මහකන්නයට ජලය නිකුත් කළත් ගොවීන් තවමත් පොහොර ඉල්ලා විරෝධතාවල

මහකන්නයට ජලය නිකුත් කළත් ගොවීන් තවමත් පොහොර ඉල්ලා විරෝධතාවල

*********************************************

මහකන්නයට ජලය නිකුත් කළත් ගොවීන් තවමත් පොහොර ඉල්ලා විරෝධතාවල

(15.10.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහ කන්නය සඳහා අද (15) ප්‍රධාන ජලාශ වලින් ජලය නිකුත් කළ ද ඊට විරෝධය පාමින් ප්‍රදේශ කිහිපයක ගොවින් විරෝධතා සිදු කරනු ලැබුවා.

මාගල්ල ජලාශ ව්‍යාපාරයේ ගොවීන් නිකවැරටිය මාගල්ල ජලාශය අසල අද (15) උද්ඝෝෂණක නිරත වු අතර, එහිදි ජලාශයේ සොරොව්ව වසා දැම්මට ද ගොවින් කටයුතු කරනු ලැබුවා.

එසේම, ප්‍රදේශ රැසක පැවති විරෝධතා වලදී ගොවින් වාරි ජලය නිකුත් කරන සොරොව් වසා දැමීමට කටයුතු කළ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කලේ.

මේ අතර කාබනික පොහොර ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා රීට් ආඥාවක් නිකුත් කරන ලෙසට පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් අද (15) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ රජය රසායනික පොහොර ආනයනය නොකිරීමේ ප්‍රතිපත්තියක සිටින බැවින් රසායනික පොහොර ඉල්ලා සිදුකරන උද්ඝෝෂණවලින් ඵලක් නොමැති බවයි.

කාබනික පොහොර ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය අද (15) ගොනු කළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, එම අමාත්‍යංශ ලේකම්, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

කාබනික පොහොර ආනයනය කිරීමේ දී වගකිව යුතු සියලුම නිලදාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙසයි එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

විදේශීය රටවල් වලින් කාබනික පොහොර ආනයනය කිරීම පරිසර පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ කිරීමක් බවත් එකී කාබනික පොහොරවල අඩංගු වෛරස් වර්ග මහපොළවට මිශ්‍ර වීමෙන් පිරිමැසිය නොහැකි හානියක් විය හැකි බවත් පෙත්සම්කාර පාර්ශවපෙන්වා දී තිබෙනවා.

එසේම එම ක්‍රියාවලිය පැළැටි සංරක්ෂණ පනතට පටහැනි බවද අදාළ පෙත්සමේ වැඩි දුරටත් සඳහන්.

මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ රජයේ සමාගම් විසින් ආනයනය කළ පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර රැගත් වෙගොරාස් නෞකාව කොළඹ වරාය වෙත ළඟා වුණේ පසුගිය 13 වනදායි.

එම නෞකාව මගින් රැගෙනවිත් තිබූ පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 30,000 ක්.

ඒ අනුව අම්පාරල මඩකලපුවල අනුරාධපුරල කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ගොවිජන මධ්‍යස්ථාන වෙත බෙදාහරින ලද එම පොහොර සම්බන්ධයෙන් කෘෂි විශේෂඥයින් විවිධ මත පළ කරනවා.

මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කළ කාබනික පොහොර නිපදවීමේ වැඩසටහන යටතේ නිශ්පාදනය කළ කාබනික පොහොර තොගයක් ද අනුරාධපුර පොහොර ලේකම් කාර්යාලය වෙත අද (15) භාරදුන්නා.

මේ අතර බලංගොඩ ලයහලේවෙල ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත කාබනික පොහොර ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සංවිධාන කළ වැඩසටහනකදී ප්‍රදේශවාසීන් ඊට විරෝධය පළ කළා.

ගම්වාසීන් ඉවත්ව යාමත් සමග වැඩසහන අතරමග නවතා දැමීමටයි සිදු වුණේ.

අගුණකොළපැලැස්ස නගරයේ, වෙළදසැල් දෙකක (2) සිදු කළ වැටලීමකදී තහනම් වල් නාශක තොගයක් ගබඩා කරගෙන සිටි පුද්ගලයකු සහ තවත් කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් තහනම් වල් නාශක තොගය වැඩිදුර විමර්ශන සඳහා හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය වෙත භාර දී තිබෙනවා.

ලුණුගම්වෙහෙර වම් ඉවුර – යාය 1 සහ 2 ගොවි සංවිධානවල කුඹුරු අක්කර 950 ක් වගා කරන ගොවීන් මහ කන්නයේ වී වගාවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ පොහොර සහ වල් නාශක නොමැති වීම සහ වගා හානි සඳහා ලබාදෙන වන්දි ප්‍රමාණය මෙතෙක් රජය විසින් තීරණය කර නොතිබීම හේතුවෙන්.

ගොවි සංවිධාන කිහිපයක් එක්ව පොහොර ගැටළුවට විසඳුම් ඉල්ලා සංවිධාන කළ උද්ඝෝෂණයක් ගලෙන්බිදුණුවැව නගරයේදී පැවැත්වුණා.

ගොවි උද්ඝෝෂණය හේතුවෙන් ගලෙන්බිදුණුවැව කහටගස්දිගිලිය මාර්ගයද අවහිරවී තිබූ බව අප වාර්තාකරු සදහන් කළා.

අනතුරුව උද්ඝෝෂකයන් පිරිස කෘෂිකර්ම නිලධාරීන්ට ලිපියක් භාර දීම සඳහා ගලෙන්බිදුණුවැව ගොවිජන සේවා මධ්‍යස්ථානයට ඇතුළුවීමට උත්සහ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.

රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් තේ වගාවේ අස්වැන්න අඩු වී ඇති බවට ගාල්ල – කොට්ටවගම තේ කර්මාන්තයේ නිරත පිරිස් චෝදනා කරනවා.

ඔවුන් ඊට විරෝධය පළ කරමින් කොට්ටවගම වතුයායකදී උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර මහවැලි සී කලාපයේ ගොවීන් සංවිධාන කළ උද්ළෝෂණයක් පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේදී පැවැත්වුණා.

මාගල්ල ජලාශ ව්‍යාපාරයේ ගොවීන් නිකවැරටිය මාගල්ල ජලාශය අසල අද (15) උද්ඝෝෂණයක් පැවැත්වූවා.

ඔවුන් සඳහන් කළේ තමන්ට මහ කන්නය සඳහා පොහොර ලබා නෙදෙන්නේනම් වගා කටයටුකු සඳහා ජලය නිකුත් කිරීමද නවත්වන ලෙසයි.

පසුව විරෝධතාකරුවන් නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පාගමනින් පැමිණියේ පොහොර ගැටළුව පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම සඳහායි.

මේ අතර පොහොර ඉල්ලා තවත් ප්‍රදේශ රැසකදී ගොවි උද්ඝෝෂණ පැවැත්වුණා.

මේ අතර සරු බිම – ජාතික කෘෂි සභාවේ නියෝජිතයින් පිරිසක් අද (15) බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

මහ කන්නය සදහා වගා කිරීමට රසායනික පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් කෘෂිකර්ම අමාත්‍යවරයාට ලිපියක්ද භාර දුන්නා.

+++++++++++

පොහොර ගෙන්වූයේ අගමැති කාර්යාලයේ ප‍්‍රබලයෙකුගේ සහෝදරයෙක්ද ?.. පොහොර විෂය අයිති ශෂීන්ද්‍රට..

(15.10.2021 – 22:22 +0530 – lankacnews.com)

ලංකාවට මෙවර පොහොර ගෙන්වා ඇති දේශීය නියෝජිත ආයතනය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රබල කෙනෙකුගේ සහයෝගයක් ඇති ආයතනයක් බවට වාර්තා වන බව හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන දී සාකච්ඡා විය.

ඒ ගැන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රශ්න කල විට ඔහු කියා සිටියේ තමන් ද ඒ බව මාධ්‍ය හරහා දුටු බවත් එය ඇතැම්විට එසේ විය හැකි බවත්ය.

පොහොර ගෙන්වීමේදී දේශීය නියෝජිතයා සමග සම්බන්ධතාවයක් පවත්වන්නේ නැති බව ද ඔහු කියා සිටියේය.

එමෙන්ම පොහොර විෂය තමන්ට අයිති නැති බවත් එය සම්පූර්ණයෙන්ම ඇත්තේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා යටතේ බවත් පැවසීය.

+++++++++++

ඩොලර් ඉතුරු කරන්න ගත්ත කාබනික තීරණයෙන් රටට ඩොලර් නැතිකරා (15.10.2021)

******************************************

WhatsApp වල සිදුවන වෙනස්කම – Facebook සමාගමෙන් පණිවිඩයක්

(15.10.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම දුරකතන ඔස්සේ වට්ස්ඇප් පණිවිඩ හුවමාරු සේවාව භාවිත කරන සැමගේ පණිවිඩ ගබඩා කිරීම වැඩිදියුණු කිරීමක් Facebook සමාගම විසින් සිදුකර තිබෙනවා.

මේ අනුව වට්ස්ඇප් පණිවුඩ සේවාව හරහා සිදු කෙරෙන සියලු පණිවිඩ ගූගල් ඩ්‍රයිව් හෝ ඇපල් දුරකථන සඳහාම විශේෂයෙන් වෙන් කර ඇති අයික්ලවුඩ් (icloud) වෙත ගබඩා කිරීමේදී ඒ සඳහා විශේෂ මුරපදයක් යොදා ආරක්ෂා කිරීමේ පහසුකම මේ අනුව වට්ස්ඇප් භාවිතා කරන්නන්ට හිමිවනු ඇති.

මෙතෙක් කලක් වට්ස්ඇප් හරහා සිදු කෙරෙන පණිවිඩ හුවමාරු සඳහා අන්ත දෙකේ ආරක්ෂාව ඉතා ඉහලින් සකසා තිබූ අතර එම පණිවිඩ අයික්ලවුඩ් හෝ ගූගල් ඩ්‍රයිව් වෙත ගබඩා කිරීමේදී එම පහසුකම සලසා තිබුනේ නෑ.

එම කාලය තුළ දී අදාළ ආරක්ෂිත අගුළු යෙදවීම් වට්ස්ඇප් සමාගම හරහා ම සිදු කෙරුණු පෙරනිමි සංකේත ගත කිරීමක් හරහා සිදුකෙරුණු අතර අද සිට ඔබගේ වට්ස්ඇප් සංවාද ගූගල් ඩ්‍රයිව් හෝ අයික්ලවුඩ් වෙත ගබඩා කිරීමට තෝරන්නේ නම් එම පහසුකම පෙරනිමියෙන් ක්‍රියාත්මක නොවනු ඇත.

නමුත් ඔබට එය සැකසීම් > චැට්ස් > චැට් බැකප් > වෙත ගොස් එය සක්‍රිය කිරීම තෝරා ගැනීමට සිදු වන අතර එහිදී ඔබ කැමති මුරපදයක්, හෝ ඔබ පමණක් දන්නා ඉලක්කම් 64 ක සංකේතාංකන යතුරක් භාවිතා කළ හැකියි.

ඔබ ඒ සියල්ල සැකසූ පසු, ඔබේ මුරපදය නොමැතිව වට්ස්ඇප් සමාගමට, ගූගල් සමාගමට හෝ ඇපල් සමාගමට ඔබේ තොරතුරු වෙත ප්‍රවිශ්ඨ වීමේ හැකියාව අහිමිව යනවා.

මෙම නව හඳුන්වාදීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම පෙන්වා දෙන්නේ එවැනි පරිමාණයකින් මෙතරම් ආරක්‍ෂාවක් ලබා දෙන ලොව එකම ගෝලීය පණිවිඩ සේවාව වට්ස්ඇප් WhatsApp බවයි ෴

******************************************

කොකේන් ගිල දමා පැමිණි උගන්ඩා කාන්තාවක් රේගු අත්අඩංගුවට

(15.10.2021 – 21:30 +0530 – hirunews.lk/sinhala)

කොකේන් මත්ද්‍රව්‍ය ගිල දමා මෙරටට පැමිණි උගන්ඩා ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේවන විට ඇය ගිල දමා තිබූ කොකේන් අඩංගු ගුලි 51 ක් පිටතට ගෙන ඇති බවයි රේගුව සඳහන් කළේ.

උගන්ඩාවේ සිට දෝහා නගරය හරහා අද (15) පෙරවරුවේ මෙරටට පැමිණි 45 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්.

ඇය කටුනායක ගුවන්තොටුපල පිටවීමේ අංශයේදී නවතා ප්‍රශ්න කිරීමේදී ඇතිවූ සැකයක් මත මගීන් පරිලෝකනය කරන යන්ත්‍රය මගින් පරීක්ෂා කිරීමේදීයි උදරයේ කොකේන් සගවා ඇති බවට හෙළිවී ඇත්තේ.

ඇය එහිදී ප්‍රකාශකර ඇත්තේ තම උදරයේ කොකේන් අඩංගු ගුලි 100 ක් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ගුවන්තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතයි.

******************************************

අතුරලියේ රතන හිමි අපේ ජනබල පක්ෂ සාමාජිකත්වයෙන් ඉවතට ?

(15.10.2021 – 22:41 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජනබල පක්ෂයේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා.

පක්ෂ මහලේකම්වරයා විසිනුයි මේබව මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා මේබව තහවුරු කළා ෴

******************************************

ඩුබායි සිහින පෙන්වූ ජාවාරම

(15.10.2021 – 23:14 +0530 – hirunews.lk/sinhala)

හෝටල් හා සැලුන් ක්ෂේත්‍රයේ විදෙස් රැකියා ලබා දෙන බව පවසා තරුණ තරුණියන් විදෙස් රාජ්‍යයන් වෙත රැගෙන ගොස් අතරමං කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තා වුණා.

අද (15) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

කුරුණෑගල නගර මධ්‍යයේ ඇති මෙම විදේශ රැකියා ආයතනය මගින් පසුගිය කාලයේ බොහෝ පිරිසක් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමු කර තිබුනා.

සංචාරක වීසා මත ඩුබායි රටට රැගෙන ගොස් එහිදී මෙම රැකියා ඒජන්සියේ නියෝජිතයන් හරහා රැකියා සොයා දෙන බවටයි මෙරටින් පිටවීමට පෙර විදෙස් ගතවන තරුණ තරුණියන්ට මොවුන් පවසන්නේ.

මෙම ආයතනය ගැන ලද තොරතුරු මත ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායමේ සාමාජිකයන් ද ඔවුන්ගේ විදේශ රැකියා මධ්‍යස්ථානය වෙත ලඟා වුණේ ඔවුන් මෙම ජාවාරම සිදුකරන අයුරු සොයා බැලීම සඳහායි.

මෙලෙස රැවටීමට ලක්ව සංචාරක වීසා මත රැකියා අපේක්ෂාවෙන් ඩුබායි රාජ්‍ය වෙත ගෙන යන තරුණ තරුණියන්ගේ ඉරණම කුමක් ද ?

මේ වනවිටත් එරට අතරමංව සිටින එම පිරිස් ‘හිරු සී.අයි.ඒ.’ වෙත අදහස් පළ කළා.

මෙම තරුණයන්ට අමතරව ඩුබායිහි නේවාසික වීසා ලබාදෙන බව පැවසූ එම ආයතනය හරහා වංචාවට ලක් වු කාන්තාවක් ද අදහස් පළ කළා.

සංචාරක වීසා මත ඩුබායි රාජ්‍ය වෙත රැගෙන ගොස් තරුණ – තරුණියන් අතරමං කරන මෙම විදෙස් රැකියා ආයතනය පිළිබඳව විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ කුරුණෑගල කාර්යාලයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව වගකිව යුතු බලධාරීන් මෙම විදෙස් රැකියා ආයතනය පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග කවරේද ?

‘හිරු සී.අයි.ඒ.’ පිළිබඳවත් අවධානයෙන්.

******************************************

විදුහල්පතිවරුන් සහ දෙමාපියන් මුරුත්තෙට්ටුවේ හිමි හමුවට

(15.10.2021 – 23:19 +0530 – hirunews.lk/sinhala)

අඛණ්ඩව පවත්වාගෙන යන ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, ආණ්ඩුව දේශපාලන බලය යොදා මර්දනය කිරීමට උත්සාහ ගනිමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.

වර්ජනයේ නිරත ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසන්නේ එළඹෙන 21 වෙනිදාට පෙර විසදුම් ලබා දුනහොත් පමණක් වර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවයි.

කෙසේවෙතත්, එළැඹෙන 21 වැනිදා ගුරු විදුහල්පතිවරුන් පාසල් නොපැමිණියහොත් දැඩි තීන්දුවක් ගන්නා බවට මව්පියන් පිරිසක් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා හමුවේ ප්‍රකාශ කළා.

දින 96 ක් තිසේසේ ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නවතා ගුරු විදුහල්පතිවරුන්ට සේවයට වාර්තා කරන ලෙස ඉල්ලමින් මව්පියන් පිරිසක් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා හමුවුණා.

මේ අතර විදුහල්පතිවරුන් සහ මාපියන් පිරිසක් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැකීමට අද (15) පැමිණියා.

මේ අතර 21 වැනිදා පාසල් ආරම්භ කිරීම පිළිබඳ කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අදහස් දැක්වුවා.

කෙසේවෙතත්, ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (15) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ 21 වනදා ට පෙර සිය ඉල්ලීම් ඉටු කළහොත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ සලකා බැලීමට සූදානම් බවයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයින් 168 ක් හමුවෙයි

(15.10.2021 – 20:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 168 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් අද (15) දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 666 ක්.

මේවන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 5,30,421 ක් වාර්තාවී ඇති අතර ඉන් 25,014 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 4,91,958 ක්.

මෙරටින් කොරෝනා මරණ 13,449 ක් ද වාර්තාවී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *