පාසල් ආරම්භයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් වෙයි

පාසල් ආරම්භයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් වෙයි

*********************************************

පාසල් ආරම්භයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් වෙයි

(13.10.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

පාසල් ආරම්භ කරනවිට දැනට නිකුත් කර ඇති ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කිරීමට සිදු වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි ඔහු මෙම අදහස් පළ කළේ.

එමෙන්ම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සදහන් කළේ, පාසල් විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා සිය සංගමය පූර්ණ දායකත්වය ලබාදෙන බවයි.

මේ අතර, පිරිවෙන් සහ ශීලමාතා ආරාම හෙට (14) යළි ආරම්භ කිරීමට නියමිතයි.

දහම් පාසල් භික්ෂු අධ්‍යාපන සහ පිරිවෙන් රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට අවසර ලබා දී ඇති බවයි.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ගුරු – විදුහල්පති වර්ජනය අඛණ්ඩව

(13.10.2021 – 10:41 +0530 – hirunews.lk/sinhala)

අද (13) පැවති සාකච්ඡාවකින් අනතුරුව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති මාර්ගගත වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා වෘත්තීය සමිති 31 ක් සහභාගි වුණා.

මේ අතර, වැටුප් ගැටලුව මුල් කර ගනිමින් මාස 3 කට අධික කාලයක් ඔන්ලයින් පන්ති වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඊයේ (12) දහවල් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

එහිදී වැටුප් විෂමතාව අදියර දෙකකින් (2) මුළුමනින්ම විසදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෘත්තීය සමිති වෙත දැනුම් දී තිබෙනවා.

වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය කමිටුව යෝජනා කළ විසදුමට අනුව විෂමතා දුරලීම සදහා ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුපට එකතු කළ යුතු මුදල තුනකට (3) බෙදා ඉන් එක් කොටසක් 2022 ජනවාරියේදී ලබාදීමටත්, ඉතිරි කොටස් දෙක 2023 ජනවාරියේදී එකවර ලබාදීමටත් රජයේ පාර්ශවයේ අවසන් විසඳුම ලෙස යෝජනා කර තිබුණා.

එහෙත් වෘත්තීය සමිති ඉල්ලා ඇත්තේ, එකවර එම විෂමතාව දුරලීමට පියවර ගන්නා ලෙසටයි.

කෙසේ වෙතත් රටේ පවතින තත්ත්වය හමුවේ ඊට එකවර විසදුම් ලබාදිය නොහැකි බව රජයේ පාර්ශවයෙන් දැනුම් දී තිබෙනවා.

******************************************

සිංහරාජයේ වල්ලපට්ට කැපූ අයෙකුට වැඩ වැරදෙයි

(13.10.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)

ලෝක උරුම රක්ෂිතයක් ලෙස සැලකෙන සිංහරාජයට ඇතුළු වී වල්ලපට්ට කැපූ පුද්ගලයෙකු විශේෂ කාර්යය බලකා‍ය දෙනියාය කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මොරවක පොලිස් වසමේ අඹේවෙල, කළුබෝවිටියන ප්‍රදේශයේදීයි.

බූස්ස යුද හමුදා නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව සිදු කළ මෙම වැටලීමේදී බලපත්‍රයක් රහිතව වල්ලපට්ටා දැව කපා, එම දැව කොටස් නිස්සාරණය කරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය 49 හැවිරිදි පුද්ගලයෙකු වල්ලපට්ටා කිලෝග්‍රෑම් 650 කට අධික තොගයක් සමඟ අත්අඩංගුවට ගැනුණා.

වැටලීම සිදු කරන අවස්ථාවේදී නිස්සාරණය කර තිබූ ද්‍රවණ මිලිලීටර් 30 ක්, බීකර 05 ක් සහ බොයිලේරු 05 ක් විශේෂ කාර්යය බලකා නිලධාරීන් සිය භාරයට ගැනුණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට අත්අඩංගුවට ගත් සැකකරු දියදාව අඩවි වන කාර්යාලය වෙත භාර දී තිබෙනවා ෴

******************************************

අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව පවත්වාගෙන යාමට නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලයි

(13.10.2021 – 11:43 +0530 – hirunews.lk/sinhala)

2015 වසරේ පෙබරවාරි මස මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ නඩුවේ මේ වනවිට විදේශගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණය හමුවේ ඉල්ලා සිටියා.

ඒ මෙම නඩුව චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බළල්ලේ යන ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේදී අද (13) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

2015 වසරේ පෙබරවාරි මාසයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාවට විත්තිකරුවන් වූ අදාළ සැකකරුවන් දෙදෙනා (2) මේ වනවිටත් විදේශගතව සිටින බවයි වාර්තා වන්නේ.

නඩුවේ පළමුවන (1) විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති අතරල ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය සමඟ උදර්පණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත් එය සක්‍රීයව පවතින බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කියා සිටියා.

එම උදර්පණ ක්‍රියාවලිය සම්පූර්ණ වීම සඳහා කාලය ගත වන හෙයින් විත්තිකාර පළමු පාර්ශ්වය රහිතව නඩු විභාගය ආරම්භ කිරීම සඳහා සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී දැනුම් දුන්නේ.

මෙම නඩුවේ 10 වන විත්තිකරු වශයෙන් නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තා මේ වන විට මැලේසියාවේ වාසය කරන බවට අධිකරණයට තොරතුරු ලැබී තිබෙනවා.

උදර්පණ නීතිය යටතේ ඔහු මෙරටට ගෙන්වා ගැනීම ප්‍රායෝගිකව අපහසු බවට කරුණු අනාවරණය වී ඇති හෙයින් එම විත්තිකරු නොමැතිව නඩුව පවත්වාගෙන යාම සඳහා සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් නාවාන මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුවල අදාළ නඩුව යළි දෙසැම්බර් මස 03 වනදා කැඳවීමට නියමිත අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින එම විත්තිකරුවන් දෙදෙනා (2) නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට අවශ්‍ය සාක්ෂි මෙහෙයවීමට පියවර ගන්නා ලෙසට ද පැමිණිල්ලට නියෝග කෙරුණා.

එහිදී අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කළ ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ උදර්පණ ක්‍රියාවලියේ ප්‍රගතියක් පවතී නම් ඒ පිළිබඳ මෝසමක් මාර්ගයෙන් අධිකරණය දැනුවත් කරන ලෙසට ද නියෝග කළා.

2015 වසරේ පෙබරවාරි මස 27 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවට බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පොදු දේපළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරු වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් සහ සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට (10) එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කරනු ලැබුවා.

******************************************

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනා නීතිපති ඉවත් කර ගනී

(13.10.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති අධිචෝදනා ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අද (13) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා ගෙන ඇති තීරණය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි හිටපු නාවික හමුදාපතිවරයා ගොනු කර ඇති පෙත්සම කැදවූ අවස්ථාවේදියි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මෙම දැනුම් දීම සිදු කළ අතර, නඩුව සෝභිත රාජකරුණා, ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබුවා ෴

******************************************

තේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

(13.10.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

නෝර්වුඩ් ස්ටොක්හොම් වතු යායේ තේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (13) දහවල් බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ, වතු කම්කරුවන් 15 දෙනෙකු පමණ බඹරුන්ගේ ප්‍රහාරයට ලක් වී ඇති බවයි.

ඉන් 5 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා ෴

******************************************

ලුණුගම්වෙහෙර දකුණු ඉවුරේ ගොවීන් වී වගාව අත්හරී

(13.10.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාණවත් පරිදි පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය සහ වගා හානියට ලබාදෙන වන්දි මුදල නිෂ්චිතව ප්‍රකාශ කරන තුරු මෙවර මහ කන්නයේ වී වගාවෙන් ඉවත් වීමට ලුණුගම්වෙහෙර දකුණු ඉවුරේ ගොවීන් තීරණය කර තිබෙනවා.

මේ අතර, මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීමේ වැඩපිලිවෙළ අදින් (13) ආරම්භ කෙරුණා.

ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයෙන් පොහොර බෙදාහැරීම ආරම්භ වූ අතර, ඊට සමගාමීව අනෙක් ප්‍රදේශවලද පොහොර බෙදාහැරීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

පසුගිය දා ගොවීන් විරෝධතා දක්වමින් චෝදනා කළේ, තමන්ට රසායනික පොහොර ලබා දෙන ලෙසටයි.

ලුණුගම්වෙහෙර දකුණ ඉවුරේ කන්න රැස්වීම ඊයේ (12) ලුණුගම්වෙහෙරේදී පැවැත්වුණු අතර එහිදී ගොවි නියෝජිතයින් පෙන්වා දුන්නේ එළඹෙන නොවැම්බර් මස පළමුවන (01) දිනට පෙර පොහොර ගැටලුවට සහ වගාහානි සඳහා වන්දි සම්බන්ධයෙන් නිසි පිලිතුරක් ලබා දෙන්නේ නම් පමණක් වී වගාවට යොමුවන බවයි.

ඊයේ (12) පැවති මෙම සාකච්ඡාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ අදහස් පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

එමෙන්ම පොළොන්නරුව සහ මින්නේරිය – බකමූන යන ප්‍රදේශවල අද (13) දිනයේත් ගොවීන් විරෝධතාවල නිරත වූයේ පොහොර නොමැති බවට පවසමින්.

******************************************

වෙළදපොළේ සීනි මිල යළි ඉහළට

(13.10.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

දැනට පනවා ඇති පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ, පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන බවට පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි රාශියක් ලැබීම හේතුවෙන්.

මේ අතර, අද (13) දිනයේදීත් කිරිපිටි මිලදී ගැනීම සඳහා ඇතැම් ප්‍රදේශවල පෝලිම්වල ජනතාව රැදී සිටිනු දක්නට ලැබුණු බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

පසුගිය දා පිටකොටුව, හෝමාගම ඇතුළු තවත් ප්‍රදේශ රැසක ප්‍රධාන නගර මූලික කර ගනිමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සීනි වැඩි මිලට අලෙවි කරන වෙළදසැල් සොයා වැටලීම් ආරම්භ කළේ, ලැබී ඇති පැමිණිලි මුල් කර ගනිමින්.

ඒ අනුව වැඩි මිලට සීනි අලෙවි කළ වෙළදසැල් 20 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.

මේ වන විට වෙළදපොළේ සීනි තොග කිලෝග්‍රෑමයක් රුපියල් 130 කටත් සිල්ලරට සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 138 කටත් අලෙවි වන බවටයි පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි ලැබී ඇත්තේ.

සැප්තැම්බර් 02 වැනි දා පැන වූ පාලන මිලට අනුව සුදු සීනි කිලෝවක් රුපියල් 122 කටත් පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125 කටත් අලෙවි කළ යුතු වනවා.

මීට අමතරව දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සඳහා ද රුපියල් 125 ක පාලන මිලක් නියම කරනු ලැබුවේ වෙළදපොළේ සීනි මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන්.

කෙසේ වෙතත් යළිත් වරක් සීනි මිල ඉහළ ගොස් ඇති බවටයි පාරිභෝගිකයින් පැමිණිලි ලැබී ඇත්තේ.

මේ අතර, ආනයනික සමාගම් කිරිපිටි මිල ඉහළ දැමුව ද දේශීය කිරිපිටි මිල දී ගැනීම සඳහා පෝලිම් දක්නට ලැබෙනවා ෴

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක පාලන මිල ඉවත් කිරීමෙන් පසු ඒවායේ මිල ඉහළ දැමුණ ද වෙළෙඳපොළේ ගෑස් සහ සිමෙන්ති ඇතුළු භාණ්ඩවල හිඟය තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැහැ.

මේ අතර, ගෑස් මිල ඉහළ යාමත් සමඟ භූමිතෙල් සහ දර ලිප් සඳහා වෙළෙඳපොළේ වැඩි ඉල්ලුමක් පවතින බවත් වාර්තා වනවා.

******************************************

පොහොර නැතිව ඇළහැර ලොකුලූනු ගොවීන් අපහසුතාවට

(13.10.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

පොහොර අර්බුදය හේතුවෙන් බොහෝ අස්වනු විනාශ වී යද්දී ඵලදාව නෙලා ගත් ගොවීන් පවා අපහසුතාවට පත්ව සිටින්නේ වගාවන්ට නිසි මිලක් නොමැතිවීමෙන්. මේ ඇළහැර ප්‍රදේශයේ ලොකුලූනු ගොවීන්ගේ මැසිවිල්ලයි.

******************************************

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස්

(13.10.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

ඉහළ ගිය භාණ්ඩ මිල හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් කිහිපයක් ම පළකළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *