සීනිවල පාලන මිල ඉවත් කරන්නැ යි ආනයනකරුවන් ගෙන් ලිපියක්

සීනිවල පාලන මිල ඉවත් කරන්නැ යි ආනයනකරුවන් ගෙන් ලිපියක්

*********************************************

සීනිවල පාලන මිල ඉවත් කරන්නැ යි ආනයනකරුවන් ගෙන් ලිපියක්

(19.10.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළේ සීනි මිල යළිත් ඉහළ ගොස් ඇති අවස්ථාවක සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන්නැයි ප්‍රධාන පෙළේ සීනි ආනයනකවරුන් කිහිප දෙනෙකු මුදල් අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් කර තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමිනුයි ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ.

මේ වනවිට සීනි සඳහා පාලන මිලක් නියම කර තිබුණ ද යළිත් වෙළදපොළේ සීනි මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය කාලසීමාව තුළදී සීනි තොග සඟවා තැබීම හේතුවෙන් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 230 දක්වා ශීඝ්‍ර ලෙස ඉහළ ගියා.

ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 122 ක පාලන මිලක් පනවමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා.

කෙසේ වෙතත්, අද (19) වන විට වෙළඳපොළේ සුදු සීනි රුපියල් 135 ක මිලකට අලෙවි වන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ.

එසේම දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සදහා රජය විසින් රුපියල් 125 ක පාලන මිලක් පනවා තිබුණ ද මේ වන විට දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් වෙළදපොළේ අලෙවි වන්නේ රුපියල් 138 ක මිලකට බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සදහන් කළේ.

දැනට වෙළදපොළේ සුදු සීනි නොමැති අතර, ඇත්තේ දුඹුරු සීනි පමණක් බවයි සීනි ආනයනකරුවන් ප්‍රකාශ කළේ.

රජය විසින් ආනයනය කිරීමට අවස්ථාව ලබාදී ඇති නමුත් ඩොලර් හිඟවීම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි ඔවුන් කියා සිටියේ.

සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ මාස පහකට (5) පෙර මෙරටට ගෙන් වූ රුපියල් කෝටි 100 කට වැඩි වටිනාකමකින් යුත් සීනි තොගයක් වරායේ සිර වී ඇති බවයි.

කන්ටේනර් 300 ක පමණ සීනි මෙට්‍රික් ටොන් 7,000 කට වැඩි ප්‍රමාණයක් මෙලෙස වරායේ ඇති බව ද ඔහු ප්‍රකාශ කළා ෴

******************************************

පළමු නයිට්‍රජන් දියර පොහොර තොගය අද (19) දිවයිනට

(19.10.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

වී ඇතුළු සියලු වගාවන්ට යොදා ගත හැකි ‘නැනෝ නයිට්‍රජන් දියර පොහොර’ තොගය ඉන්දියාවෙන් ගෙන්වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව හෙක්ටයාර ලක්ෂ 10 ක වගාවක් සදහා මෙලෙස නයිට්‍රජන් දියර පොහොර මෙරටට රැගෙන ඒමට නියමිතයි.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට එහි පළමු (1) තොගය වන ලීටර් ලක්ෂයක් (1,00,000) අද (19) දිවයිනට රැගෙන එන අතර එම තොගය ඇතුළුව ලීටර් තිස් එක් ලක්ෂයක් (31,00,000) ඉන්දියාවෙන් ඉදිරියේදී ආනයනය කෙරෙනු ඇති.

මේ වනවිට දිවයින පුරා පොහොර ගැටලුව මුල් කර ගනිමින් විරෝධතා පැවැත්වෙන අතර, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අගුණුකොළපැලැස්සේදී ඊයේ (18) ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, ගොවීන්ගේ විරෝධතා පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින්නේ ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, තම පක්ෂය එලෙස සිදු නොකරන බවත් ආණ්ඩුව තුළ සිටිමින් කුමන්ත්‍රණ සිදු කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි ෴

******************************************

යළි වැඩ වර්ජනයකට යන්න ගුරු සංගම් සූදානමින්

(19.10.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

සියලු ගුරුවරුන් සාමාන්‍ය පරිදි සේවයට පැමිණීමෙන් අනතුරුව යළි වර්ජනයකට යොමු වන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.

වැටුප් විෂමතා ගැටලුවක් මූලික කර ගනිමින් පසුගිය දා ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමට තීරණය කළ ඔවුන් කොළඹ දී ඊයේ (18) රැස්වීමෙන් අනතුරුව තීරණය කළේ, ලබන 25 වැනි දා සිට පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කිරීමටයි.

සිසුන් 200 ට අඩු පාසල් මේ මස 21 වැනි දා සිට ආරම්භ වන අතර එම පාසල්වලට පැමිණෙන්නේ දෙලක්ෂය (2,00,000) ඉක්ම වූ ගුරුවරුන්ගෙන් දස දහසක (10,000) පමණ ප්‍රමාණයක් බවයි ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් සියලු ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු සඳහා පාසල් වෙත පැමිණෙන ආකාරයට සියලු ශ්‍රේණි ආරම්භ වීමෙන් අනතුරුව වර්ජනයකට යොමු වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් ප්‍රකාශ කළේ ෴

******************************************

ඉෂාලිනිගේ සිද්ධියට චෝදනා ලැබූවන්ට කඩිනමින් නඩු

(19.10.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී ඉෂාලිනී ජූඩ් දැරිය පිලිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිගෙන් උපදෙස් ලැබීමෙන් අනතුරුව ඉතා කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරන බවට පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට ඇප ලබා සිටින සියලු පාර්ශවයන්ට එරෙහිව නඩු පැවරෙනු ඇති.

කෙසේ වෙතත්, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයාට එරෙහිව බොහෝ දුරට නඩු පැවරීමක් සිදු නොවනු ඇති බව සඳහන්.

ඔහුට විරුද්ධව පවතින චෝදනා මෙතෙක් ඔප්පු කර ගැනීමට නොහැකිවීම ඊට හේතුවයි.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයා විසින් තමා දූෂණය කළ බවට බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මීට පෙර සිටි කාන්තාවක් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, එම කාන්තාව සම්බන්ධයෙන් සිදු කළ මූලික වෛද්‍ය පරීක්ෂණවලින් එම චෝදනාවට අදාළ කිසිවක් තහවුරු වී නොමැති අතර, ඔහුගේ ජංගම දුරකතනය මේ වනවිටත් රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

මිය ගිය ඉෂාලිනී දැරියගේ කාමරයේ තිබී සොයා ගත් අත්අකුරු පරීක්ෂා කිරීම් මෙන්ම ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීම් සහ ගොඩගත් සිරුරේ කොටස් පරීක්ෂා කිරීම්වල වාර්තා අදාළ පාර්ශවයන්ගෙන් මෙතෙක් ලැබී නැහැ.

ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, කොරෝනා වසංගත තත්ත්වයත් සමග පැවති සංචරණ සීමා බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, අදාළ පරීක්ෂණවල වාර්තා සහ නීතිපති උපදෙස් ලැබීමෙන් පසු චෝදනා එල්ල වූ සියලු පාර්ශවයන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිස් ආරංචි මාර්ග තවදුරටත් සදහන් කළේ ෴

******************************************

මිහින්තලේ පුරාවිද්‍යාත්මක භූමියක සිදු කළ කෘෂිකාර්මික කටයුතු නතර කරයි

(19.10.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – මිහින්තලේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් සුලුගුලු විහාරයේ කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ, අදාළ භූමිය තුළ ගොවිතැන් කටයුතු සිදු කිරීමට කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවයි.

ක්‍රිස්තු පූර්ව 238 දී ඉදිකළ බව පැවසෙන අනුරාධපුර යුගයට අයත් සුලුගුලු විහාරය ඓතිහාසික වටිනාකමින් යුත් ගල් මඩුවක් සහ පුරාවිද්‍යා ස්මාරක රැසකින් සමන්විත වනවා.

එම භූමිය ට්‍රැක්ටර් රථ යොදවා සී සෑමක් සිදු කරමින් කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීමට විහාරස්ථානය මඟින් පියවර ගෙන ඇති බවටයි ඊයේ (18) වාර්තා වුණේ.

ඒ ආශ්‍රිත පොතාන, සුරැක්කුලම සහ ගල්මඩුව යන ගම්මානවල ජනතාව ඊට විරෝධය පල කරමින් සඳහන් කළේ, භූමියෙන් ආදායමක් ලබා ගැනීම සඳහා විහාරාධිපති හිමියන් විසින් කළ ඉල්ලීමකට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදාළ භූමියේ කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම සඳහා අවසර ලබා දී ඇති බවයි ෴

******************************************

කොහුවල මං සන්ධියේ වාහන ගමනාගමනය සීමා කෙරේ

(19.10.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

කොහුවල ගුවන් පාළම ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ කොහුවල හන්දිය කොටසේ වාහන ගමනාගමනය සීමා කෙරෙනවා.

අනිද්දා (21) සිට දෙසැම්බර් 20 වැනි දා දක්වා සීමා කිරීම් සිදු වන අතර, මහාමාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ, පොදු ප්‍රවාහන බස් රථ හැර සෙසු වාහනවලට හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි ෴

******************************************

මුං ඇට මිලදී ගන්න මහ භාණ්ඩාගාරයෙන් මුදල්

(19.10.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

අතරමැදි භෝගයක් ලෙස වගා කර ඇති මුං ඇට අස්වැන්න මිල දී ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සියලුම දිසාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මුං ඇට අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වී ඇති බවට ගොවීන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

මොණරාගල, හම්බන්තොට සහ රජරට ප්‍රදේශවල මුං අස්වනු නෙලීම මේ වනවිට සිදු වනවා ෴

******************************************

කුඹුක්කන් ඔයේ පරිසර හානි ගැන විමර්ශන කරන්න්නැයි දැනුම් දීමක්

(19.10.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala)

මොනරාගල – කුඹුක්කන් ඔය ආශ්‍රිතව සිදු කෙරෙන මහා පරිමාණ පරිසර හානිය පිළිබඳව විමර්ශන කරන ලෙස භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ආරක්ෂක අංශවලට පැමිණිලි කර තිබෙනවා.

කුඹුක්කන් ඔය ආශ්‍රිතව සිදු කෙරෙන මහා පරිමාණ පතල් කැණිම් හේතුවෙන් සිදු වන පරිසර හානිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට පසුගියදා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරනු ලැබුවා.

ඒ අනුවයි, එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මොනරාගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියාට මෙම සිද්ධිය සම්න්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත්තේ ෴

******************************************

අශ්ලීල ප්‍රකාශ තහනම් කිරීම සම්බන්ධ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයක්

(19.10.2021 – 10:43 +0530 – hirunews.lk/sinhala)

අශ්ලීල ප්‍රකාශ තහනම් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝබර් පස් වැනි දා (05) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී තිබෙනවා.

මෙහි දී දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 සහ 289 (අ) යන වගන්ති සංශෝධනය වෙනු ඇති.

අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවයි වාර්තා වෙන්නේ ෴

******************************************

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීම

(18.10.2021 – cabinetoffice.gov.lk)

[2021-10-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)]

දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගව ඝාතනය කිරීම තහනම් කිරීමටත්, ඊට අදාළ නීති සහ රෙගුලාසි මෙන්ම ගව ඝාතනයට අදාළව පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමටත්, 2020 සැප්තැම්බර් 28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, පහත සඳහන් පනත්/ආඥාපනත් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත් සකස් කර ඇත.

  • 272 අධිකාරය වන 1893 අංක 9 දරන ගෝ ඝාතක ආඥාපනත
  • 1958 අංක 29 දරන සත්ත්ව පනත
  • 252 අධිකාරය වන මහනගර සභා ආඥාපනත
  • 255 අධිකාරය වන නගර සභා ආඥාපනත
  • 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත

එකී පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනනුකූල නොවන බව නීතිපතිතුමා‍ විසින් සහතික කර තිබේ. ඒ අනුව, එකී පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ගරු අග්‍රාමාත්‍යතුමා; රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා; සහ කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී ෴

2021-10-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

උපකාරක පන්ති ආරම්භයට අදාළ මාර්ගෝපදේශ සිකුරාදා (22) කොවිඩ් කමිටුවට

(19.10.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

උපකාරක පන්ති ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් එළඹෙන සිකුරාදා (22) රැස්වන ‘කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය’ට කරුණු ඉදිරිපත් කරන බව ‘වෘත්තීය දේශකවරුන්ගේ සංගමය’ ප්‍රකාශ කළා.

එසේම කඨින පිංකම පැවැත්වීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ද සංශෝධනය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඊයේ (18) දිනෙයේදී තවත් ආසාදිතයන් 570 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,32,218 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,507 ක් දක්වා ඉහල නංවමින් ඊයේ (18) වාර්තා වූ මරණ සංඛ්‍යාව 23 ක්.

මේ අතර, රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රමිකයින්ට ෆයිසර් එන්නත ලබා දීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ ඒ යටතේ කුවේට්, කටාර් සහ සෞදි අරාබිය ඇතුළු රටවල් කිහිපයක් සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ට 3 වැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම සිදු කෙරෙන බවයි.

එමෙන්ම, ලබන නොවැම්බර් පළමු වැනි දා (01) සිට උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා වන කරුණු එළඹෙන සිකුරාදා (22) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරන බව වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, නොවැම්බර් පළමු වැනි දා (01) සිට පන්ති ආරම්භ කිරීම සඳහා උපකාරක පන්ති ගුරුවරුන් දැනුවත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

මේ අතර, පවතින කොරෝනා තත්වය හමුවේ කඨින පිංකම පැවැත්වීමට අදාළව පසුගිය 12 වැනි දා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අමාත්‍යාංශය මඟින් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව කඨින චීවරය රැගත් පෙරහැර පැවැත්වීම, කඨින චීවර පූජාව, දානමය පිංකම සහ කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම යන කඨින පිංකමට අදාළ සියලු ආගමික අංග උපරිම සැදැහැවතුන් 50 දෙනෙකුගේ සීමාවකට යටත්ව සිදු කළ හැකියි.

එම අවස්ථාවන්වලදී පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම, නිවැරදිව මුහුණු ආවරණ පැළදීම සහ විෂබීජහරණය යන සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් තරයේ පිලිපැදිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴

++++++++++++++++++

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

(19.10.2021 – 08:58 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා 6,08,000 ක් අද (19) අලුයම් කාලයේ දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

කිලෝග්‍රෑම් 1818 ක් බරැති මෙම එන්නත් තොගය පෙට්ටි 53 ක අසුරා තිබී ඇති අතර, ඒවා මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑන් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත එවා ඇති බව සඳහන්.

ඉන් අනතුරුව කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරන යානයෙන් එන්නත් තොගය අද (19) අලුයම 02:15 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බවයි හිරු ගුවන් තොටුපොළ වාර්තාකරු සදහන් කළේ.

පාසල් ළමයින් එන්නත් කිරීමෙන් පසු වැඩිහිටි පුද්ගලයින් සඳහා තුන්වන (3) මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 5 ක් රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ඇනවුම් කර ඇති අතර ඉන් මාත්‍රා මිලියනයක් (1) මේ මස මුලදී ලැබී තිබුණා.

ඉතිරි මාත්‍රා මිලියන 4 න් එන්නත් මාත්‍රා 68,000 ක් ඊයේ (18) දිනයේදී ද කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වුණා.

අද (19) රැගෙනවිත් ඇත්තේ එහි දෙවන (2) තොගයයි ෴

+++++++++++++++++++

‘කොවැක්සීන්’ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තවමත් නැහැ

(19.10.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්’ ආයතනය මඟින් නිෂ්පාදිත ‘කොවැක්සීන්’ කොරෝනා එන්නතේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට තවත් දත්ත අවශ්‍ය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

ඒ සඳහා කෙටි මාර්ගයක් නොමැති බවයි එමඟින් ඉන්දියාවට දැනුම් දී ඇත්තේ.

එන්නතක හදිසි භාවිතයට අනුමැතිය ලබාදීමට පෙර එහි සුරක්ෂිතභාවය සහ ක්‍රියාකාරී බව මනා ලෙස ඇගයීමට ලක් කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සදහන් කළේ.

කෙසේ නමුත් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන්ට කොවැක්සීන් එන්නත දැනටමත් ලබා දී ඇති අතර එහි 78% ක ශක්‍යතාවක් පවතින බවයි මූලික අධ්‍යයනයන්ගෙන් අනාවරණ වී ඇත්තේ.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොමැතිව එම එන්නත ලැබූවන්ට විදෙස්ගත වීම ගැටලුවක් වනු ඇති බව සදහන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *