සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් හෙට (16) සිට ලිහිල් වෙයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් හෙට (16) සිට ලිහිල් වෙයි

*********************************************

සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් හෙට (16) සිට ලිහිල් වෙයි

(15.10.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් අනතුරුව පැනවූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවට අනුව යම් සීමාවන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට හෙට (16) සිට අවසර හිමි ව තිබෙනවා.

ඒ අනුව ශාලාවට ඇතුළු කරගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 25 ක් වන පරිදි උපරිම පුද්ගලයින් 50 කට පමණක් සීමා කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදීමට නියමිතයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා අවසර ලබාදී තිබුණේ විවාහ ලියාපදිංචි කිරීම්වලට පමණයි.

මේ අතර අවමංගල්‍ය අවස්ථාවක දී ද එක් වරක දී සහභාගී විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව හෙටින් (16) පසු 15 දෙනෙකු දක්වා ඉහළ නැංවෙනවා.

හෙට (16) සිට අවන්හල්වල ආසන ධාරිතාවයෙන් සියයට 30 ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් 50 ක සීමාවකට යටත්ව ඇතුළත් කරගැනීමට අවසර හිමිවනවා.

එළිමහනේ ආසන සකසා ඇතිනම් ගනුදෙනුකරුවන් 60 ක් ඇතුලු කරගත හැකියි.

කෙසේ වෙතත් තවදුරටත් අවන්හල් තුළ මත්පැන් භාවිතය තහනම්.

එමෙන්ම රැස්වීම්, වැඩමුලු, සම්මන්ත්‍රණ සඳහා හෙට (16) සිට ඇතුලු කරගත හැකි පුද්ගලයන් ගණනින් 25 ක් පිරෙන ආකාරයට උපරිමය පුද්ගලයන් 50 කට යටත්ව සිදු ක ළ හැකියි.

කෙසේවෙතත් උත්සව සාද ගෘහස්ථ හෝ එළිමහන් එක්රැස්වීම් නිවෙස් තුල පැවැත්වෙන සාද වලට ද අවසර හිමිවන්නේ නැහැ.

සාප්පු, සිල්ලර කඩ, ෆාමසි, සුපිරි වෙළඳසැල්, ගෘහ භාණ්ඩ වෙළඳසැල් වෙත වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් සියයට 20 ක ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුලත් කර ගැනීමට හෙට (16) සිට අවසර හිමි වනවා.

ආයතනනයට ඇතුලත් කර ගත හැකි පුද්ගලයන් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශණය කළ යුතුයි.

ව්‍යායාම් මධ්‍යස්ථාන වෙත හෙට (16) සිට සියයට 30 ක ධාරිතාවයෙන් උපරිම පුද්ගලයන් ගණන 10 ක් සමග ක්‍රියාත්මක විය හැකියි.

මේ අතර දරුවන්ට වැළඳෙන පශ්චාත් කොවිඩ් සංකූලතාවන් වැඩිවීමක් දක්නට ලැබෙනව බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසනවා.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 50,812 ක්.

මාධ්‍ය නිවේදනය :

++++++++++++++++

දිගු සති අන්තයේ පළාත් අතර ගමනාගමනයට දැඩි සීමා

(15.10.2021 – 17:35 +0530 – hirunews.lk/sinhala)

හෙට (16) සිට අන්තර් පළාත් ගමන් බිමින්වලට දැඩිව සීමා පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගත තත්වය පාලනය කිරීමට මෙතෙක් ගත් ක්‍රියාමාර්ගවලින් අත් වූ ප්‍රගතිය ආරක්ෂා කර තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ඒ අනුව හෙටින් (16) ආරම්භ වන දීර්ඝ සති අන්තයේ ලබන 21 වනදා දක්වා පළාත් අතර ගමන් බිමන් තදින් නිරීක්ෂණය කෙරෙනු ඇති.

එබැවින් බ්‍රහස්පතින්දා (21) දක්වා කාලය තුල පළාත් අතර ගමන් බිමන් සීමා කරන ලෙසටයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ද ප්‍රකාශ කළා.

ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපතිවරයා, ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇති බව ද එමගින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අද (15) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩු කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කළ යුතු අතර තවදුරටත් රෝගීන් වාර්තාවන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කර අදාළ ස්ථාන හුදෙකලා කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මේ අතර පොලිසිය සඳහන් කළේ ඉදිරි සති අන්තය සමග එළඹෙන දීර්ඝ නිවාඩුව හේතුවෙන් ජනතාව දිවයිනේ විවිධ ප්‍රදේශවලට සංචරණ සීමා උල්ලංඝණය කර ගමන් කිරීමට කටයුතු සැලසුම් කර ඇති අවස්ථා පිළිබඳ පොලිසියේ විශේෂ අවදානය යොමුව ඇති බවයි.

ඒ අනුව දිවයිනේ සියලු පළාත් මායිම් ආවරණය වන පරිදි සහ අධිවේගී මාර්ගයේ ද පළාත් සීමා මායිම් ඇතුලු සියලු පිටවීම් සහ ඇතුලුවීම් ස්ථාන ද කේන්ද්‍ර කර ගනිමින් අද (15) සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.

පළාත් මායිම් පසුකොට ගමන් කරන සියලුම වාහන හා පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂා කරන ලෙසටයි සියලුම මාර්ග බාධක රාජකාරීවල නියුතු පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇත්තේ.

පොලිසිය ජනතාවට උපදෙස් ලබාදෙන්නේ ඉදිරි දීර්ඝ සති අන්තයේ පළෘත් සංචරණ සීමා උල්ලංඝනය වන ආකාරයෙන් වන්දනා චාරිකා සහ විනෝද චාරිකාවල යෙදීමට කටයුතු නොකරන ලෙසටයි.

සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කළේ.

ආගමික සිද්ධස්ථාන ප්‍රසිද්ධ ස්ථාන විනෝද වන වෙරළ කලාප වැනි ස්ථානවල ගාල් කර ඇති රථ වාහන අංක තහඩු පරීක්ෂා කරන අතර නියමිත පළාතෙන් බැහැරව පැමිණ තිබෙන වාහන මෙමගින් හඳුනාගැනීමට කටයුතු කරනු ඇති.

එමෙන්ම මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි අංශ වෙත ද අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

එබැවින් ඉදිරි සති අන්තයේ නිරෝධායන නීතිවලට ගරු කරමින් නිවෙස්වල රැඳී සිට දැනට පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පමණක් කටයුතු කරන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකීමෙන් පත්වන අපහසුතාවන් මගහරවා ගැනීමට හැකියාව ලැබෙන බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 498 ක් හඳුනා ගැනේ

(15.10.2021 – 17:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 498 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,30,253 ක් ලෙසටයි. ඉන් ආසාදිතයන් 24,846 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 4,91,958 ක්.

මෙරටින් කොරෝනා මරණ 13,449 ක් ද වාර්තාවී තිබෙනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

රඹුක්කන නිවසක ඇඳක් මත අභිරහස් ලෙස මියගිය ජර්මන් කත

(15.10.2021 – 17:29 +0530 – hirunews.lk/sinhala)

වසර හතරක (4) පමණ සිට මෙරට ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාවකගේ මළ සිරුරක් අද (15) සොයාගෙන තිබෙනවා.

ඒ රඹුක්කන, හිරිවඩුන්න, පිටවල ප්‍රදේශයේ පිහිටි ඇය ජීවත් වූ නිවසේ ඇඳක් මත තිබියදීයි.

65 හැවිරිදි වියෙහි පසුවූ මෙම විදෙස් ජාතික කාන්තාව, අදාළ නිවසේ පදිංචිව සිටිමින්, මාර්ගවල සිටින සුනඛයින්ට ආහාර ලබාදීම සිය දෛනික පුරුද්දක් බවට පත් කරගෙන සිටි බවයි වාර්තා වන්නේ.

අද (15) උදෑසන සොයාගත් මෙම මළසිරුරේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කර ඇති අතර, එහිදී ඔහු නියෝග කර ඇත්තේ, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කෑගල්ල මහරෝහල වෙත යොමු කරන ලෙසයි.

මෙම විදෙස් ජාතික කාන්තාවගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණය රඹුක්කන පොලීසිය විසින් සිදු කරන අතර, දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (16) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

******************************************

IOC සමාගම ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇතැයි බෙදුම්කරුවන් කියයි – ඇණවුම් වැඩිවීම ගැටලුවක් බව සමාගම කියයි

(15.10.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා අයි.ඕ.සී.’ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ඉන්දීය ඔයිල් සමාගම විසින් අත්හිටුවා ඇති බව ‘එල්.අයි.ඕ.සී. ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය’ පවසනවා.

මේ අතර, 2018 වසරේ ඔක්තෝම්බරයෙන් පසු ලෝක වෙළඳපොලේ ඉහළම තෙල් මිල අද (15) වාර්තා වූ අතර, බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඊයේ (14) දිනයට සාපේක්ෂව සියයට 3 කින් ඉහළ ගොස් සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 85 යි ශත 10 ක් ලෙසයි.

අයි.ඕ.සී ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කෝසල විදාන ආරච්චි මහතා කියා සිටියේ හදිසියේම ඉන්ධන බෙදා හැරිම ලංකා අයි.ඕ.සී සමාගම අත්හිටුවීම හේතුවෙන් තම සංගමයට අයත් ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි.

ලංකා අයි.ඕ.සී. සමාගම පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළා.

ඒ අනුව, ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් ඉහළ දමන බවයි එම සමාගමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

එවන් පසුබිමකයි ලංකා අයි.ඕ.සී. සමාගම එල්.අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බවට වාර්තා වුණේ.

මේ අතර, අද (15) පෙරවරුවේ කොළඹට ආසන්න ප්‍රදේශ කිහිපයක ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් කිහිපයක් වසා දමා තිබූ බව ද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම, එල්.අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබා දීම අත්හිටුවා ඇති බවට එල්ල වන චෝදනාව පිළිබඳව අප එම සමාගමෙන් විමසීමක් කළා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ මිල ඉහළ යනු ඇති බවට පුරෝකතනය කරමින් ඇතැම් පිරවුම්හල් හිමියන් ඉන්ධන තොග ගබඩා කිරීමට කටයුතු කිරීමට උත්සාහ දරන බවයි.

මීට පෙර දින දෙකකට (2) වරක් පමණ ලැබෙන ඇණවුම් මේ දිනවල දිනපතා ලැබෙන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ අනුව, දිනපතා ලැබෙන ඇණවුම් ලබාදීමට හැකියාවක් නොමැතිවීම මිස ඉන්ධන ලබාදීම අත්හිටුවීමක් සිදුකර නොමැති බව අයි.ඕ.සී. සමාගමේ ප්‍රකාශකයා සඳහන් කළා.

ඉන්ධන මිල ඉහළ දැමීමකට මේ වනතෙක් අයි.ඕ.සී. සමාගම තීරණයක් ගෙන නොමැති අතර, සහනයක් නොලැබෙන්නේ නම් මිල ඉහළ නැංවීමට සිදුවන බව ඔහු කියා සිටියා ෴

******************************************

කිරි ගොවියන් දේශීය සමාගම්වලින් වැඩි මිලක් ඉල්ලයි

(15.10.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

දියර කිරි ලීටරයක මිල අවම වශයෙන් රුපියල් 120 ක් දක්වා හෝ වැඩි කළ යුතු බව කිරිගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය පවසනවා.

එහි සභාපති සුසන්ත කුමාර නවරත්න මහතා ඉල්ලා සිටියේ කිරිගොවියාගේ නිෂ්පාදන වියදම ද ඉහළ ගොස් ඇති බැවින් වැඩි කළ දේශීය කිරිපිටි මිලෙහි ලාභයෙන් කොටසක් කිරිගොවියාට ද ලබා දෙන ලෙසයි.

හයිලන්ඩ් කිරිපිටි කිලෝග්‍රෑමයේ පැකට්ටුවක මිල රුපියල් 225 කින් ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 90 කින් අද (15) සිට ඉහළ නැංවීමට මිල්කෝ සමාගම තීරණය කළා.

ඒ අනුව, රුපියල් 945 ක්ව පැවති හයිලන්ඩ් කිලෝග්‍රෑමයේ පැකට්ටුවක නව මිල රුපියල් 1,170 ක් දක්වා ඉහළ යනු ඇති. ග්‍රෑම් 400 යේ හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක නව මිල දැක්වෙන්නේ රුපියල් 470 ක් ලෙසයි.

තවත් දේශීය කිරිපිටි නිෂ්පාදකයෙකු වන පැල්වත්ත සමාගමද දැනටමත් කිරිපිටි මිල ඉහළ නංවා අවසන්. ඒ, රුපියල් 380 ක්ව පැවති ග්‍රෑම් 400 පැල්වත්ත කිරිපිටි පැකට්ටුවක් රුපියල් 460 ක් ලෙස මිල නියම කරමින්.

කෙසේ වෙතත්, කිරිගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ සභාපති සුසන්ත කුමාර නවරත්න මහතා පෙන්වා දෙන්නේ තවමත් තමන්ට කිරි ලීටරයකට ලැබෙන්නේ රුපියල් 80 ත් 100 ත් අතර මුදලක් බවයි.

ආනයනික කිරිපිටි සමාගම් මුහුණදී ඇති අර්බුදකාරි තත්ත්වය සැලකිල්ලට ගෙන ඔවුන්ට සහන සැලසීම සඳහා කිරිපිටි සඳහා පනවා තිබූ පාලන මිල පසුගියදා ඉවත් කළා.

ඩොලර් අර්බුදය හමුවේ ආනයනික කිරිපිටි සමාගම් පසුගිය 09 වැනිදා සිට කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල සටහන් වූයේ රුපියල් 1,195 ක් ලෙසයි.

ග්‍රෑම් හාරසියයේ (400) කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 480 ක් ලෙස සටහන් වුණා.

මෙම තත්ත්වය හමුවේ දේශීය කිරිපිටි සමාගම් ද අත්තනෝමතික ලෙස මිල වැඩි කිරීමෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්වන බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා චෝදනා කරනවා.

******************************************

සමගි ජන බලවේගය කැස්බෑවේ විරෝධතාවයක

(15.10.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

ජීවන වියදම ඉහළ යාමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය අද කැස්බෑව ප්‍රදේශයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එක්ව සිටි අතර, එහිදී ඔහු ප්‍රකාශ කළේ පවතින තත්ත්වය හමුවේ ජනතාව දැඩි අර්බුදයකට මුහුණදී ඇති බවයි.

මේ අතර, පවතින ආර්ථික අර්බුදය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප ද ඉහළ දැමිය යුතු බවයි නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් අද (15) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *