දුරකතන ග්‍රාහකයින්ට අංකය වෙනත් ජාල වෙත රැගෙන යාමේ සේවයට නීතිමය අනුමැතිය

දුරකතන ග්‍රාහකයින්ට අංකය වෙනත් ජාල වෙත රැගෙන යාමේ සේවයට නීතිමය අනුමැතිය

*********************************************

දුරකතන ග්‍රාහකයින්ට අංකය වෙනත් ජාල වෙත රැගෙන යාමේ සේවයට නීතිමය අනුමැතිය

(14.10.2021 – 11:23 +0530 – hirunews.lk/sinhala)

සියලු ම දුරකතන ග්‍රාහකයින්ට තම දුරකතන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ සේවාව සඳහා නීතිමය අනුමැතිය ලබා දී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා.

එහි දී සියලු ම දුරකතන ග්‍රාහකයින්ට තම දුරකතන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව, දැන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා ප්‍රකාශ කලා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය සහ ගමට සන්නිවේදන ව්‍යාපෘතිය පිළිබදව මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා.

ඒ අනුව දුරකතන සංඥා ගැටලු මඟ හැරීම සඳහා ෆෝ-ජී (4G) තාක්ෂණය ලබාදීම සඳහා කුළුණු ඉදිකිරීම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කර ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ එවැනි කුළුණු 35 ක් ඉදිකරමින් පවතින බවයි ඔහු සදහන් කළේ ෴

******************************************

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර මූල්‍යකරණය ව්‍යාප්ත කිරීම සඳහා ගිවිසුමක්

(14.10.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් ‘යූ.එස්.ඒඩ්’, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර මූල්‍යකරණය ව්‍යාප්ත කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.

මෙරට මීළඟ ව්‍යාපාර පරම්පරාව පෝෂණය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි එම ආයතනයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ අධ්‍යක්ෂ රීඩ් ඈෂ්ලිමන් පැවසුවේ.

මෙය ස්වශක්තිය, ස්ථායී බව සහ ආර්ථික අභිවෘද්ධිය ප්‍රවර්ධනය වෙනුවෙන් වන ඇමෙරිකා – ශ්‍රී ලංකා හවුල්කාරීත්වයේ එක් අංගයක් බවද මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

******************************************

මුතුරාජවෙල අභයභූමිය ආසන්නයේ සිදු කරන ඉදිකිරීම් ගැන විමර්ශනක්

(14.10.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල අභය භූමිය ආසන්නයේ සිදු කරන ලද ඉදිකිරීම් පරීක්ෂාව සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා වනජීවි අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම් යොදවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මුතුරාජවෙල අභය භූමිය ආසන්නයේ කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කරගෙන යනු ලබන ඉදිකිරීම් සම්බන්ධ නෛතික තත්ත්වය හා එහි බලපෑම මෙන්ම ප්‍රේරණ කලාපයට සිදුව ඇති හානිය වහා සොයා බලන ලෙසටයි අමාත්‍යවරයා එම කණ්ඩායමට උපදෙස් ලබා දී ඇත්තේ.

දේශගුණික විපර්යාසයන්ට විසඳුම් ලබාදෙමින් හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ පළමු රාජ්‍ය අමාත්‍ය අනුකමිටුව ඊයේ (13) පරිසර අමාත්‍යාංශයේදී රැස් වූ අතර, එහිදී විෂය භාර අමාත්‍යවරයා මෙම දැනුම්දීම කර තිබෙනවා.

******************************************

නිත්‍ය තැන්පතු සහ ණය පහසුකම් අනුපාත ගැන මහබැංකුවේ තීරණය

(14.10.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (13) රැස් වූ අවස්ථාවේදීයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 5% මට්ටමේ සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 6% ක් ලෙස දැනට පවතින මට්ටමේම පවතිනු ඇති.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% ක මට්ටමේ නොවෙනස්ව පවතින බවද මහ බැංකුව නිවේදනය කළා ෴

******************************************

පුද්ගලයන් 23 ක් සමඟ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (2) නාවික හමුදා භාරයට

(14.10.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පේදුරුතුඩුවට නැගෙනහිර මුහුදේදී කළ වැටලීමකදීයි මෙම යාත්‍රා නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

එම අවස්ථාවේ යාත්‍රා දෙකෙහි සිටි පුද්ගලයන් 23 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනා වැඩිදුර විමර්ශන සඳහා මයිලඩි ධීවර දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

******************************************

නීතිවිරෝධී මත්පැන් පෙරූ දෙදෙනෙකු (2) මිනුවන්ගොඩදී කොටු වේ

(14.10.2021 – 10:00 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (13) පස්වරුවේ (13) විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය එහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් බෝතල් 333 ක් ,තඹ දඟර 02 ක්, ගෑස් සිලින්ඩර් 01 ක් සහ යකඩ බැරල් 04 ක් විශේෂ කාර්යය බලකාය සිය භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 සහ 38 වැනි වියෙහි පසුවන්නන් වන අතර, ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සැකකරුවන් මිනුවන්ගොඩ පොලීසිය වෙත භාර දී තිබෙනවා ෴

******************************************

අපි ඉදිරි ණය ගෙවන්න IMF පිටිපස්සේ යන්නෙ නෑ – මහ බැංකු අධිපති කියයි

(14.10.2021 – 12:42 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 6% ලෙස නොවෙනස්ව පවතිනු ඇති.

ගෝලීය සාර්ව ආර්ථික තතත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි මුදල් මණ්ඩලය නිවේදනය කරන්නේ.

ඉදිරියේදී මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා අංශ කිහිපයකින් මූල්‍ය සම්පාදනය සිදු වනු ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියා.

ඒ මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (13) රැස් වූ අවස්ථාවේදීයි.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% ක මට්ටමේ නොවෙනස්ව පවතින බවද මහ බැංකුව නිවේදනය කළා.

මේ අතර BLOOMBERG රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ මහබැංකු අධිපතිවරයා යළි අවධාරණය කළේ, මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බවයි.

මාධ්‍යවේදියා : විදේශ විනිමය අනුපාතිකය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද? මොකද කලාපයේ සෙසු මුදල් ඒකක හා සැසඳීමේදී රුපියල එතරම් හොඳ හැසිරීමක් නෙවෙයි පෙන්නුම් කරන්නේ.

අජිත් නිවාඩ් කබ්රාල් : මේ වසරේදී රුපියල 6.8% කින් පමණ අවප්‍රමාණය වුණා. මම විශ්වාස කරන විදිහට එය අපි අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි අගයක්. අපි දැන් ක්‍රියා කරගෙන යනවා ණය නොවන ගලා ඒම් සහ රජයන්ගෙන් – රජයන්ට ගලා ඒම් වැඩි කරගන්න. එමගින් අපිට පුළුවන් වෙයි විනිමය අනුපාතිකය ක්‍රමයෙන් පාලනය කරගන්න. එය ණය ආපසු ගෙවීමටත්, ඒ වගේම භාණ්ඩ මිල ජනතාවට දරාගත හැකි මට්ටමකට පවත්වාගෙන යෑමේ රජයේ වැඩපිලිවෙලට ද පහසු තත්ත්වයක් ඇති කරයි.

මාධ්‍යවේදියා : කබ්රාල් මහත්මයා, තවත් කාරණා දෙකක්. ජනවාරි මාසයේදී මිලියන 500 ක බැඳුම්කරයක් හා බිලියන 1 ක බැඳුම්කරයක් ජූලි මාසයේදී ආපසු ගෙවන්න නියමිතව තිබෙනවා. ඔබ මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු වන්නට බලාපොරොත්තු වෙනවාද? එහෙමත් නැත්නම් ඒ සඳහා වන මාර්ගය සම්පූර්ණයෙන්ම අහුරා දමා ද තිබෙන්නේ?

අජිත් නිවාඩ් කබ්රාල් : IMF වෙත යොමු වීම මේ වෙලාවේ අවශ්‍ය නැහැ. මොකද අපි ජනවාරි සහ ජූලි ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවිය හැකි ස්ථාවරයක සිටිනවා. මොකද රට තුළට මුදල් ගලා ඒමේ ප්‍රවාහ රැසක් මේ වනවිට අපි පෙළගස්වලයි තියෙන්නේ. IMF එකත් බොහෝ විට කියාවි පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ආර්ථිකයේ පවතින තත්ත්වයන් මත නිර්ණය වෙන්න ඉඩ දෙන්න කියලා. ඒකම තමයි අපි දැනුත් කරන්නේ. ඒ වගේම මා ඔබට පැවසූ පරිදි නව මුදල් ප්‍රවාහ අපි අපේක්ෂා කරනවා. ඒ අනුව IMF එක යෝජනා කරන ආකාරයේ වැඩපිලිවෙලකට සමාන වැඩපිළිවෙළක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. මේ නිසා මම විශ්වාස කරනවා අපගේ ණය කරුවන්ට කිසිදු බලපෑමකින් තොරව අදාළ ගෙවීම් කටයුතු කරන්නට හැකියාව ලැබෙයි කියලා. අපිට ඒ ශක්තිය තියෙනවා.

******************************************

ලංකාවට බැන්න සුද්දා ට වැඩේ වරදියි

(14.10.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට හා නියෝජිත ආයතනය සම්බන්ධ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ආපසු හැරීයාමට සිදු වූ බවට මෙරටට පැමිණි අමෙරිකානු සංචාරකයෙකු වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හරිමින් කළ ප්‍රකාශය ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම ප්‍රතික්ෂේප කරනවා.

එහි මෙහෙයුම් අධ්‍යක්ෂ ශෙහාන් සුමනසේකර මහතා පැවසුවේ අදාළ සංචාරකයා පිළිබඳ කළ සී.සී.ටී.වී. විමර්ශනවලින්ද ඔහුගේ ප්‍රකාශය අසත්‍ය බවට පැහැදිලිවන බවයි.

තමන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට සහ නියෝජිත ආයතනය සම්බන්ධ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් පැය 5 ක පමණ කාලයකට පසු ආපසු හැරීයාමට සිදු වූ බව පවසමින් මෙරටට පැමිණි අමෙරිකානු සංචාරකයෙකු සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදා හැර තිබුණේ පසුගිය 07 වැනිදායි.

අනතුරුව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද මේ සම්බන්ධ පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විමර්ශනයක් සිදුකර ඇති අතර එහි වාර්තාව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා වෙත භාරදී තිබෙනවා.

ජෝර්ජ් නමැති අමෙරිකානු සංචාරකයා මෙරටට පැමිණීමට පෙර ජර්මනියේ ලියාපදිංචි තෙවන පාර්ශ්ව වෙබ් අඩවියකින් මෙරට කුලී රථ සමාගමක කුළී රථයක් වෙන් කරගෙන ඇත්තේ පසුගිය 06 වැනිදාටයි.

නමුත් ගුවන් තොටුපොළ වාර්තා අනුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 07 වැනිදා වන අතර පෙර දිනයේ අදාළ කුලී රථ රියදුරා ඔහු වෙනුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ බලා සිටි බවද වාර්තා වනවා.

අදාළ අමෙරිකානු සංචාරකයා පලකළ අදහස් පහතින් :

******************************************

සුදුලූනු වංචාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 5 දෙනාට ඇප

(14.10.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා සතොස’ ආයතනයේ සිදු වූ බව කියන සුදුලූනු වංචාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සුදුලූනු මිල දී ගත් ව්‍යාපාරිකයා ඇතුළු 5 දෙනාට ඇප නියම කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව අද (14) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කැඳ වූ අවස්ථාවේදීයි.

එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.

මෙම සිද්ධියට අදාළව ලංකා සතොසේ මිල දී ගැනීම් පිළිබද සහකාර සාමාන්‍යාධිකාරීවරියකු, ජ්‍යේෂ්ඨ සැපයුම් කළමනාකරුවෙකු, සැපයුම් කළමනාකාරවරයෙකු සහ තොග අලෙවිසැල් කළමනාකරුවෙකු පසුගිය දා අත්අඩංගුවට ගෙන අද (14) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

එම සුදුලූනු මිල දී ගත් බලපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ද පසුගිය දා අත්අඩංගුවට ගෙන අද (14) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගැනුණේ ෴

******************************************

පුද්ගලයෙකුගේ මාසික වියදම රුපියල් 5353 ක් දක්වා ඉහළට

(14.10.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

මෙරට එක් (1) පුද්ගලයෙකුට සිය මුලික අවශ්‍යතා සපුරා ගැනීම සදහා මාසයකදී අවම වශයෙන් රුපියල් 5353 ක වියදමක් දැරීමට සිදුවන බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අගොස්තු මාසයට අදාලව එම දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්ක අනුව නිකුත් කළ දත්තවලට අනුවයි.

ඒ අනුව මාසිකව වැඩිම පිරිවැයක් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන පුද්ගලයෙකුට දැරීමට සිදුව ඇති අතර, එය රුපියල් 5810 ක් ලෙස දැක්වෙනවා.

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව අගෝස්තු මාසයට අදාලව නිකුත් කළ දත්ත අනුව අඩුම පිරිවැයක් සහිතව ජීවත්වීමට හැකි දිස්ත්‍රික්කය වන්නේ මොණරාගලයි.

එම දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුට සිය මුලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් සඳහා වැයවන මුදල රුපියල් 5040 ක් ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඊයේත් (13) පුද්ගලයින් 69,000 කට එන්නත්

(14.10.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් 69,902 කුට ඊයේ (13) එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 12,189 දෙනෙකුටත් (2) දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 51,717 කටත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 4552 කට ලබා දී ඇති බවයි.

මේ අතර, අවුරුදු 20 ට වැඩි පුද්ගලයින්ගෙන් 85% කට එන්නත් ලබා දී අවසන් වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *