‘ෆේස් මාස්ක්’ වලින් ‘ප‍්‍ර‍්‍රඥා බන්දු’ට රුපියල් 2 ක්’ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට, අල්ලස් කොමිසමට ඇමති බන්දුල ගෙන් තර්ජන..

‘ෆේස් මාස්ක්’ වලින් ‘ප‍්‍ර‍්‍රඥා බන්දු’ට රුපියල් 2 ක්’ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට, අල්ලස් කොමිසමට ඇමති බන්දුල ගෙන් තර්ජන..

*********************************************

‘ෆේස් මාස්ක්’ වලින් ‘ප‍්‍ර‍්‍රඥා බන්දු’ට රුපියල් 2 ක්’ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට, අල්ලස් කොමිසමට ඇමති බන්දුල ගෙන් තර්ජන..

(16.10.2021 – 15:50 +0530 – lankacnews.com)

තමන් විසින් කරන ලද පැමිණිල්ලකට අදාල සාක්ෂිකරුවන්ට හා අල්ලස් කොමිසමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන ව්‍යංගාර්ථයෙන් තර්ජන හා අපහාසාත්මක ප්‍රකාශ කර ඇතැයි ‘පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ සඳහන් කරයි.

එහි සභාපතිවරයා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට යොමු කරන ලද ලිපියක මේ බව දැක්වෙයි.

සම්පූර්ණ ලිපිය මෙසේය :

අධ්‍යක්ෂක ජනරාල්
අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂම
බෞද්ධාලෝක මාවත
කොළඔ 07.

10-16-2021

අධ්‍යක්ෂක ජනරාල්තුමණි,

අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂමට කරන ලද පැමිණක් සම්බන්ධව.

රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව විසින් සිදුකරන ලද අල්ලස් හෝ දූෂණ වරදක් සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට හා තවත් කිහිපදෙනෙකුට විරුද්ධව මා විසින් 2021/10/13 වන දින අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ඊට දින දෙකකට පසුව එනම් 2021/10/15 දින වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත පැමිණ 2021/10/13 වන දින මා විසින් කරන ලද පැමිණිල්ල ස්වාධිනව හා කඩිනමින් විභාග කරන ලෙස ඉල්ලා ලිපියක් භාරදුන් බව මාහට මාධ්‍ය මගින් දැනගැනීමට ලැබුණි.

අදාල ඉල්ලීම කර අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමෙන් ඔහු ඉවත්ව යන විට මාධ්‍ය අමතා ඔහු විසින් කරන ලද තර්ජනාත්මක හා අපහාසාත්මක ප්‍රකාශ නිසා අදාල පැමිණිල්ල සිදුකල මාහට හා අදාල පැමිණිල්ල සදහා සාක්ෂි ලබාදීමට සිටින පුද්ගලයින්ට හා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂමට ව්‍යාංගාර්ථයෙන් කරන ලද තර්ජනාත්මක හා අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙස මෙයින් ඉල්ලා සිටින අතර පැමිණිලිකරුවෙකු වන මාගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙසද ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

එහිදී ඔහු මෙසේ පවසයි : “මුහුණු ආවරණයකින් රුපියල් දෙකක අල්ලසක් ලබා ගත්තා යැයි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබෙනවා. එය ද්වේෂසහගත, අමූලික අසත්‍ය, වෛරී චේතනාවෙන් කරන ලද පැමිණිල්ලක් වශයෙන් පෙන්වා දිය හැකියි. මක්නිසාද යත් මම ලාංකේය නිදහස් අධ්‍යාපනයේ හැඩතලය වෙනස් කරමින් තාක්ෂණවේදය විෂය හඳුන්වා දුන්නා. මෙම තාක්ෂණවේදය විෂය හදාරන උසස්පෙළ දරුවන්ට මාස්පතා ශිෂ්‍යත්වයක් ලබා දීම සඳහා මාගේ පසුගිය උපන්දිනය දා මාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලක්ෂ සියයක් යොදවමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති නිල සමාරම්භක උත්සවයේදී ‘ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදල’ ආරම්භ කළා. මෙම ශිෂ්‍යත්ව අරමුදල, මාගේ ඥාතීන් හා අපේ හිතවතුන් විසින් දැක්වූ දායකත්වය මත මේ වන විට ලක්ෂ දෙසීයකට ආසන්න වී තිබෙනවා. එවන් තත්වයක් තුළදී මුහුණු ආවරණයකින් සත පහක්වත් මේ අරමුදලට මේ දක්වා බැර වෙලා නෑ. එසේ තිබියදී ඔහු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිදු කර ඇති අපහාසය මට පමණක් නෙවෙයි, මේ අරමුදලේ භාරකරුවන්ට සහ මේ අරමුදලෙන් ප්‍රතිලාභ ලබන්නට සිටින ශිෂ්‍යයන්ටත් සිදු කර ඇති නින්දාවක් වශයෙන් පෙන්වා දිය හැකී. මේ නිසා අපක්ෂපාතී, ස්වාධින හා සාධාරණ ලෙස කඩිනමින් මෙම පරීක්ෂණය සිදු කරන ලෙස ඉල්ලමින් මම අද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාර දුන්නා.”

  1. ඉහත ප්‍රකාශය අනුව මගේ පැමිණිල්ල විභාග කිරීමට පෙර එය බොරු පැමිණිල්ලක් බවට වගඋත්තරකරුම ප්‍රකාශ කිරීම හා පැමිණිලිරුකරු බොරුකාරයෙක් බවට වන සිතුවිල්ලක් විමර්ශකයින් තුළ ඇති කිරීම තුළින් පැමිණිලකරුවන මාහට අගතියක් ඇති වී තිබේ.
  2. ඉහත ප්‍රකාශය අනුව මෙම පැමිණිල්ල සදහා සාක්ෂි ලබාදීමට සූදානම්ව සිටින සාක්ෂිකරුවන්හට අගතියක් ඇති වී තිබේ.
  3. අපක්ෂපාතී,ස්වාධින හා සාධාරණ ලෙස කඩිනමින් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලීම තුළ අල්ලස් හෝ දූෂණ කොමිෂම අපක්ෂපාතී, ස්වාධින, කඩිනම්ව පරීක්ෂණ සිදු නොකරන ආයතනයක් බවට හැගීමක් ජනතාව තුළ ඇති කිරීමට කටයුතු කරතිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම යනු අධිකරණ ක්ෂ්ත්‍රයේ කීර්තිමත් නාමයක් දිනගෙන සිටින හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනුසුරුවරියක වන ඊවා වනසුන්දර මැතිණිය හා ගරු විශ්‍රාමික විනිසුරු දීපාලී විජේසුන්දර මැතිණිය හා චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා සාමාජිකයින් ලෙස කටයුතු කරන හා කාර්යක්ෂම නිළධාරීන්ගෙන් සමන්විත ස්වාධින ආයතනයක් වන නිසාම මා විසින් මාගේ අල්ලස් පැමිණිල්ල ඉදිරිපත් කිරීමට කටයුතු කල බව සදහන් කරමි.
  4. ඔහුගේ එම ප්‍රකාශය නිසා අල්ලස් හෝ විමර්ශණ කොමිෂම වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තන්ට බියගැන්වීමක් සිදු කර ඇත.
  5. සෑම වගඋත්තරකරුවෙකුටම මෙසේ තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට මෙය නරක පූර්වාදර්ශයක් විය හැක.
  6. පැමිණිලිකරුවන මා බියගැන්වීමකට ලක්කර ඇත.

මාධ්‍ය විසින් ප්‍රචාරය කර ඇති ඔහු විසින් කරන ලද ප්‍රකාශය මේ සමග අමුණා එවමි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

******************************************

ශ්‍රී ලංකාව ගෝලීය සාගත දර්ශකයේ 65 වන තැනට

(16.10.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

2021 වසරේ ගෝලීය සාගත දර්ශකයේ ශ්‍රී ලංකාව 65 වන ස්ථානය දක්වා පහළ බැස තිබෙනවා. ඒ රටවල් 116 ක් අතරින්.

වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම වාර්තාවේ පසුගිය වසරේදී ශ්‍රී ලංකාව පසුවුණේ 64 වන ස්ථානයේයි.

ලොව සාගින්න අවම රට ලෙස බෙලරූස් රාජ්‍යය ගෝලීය සාගත දර්ශකයේ පළමු (1) තැන පසුවනවා.

ගෝලීය සාගත දර්ශකයේ අවසන් තැන එනම් 116 වන ස්ථානයේ පසුවන්නේ සෝමාලියාවයි ෴

******************************************

පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තුත් ඉහළ යන ලකුණු

(16.10.2021 – 18:45 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමයින් ප්‍රවාහනය කරන සංගම් විසින් ඒ සඳහා අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ රථවාහන අමතර කොටස් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම සහ මීට පෙර ඉන්ධන මිල ඉහළ යාමේදී සිය ගාස්තු ඉහළ නොදැමීම පදනම් කර ගනිමින්.

ඒ අනුව, ඉදිරියේදී පාසල් විවෘත කිරීමට කටයුතු කිරීමත් සමඟ මෙලෙස ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා මහතා කියා සිටියේ.

මේ අතර, ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවුවහොත් බස් ගාස්තු සංශෝධනයකට යා යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා. මහනුවරදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා ෴

******************************************

කිරි ගොවීන් රුපියල් 7 ක් මදි කියයි

(16.10.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala)

මෙරට කිරි ගොවීන් සඳහා කිරි ලීටරයකට ගෙවන මිල රුපියල් හතකින් (7) ඉහළ නැංවීම ප්‍රමාණවත් නොවන බව කිරිගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය පවසනවා.

එහි සභාපති සුසන්ත කුමාර නවරත්න මහතා සදහන් කලේ කිරි ලීටරයක මිල අවම වශයෙන් රුපියල් 120 ක් දක්වා හෝ වැඩි කළ යුතු බවයි.

මේ අතර, කිරි ලීටරයක් ගොවීන්ගෙන් මිලදී ගැනීමේදී විවිධ ප්‍රදේශ වල එකිනෙකට වෙනස් මිල ගණන් පවතින අතර, දිවයින පුරාම නිශ්චිත මිලක් ඒ සඳහා නියම කළ යුතුව ඇති බවයි කිරිගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.

දේශීය කිරිපිටි මිල ද වැඩි කිරීමට මිල්කෝ සමාගම සහ පැල්වත්ත සමාගම කටයුතු කිරීමත් සමග කිරිගොවීන්ට කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල ප්‍රමාණවත් නොවන බවට වන කිරිගොවීන්ගේ ඉල්ලීම ඊයේ (15) හිරු ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රචාරය කලා.

ඒ අනුව, මෙරට කිරි ගොවීන් සඳහා කිරි ලීටරයකට ගෙවන මිල රුපියල් හතකින් (7) ඉහළ නංවන බවත්, එය ලබන මස 01 වනදා සිට ක්‍රියාත්මක බවත් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

කෙසේ වෙතත්, කිරිගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ සභාපති සුසන්ත කුමාර නවරත්න මහතා කියා සිටියේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බැවින් මෙම මිල වැඩි කිරීම ප්‍රමාණවත් නොවන බවයි.

******************************************

පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ රතන හිමිට ඉදිරි ක්‍රියාමාර්ග ගන්න මාසයක්

(16.10.2021 – 18:48 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අපේ ජනබල පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට අදාළ දැනුම්දීම මේ වනතෙක් තමා වෙත නොලැබුණු බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ කොමිසමට ඊයේ (15) දිනයේ අදාළ දැනුම්දීම ලැබුණු බවයි.

පසුගිය මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල පක්ෂය’ට ඡන්ද 67,000 කට වැඩි ප්‍රමාණයක් ලැබුණු අතර, ඒ හේතුවෙන් එම පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවුණා.

පසුව පාර්ලිමේන්තුවට ඒ හරහා පැමිණෙන්නේ කවුරුන් ද යන්න පිළිබඳව පක්ෂය තුල ඇතිවුණේ මතභේදාත්මක තත්ත්වයක්. ඒ හේතුවෙන් මන්ත්‍රී ධුරය නම් කිරීම ද කල් දැමුණා.

පසුව එම පක්ෂය තීරණය කළේ මාස 6 ක කාලයක් සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම මන්ත්‍රී ධුරය සඳහා පත් කර යැවීමටයි.

අනතුරුව උන්වහන්සේ සිය කැමැත්තෙන් ඉල්ලා අස්වී ඒ සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කර යැවීමට මීට පෙර එකඟ වී තිබුණා.

පසුගිය ජනවාරි 05 වනදා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන් අතර එකඟතාවයට අනුව පසුගිය ජූලි 05 වනදා උන්වහන්සේගේ කාලය අවසන් වුණා.

කෙසේ වෙතත්, මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්නොවීමටයි උන්වහන්සේ තීරණය කර තිබුණේ. ඒ අනුව අපේ ජනබල පක්ෂය විසින් තීරණය කළේ උන්වහන්සේගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටයි.

පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් අපේ ජනබල පක්ෂය විසින් මැතිවරණ කොමිසම දැනුවත් කර ඇති අතර, කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයේ ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුවත් කළ යුතු බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගෙන් අප ඒ පිළිබඳව විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම පක්ෂයෙන් ඉවත් කළ බවට මෙතෙක් තමා දැනුවත් කර නොමැති බවයි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය අනුව පක්ෂය විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව මාසයක කාල සීමාවක් යනතුරු එලෙස ඉවත් කළ පාර්ශවයට තම ප්‍රතිචාරය දැක්වීමට කාලය පවතිනවා.

ඒ අනුව, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට අදාළ මාසයක කාල සීමාව තුල අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියි.

අධිකරණය විසින් ලබාදෙන තීන්දුව අනුව අවසන් තීරණය ගැනෙන අතර, යම් හෙයකින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් ඉවත් කිරීම අධිකරණය පිලිගතහොත් එම පක්ෂයේ මහලේකම්වරයාට අදාළ මන්ත්‍රී ධුරය සඳහා වෙනත් අයෙකු පත් කිරීමට බලය හිමිවනවා.

******************************************

හේනක දැවෙමින් තිබූ කෝන් ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු මියයයි

(16.10.2021 – 18:52 +0530 – hirunews.lk/sinhala)

හේනක දැවෙමින් තිබූ කෝන් ගසක් කඩා වැටී සිදුවූ අනතුරකින් ගස අසල රැදි සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් හොරොව්පතාන මොරවැව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙම සිසුවා සිය ඥාති සොහොයුරෙකු සමග හේනට ගොස් ඇති අතර, කාර්මික දෝෂයකට ලක්ව තිබූ ට්‍රැක්ටරයක රැදී සිටියදී ගස ඒ මතට කඩා වැටී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

බරපතල තුවාල ලැබූ සිසුවා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව සඳහන්.

මේ අතර මැදිරිගිරිය – පැරකුම්පුර ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් විසඳීමට උත්සහ කළ එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි අයෙකු, කාන්තාවක විසින් තියුණු ආයුධයකින් සිදුකරනු ලැබූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මිය ගිය පුද්ගලයා දින හතක් වයසැති කුඩා බිළිඳෙකුගේ පියෙක්.

සිද්ධියට සම්බන්ධ කාන්තාව මැදිරිගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් එම කාන්තාවගේ නිවසටද ගිනි තබා ඇති බවටයි වාර්තා වුණේ.

මේ අතර, ඌව පරණගම මස්පන්න ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී සිදුවූ පහරදීමකින් ද 57 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබුණා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

21 වනදායින් පසු පළාත් අතර බස් ධාවනය සිදුවෙන හැටි රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම කියයි

(16.10.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන 21 වැනිදා අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කළහොත් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

එලෙස එදිනට සීමා ලිහිල් කිරීමක් සිදුනොවන්නේ නම් සීමිත බස් රථ සංඛ්‍යාවක් හෝ පළාත් අතර ධාවනයට යෙදවීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා.

මේ අතර ලබන සතියේ යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලු‍ම පළාත් මායිම්වලදී ගමනාගමනයේ යෙදෙන්නන් දැඩි පරීක්ෂාවකට ලක් කරන අයුරු අද දක්නට ලැබුණා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසලද අද දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණේ එහි පරීක්ෂා කිරීම් කටයුතු තර කර තිබීම හේතුවෙන්.

නව මාර්ගෝපදේශ අනුව ආපනශාලා විවෘත කිරීමට අවස්ථාව ලබාදීමත් සමග දීර්ඝ කාලයක් වසා දමා තිබූ ආපනශාලාවල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කර ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (16) දිනයේ ආපනශාලා පරීක්ෂාවට ලක් කළා.

මේ අතර, අද (16) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 488 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,30,909 ක්.

ඊයේ (15) සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 23 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,472 ක්.

එසේම, කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 347 දෙනෙකු අද (16) සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,92,305 ක්.

තවත් කොරෝනා ආසාදිතයින් 161 ක් මෙරටින් හමු වී තිබෙනවා. අද (16) දිනයේ හමු වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 649 ක්. ඒ අනුව මෙරට මෙතෙක් හමු වී ඇති මුළු ආසාදිතයින් ගණන 5,31,070 ෴

+++++++++++++++++

නොවැම්බර් 01 සිට උපකාරක පන්ති ඇරඹීමට සැලසුම්

(16.10.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

උපකාරක පන්ති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් අද (16) පෙරවරුවේ පවත්වා තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදීයි.

නොවැම්බර් පළමුවනදා (01) සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව එහිදී සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කළේ.

ඒ අනුව, උපකාරක පන්ති ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳ ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කෙරෙනු ඇති.

කෙසේ වෙතත්, අද (16) සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තවදුරටත් උපකාරක පන්ති පැවැත්වීමට අවසර හිමිවන්නේ නැහැ ෴

+++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *