ජර්මන් ගුවන් යානයක් රඳවාගැනීම නිසා ශ්‍රී ලංකා ගුවන් තොටුපළ ජාත්‍යන්තර අප්‍රසාදයට

ජර්මන් ගුවන් යානයක් රඳවාගැනීම නිසා ශ්‍රී ලංකා ගුවන් තොටුපළ ජාත්‍යන්තර අප්‍රසාදයට

*********************************************

ජර්මන් ගුවන් යානයක් රඳවාගැනීම නිසා ශ්‍රී ලංකා ගුවන් තොටුපළ ජාත්‍යන්තර අප්‍රසාදයට

(15.10.2021 – gossiplankanews.com)

ශ්‍රී ලංකාව නැවත වතාවක් සංචාරකයන් වෙනුවෙන් රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට සූදානම් වන මොහොතේ ඉදිරියට අවාසි සහගත ලෙස සංචාරක කර්මාන්තයට බලපෑ හැකි එකළඟ සිද්ධ වුණ සිදුවීම් කිහිපයක් වාර්තාවේ.

Readers Choice 2021 ශ්‍රේණිගත කිරීම්වල දී ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද පත්ව තිබුණේ මීට සතියකට පමණ පෙරය. ශ්‍රේණිගත කිරීම් සිදුකර පැය කිහිපයක් ඉක්ම යෑමටත් මත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු සංචාරකයකුට මෙරටදී සිදු වූ අපහසුතාවක් නිසා පැය 05 කට පසු ආපසු රටින් පිටව යෑමට සිදුවීම වාර්තා විය.

ඊළඟට ජර්මන් ගුවන් යානයක් රඳවාගැනීම සම්බන්ධ සිදුවීමක් වාර්තාවේ.

දැඩි අයහපත් කාලගුණික තත්ත්වය මත කලාපයේ ගුවන් ගමන් මෙහෙයුම් සඳහා විටින් විට බාධා ඇති වූ අවස්ථාවක ජර්මනියේ ෆ්‍රැන්ක්ෆට් නගරයේ සිට මාලදිවයින දක්වා ගුවන් මගීන් 226 දෙනකු රැගෙන ගමන් ගනිමින් තිබූ ජර්මනියේ Condor Air ගුවන් සමාගමට අයත් බෝයිං 767 වර්ගයේ DE2320/26SEP දරන ගුවන් යානය ශ්‍රී ලංකාවේ ගුවන් කලාපයට ආසන්නව ගමන් ගනිමින් තිබිණි. එහි කපිතාන්වරයාට අණ ලැබුණේ මාලදිවයින අවට ගුවන් කලාපයේ ඒ වනවිට දැඩි සුළඟ හා කුණාටු තත්ත්වයක් වර්ධනය වී ඇති බැවින් එහි ගමන් නොකර වහාම ළඟම පිහිටි ගුවන් තොටුපළක් වෙත හදිසි ගොඩබෑමක් සිදු කරන ලෙසය.

File Photo (?)

ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන් පාලක මැදිරිය හා සම්බන්ධ වූ යානය දහවල් 11:25 ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබෑමක් (Emergency loading) සිදු කළේය. මෙවැනි ගොඩබෑමකදී එම අදාළ ගුවන් සමාගම වෙත නිශ්චිත කාලයක් ගුවන් තොටුපළ තුළ යානය නවතා තැබීමට අවසර ලැබෙන අතර ඒ සඳහා නිශ්චිත ගාස්තුවක් හා එම නිශ්චිත කාලය අභිභවා රැඳී සිටින්නේ නම් අමතර කාලයට අදාළව අමතර ගාස්තු ගෙවිය යුතුය. ඒ අනුව මෙම ගුවන් යානය සඳහා පස්වරු 02:00 දක්වා රැඳී සිටීමට අවසර ලැබුණු අතර පස්වරු 01:00 ට පමණ මාලදිවයින අවට ගුවන් කලාපය යහපත් වූයෙන් DE2320/26SEP දරන Condor Air ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට මාලදිවයින දක්වා ගමන් ආරම්භ කිරීමට සූදානම් විය.

මෙහිදී මෙම හදිසි ගොඩ බෑම සඳහා එම ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාවේ රජයට ගෙවිය යුතු වූ භූමි ගාස්තු හා නවතා තැබීමේ ගාස්තු (Loading & parking charges) සී/ස ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට(AASL)ගෙවිය යුතු විය. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී අදාළ ගුවන් සමාගමේ දේශීය නියෝජිත සමාගම මේ සඳහා ඉදිරිපත් වී අවශ්‍ය ගෙවීම් හා සම්බන්ධීකරණ කටයුතු සිදු කළද දැනට වසර 20 කට ආසන්න කාලයක් තුළ Condor Air ගුවන් සමාගම ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් සිදු කර නොතිබූ බැවින් ඔවුන්ගේ දේශීය නියෝජිතයකු නොවීය.

එහෙත් මෙම හදිසි අවස්ථාවේ යුරෝපීය ජාතික සංචාරකයින් 226 දෙනකු හා ළදරුවන් දෙදෙනකු (2) ද සහිතව අසරණව සිටි විදේශීය ගුවන් සමාගම වෙනුවෙන් ආගන්තුක සත්කාර හා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය රැක ගැනීම වෙනුවෙන් ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය.

Condor Air ගුවන් සමාගම ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු අදාළ ගාස්තු ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම වෙත (AASL) ගෙවීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයකු යෙදවීම ඔවුන්ට මහත් සහනයක් විය. ඒ අනුව එම ගුවන් යානයේ ප්‍රධාන කාන්තා ගුවන් නියමුවරිය හා පළමු නිලධාරිවරයා අදාල ගාස්තු ගෙවීම සඳහා ගුවන් තොටුපළ වැඩබලන කළමනාකාරවරයාගේ (Duty Manager) කාර්යාලයට රැගෙන ආවද එම අවස්ථාවේ එහි සේවයේ යෙදී සිටි AASL නිලධාරිවරයා පවසා සිටියේ ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් යන්ත්‍රයේ යම් ගැටලුවක් ඇති බැවින් සෘජු මුදල් ගෙවීමක් සිදු කරන ලෙසය. එහෙත් ඇ.ඩො. 740 ක එම මුදල ගෙවීමට නෝට්ටු ඔවුන් සතුව නොතිබූ බැවින් ණය කාඩ්පත හරහා ගෙවීම හැර වෙනත් විකල්පයක් ඔවුන් වෙත නොවීය. එවිට එම නිලධාරිවරයා ගුවන් නියමුවරියගෙන් එම ණය කාඩ්පත ලබාගෙන කිහිප වරක් යන්ත්‍රය ක්‍රියාත්මක කළද ඵලක් නොවීය. ඔහු නැවත නැවත එම උත්සාහ කිරීම තුළ සැලකිය යුතු කාලයක් වැය වූ අතර එම ප්‍රමාදය විදේශීය ගුවන් නිලධාරීන්ට දැඩි අපහසුවක් විය.

ඒ, නියමිත කාලයට පෙර එනම් පස්වරු 02:00 ට පෙර ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළින් පිටත් වීමට නොහැකි වුවහොත් අමතර ගාස්තු ගෙවීමක්ද සමග ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා රෙගුලාසීන්ට අනුව ගුවන් කාර්ය මණ්ඩල සේවා සීමාවන් (Crew time limitation) ඉක්මවීමෙන් සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට පැය 12 ක විවේකයක් ලබාදිය යුතු වන බැවිනි. කොළඹ සිට පැයක ගුවන් ගමනකින් මාලදිවයින වෙත යෑමට යහපත් කාලගුණ තත්වයක් උදා වී තිබුණ ද ශ්‍රී ලංකාවේ ගාස්තු ගෙවීමේ ප්‍රමාදය ඔවුන්ට විශාල ගැටලුවක් විය.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ අදාළ ප්‍රධානීන් දැනුවත් කළද ක්ෂණික විසඳුමක් නොලැබුණු අතර ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවේ ගුවන් තොටුපළ ‘Araliya lounge’ හි ඇති ණය කාඩ්පත් යන්ත්‍රය හරහා ගෙවන ලෙසය. ඒ අනුව එම විදේශීය ගුවන් කාර්ය මණ්ඩලය රැගෙන ශ්‍රීලන්කන් කාර්ය මණ්ඩල සමාජිකයා ඊට මඳක් දුරින් පිහිටි Araliya lounge වෙත පැමිණි අතර කනගාටුවට කරුණ වූයේ එහි ණය කාඩ්පත් යන්ත්‍රයද ක්‍රියා විරහිත බව එහි නිලධාරීන් ප්‍රකාශ කිරීමයි. එහිදී මහත් අසරණ වූ විදේශීය ගුවන් කාර්ය මණ්ඩලය තම පෞද්ගලික ණය කාඩ්පත ඉදිරිපත් කර හැකි නම් ඉන් මුදල් අඩුකර ගන්නා ලෙස දැන්වීය.

එයද අසාර්ථක වූයෙන් ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවේ ගුවන් තොටුපළ මගී පර්යන්තය ඉදිරිපිට පිහිටි ‘Silk Route’ කාර්යාලයේ ණය කාඩ්පත් යන්ත්‍රයක් ඇති බැවින් එහි ගොස් ගෙවීම් කරන ලෙසය. නැවත මීටර් 500 කට ආසන්න දුරක් ගෙවා ‘Silk Route’ වෙත පැමිණ එම ගෙවීම සිදුකරන විට ප.ව. 02:15 පමණ වූ අතර මෙම සරල කාර්යය සඳහා පස්වරු 12:30 සිට 02:15 දක්වා පැය (1)කුත් මිනිත්තු 45 ක කාලයක් වැය කිරීමට විදේශීය ගුවන් කාර්ය මණ්ඩලයන්ට සිදුවිය.

එහෙත් විශේෂිත හා කනගාටුදායක කාරණාව වන්නේ මෙම අදාළ සියලු ගෙවීම් සිදුකර ගුවන් කාර්ය මණ්ඩලයන් ගුවන් යානයට පිවිස පිටත්වීමට සූදානම් වන විට අවසන් මොහොතේ සිදුවූ ප්‍රමාදයට අදාළව තවත් ඇ.ඩො. 48 ක මුදලක් ගෙවිය යුතු බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ බලධාරීන් ‘Condor Air’ ගුවන් සමාගමට දැනුම් දීමයි. එම අය කිරීම ඉතාමත් අසාධාරණ වන්නේ, එම අවසන් ප්‍රමාදයට හේතු වූයේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ අකාර්යක්ෂමභාවය හා අක්‍රමවත්භාවය හේතුවෙන් වීමයි.

ඒ වනවිටත් ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සේවාව සම්බන්ධයෙන් දැඩි කළකිරීමකින් පසු වූ විදේශීය ගුවන් කාර්ය මණ්ඩලය මෙම දැනුම් දීමෙන් පසු දැඩි ලෙස කලකිරීමටත් කෝපයටත් පත්ව 228 ක් වූ තම ගුවන් මගීන් වෙත නිවේදනයක් (Onboard Announcement) මගින් දැනුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා රජය මගින් ඇමරිකානු ඩොලර් 48 ක මුදලකට අපට රඳවා ගෙන ඇති බවයි. “The Government of Sri Lanka grounded our Aircraft for 48 US dollars.” මෙම සිදුවීමෙන් පසු එම ගුවන් කාර්ය මණ්ඩලයේ සේවා සීමාවන්ද (Crew time limitation) ඉක්ම වූ බැවින් සියලු ගුවන් මගීන් ගුවන් යානයෙන් බස්සවා මගී පර්යන්තය වෙත යැව්වද හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට ඔවුන්ට අවශ්‍ය විය. ඒ අනුව ඒ වනවිට මාලදිවයිනේ විවේක ගනිමින් සිටි ‘Condor Air’ කාර්ය මණ්ඩලය මාලදිවයිනේ සිට හැකි ඉක්මනින් එමිරේට්ස් ගුවන් යානයකින් කොළඹට ගෙන්වා ගෙන එදිනම සවස 08:15 ට මාලදිවයින බලා පිටත් වූයේ ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සේවාව පිළිබඳ දැඩි කලකිරීමකිනි.

මෙම සිදුවීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව දැඩි අප්‍රසාදයට පත්වීමක් මෙන්ම ඉදිරියේදී එය සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත්තේ ජර්මනිය යනු ශ්‍රී ලංකාවට වඩාත් ආකර්ෂණීය වූ සංචාරක වෙළෙඳ පොළක් බැවිනි.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

******************************************

පුවරසන්කුලමේ දී මනුෂ්‍ය ඝාතනයක්

(15.10.2021 – 07:16 +0530 – hirunews.lk/sinhala)

පුවරසන්කුලම පොලිස් වසමේ කට්පගපුරම් ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිඳ ව ඝාතනය කළ සිදුවීමක් වාර්තා වෙනවා. සැමියා සහ බිරිඳ අතර ඇති වූ පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී, සැමියා විසින් බිරිඳ ව තල්ලු කිරීමෙන් මෙම අනතුරු සිදු වී තිබෙනවා. අනතුරෙන් ඔළුව වැදී කාන්තාව සිහිසුන් වී ඇති අතර, සැකකරු විසින් කාන්තාවගේ සිරුරට භූමිතෙල් දමා ගිනි තබා ඇති බවයි වාර්තා වෙන්නේ.

මරණකාරිය වයස අවුරුදු 43 ක් වූ 04 වැනි පටුමඟ කට්පගපුරම් ප්‍රදේශයේ පදිංචිකාරියක්. සිදුවීමට සම්බන්ධ සැකකරු වයස අවුරුදු 46 ක ඉහත ලිපිනයේ ම පදිංචිකරුවෙකු වෙන අතර, ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (15) දින සැකකරු වව්නියා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පුවරසන්කුලම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

මේ අතර මීටියාගෙගොඩ – මැදදූව ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහර දී සිදු කළ ඝාතනයක් වාර්තා වෙන අතර, මියගොස් ඇත්තේ, වයස අවුරුදු 41 ක පුද්ගලයෙක්.

මොරටුව – එගොඩ උයන ප්‍රදේශයෙන් ද මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා. බහින්බස් වීමක් දුරදිග යාමෙනු යි එම ඝාතනය සිදු වී ඇත්තේ. මියගොස් තිබෙන්නේ, වයස අවුරුදු 71 ක පදිංචිකරුවෙක්. වයස අවුරුදු 26 ක සිද්ධියට සම්බන්ධ සැකකරු අද (15) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එගොඩ උයන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

******************************************

යොහානි යූ-ටියුබ් නාලිකාව රහුමාන්ගේ ග්‍රාහකයන් අභිබවයි

(15.10.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොවක් වසඟ කළ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි, යූ-ටියුබ් සමාජ මාධ්‍ය නාලිකාවේ ග්‍රාහකයින් සංඛ්‍යාව අතින් ඉන්දියාවේ විශිෂ්ට සංගීතඥයෙකු වන ඒ.ආර්. රහුමාන් අභිබවා තිබෙනවා.

රහුමාන්ගේ යූ-ටියුබ් ග්‍රාහකයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 2.93 ක් වන අතර, යොහානිගේ ග්‍රාහක සංඛ්‍යාව මිලියන 2.98 ක්.

සිය ‘ලුණු’ සංගීත කණ්ඩායම සමඟ පසුගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වූ යොහානි ගුරුග්‍රාම් සහ හයිද්‍රාබාද් හි දී ප්‍රසංග දෙකකට (2) සහභාගි වූ අතර, සුප්‍රකට බිග්බොස් ඉන්දීය ටෙලිවිෂන් රියැලටි වැඩසටහනට විශේෂ ආරාධනයක් ලැබ එක්වූයේ සල්මාන් ඛාන්ට ද මැණිකේ මගේ හිතේ ගීතයේ වදන් කියා දෙමින්.

යොහානි සතීෂාන් සමඟ ගැයූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මේ වනවිට යූ-ටියුබ් නාලිකාවේ 15,51,94,600 කට වඩා නැරඹුම්වාර පසුකර තිබෙනවා.

******************************************

සත්ත්ව ආහාර ආනයනයට පියවර

(15.10.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට සත්ත්ව ආහාර හිඟයට විසඳුමක් ලෙස සත්ත්ව ආහාර ආනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව කිරි, බිත්තර, ගොවිපොළ සංවර්ධන හා පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඊට අදාළ කැබිනට් අනුමැතියද මේ වන විට ලැබී ඇති බවයි.

මෙම වැඩපිලිවෙළ යටතේ බඩ ඉරිඟු, තිරිඟු සහ බාර්ලි ඇතුළු මෙරට සත්ත්ව ගොවිපොළවල ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන සත්ත්ව ආහාර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ යුරෝපීය රටවලින් ආනයනය කිරීමට නියමිතයි.

එම සත්ව ආහාර ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් සමඟ එකඟතාවන්ට ද එළඹ ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සඳහන් කළා.

එමෙන්ම දේශීයව නිෂ්පාදිත කිරිපිටිවල මිල සහ දේශීය කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා ෴

******************************************

පාසල් අනධ්‍යයන සේවකයිනුත් වර්ජනයකට සැරසේ

(15.10.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

අනධ්‍යයන සේවකයන්ගේ සේවය ලබා ගැනීම සඳහා, පාසල් විවෘත කිරීමට නියමිතව ඇති ලබන 21 වනදාට පෙර සිය ගැටලුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් විසින් පියවර ගත යුතු බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

එහි සභාපති අජිත්. කේ. තිලකරත්න ඊයේ (14) මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 21 වැනි දා සේවයට වාර්තා කිරීමට අනධ්‍යයන සේවකයන්ගේ සූදානමක් නොමැති බවයි.

මේ අතර, මේ දක්වා තමන්ට නිසි විසඳුමක් නොලැබී ඇති බැවින් 21 වැනි දා පාසල් විවෘත කිරීමට පෙර ඒ පිළිබඳව දැඩි තීන්දුවක් ගන්නා බව ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්ව වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති වෘත්තීය සමිතිද පවසනවා.

පාසල් විවෘත කිරීමෙන් පසු සේවයට වාර්තා කිරීම සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

******************************************

පිටකොටුවේ භූමිතෙල් ලිප් හිඟයක්

(15.10.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව ඇතුළු ප්‍රධාන නගර රැසක වෙළඳසැල් වල භූමිතෙල් උඳුන් හිඟයක් මතු වී තිබෙනවා.

ඒ වෙළඳපොළෙහි ගෑස් මිල ඉහළ යාමත් සමඟ වැඩි වශයෙන් භූමිතෙල් උඳුන් මිලට ගැනීම හේතුවෙන්.

එමෙන්ම වෙළඳපොළෙහි භූමිතෙල් උඳුන්වල මිල ගණන්ද රුපියල් 1,500 සිට 3,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි පිටකොටුව එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාර්ල්ස් මහතා කියා සිටියේ.

******************************************

ජීව උණ්ඩ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(15.10.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

ටී-56 ජීව උණ්ඩ 401 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව් – පුදුමාතලන් ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි වාර්තා වන්නේ ෴

******************************************

මෙරටට ගෙන් වූ පොහොර, වී හැර වෙනත් භෝග සඳහා ප්‍රමාණවත් නැහැ

(15.10.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

ලිතුවේනියාවේ සිට මෙරටට ගෙන් වූ පොහොර තොගය, මෙරට වී හැර වෙනත් බෝග සඳහා අවශ්‍ය පොටෑසියම් ප්‍රමාණය සැපිරීමට ප්‍රමාණවත් නොවන බව කෘෂිකර්ම විශේෂඥයන් පෙන්වා දෙනවා.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සඳහන් කළේ, කෙසේ වෙතත් මෙරට වී වගාව සඳහා අවශ්‍ය පොටෑසියම් ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් ලබාදීමට එම ආනයනික පොහොර තොගය ප්‍රමාණවත් බවයි.

මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ රජයේ සමාගම් විසින් ආනයනය කළ පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර රැගත් ‘වෙගොරාස්’ නෞකාව කොළඹ වරාය වෙත ළඟා වුණේ පසුගිය 13 වනදායි.

එම නෞකාව රැගෙනවිත් තිබූ පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 30,000 ක්.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, අදාළ පොහොර තොග බෙදා හැරීමේ කටයුතු මේ වනවිට අඛණ්ඩව සිදු කෙරෙන බවයි.

ඒ අනුව අම්පාර, මඩකලපුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ගොවිජන මධ්‍යස්ථාන වෙත අදාළ පොහොර තොග බෙදාහැරි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන අදින් (15) අවසන්

(15.10.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 674 දෙනෙකු ඊයේ (14) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,29,755 ක් දක්වා ඉහළ ගියා. ඊට ඔක්තෝම්බර් 01 වැනිදා සිට 07 වැනිදා දක්වා ප්‍රමාද වී වාර්තා කරන ලද ආසාදිතයින් 666 දෙනෙකුද ඊයේ (14) ඇතුළත් කෙරුණා.

ඊයේ (14) වාර්තා වූ නව ආසාදිතයන්ගෙන් 673 දෙනෙකු ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආසාදිතයින් වන අතර, විදේශයන් සිට පැමිණි එක් (1) ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණා. ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 24,722 ක් වන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 4,91,604 ක්.

පෙරේදා (13) සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තහවුරු කරන ලද කොරෝනා මරණ 21 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,429 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සහ එක් (1) වරක් පෙනී සිටි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අද (15) සිට ආරම්භ කෙරෙනවා.

ඒ අනුව එන්නත් ලබා ගැනීම සඳහා පැමිණෙන සිසුන් ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය වනවා.

මේ අතර, විශ්වවිද්‍යාල සිසුන් සඳහා දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන අදින් (15) අවසන් වීමට නියමිතයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, වෛද්‍ය පීඨ සහ සම සෞඛ්‍ය පීඨවල සිසුන් දැනටමත් එන්නත්කරණයට ලක්කර අවසන් බවයි.

මේ අතර, සයිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලබාගත් වයස අවුරුදු හැට (60) ට වැඩි පුද්ගලයින්ට කඩිනමින් 03 වැනි මාත්‍රාවක් ලබාදීමට ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ උපදේශන කමිටුව උපදෙස් ලබා දී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබෙනවා.

එම එන්නත් ලබාගත් වයස්ගත පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවන බවට ජාත්‍යන්තර පර්යේෂණවලින් අනාවරණ වූ කරුණු මත පදනම්ව බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, මෙරට භාවිතයට ගැනෙන එන්නත් සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයේ වාර්තාවද අද (15) හෝ හෙට (16) ප්‍රකාශයට පත්කරන බවයි ඔහු කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Condor Air යානයේ නිලධාරින්ට කල ඔලමොට්ටල සැළකීම

    හදිසි ආපදාවක් හේතුවෙන් ගොඩබස්වන ලද එම යානය මොනතරම් සුක්ෂම විදියට සල්ලි ගරා ගැනීමකට ලක්කොට එම යානයේ සිටින ගමන් කරුවන් පවා අන්තිම දරුණු විදියට අසරණ තත්වයකට පත් කිරීම ගැන අප ඔවුන්ට කණගාටුව ප්‍රකාශ කල යුතුව ඇත. මෙයත් COVID testing center එකට කලාමෙන් mafia gangster team එකකින් කරපු දෙයක් දැයි අපට කුතුහලයක් ඇත.

    BIA වැනි International ගුවන් තොටුපලක credit or debit card එකකින් ගෙවීමක් කරන්න බැරි වන විදියට කඩා වැටෙන්නට ඇරීම මම දකින්නේ හිතාමතාම එවැන්නක් වෙන්නට ඇර බලාසිටින විදියක්. Operational Rediness ගැන හාන්කවසියක් නොදන්නා බබ්බුද එවැනි තැන්වල පත් කොට ඇත්තේ කියල අහන්න වෙනව.

    මට හිතෙනවා මේක airport eke landing rights නැති කමත් කිසිම business agreement එකක් නැතිකමත් මත Condor air අපහසු කොට එහි ගමන් කරන මගීන් ගෙන් දෝශාරෝපණයක් ඇතිකිරීමට කල ඉතාම අශෝබන ක්‍රියාවක් බව තමයි කෙලින්ම පේන්න තියෙන්නේ. මෙවැනි මොට්ට ක්‍රියාවන්ට උඩගෙඩි දෙන සහ අනුමත කරන ඉහළ තනතුරු දරන නිලදාරීන් මේවාට උත්තර දිය යුතුය. මේ සම්බන්දයෙන් එම සමාගම IATA එකට report කොට BIA එක operational rediness නැති airport ekak විදියට මාද්‍ය ගත නොවුනොත් එය පුදුමයකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *