තරුණ තරුණියන්ට ඩුබායි සිහින පෙන්වා මුදල් ගැරූ කුරුණෑගල ඒජන්සිය

තරුණ තරුණියන්ට ඩුබායි සිහින පෙන්වා මුදල් ගැරූ කුරුණෑගල ඒජන්සිය

*********************************************

තරුණ තරුණියන්ට ඩුබායි සිහින පෙන්වා මුදල් ගැරූ කුරුණෑගල ඒජන්සිය

(16.10.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ විසින් අනාවරණය කරගත් ඩුබායි සිහින පෙන්වා මෙරට තරුණ තරුණියන්ගේ මුදල් ගසා කෑ කුරුණෑගල ඒජන්සිය පිළිබඳව තවත් තොරතුරු රැසක් අප වෙත හෙළිවුණා.

අදත් (16) ‘හිරු සී.අයි.ඒ.’ විශේෂාංග වෙන්වන්නේ ඒ පිළිබඳවයි.

‘හිරු සී.අයි.ඒ.’ හරහා ඊයේ (15) අප හෙළිකලේ සංචාරක වීසා මත ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා තරුණ තරුණියන් යොමුකළ බව කියන කුරුණෑගල විදෙස් රැකියා ඒජන්සියක් සම්බන්ධවයි.

ඩුබායි රැකියාව සදහා රුපියල් ලක්ෂ 3 ක් මෙරටදී අය කර එරටට යැවුව ද පොරොන්දු වු පරිදි රැකියා ලබානොදී බොහෝ පිරිසක් එරට අතරමං කිරීමට රැකියා ඒජන්සියේ හිමිකරු කටයුතු කර තිබූ ආකාරය අප එහිදී රට හමුවේ හෙළිදරව් කළා.

විදෙස් රැකියා වංචාවට හසුවුවන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන්ට මරණ තර්ජන එල්ල කර බිය ගැන්වීමටද ඒජන්සියේ හිමිකරු කටයුතු කර තිබුනා.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට මෙම වංචාව ගැන පැමිණිලි කළ ද ඔවුන්ට එහිදී කිසිදු සාධාරණයක් ඉටු නොවුනු පසුබිමකයි ‘හිරු සී.අයි.ඒ.’ මේ පිළිබඳව ඊයේ (15) අනාවරණය කලේ.

හිරු පුවත් සිරස්තල හරහා අදාල ප්‍රවෘත්තිය ප්‍රචාරය වන බවට දැන ගැනීමත් සමග එය ප්‍රචාරය නොකරන ලෙස එම ඒජන්සිය පවත්වාගෙන යන පුද්ගලයා අපට බැගෑපත් වුණා.

ඇටෝනි බලපත්‍රයක් හරහා ඒජන්සියේ අයිතිය භාරගෙන සිටින ඔහු සිංහල නමකින් පෙනීසිටි මුස්ලිම් ජාතිකයෙක්.

******************************************

ආදිවාසීන්ටත් අපහසුතා

(16.10.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ මිල ඉහළ යාමේ ගැටලුවට වහා විසඳුම් ලබාදිය යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (16) දඹානේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

එහිදී ආදිවාසී නායකයා පොහොර අර්බුදය සම්බන්ධයෙන් ද අදහස් පළ කරමින් කියා සිටියේ ජනතාව පත්ව ඇත්තේ දැඩි අර්බුදයකට බවයි.

මේ අතර, භාණ්ඩ මිල ඉහළ යාමට එරෙහිව සමගි ජනබලවේගය සහ දෙමළ ප්‍රගතිශිලි සන්ධානය ස්ථාන දෙකක (2) විරෝධතා සංවිධාන කර තිබුණා.

සමගි ජනබලවේගයේ විරෝධතාවය දොම්පේ නගර මධ්‍යයේදී පැවැත්වුණු අතර බඩු මිල ඉහළ යාම සහ වතුකම්කරු ජනතාවට රුපියල් දහසක (1000) වැටුප් වැඩිවීම ලබා නොදීමට එරෙහිවයි තලවකැලේ නගරයේදී දෙමළ ප්‍රගතිශිලි සන්ධානය විරෝධතාවය සංවිධානය කර තිබුණේ.

******************************************

මිනිස් පාරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු තොගයක් දඹුල්ලෙන්

(16.10.2021 – 18:57 +0530 – hirunews.lk/sinhala)

පාකිස්තානයෙන් ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු තොගයක් දඹුල්ල නගර සභාවේ නිලධාරීන් අද (16) සොයා ගනු ලැබුවා.

ඒවා සොයා ගන්නා අවස්ථාවේදී ලොකු ලූණු තොගයේ පත්‍ර සහ මුල් හටගෙන තිබූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

කන්ටේනර් රථයකින් දඹුල්ල නගරයේ පිහිටි ගබඩා කිහිපයකට කිලෝග්‍රෑම් දසදහසකට (10,000) වැඩි මෙම ලොකු ලූණු තොගය අද (16) රැගෙනවිත් තිබෙනවා.

පළමුවෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩා දෙකක (2) තිබී මෙම ලොකු ලූණු සොයාගත්තා.

පසුව එම ස්ථානයේ සිටි පිරිස ගෙන් ලද තොරතුරුවලට අනුව කන්ටේනර් රථයෙන් ලූණු බෙදාහැරීම සිදුකළ තවත් ගබඩාවක් වැටලීමට නගර සභා නිලධාරීන් පියවර ගත්තා.

එහි තිබීද පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු සොයාගත් අතර, අනතුරුව දඹුල්ල – කන්ඩලම මාර්ගයේදී කන්ටේනර් රථයද සොයාගනු ලැබුවා ෴

******************************************

දියර පොහොර තොගයක් අඟහරුවාදා (19) දිවයිනට

(16.10.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය සඳහා ලොව භාවිතයට ගැනෙන ‘නැනෝ නයිට්‍රජන්’ ප්‍රභවයක් සහිත විශේෂිත දියර පොහොර ලීටර විසි දෙලක්ෂයක් (22,00,000) ඉදිරි දින කිහිපය තුල ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ එහි පළමු පොහොර තොගය ඉන්දියාවේ සිට ලබන අගහරුවාදා (19) මෙරටට ලඟා වන බවයි.

කෙසේ වෙතත්, අවශ්‍ය පරිදි පොහොර නොමැති වීමෙන් වගාවන් සිදු කරගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් අදත් (16) විරෝධතාවල නිරත වුණා.

******************************************

ළිඳකින් පතොරම් තොගයක් සොයාගෙන

(17.10.2021 – 06:55 +0530 – hirunews.lk/sinhala)

මුලතිව්, තීර්තකරෙයි ප්‍රදේශයේ ළිඳක තිබී පතොරම් තොගයක් ඊයේ (16) මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ අදාළ ළිඳ පිරිසිදු කරන අවස්ථාවේ මෙම පතොරම් තොගය දැක අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ බවයි.

ළිඳ තුළ තිබී පතොරම් 1529 ක් මෙලෙස සොයා ගැනීමට හැකිව ඇති අතර මෙලෙස සොයාගත් පතොරම් තොගය ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයේ පවතින බව ද පොලිසිය සඳහන් කළා.

සොයාගත් පතොරම් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන් නිශ්ක්‍රිය කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා ෴

******************************************

ඡන්ද නාමලේඛණයේ නම නැත්නම් දැනුම් දීමට 21 සිට අවස්ථාව

(17.10.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

2020 ඡන්ද හිමි නාමලේඛණයේ තම නම අන්තර්ගතව නොමැති නම් ලබන 21 වැනිදා සිට නොවැම්බර් 17 දක්වා ඒ පිළිබඳව දැනුම්දීමට අවස්ථාව හිමිවනවා.

එසේම, අදාළ කාලසීමාව තුළදී විරෝධතා දැක්වීමට ද හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

මේ වනවිටත් එම ඡන්ද හිමි නාමලේඛණය දිසාපති කාර්යාල, මැතිවරණ කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය සභාවල මෙන්ම ග්‍රාම නිලධාරී කාර්යාලවලද ප්‍රදර්ශනය කර තිබෙනවා.

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම තරුණයින්ට ඡන්ද අයිතිය ලැබෙන පරිදි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

ඒ අනුව අවුරුදු 18 සම්පූර්ණ වන තරුණයින්ගේ නම් ඇතුළත් පරිපූරක ඡන්ද හිමි ලැයිස්තු මාස 04 කට වරක් සකස් කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා.

දැනට පවතින ක්‍රමය යටතේ වසරේ ජනවාරි මස පළමු (01) දිනට දින කිහිපයකට හෝ පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ කළ තරුණයින්ට ඊළඟ වර්ෂයේ මැයි 31 දිනට පෙර ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ලැබෙන්නේ නැහැ.

එහෙත් නව සංශෝධනය අනුව තරුණයින්ට ඡන්දය ඉක්මණින් ලියාපදිංචි කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා.

******************************************

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වසර තුනකින් (3) ඉහළම අගයට – බලශක්ති ඇමති විකල්ප සොයයි

(17.10.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා නොදුන්න ද ඉන්ධන මිල ඉහළ නොදමා දැනට පවතින මිලටම පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 85 දක්වා වසර තුනකින් (3) ඉහළම අගයට පැමිණ තිබෙනවා.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද ඩොලර් 82.28 දක්වා ඉහළ ගියා.

ඒ අනුව ගතවූ සතිය තුළ පමණක් බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක් සියයට 3 කින්ද, ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සියයට 3.5 කින් ද ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා වසංගතයේ අවදානම අඩුවීමත් සමඟ නිෂ්පාදන කටයුතු ඉහළ යාම මෙලෙස තෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක්.

බලශක්ති උත්පාදනය සඳහා ස්වභාවික වායු සහ ගල් අඟුරු යොදාගැනීම මිල අධිකවීම හේතුවෙන් දැවි තෙල් සහ ඩීසල් වෙත යොමුවීම ද ඉන්ධන මිල ඉහළ යාමට බලපා තිබෙනවා.

ඔපෙක් සංවිධානය ඇතුලු තෙල් නිපදවන කරන රටවල් නිෂ්පාදනය කප්පාදු කිරීම හේතුවෙන් තත්වය තවදුරටත් උත්සන්න වී ඇති බව සඳහන්.

කෙසේ නමුත් මේ වනවිට පාරිභෝගික භාණ්ඩවල මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්ධන මිලත් වැඩි වුවහොත් ජනතාව තවත් අසීරු තත්ත්වයකට පත්වන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේ ෴

******************************************

දේශීය කාබනික පොහොර බෙදාහැරීමට සූදානම්

(17.10.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

දේශීයව නිෂ්පාදිත කාබනික පොහොර සහ නයිට්‍රජන් අන්තර්ගත ජෛව පොහොර ගොවීන්ට බෙදාහැරීම සඳහා කටයුතු සූදානම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ අවශ්‍ය ඉතිරි පොහොර ප්‍රමාණය ආනයනය කෙරෙන බවයි.

ඒ අනුව පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය සඳහා ලොව භාවිතයට ගැනෙන ‘නැනෝ නයිට්‍රජන්’ ප්‍රභවයක් සහිත විශේෂිත දියර පොහොර ලීටර විසි දෙලක්ෂයක් (22,00,000) ඉදිරි දින කිහිපය තුල ලැබීමට නියමිතව තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ එහි පළමු පොහොර තොගය ඉන්දියාවේ සිට ලබන අඟහරුවාදා මෙරටට ළඟා වන බවයි.

මේ අතර, කොම්පෝස්ට් ඇතුළු කාබනික පොහොර නිෂ්පාදනය කරන බවට ලියාපදිංචි වී සිටින ගොවීන් සඳහා රුපියල් 7,500 ක දීමනාවක් ලබා දීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදු කෙරෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ හෙක්ටයාරයකට කාබනික පොහොර කිලෝග්‍රෑම් 500 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව එම ගොවීන්ට රුපියල් 12,500 දක්වා තවත් රුපියල් 5,500 ක් ලබා දීමට සැලසුම් කර ඇති බවයි ෴

******************************************

ආණ්ඩුවේ හවුල් පක්ෂ හිටපු ජනපති සමඟ සාකච්ඡාවක

(17.10.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී ඊයේ (16) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

පවතින සියලු ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බවයි ඊට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක, අමාත්‍ය උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ මහ ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇති බව සඳහන් ෴

******************************************

වාහන ආනයනකරුවන් විකල්ප ඉල්ලයි

(17.10.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයනය කිරීම නැවතීමත් සමඟ ඇතිව තිබෙන ගැටලුවට විකල්ප ක්‍රමවේද ඉදිරිපත් කළ ද ඒ සඳහා ආණ්ඩුව නිසි ප්‍රතිචාර නොදක්වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අත්තනෝමතිකව ගනු ලබන තීරණ හේතුවෙන් මෙරට අනෙකුත් ක්ෂේත්‍ර තුළද අනිසි ප්‍රතිඵල දැකගත හැකි බවයි ෴

******************************************

ඉන්දීය ධීවර ආක්‍රමණයට එරෙහිව උතුරු නැගෙනහිර ධීවරයන් මුහුදේ විරෝධතාවක

(17.10.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය බිම් ආක්‍රමණය කිරීම වැළැක්වීමට ප්‍රමාණවත් පියවර නොගන්නා බවට චෝදනා කරමින් උතුරු නැගෙනහිර ධීවරයන් අද (17) විරෝධතාවක නිරත වනවා.

මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා මුහුදු තීරයේ කළුකොඩි වලින් සැරසූ බෝට්ටුවල නැගී විරෝධතා පුවරු ද රැගෙන ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

විශේෂයෙන් ඉන්දීය ධීවරයන් පතුල සහිත ටෝලර් යාත්‍රා මගින් මෙරට මුහුදු තීරයේ මසුන් මැරීමෙන් මෙරට මත්ස්‍ය සම්පත විනාශයට පත් වන බවට උතුරු නැගෙනහිර ධීවරයන් දිගින් දිගටම විරෝධතාව පළ කළා.

ඔවුන් ඒ සම්බන්ධයෙන් යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලයට ද පසුගියදා ලිපියක් භාර දුන්නා.

උතුරු නැගෙනහිර මෙම ධීවරයින්ගේ මෙම විරෝධතාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන් සහ රාසමානික්කම් ෂාන්‍යකම්, එස්.ශ්‍රී ධරන් ඇතුළු පිරිසක් ද එක්ව සිටින බව සඳහන්.

එම විරෝධතාවට එක් වූ ධීවර යාත්‍රාවක සිට අදහස් දැක් වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ෂාන්‍යකම් ප්‍රකාශ කළේ ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනීම සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්දා විෂය භාර අමාත්‍යවරයා ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඊයේ (16) කොවිඩ් ආසාදිතයන් 649 ක්

(17.10.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් 649 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 5,31,070 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පෙරේදා (15) සිදු වූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 23 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (16) තහවුරු කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,472 ක්.

මේ අතර රුසියාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ගෝලීය වසංගතය ඇරඹි දා පටන් ප්‍රථම වරට දහස (1000) ඉක්මවා තිබෙනවා.

සෙනසුරාදා දිනයේ කොරෝනා මරණ 1002 ක් රුසියාවෙන් වාර්තා වී ඇති අතර එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,22,315 ක් දක්වා ඉහළ යනවා.

එම පැය 24 තුල රුසියාවේ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද වාර්තා ගත ලෙස ඉහළගොස් ඇති අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 33,208 ක් ලෙසයි.

රුසියානු කොරෝනා වෛරස් කාර්ය සාධක බලකායේ දත්ත වලට අනුව එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 79,58,384 ක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *