අද (16) සිට මංගල උත්සවවලට අවසර

අද (16) සිට මංගල උත්සවවලට අවසර

*********************************************

අද (16) සිට මංගල උත්සවවලට අවසර

(16.10.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

අද (16) සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා සීමා කිරීම්වලට යටත්ව අවසර පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ. විවාහ මංගල උත්සව පැවැත්වීමේදී ශාලා තුලට ඇතුලත් කර ගත හැක්කේ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාවෙන් 25% ක ධාරිතාවයකට පමණයි. එහි උපරිමය පුද්ගලයින් 50 කට සීමා වනවා. එසේම එළි මහන් මංගල උත්සව සඳහා පුද්ගලයින් 75 දෙනෙකුට සහභාගී විය හැකියි.

කොරෝනා නොවන අවමංගල්‍ය උත්සව සඳහා ඕනෑම වේලාවක සිටිය හැක්කේ පුද්ගලයින් 20 දෙනෙකු පමණක් වන අතර මළ සිරුර මුදා හැරීමෙන් අනතුරුව පැය 24 ක් තුළ අවසන් කටයුතු සිදු කළ යුතු වනවා.

කෙසේ වෙතත් ප්‍රදර්ශණ, සම්මේලන, ගෘහස්ත සහ එළි මහන් උත්සව, සාද, එක් රැස්වීම් මෙන්ම නිවෙස් තුළ පැවැත්වෙන සුළු සාද සඳහාද තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත වන අතර 50% ක ධාරිතාවකින් පෙර පාසල් මෙන්ම වෘත්තීය පුහුණු ආයතනද විවෘත කර පවත්වාගෙන යා හැකියි.

විභාග සහ විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ආරම්භ කළ හැකි අතර, උපකාරක පන්ති පැවැත්වීමට තවදුරටත් අවසර නැහැ.

කෙසේ වෙතත් සිනමා ශාලා සියයට 25 ක ආසන ධාරිතාවයකින් යුක්තව විවෘත කිරීමට අවසර ලබා දී ඇති අතර, එය ක්‍රියාත්මක වන්නේ ලබන 21 වැනි දා සිටයි.

ව්‍යායාම ශාලා 30% ක ධාරිතාවකින් විවෘත කල හැකි අතර සිටිය හැකි උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 10 ක්.

තෝරාගත් ක්‍රීඩා කිහිපයකට පමණක් අවසර ලබා දී තිබුණද නරඹන්නන් ඇතුළත් කර ගැනීමට අවසර නැහැ.

මෙලෙස අවසර ලබා දී ඇති අදාළ ක්‍රීඩා පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

පන්සල් , පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නොමැති අතර විශේෂ උත්සවවලදී ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරෙනු ඇති.

++++++++++++++++++

සයිනොෆාම් මාත්‍රා දෙක (2) ම ලැබූ පිරිස කෝටිය සම්පූර්ණ වෙයි

(16.10.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන වැඩසටහන යටතේ, එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.

ඒ යටතේ, මෙරට සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙක (2) ම ලාබාගත් පිරිස කෝටිය (1,00,00,000) සම්පූර්ණ කළ බව සඳහන්.

ඊයේ (15) වෙනවිට සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙක (2) ම ලබාගත් පිරිස, මෙසේ කෝටිය සම්පූර්ණ කළ බව, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා ෴

++++++++++++++++++

පශ්චාත් කොවිඩ් ආසාදිත සමය ගැන වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්

(16.10.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සුවය ලැබීමෙන් අනතුරුව කිසියම් රෝගී ලක්ෂණයක් මතු වන්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

එසේම ඊයේ (15) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 666 දෙනෙකු හඳුනා ගැණුනු අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,30,421 ක්.

ඊයේ (15) තවත් කොරෝනා මරණ 20 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 13,449 දක්වා ඉහළ ගියා.

මේ අතර 2001 වසරේ ඔක්තෝම්බර් 16 සිට 2003 වසරේ ඔක්තෝම්බර් 15 දක්වා උපත ලද බස්නාහිර පළාතේ පාසල් වල ඉගෙනුම ලබන සිසුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කොළඹ පාසල් 28 ක සිසුන් එන්නත්කරණයට ලක්කිරීමට කටයුතු කරමින් සිටින බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව රජයේ පාසල් 14 ක් සහ ජාත්‍යන්තර පාසල් 14 ක සිසුන්ට මෙලෙස එන්නත් ලබා දීමට කටයුතු කර ඇති අතර, එන්නත් ලබාදීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 4,000 ක් බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කොරෝනා ආසාදනය වී සුවය ලැබීමෙන් අනතුරුව කිසියම් රෝගී ලක්ෂණයක් මතු වන්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.

මේ අතර, ශ්‍රී ලාංකිකයින් කෝටියකට (1,00,00,000) ඊයේ (15) පස්වරුව වනවිට සයිනොෆාම් කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

හරිත කෘෂිකර්මාන්තය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කෙරේ

(16.10.2021 – 07:04 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කර තිබෙනවා.

විජිත් වැලිකල මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාර්යසාධක බලකායට හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ අත්දැකීම් සහිත සාමාජිකයන් 14 දෙනෙකු ඇතුළත්.

හරිත කෘෂිකර්මය තිරසාරව පවත්වාගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම, විවිධ භෝගවලට අවශ්‍ය කාබනික පොහොර හඳුනාගැනීම සහ එම පොහොර නිෂ්පාදනය දියුණු කිරීම මෙන්ම කෘමිනාශක හා වල්නාශක දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම මෙම කාර්යසාධක බලකායේ කාර්යයන්වලට ඇතුළත්.

******************************************

මහපොළ නැතැයි අන්තරෙන් චෝදනා

(16.10.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

මහපොළ ශිෂ්‍යාධාරය සරසවි සිසුන්ට ලබා දෙන සහනය අතිමහත්.

කොරෝනා අභියෝගය හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ටද ඔන්ලයින් අධ්‍යාපනයට යොමු වීමට සිදු වුණා.

කෙසේ වෙතත්, මාස 3 ක කාලයක් පුරා විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර ලැබී නොමැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

එහි නියෝජිත පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් සඳහන් කළේ, ඒ හේතුවෙන් සරසවි සිසුන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවයි.

මහපොළ ශිෂ්‍යත්වය ලබා දීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 3 ක මුදලක් වැය වන අතර ඉන් රුපියල් බිලියන 1.7 ක ප්‍රතිපාදන ප්‍රමාණයක් හිමි වන්නේ මහපොළ භාරකාර අරමුදලෙන්.

මහපොළ ශිෂ්‍යත්වය සඳහා මහා භාණ්ඩාගාරය මඟින් ලැබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.3 ක් ෴

******************************************

ගුරු ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව

(16.10.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

වැටුප් ගැටලුව මුල් කරගෙන ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඊයේ (15) රැස් වූ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබෙනවා.

එහි නියෝජිත ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ, පාසල් විවෘත කිරීමට නියමිත ලබන 21 වැනිදාට පෙර සිය ගැටලුවට විසඳුමක් ලබා නොදෙන්නේ නම්, එදින සිට සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බවයි.

ඊයේ (15) පස්වරුවේ පැවති ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ නියෝජිත හමුවට ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති 31 ක නියෝජිතයින් එක්ව සිටියා.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කල ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (16) 97 වැනි දිනටත් ක්‍රියාත්මකයි ෴

******************************************

සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන ලෙසට අගමැතිගෙන් උපදෙස්

(16.10.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරය වෙත යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ එම අමාත්‍යංශයේ නිලධාරීන් සමග ඊයේ (15) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි.

එහි දී අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ, මහා භාණ්ඩාගාරයේ මුදල් වැය නොකර, ආයෝජන මඟින් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බවයි.

මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර ‘සියක් නගර සංවර්ධන ව්‍යාපෘතියේ’ කටයුතු බොහෝදුරට අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළා.

එහිදී නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා කියා සිටියේ වසර 2024 අවසන් වන විට නිවාස 60,000 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 40,000 ක් මෙන්ම මධ්‍යම සහ අනෙකුත් පාන්තිකයන් වෙනුවෙන් නිවාස 20,000 ක් ඉදිකිරීමට නියමිත බව ඔහු සඳහන් කළා.

එමෙන්ම ‘සියක් නගර ව්‍යාපෘතිය’ට අදාළව එක් නගරයක නිවාස 100 බැගින් නිවාස දස දහසක් (10,000) ඉදි කෙරෙන බවයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

******************************************

ඌව පරණගම දී මනුෂ්‍ය ඝාතනයක්

(16.10.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala)

ඌව පරණගම පොලිස් වසමේ මස්පන්න ප්‍රදේශයේ දී පුද්ගලයින් කිහිප දෙනෙක් අතර ආරවුලක් ඇති වී තිබෙනවා.

එහි දී බරපතළ ලෙස පහර කෑ එක් අයෙකු වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි දී ඔහු මිය ගොස් ඇති බවට යි වාර්තා වෙන්නේ.

මරණකරු, වයස අවුරුදු 57 ක මස්පන්න – කොහිලේගම ප්‍රදේශයේ පඳිංචිකරුවෙක්.

මෘත ශරීරය වැලිමඩ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා ඉඳිරි පරීක්ෂණ, ඌව පරණගම පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

******************************************

වාහන සොරකම් කරන සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

(16.10.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

නිවාස හා ව්‍යාපාරික ස්ථානවල නවතා තැබූ වාහන සොරකම් කිරීමේ සංවිධානාත්මක කණ්ඩායමක් ජා-ඇල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, රුපියල් කෝටියකට (1,00,00,000) අධික ත්‍රීරෝද රථ සහ යතුරු පැදි මොවුන් විසින් සොරකම් කර ඇති බවයි.

පසුව චැසි අංක සහ ලියාපදිංචි අංක වෙනස් කර ඔවුන් මෙම වාහන වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ත්‍රීරෝද රථ 20 ක් සහ යතුරු පැදි 10 ක් මෙලෙස පොලිසිය විසින් සොයාගෙන තිබූණා ෴

******************************************

පැන්ඩෝරා හෙලිදරව්ව ගැන ලේඛන පරීක්ෂාවකටත් අල්ලස් කොමිසම සූදානම්

(16.10.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ලේඛණ පරීක්ෂා කරමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

එහි උසස් නිලධාරිනියක සඳහන් කළේ, සිද්ධියට අදාල ලේඛණ පරීක්ෂා කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ කරන බවයි.

එමෙන්ම විවිධ පාර්ශව ඒ සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිලි සම්බන්ධයෙන්ද පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළා.

මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් ඊයේ (15) දෙවන (2) දිනටත් අල්ලස් කොමිසමට පැමිණියා.

ඊයේ (15) උදෑසන 11 ට පමණ කොමිසම හමුවට පැමිණි ඔහු පැය 2 කට පමණ පසු ඉන් පිටව ගොස් තිබුණා.

පසුගිය 8 වැනි දා ද තිරුකුමරන් නඩේෂන් පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, එදින ඔහු පැය තුනක (3) ප්‍රකාශයක් ලබාදුන්නා ෴

******************************************

අලි එලවන්න හඳුන්කූරක්

(16.10.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

වන අලි පලවා හැරීම සඳහා උපකාර වන හඳුන්කූරක් නිපදවීම සම්බන්ධයෙන් කළ අත්හදා බැලීම සාර්ථක බව පරිසර අමාත්‍යංශය ප්‍රකාශ කළා.

නිවෙස් තුළ දල්වන මෙම විශේෂ හඳුන්කූරෙන් නිකුත් වන සුවඳ ආඝ්‍රානය කරන වන අලි, නිවාසවලින් බැහැරව ගමන් කරන අතර නිවෙස්වලට පහර දීමට නොපෙළඹෙන බවට එම අමාත්‍යංශය කියා සිටියා.

දැනට අත්හදාබලා ඇති හඳුන්කූර දැල්වෙන්නේ පැය එකහමාරක් (1½) පමණ වන බැවින් එහි කාලය දීර්ඝ කර ගැනීමට තවදුරටත් අත්හදා බැලීම් සිදු කරමින් පවතිනවා.

මෙම කරුණු අනාවරණ වුණේ, වන සතුන්ගෙන් සිදු වන හානි අවම කිරීම පිළිබඳව පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි ෴

******************************************

රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරෙයි

(16.10.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබෙනවා.

ඒ බව පක්ෂ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම් සභාවට දැනුම් දී ඇති බව සඳහන්.

කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ නිතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඊයේ (15) දිනයේදී කොමිසම් සභාවට මේ බව දැනුම් දුන් බවයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි පස් වැනි දා (05) ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

සිව් (4) වැනි වරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දුන් උන්වහන්සේට වෙන් කෙරුණේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වූ මුල් පෙළ අසුනක්.

******************************************

පොලිසිය හා ගැටුණු සැකකරුවෙකු අත්අඩංගුවට

(16.10.2021 – 09:00 +0530 – hirunews.lk/sinhala)

මෝදර – එලිහවුස් පාක් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ මුර සංචාරවල නිරත වූ මෝදර පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු (2) අදාළ පුද්ගලයා පරීක්ෂා කිරීමට යාමේදී මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා (2) මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පසුව ඔවුන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් හැත්තෑපහ වත්තේ පදිංචිකරුවෙක්.

******************************************

‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය තුළින් ශක්තිය හා මිත්‍රත්වය ඉහළ නංවන බව මාදුරුඔයේදී පැවැති අවසන් ප්‍රහාරය දැක බලාගැනීම සඳහා එක්වු ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි පවසයි (සේයාරූ 41 ක්)

(15.10.2021 – army.lk)

******************************************

රුසියානු යුද නෞකාවක් සමඟ සබ්මැරීන දෙකක් (2) කොළඹ වරායට

(16.10.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)

රුසියානු යුද නෞකාවක් සමඟ එරට නාවික හමුදාවට අයත් සබ්මැරීන යාත්‍රා දෙකක් (2) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

සැපයුම් ලබාගැනීම සඳහා එම යුද නෞකාව මෙන්ම සබ්මැරීන යාත්‍රා පැමිණ ඇත්තේ, විදේශ අමාත්‍යාංශයේ අවසරය සහිතවයි.

අප කළ විමසීමකදී, කොළඹ වරායේ මෙහෙයුම් නිලධාරියෙකු සඳහන් කළේ, සැපයුම් ලබාගැනීමෙන් පසු එම යාත්‍රා අනිද්දා (18) කොළඹ වරායෙන් නික්මෙනු ඇති බවයි.

සැපයුම් අවශ්‍යතා සඳහා කොළඹ වරායට සේන්දු වූ මෙම බලඝණයෙහි ‘Gremyashchiy’ නෞකාව දිගින් මීටර 107 ක් වන Corvette වර්ගයේ යුද නෞකාවක් වන අතර, ‘B–603’ සහ ‘B–274’ සබ්මැරීන දිගින් මීටර 73 ක් වනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *