බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිකුරාදා (15) සිට යළි ඇරඹෙයි

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිකුරාදා (15) සිට යළි ඇරඹෙයි

*********************************************

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිකුරාදා (15) සිට යළි ඇරඹෙයි

(13.10.2021 – 18:22 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන සිකුරාදා (15) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අද (13), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය සමග බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පවත්වන ලද සාකච්ඡාවකදී ඇති කර ගත් එකගතාවකට අනුවයි.

ඒ අනුව මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ හැර බස්නාහිර පළාතේ ලියාපදිංචි අනෙකුත් වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබාදීම බස්නාහිර පළාත් මෝටර්රථ දෙපාර්තමේන්තුවෙන්, කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් සිදුකරන බවයි බස්නාහිර පළාත් මාධ්‍ය අංශය නිවේදනය කළේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය විසින් පද්ධති පරිපාලකත්වය දරන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතිය වරින් වර බිඳවැටීම් හේතුවෙන්, දිවයින පුරා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට පසුගිය දිනවල බාධා එල්ල වුණා.

එය අඛණ්ඩව සිදුනොවීම හමුවේ මහජනතාව අසීරුතාවයකට පත්වීම වැළැක්වීම සම්බන්ධයෙන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය සමඟ අද (13) සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

ඒ අනුව ඔවුන්ගේ එකඟතාවය මතයි පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ හැර බස්නාහිර පළාතේ ලියාපදිංචි අනෙකුත් වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිකුරාදා (15) දින සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.

ලබන 27 වන දින සිට දැනට පවතින පරිගණක පද්ධතියේ ධාරිතාව සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ ලියාපදිංචි සියළුම වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යථාවත් කිරීමට අපේක්ෂා කරන බව බස්නාහිර පළාත් මාධ්‍ය අංශය සඳහන් කළා.

එමෙන්ම, අද (2021.10.13) පස්වරු 05:00 සිට පසුදා (14) පෙරවරු 07:00 දක්වා www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් බස්නාහිර පළාතේ ලියාපදිංචි සියලුම වාහන සඳහා මාර්ගගත ක්‍රමවේදය (online) ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සැලසීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය කර තිබෙනවා.

මීට පෙර දැන්වූ පරිදි 2021.08.12 දින සිට කල් ඉකුත් වන බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන ආදායම් බලපත්‍ර හිමියන්ට 2021.12.31 වන දින දක්වා ලබාදී ඇති සහන කාලය තවදුරටත් ක්‍රියාත්මක වන බව ද බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළා ෴

******************************************

මැටි ආශ්‍රිත නිර්මාණකරුවන් අසීරුතාවක

(13.10.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

මැටි පිඩක්, නෙතට ප්‍රිය උපදන නිර්මාණයක් බවට පත්කිරීම ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවෙයි.

එලෙස දැකුම්කලු මැටි නිර්මාණ කරමින් මෙරටට විදේශ විනිමයද උපයා දුන් පිරිසක් අද පත්ව ඇති අසරණභාවය පිළිබඳවයි මේ පුවත.

******************************************

කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් සණස බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

(13.10.2021 – 14:40 +0530 – hirunews.lk/sinhala)

සණස සංවර්ධන බැංකුව කාන්තාවන් සවිබල ගන්වමින් ඩිජිටල් පෙරළියක් සමග නව ආයතනික ප්‍රචාරණ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය යෝජනා ක්‍රම හඳුන්වාදීම, කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සහ මහජනතාව වෙත ඩිජිටල් බැංකුකරණයෙන් උපරිම ප්‍රතිලාභ ලබා දීම මෙහි ප්‍රමුඛ අරමුණයි.

******************************************

බෙල්ලන්විල විහාරස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනේ

(13.10.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

බෙල්ලන්විල විහාරස්ථානයේ තාප්පය අසළ තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ, විහාරස්ථානයේ සේවකයින් දෙදෙනෙකු (2) විසින් කළ දැනුම් දීමකට අනුව අද (13) පෙරවරුවේ මෙම අත්බෝම්බය සොයා ගත් බවයි.

පසුව එය නිශ්ක්‍රීය කිරිමට කටයුතු කර තිබෙනවා ෴

******************************************

නව කැලණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ඇති වන මාර්ග තදබදයට විකල්ප මාර්ග

(13.10.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

නව කැලණි පාළමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට රියදුරන්ගෙන් සහ ජනතාවගෙන් පොලීසිය ඉල්ලීමක් කරනවා.

ඒ අනුව කොළඹට ඇතුළුවීම සඳහා නුවර මාර්ගයෙන් පැමිණෙන වාහන බේස්ලයින් මාර්ගය භාවිතා නොකර නවලෝක වට රවුම හරහා තොටළඟ හන්දිය, වේල්ස් කුමාර මාවත හෝ බ්ලුමැන්ඩල් පාර භාවිතා කළ හැකියි.

මීට අමතරව මීගමුව පාරෙන් පැමිණෙන රථ වාහනවලට කදිරාන පාළම, අලුත් මාවත ඔස්සේ කොළඹට ඇතුළු විය හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම පරණ අවිස්සාවේල්ල මාර්ගය දෙසින් පැමිණෙන වාහනවලට ස්ටේස් පාර, කොස්ගස්හන්දිය, ලෙයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ මාර්ගයෙන් වේල්ස් කුමර මාවත ඔස්සේ කොළඹට පැමිණීමේ හැකියාව පවතිනවා ෴

******************************************

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජනපති හමුවෙයි

(13.10.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

ඉන්දිය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන් අද (13) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා.

කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අසල්වැසි රටවල ස්ථාවරභාවය තම රට ඉහළින් අපේක්ෂා කරන බව ජෙනරාල්වරයා එහිදී සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඉන්දීය හමුදා පුහුණුවීම් මගින් මෙරට හමුදා නිලධාරින්ට ලැබෙන නායකත්ව හැකියාව පිලිබඳව ජනාධිපතිවරයා ඉන්දීය යුද හමුදා ප්‍රධානියාට සිය ප්‍රසාදය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ අතර ඉන්දීය යුද හමුදා ප්‍රධානියා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මෙන්ම, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද හමුවුණා.

******************************************

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ සුබ්‍රමනියම් ස්වාමි ජනපතිවරයා හමුවෙයි

(13.10.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර සුහද හමුවක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

අමාත්‍ය ධුර කිහිපයක් හොබවා ඇති සුබ්‍රමනියම් ස්වාමි මහතා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ශක්තිමත් මිත්‍ර සබඳතාවක් වෙනුවෙන් පෙනී සිටි සහ ශ්‍රී ලංකාව තුළ පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව සහාය විය යුතු බව අවධාරණය කළ අයෙක්.

ආර්ථික විද්‍යාඥයෙකු සහ සංඛ්‍යාලේඛනඥයෙකු වන සුබ්‍රමනියම් මහතා ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටිය දී සංවිධාන කළ සම්මන්ත්‍රණවල දේශකයෙකු ද වුණා.

සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ මෙවර සංචාරයේ දී නැවතත් හමුවීමට ලැබීම පිළිබඳව ජනාධිපතිතුමා සිය සතුට පළ කළා ෴

******************************************

කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000 ක් කොළඹ වරායට

(13.10.2021 – 18:37 +0530 – hirunews.lk/sinhala)

රජ‍යේ පොහොර ආයතන දෙකක් (2) විසින් මිලදී ගනු ලැබූ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000 ක් කොළඹ වරායට පැමිණි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාදීමේ වැඩසටහන අද (13) අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරුණු අතර, මෙම දීප ව්‍යාප්ත වැඩසටහනට සමගාමීව මෙම කාබනික පොහොර තොගය මෙරටට ආනයනය කෙරුණා.

ඒ අනුව මෙම පොහොර තොගය ලැබීමත් සමග සෙසු දිස්ත්‍රික්කවල ද වී ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ලබාදීමට කටයුතු සලසා ඇති බවයි පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කාබනික පොහොර ලබාදීමේදී වී වගාව සුලබව සිදු කෙරෙන අම්පාර, හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල, පුත්තලම සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාව ලබාදීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා ෴

******************************************

බලශක්ති ඇමති – වෘත්තිය සමිති මහ ගැටුමට හිරු වේදිකාව සුදානම් ! තෙල් ටැංකි බේරා ගැනීමේ සටනට ඇමතිටත් එක් වන්නට වෙයි ද ?

(13.10.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරි තත්ත්වය පිළිබදව විවෘත සංවාදයකට එන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් හට පසුගියදා විවෘත අභියෝගයක් සිදු කළා.

එහිදි අමාත්‍යවරයා කියා සිටියේ, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් චෝදනා නඟන ආකාරයට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා නොමැති බවට, ඔප්පු කළහොත් ඔවුන් නඟන ප්‍රමුඛ චෝදනාව වන මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකිණීමට මෙම රජය උත්සාහ දරන බවට සිදු කෙරෙන ප්‍රකාශයන් හා එක්ව එම සටනට තමන් ද සහය දෙන බවයි.

අමාත්‍යවරයාගේ මෙම අභියෝගය පිළිගත්, ඛනිජ තෙල් වාණිජ කර්මාන්ත හා සේවා සේවක සංගමයේ සභාපති බන්දුල සමන්, ඛනිජ තෙල් වෘත්තීය සමිතයේ සභාපති අශෝක රංවල, ඛනිජ තෙල් වෘත්තීය සමිතයේ කැඳවුම්කරු ආනන්ද පාලිත යන මහත්වරු අමාත්‍යවරයා සමඟ විවෘත සංවාදයකට එකඟතාවය පළ කළා.‍‍

ඒ අනුව අදාළ සංවාදය හෙට (14) රාත්‍රී 10:30 හිරු රූපවාහිනි ‘බලය’ වැඩසටහන ඔස්සේ විකාශය කෙරෙනු ඇති ෴

14-10-2021

******************************************

විදේශ ඇමති විදෙස් තානාපතිවරුන් හමුවෙයි

(13.10.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා දරණ ප්‍රයත්නයට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ සහය අවශ්‍ය බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විදෙස් තානාපතිවරුන් හමුවේ ප්‍රකාශ කළා.

ඒ විදේශ අමාත්‍යාංශයේදී මෙරට සිටින රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව අද (13) අමතමින්.

ජී.එස්.පී. පහසුකම අඛන්ඩව පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය බවයි විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

එන්නත්කරණ වැඩපිලිවෙල සහ කොරෝනා අභියෝගය හමුවේ වන ඉදිරි සැලසුම් පිළිබඳව ද රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කළ ඔහු ආර්ථික සහ සංචාරක කටයුතු යළි ආරම්භ කිරීමට ඔවුන්ගේ සහය ඉල්ලා සිටියා.

ජගත් මානව හිමිකම් කවුන්සිලය සමග පවතින ශ්‍රී ලංකාවේ අඛන්ඩ සහයෝගිතාව මෙන්ම, දේශීය ආයතන තුලින් සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ ලබා ඇති ප්‍රගතිය ද මෙහිදී විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පැහැදිලි කර තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් ට එළඹෙන සිකුරාදා (15) දිනයේ දී ෆයිසර් එන්නත

(13.10.2021 – 16:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් ට එළඹෙන සිකුරාදා (15) දිනයේ දී ෆයිසර් එන්නත ලබාදීමට නියමිතයි.

වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම එළඹෙන 21 වනදා පාසල්වලදී සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

එහි නියමු ව්‍යාපෘතිය ලෙස මෙම වැඩසටහන එළඹෙන 15 වන සිකුරාදා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශ, අතිරේක ලේකම්, එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසා සිටියේ, සියලුම සිසුදරු දැරියන් හැඳුනුම්පත සමග එන්නතකරණ වැඩසටහනට සහභාගී විය යුතු බවයි.

+++++++++++++++++

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයෙන් උපදෙසක්

(13.10.2021 – 17:52 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් විවාහ මංගල උත්සව ඇතුලු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේවන විටත් රටතුල කොවිඩ් වසංගතයේ අවදානම් තත්වය පහවගොස් නොමැති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

පවතින තත්වය අවබෝධ කරගනිමින් නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබියදීත් උත්සව පැවැත්වීම සදහා අවසර ඉල්ලමින් දෛනිකව විශාල සංඛ්‍යාවක් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල වෙත පැමිණෙන බවද ඔහු කියා සිටියා ෴

++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 513 ක් – මරණ 31 ක්

(13.10.2021 – 18:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 513 දෙනෙකු අද (13) දිනයේ මේ දක්වා කාලය තුළදී හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,28,248 ක් ලෙසයි පවතින්නේ.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 23,602 ක්.

මෙරට කොරෝනා ආසාදිතයින් අතුරින් තවත් 438 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත 4,91,238 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් ඊයේ (12) දිනයේදී තවත් කොරෝනා මරණ 31 ක් වාර්තා වී තිබෙනවා. ඉන් 23 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 08 ක් අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා. ඒ අනුව සමස්ත කොරෝනා මරණ 13,408 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *