කොරෝනාවට එරෙහි දෙමුහුන් ප්‍රතිශක්තිය ඇතිවන හැටි හෙළි වේ

කොරෝනාවට එරෙහි දෙමුහුන් ප්‍රතිශක්තිය ඇතිවන හැටි හෙළි වේ

*********************************************

කොරෝනාවට එරෙහි දෙමුහුන් ප්‍රතිශක්තිය ඇතිවන හැටි හෙළි වේ

(16.10.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ට කොරෝනා එන්නත් ලබාදීමේදී දෙගුණයකින් ඉහළ, එනම් දෙමුහුන් ප්‍රතිශක්තියක් ජනනය වන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

එහි ප්‍රතිඵල Nature සඟරාවේ නවතම කලාපයේ පළ කර ඇති බව සඳහන්.

ඒ අනුව කොරෝනා ආසාදනය වී සුවය ලබා එන්නත්කරණයට ලක්වන පුද්ගලයන්ට එහිදී ඇතිවන්නේ සුපිරි ප්‍රතිශක්තියක් බවයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එලෙස කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයෙකු ලබන පළමු එන්නත ආසාදනය නොවූ පුද්ගලයෙකුට ලබාදෙන දෙවන (2) මාත්‍රාව ලෙස සැළකිය හැකියි.

එමෙන්ම ආසාදිත පුද්ගලයෙකු ලබන දෙවන (2) මාත්‍රාව බූස්ටර් නැත්නම් වර්ධක එන්නත් මාත්‍රාවක් ලෙස සැළකිය හැකි බවයි අධ්‍යයනයෙන් අනාවරණ වී ඇත්තේ.

මෙම අධ්‍යයනයේ ප්‍රතිඵලවලට අනුව කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකුට වුවද එන්නත්කරණයෙන් ඉහළ රැකවරණයක් හිමිවන බව තහවුරු වන්නේ යැයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කළා.

++++++++++++++++++

ඊයේ (15) දිනයේ පුද්ගලයින් 73,807 කට කොරෝනා එන්නත්

(16.10.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් 73,807 දෙනෙකුට ඊයේ (15) එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 5,937 දෙනෙකුටත්, දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 45,396 කට ලබා දී ඇති බවයි, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 14,280 කට ලබා දී ඇති අතර, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 7,161 දෙනෙකුටත්, එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 628 දෙනෙකුටත් ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 405 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ.

මේ අතර, සයිනොෆාම් කොරෝනා එන්නත් මාත්‍රා දෙකම (2) මෙරට පුද්ගලයින් කෝටියකට ඊයේ (15) පස්වරුව වනවිට ලබා දී අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++++++

තවත් ආසාදිතයින් 347 ක් සුව අතට

(16.10.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොවිඩ් ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ රෝගීන් 347 ක් සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව , මෙරට සුවය ලැබූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 4,92,305 දක්වා ඉහළ යනු ඇති.

තවදුරටත් පුද්ගලයින් 24,667 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

තවත් කොරෝනා මරණ 23 ක් මෙරටින් හමු වී තිබෙනවා. අවුරුදු 30-59 අතර පසුවන පිරිමින් 05 දෙනෙකුත්, අවුරුදු 60 සහ ඊට වැඩි වයස් සීමාවල පසුවන පිරිමින් 12 දෙනෙකු සහ කාන්තාවන් 06 ක් ඊයේ (15) දින තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණවලට අයත්. ඒ අනුව මෙරට මුළු කොරෝන මරණ ගණන 13,472 ක් වනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 488 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,30,909 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

මිල්කෝ ආයතනය මිල දී ගන්නා දියර කිරි ලීටරයලකට ගෙවන මුදල ඉහළ දමයි

(16.10.2021 – 11:56 +0530 – hirunews.lk/sinhala)

දියර කිරි ලීටරයක් (1) සඳහා නොවැම්බර් පළමු (01) වනදා සිට කිරි ගොවින්ට ගෙවන මුදල ඉහළ දැමීමට මිල්කෝ ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා වැඩිපුර රුපියල් 07 ක් කිරි ගොවින්ට ලබා දීමට කටයුතු කරන බවයි එම ආයතනයේ සභාපතිවරයා පවසන්නේ ෴

******************************************

මුහුණු පොත හරහා මිතුරු වී විදෙස් ජාතිකයෙක් මෙරට කාන්තාවකට කළ වංචාව

(16.10.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට කාන්තාවකගෙන් රුපියල් 1,29,000 ක මුදලක් වංචා කළ විදෙස් ජාතිකයෙකු නුගේගොඩ ප්‍රදේශයේ දී ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවන ලෙසතෝ ජාතිකයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මාතර ප්‍රදේශයේ පදිංචි අදාල කාන්තාව සමඟ මුහුණු පොත හරහා මිතුරු වී ඇයට විදේශ රටක සිට ඩොලර් පාර්සලයක් ලැබී ඇති බවට පවසමින් සැකකරු විසින් අදාල මුදල වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකකාර විදෙස් ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

******************************************

මැලේසියාවේදී දිවි හානිකරගත් බව පැවසෙන බේරුවල කාන්තාවගේ දේහය දිවයිනට

(16.10.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

මැලේසියාවේ රැකියාවකට ගොස් එහිදී දිවි හානිකර ගත් බවට පැවසෙන බේරුවල ප්‍රදේශයේ කාන්තාවගේ සිරුර අද (16) දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඒ, 32 හැවිරිදි එම කාන්තාව මියගොස් මාස එකහමාරකට (1½) පසුවයි.

එම කාන්තාවගේ මරණය සැක සහිත බවට ඇගේ මව චෝදනා කරනවා.

2019.12.30 වැනි දා චතුරිකා ප්‍රියදර්ශනී මහත්මිය මැලේසියාවේ රැකියාවක් සඳහා පිටත් වුණේ බලාපොරොත්තු රැසක් පෙරදැරි කරගෙනයි.

කොරෝනා වසංගතය තත්ත්වයත් සමග ඇය රූපලාවන්‍යාගාරයක රැකියාවට ගිය ඇයට එම රැකියාව කරගෙන යාමට හැකියාව ලැබුණේ මාස දෙකක (2) පමණ කාලයක් පමණයි.

පසුව ඇයට එම රැකියාව අහිමි වී තවත් රැකියාවක් කිරිමට සිදු වුණා.

මැලේසියාවේදී මුණ ගැහුණු තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ ව්‍යාපාරික ස්ථානයක තමන් රැකියාව කරන බවටයි ඇය තම නිවැසියන්ට දන්වා තිබුණේ.

කෙසේ වෙතත්, මෙලෙස එම රැකියාවේ නිරතව සිටියදීත් ඇය තම නිවැසියන්ට දුරකතනයෙන් ඇමතුම් ලබා දී තිබුණා.

එහෙත්, 2021 අගෝස්තු 30 වනදායින් පසුව ඇය එකවරම නිහඬවූ බවයි ඇයගේ මව පවසන්නේ.

ඇය එහිදි සියදිවි හානිකරගෙන ඇති බවට අදාළ රැකියා ස්ථානයේ භාරකාරයා විසින් දැනුම් දුන්න ද ඇයට කිසිවිටෙකත් ජිවිතය හානි කර ගැනීමට ගැටලුවක් නො තිබූ බවයි ඇයගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මේ වනවිට ඇයගේ දේහය මෙරටට ගෙනවිත් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව මහරෝහලේදී සිදු කිරීමට නියමිතයි ෴

******************************************

21 වැනිදා සිට ඉගැන්වීමට බහුතර ගුරුවරුන් සූදානමින් – ඇමති බන්දුල

(16.10.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ලබන 21 වැනිදා පාසල් විවෘත කිරීමත් සමඟ වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඉවත් වී ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට බහුතර ගුරුවරුන් පිරිසක් සූදානමින් පසුවන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ, හෝමාගම, පාදුක්ක ප්‍රදේශවල පාසල් විවෘත කිරීමට පෙර සිදුකරන පාසල් පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන් නිරීක්ෂණයට අද (16) එක් වූ අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පාසල් විවෘත කිරීමට සමගාමීව පාසල් පිරිසිදු කිරීමේ මෙම ශ්‍රමදාන වැඩසටහන් දිවයින පුරා පාසල් රැසක අද (16) ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ගුරුවරුන්, දෙමව්පියන්, සිසුන් සහ ආදි ශිෂ්‍යයන් ඇතුලු කණ්ඩායම් එක්ව සිටිනවා.

මේ අතර පාසල් විවෘත කිරීමේ සූදානම පිළිබඳව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සහ ගුරුවෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අනුරාධපුර ප්‍රදේශයේදී අද (16) පැවැත්වුණා ෴

******************************************

පොහොර ඉල්ලා ගොවීන් තවදුරටත් විරෝධතාවල

(16.10.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

අවශ්‍ය පරිදි පොහොර නොමැති වීමෙන් වගාවන් සිදු කරගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් තවදුරටත් විරෝධතාවල නිරත වනවා.

ඒ අනුව අද (16) සහ ඊයේ (15) බදුල්ල, දියබෙදුම, ගිරාඳුරුකෝට්ටේ – ගල්පෝරුයාය, පොළොන්නරුව – බකමූණ සහ ඇලහැර ප්‍රදේශයේ ගොවීන් මෙලෙස විරෝධතාවල නිරත වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් දිනකට කාබනික පොහොර කිලෝ දස දහසක් (10,000) නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයෙකු පිළිබඳ පුවතක් මින්නේරිය ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

******************************************

දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුවේ දැඩි රථවාහන තදබදයක්

(16.10.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේග මාර්ගයේ වැලිපැන්න හුවමාරුවේ සිට ගාල්ල දෙසට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් පළාත් මායිම් ආසන්නයේ සිදුකරන පරීක්ෂා කිරීම් හේතුවෙන් මෙම තදබදය ඇති වී තිබෙන බව හිරු වාර්තාකරු සඳහන් කළා.

පොලීසිය සඳහන් කරන්නේ අද (16) සිට පළාත් මායිම් පසුකර ගමන් කරන සියලු වාහන සහ පුද්ගලයින් දැඩි පරීක්ෂාවට ලක් කිරීම හේතුවෙන් මෙම රථවාහන තදබදය ඇති වී ඇති බවයි.

******************************************

ශ්‍රී ලාංකික යෞවනයන්ගේ අනාගතය වෙනුවෙන් ‘මතු දෙරණ’ එළිදැක්වෙයි

(16.10.2021 – 15:00 +0530 – sinhala.adaderana.lk)

‘TV දෙරණ’ දියත් කරන නවතම ක්‍රියාන්විතය වන ‘මතු දෙරණ’ ව්‍යාපෘතිය අද (16) ආරම්භ කළේය.

නැගී එන තාරුණ්‍යයට සහාය දෙන ‘මතු දෙරණ’ සමග අවුරුදු 18 ට අඩු අයට එක්විය හැකිය.

එහිදී ඔවුන්ට දැනුම, මූල්‍යමය අවස්ථා සහ තවත් සහයෝගයන් රැසක් ලබාදීම සිදුවෙයි.

සුදුසුකම් සහිත ඉල්ලුම් පත්‍රයක් mathuderana@derana.lk ඊමේල් ලිපිනය වෙත යොමු කිරීමෙන් පසු විද්වත් මණ්ඩලයක් විසින් ‘මතු දෙරණ’ සුදුස්සන් තෝරා ගැනීම සිදුකරනු ඇත.

‘මතු දෙරණ’ පිළිබඳව අදහස් දැක්වූ දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ලක්සිරි වික්‍රමගේ මහතා සඳහන් කළේ,

“‘මතු දෙරණ’ කියන්නේ ක්‍රීඩා වෙන්න පුළුවන්, විද්‍යාව වෙන්න පුළුවන්, නව නිපැයුම් වෙන්න පුළුවන්. එවැනි අංශවලින් තියෙන දක්ෂතා හඳුනාගෙන ඔවුන්ට අතහිත දීලා ලෝක මට්ටමට යන්න පුළුවන් දේවල් බලලා එතනට යවන එක. ඒක තමයි ‘මතු දෙරණ’ පදනමේ කාර්යභාර්ය.”

මෙරට ටෙලිවිෂන් වංශ කතාවේ අද්විතීය වෙනසක් සිදුකරමින් ප්‍රාසාංගික රූපවාහිනී කලාවේ ප්‍රමුඛයා වූ ‘TV දෙරණ’ අද සිය 16 වන සංවත්සරය සමරන අතර ඊට සමගාමීව ‘මතු දෙරණ’ ව්‍යාපෘතිය දියත් කර තිබේ.

******************************************

නොසැලකිල්ල ජීවිත දෙකක් අහිමි කරයි – දෙල්ගොඩ බිහිසුණු අනතුර

(16.10.2021 – 12:11 +0530 – sinhala.adaderana.lk)

මීගහවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස ධාවනය කළ මෝටර් රථයක් තවත් වාහන 4 ක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් තිබේ.

අදාළ මෝටර් රථය, අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පැවති පාලමක් අසල තිබූ බැරලයක ගැටීමෙන් පසුව ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථ දෙකක (2), යතුරුපැදියක සහ ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

එහිදී එක් ත්‍රීරෝද රථ රථයක රියදුරු සහ යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ හෝමාගම සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචිව සිටි 31 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි (2).

අදාල මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කළේය.

******************************************

අධික ලෙස බීමත් ව සිටි පුද්ගලයාගේ පාලනයෙන් ගිලිහිණු ජීප් රථය අනතුරක

(15.10.2021 – 12:07 +0530 – sinhala.adaderana.lk)

කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ අධික ලෙස බීමත් ව සිටි පුද්ගලයෙකු සිය ජීප් රථය පාලනය කරගත නොහැකිව අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක සටහන් ව තිබුණි.

එම පුද්ගලයා විසින් කඩවත – නුවර මාර්ගයේ හෝටලයක් ඉදිරිපිට නවතා තිබු සිය ජීප් රථය එක්වරම පසුපසට ගෙන නැවත වේගයෙන් ඉදිරියට ගන්නා අවස්ථාවේ දී එය ඔහුගේ පාලනයෙන් මිදී හෝටලය ඉදිරිපිට නවතා තිබු වෙනත් ජිප් රථයක ගැටෙන අයුරු එහි දැක්වුණි.

අනතුරුව ජිප් රථයේ සිටි එම පුද්ගලයා, ඉන් බැස ඇවිද යන විට ඇද වැටෙන අයුරු ද දැකගත හැක.

බීමතින් සිටි රියදුරුවරයා ව කඩවත පොලීසියට රැගෙන ගොස් ඇති අතර, පසුව නිදහස් කොට තිබේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *