර තිබෙනවා.

ඒ, වරායේ ස්වභාවික පිහිටීම සහ ආශ්‍රිතව පවතින වරාය අධිකාරිය සතු හෙක්ටයාර 2000 ක පමණ බිම් ප්‍රමාණය සංවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කරමින්.

එහිදී වරාය ආශ්‍රිතව කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ අරමුණෙන් එක් වරායක් සදහා එක් බැර කර්මාන්තයක් යන ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා ෴

******************************************

කොළඹ නැව් තටාකාංගන සමාගමෙන් ඉරාකය සඳහා නැව් දෙකක් (2) නිෂ්පාදනය කෙරෙයි

(19.10.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ඉරාකය සඳහා යාත්‍රා දෙකක් (2) නිෂ්පාදනය කිරීමට කොළඹ නැව් තටාකාංගන සමාගම සමත් වී තිබෙනවා.

මෙමඟින් මෙරටට ඩොලර් මිලියන 35 ක ආදායමක් උපයා ගැනීමටත් හැකියාව ලැබීම විශේෂත්වයක්.

අදාළ යාත්‍රා දෙක (2) මේ වනවිට ඉරාකය බලා රැගෙන යමින් තිබෙනවා.

******************************************

මහ කන්නයට අවශ්‍ය පොහොර මාසයක් (1) තුළ ලබා දීමට රජයෙන් පොරොන්දුවක්

(19.10.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

මේ අතර මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර මාසයක් (1) තුළ සම්පූර්ණයෙන්ම සැපයීමට හැකිවනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (19) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළා.

******************************************

පොහොර ඉල්ලා ප්‍රදේශ රැසක විරෝධතා

(19.10.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

වගාවන්ට අවශ්‍ය පොහොර ලබා දෙන්නැ යි ඉල්ලා අදත් (19) දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම ගොවීන් විරෝධතා සංවිධානය කර තිබුණා.

******************************************

වත්මන් අර්බුද පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස්

(19.10.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

ගුරු වැටුප් ගැටලුව සහ පොහොර අර්බුදය සම්බන්ධයෙන් අද (19) දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා.

******************************************

ගුරුවරුන් බියවද්දන බවට ගුරු සංගමයෙන් චෝදනා

(19.10.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව මුල්කර ගනිමින් වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනයට අදට (19) දින 100 ක්.

මේ අතර ‘ලංකා ගුරු සංගමය’ චෝදනා කරන්නේ පොලිසිය මඟින් ගුරුවරුන් බිය වැද්දීමේ සැළැස්මක් ක්‍රියාත්මක කර ඇති බවයි.

******************************************

පොළොන්නරුව කාලිංගවිල පාළම සාදා දෙන්නැයි ගම්වාසීන් විරෝධතාවක

(19.10.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව වැලිකන්ද කාලිංගවිල ගම්මානයට පිවිසෙන මාර්ගයේ පැවති පැරණි පාළම කඩා දමා නව පාළමක් ඉදිකිරීමට පියවර ගත්තත් එය අතරමඟ නවතා දැමීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, පාළම කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

සයිනොෆාම් එන්නතේ ප්‍රතිචාරය ගැන නව අධ්‍යයනයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

(19.10.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

සයිනොෆාම් එන්නත ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ කොරෝනා වෛරසයට එරෙහි ටී-සෛල ප්‍රතිචාරය අඛණ්ඩව පවතින බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, කල් යත්ම සියලු වයස් කාණ්ඩවලට එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිය අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

සයිනොෆාම් එන්නතෙහි ප්‍රතිදේහ ජනනය සහ ටී-සෛල ප්‍රතිචාරය පිළිබද පැවැත් වූ අධ්‍යයනයකින් අනතුරුවයි මේ බව ප්‍රකාශ කෙරුණේ.

එහිදී අනාවරණ වී ඇත්තේ, දෙවන (2) එන්නත් මාත්‍රාව ලබාදී සති 12 කට පසුව ද කොරෝනා වෛරසය ආගන්තු දේහයක් ලෙස සලකා ටී-සෛල මඟින් ප්‍රතිචාර දැක්වීම එලෙසින්ම පවතින බවයි.

කෙසේ නමුත්, වෛරසයට එරෙහි ප්‍රතිදේහ ජනනය විශේෂයෙන් වයස අවුරුදු 60 ට වැඩි කාණ්ඩයේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙනවා.

එමෙන්ම, ප්‍රතිශක්තිය දුර්වල වීම හමුවේ රෝහල්ගත කිරීම සහ රෝගය බරපතළ තත්ත්වයට පත්වීම පිළිබදව තවදුරටත් අධ්‍යයනයන් සිදු කළ යුතු බවයි පරීක්ෂණ කණ්ඩායමේ නිගමනය වී ඇත්තේ.

+++++++++++++++++++

තවත් ආසාදිතයින් 339 කට පූර්ණ සුවය

(19.10.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

අද (19) දිනයේදීත් තවත් කොවිඩ් ආසාදිතයින් 339 දෙනෙකු සුවය ලබා තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, සුවය ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 4,93,314 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *