කටුනායක ගුවන් තොටුපොළේ PCR පරීක්ෂණ අඩාළ කිරීම හෝටල් මාෆියාවේ වැඩක් දැයි සැකයි

කටුනායක ගුවන් තොටුපොළේ PCR පරීක්ෂණ අඩාළ කිරීම හෝටල් මාෆියාවේ වැඩක් දැයි සැකයි

*********************************************

කටුනායක ගුවන් තොටුපොළේ PCR පරීක්ෂණ අඩාළ කිරීම හෝටල් මාෆියාවේ වැඩක් දැයි සැකයි

(11.10.2021 – 07:57 +0530 – mawbima.lk)

ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ආරම්භ කරන ලද නව PCR රසායනාගාරයේ වැඩ කටයුතු අඩාළ කිරීම මහජනතාව හෝටල මාෆියාවට යට කිරීමේ වුවමනාවෙන් සිදුකරන ලද්දක් යැයි තම සංගමය සැකකරන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ගුවන් තොටුපොළේදී සිදුකරන PCR පරීක්ෂණ නවතා දමා බලෙන් වසන්තයක් උදාකරන්න ගොස් කොරෝනා අලුත් රැල්ලක් සාදා ගැනීමේ ලකුණු පෙනෙන්නට ඇතැයිද රවී කුමුදේශ් මහතා අනතුරු අඟවයි.

ගුවන්තොටුපළ On Arrival PCR එක අත්‍යවශ්‍යයි කියමින් හෝටල් නිරෝධායනයට උඩගෙඩි දෙමින් මාර්ගෝපදේශ හදපු සෞඛ්‍ය අමාත්‍යාංශය, හෝටල් මාෆියාවට තිත තියපු ගමන් On Arrival PCR අවශ්‍යම නැහැ කියලා මාර්ගෝපදේශ හදපු එක සැකසහිත බව ද හෙතෙම අවධාරණය කරයි.

පැය කිහිපයක් ඇතුළත ගුවන් මගීන්ගේ පරීක්ෂණ වාර්තා ලබාදීම ආරම්භ කර දින තුනක් යෑමට මත්තෙන්, එම කටයුත්ත අඩපණ කිරීම මහජනතාව හෝටල මාෆියාවට යට කිරීමේ වුවමනාවෙන් සිදු කරන ලද්දක් බවට හෙතෙම චෝදනා කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශවලට අනුව, ගුවන් තොටුපොළින් ඇතුළුවීමේදී සියලු ගුවන් මගීන් විසින් PCR පරීක්ෂණයකට ලක්විය යුතු බව අනිවාර්ය‍ වීම නිසා පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තුරු අනිවාර්ය හෝටල් නිරෝධායනය හරහා මහජනතාව විශාල ගසා කෑමකට ලක්වූ බව ඔහු පෙන්වා දෙයි.

එම තත්ත්වය වළක්වා කඩිනමින් වාර්තා ලබා දීම ඇරඹුණු වහාම රටට ඇතුළුවන ගුවන් මගීන් සඳහා PCR පරීක්ෂණ සිදුකිරීම අනවශ්‍ය බවට මාර්ගෝපදේශ නිකුත් කිරීමත්, නැවත මාර්ගෝපදේශ වෙනස් කරමින් දින කිහිපයට පසු PCR පරීක්ෂණ කිරීම අනිවාර්ය කිරීමට සූදානමක් පවතින බවක් පෙනෙන්නට ඇති නිසා මෙය කිසියම් සැලසුම් සහගත උත්සාහයක් විය හැකි බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙයි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

දැරියකට පාඩම් කියාදීමට කැඳවාගෙන ගිය දඹුල්ලේ සිසුවිය අතවර කර මරා දමලා – අක්කාගේ මිතුරිය හා අනියම් සැමියා අතුරුදහන්

(11.10.2021 – divaina.lk)

දඹුල්ල අතුපාරයාය ප‍්‍රදේශයේ පාඩම් කියාදීමට කියා කැඳවා ගෙන ආ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට අතවර කර අභිරහස් ලෙස ඝාතනය කර පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දඹුල්ල අතුපාරයාය ප‍්‍රදේශයේ පදිංචි සහෝදර සහෝදරියන් පස්දෙනකු (5) ගෙන් යුතු පවුලක 14 හැවිරිදි බුද්ධිමා පි‍්‍රයමාලි නමැති දැරිය බව පොලිසිය පවසයි.

විමර්ශන වලින් හෙළි වී ඇති අන්දමට මෙම දැරිය ඝාතනයට ලක්ව ඇත්තේ ඉකුත් 06 වැනිදා උදේ වරුවේය.

දැරියගේ සිරුර අතුපාරයාය ප‍්‍රදේශයේ පාළු නිවසක තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ පෙරේදා (09 දා) සවස් කාලයේදීය.

දැරියගේ සිරුර සොයාගන්නා විට එය දැඩි ලෙස කුණු වී විකෘති වී තිබූ අතර ඇගේ සිරුරේ ඇඳුම් සියල්ල ඉවත්කර තිබූ බව පොලිසිය පවසයි.

පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම අපරාධය සිදුකර ඇත්තේ ඝාතනයට ලක්වූ දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ ළඟම මිතුරියගේ අනියම් සැමියා විසින්ය.

එම සැකකරු මේ වනවිට ප‍්‍රදේශය අතහැර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ දැරියගේ වැඩිමහල් සොහොයුරිය 25 හැවිරිදි වියේ පසුවන අතර ඇගේ සමීපතම පාසල් මිතුරිය බව කියන ගයාත‍්‍රී නමැති කාන්තාව මීට වසර කීපයකට පෙර දඹුල්ල අතුපාරයාය ප‍්‍රදේශයේ පදිංචියට පැමිණ ඇත.

ඒ වනවිට එම කාන්තාව නීතයානුකූල සැමියාගෙන් වෙන්වී වෙනත් පිරිමියකු සමඟ මෙම ප‍්‍රදේශයේ කුලී නිවසක පදිංචියට පැමිණ සිටියාය. ගයාත‍්‍රිගේ මුල් කසාදයේ 8 හැවිරිදි දියණිය ද ඇය සමඟ මෙම නිවසේ පදිංචි වී සිට ඇත.

ඝාතනයට ලක්වූ දැරියගේ වැඩිමහල් සොහොයුරිය සමඟ සමීප සබඳතා පැවැත්වූ ගයාත‍්‍රි ඔවුන්ගේ නිවසට නිතර යන්නට එන්නට පටන්ගෙන ඇත.

මෙම පවුල් දෙක (2) ඉතාම සමීපව ඇසුරු කර ඇති අතර ඔවුන් එකට විනෝද චාරිකා පවා ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඉකුත් 06 වැනිදා උදේ 07:30 ට පමණ ගයාත‍්‍රිගේ අනියම් සැමියා 6 (?) හැවිරිදි දියණිය ද සමඟ යතුරු පැදියෙන් ඝාතනයට ලක්වූ බුද්ධිමාගේ නිවසට පැමිණ ඇත.

දැරියට පාඩම් කියාදීමට තම නිවසට කැඳවාගෙන යාමට පැමිණි බව ගයාති‍්‍රගේ අනියම් සැමියා එහිදී පවසා තිබේ.

ඒ අවස්ථාවේ බුද්ධිමා පවසා ඇත්තේ තමාට එදින සවස 03:30 ට ඔන්ලයින් පන්තියක් තිබෙන බවයි.

ඔන්ලයින් පංතිය ආරම්භ වීමට පෙර ආපසු නිවසට ඇරලවන බව ගයාත‍්‍රිගේ සැමියා පවසා ඇත. පසුව බුද්ධිමා ඔවුන් සමඟ යතුරුපැදියේ නැගී ගයාත‍්‍රි පදිංචි කුලී නිවස වෙත ගොස් තිබේ.

එදින සවස් කාලය වනතුරු බුද්ධිමා නිවසට නොපැමිණීම නිසා ඇගේ මවුපියන් ගයාති‍්‍රගේ නිවසට ගොස් ඇත. එහිදී ඔවුන් දැක් ඇත්තේ නිවසේ කිසිවකුත් නොමැති බවය. තම දියණියද සමඟ ගයාත‍්‍රි කොහේ හෝ යන්නට ඇති බව සිතූ මවුපියන් ආපසු නිවසට ගොස් තිබේ.

ගයාති‍්‍රගේ සහ ඇගේ අනියම් සැමියාගේ ජංගම දුරකථන වලට ඇමතුම් ලබාගත්ත ද ඒවා විසන්ධි කර තිබිණි.

බුද්ධිමා අතුරුදන්වූ දිනට පසු දින එනම් 07 වැනිදා ඇගේ පවුලේ සාමාජිකයන් කිසියම් අවශ්‍යතාවක් සඳහා වෙනත් ප‍්‍රදේශයකට ගොස් ඇති අතර ඇය පිළිබඳව සොයා බලා නොමැත.

පසුගිය 08 වැනිදා ද බුද්ධිමා නිවසට නොපැමිණි නිසා ඇගේ මවුපියන් ගයාත‍්‍රිගේ මහගෙදරට ගොස් ඔවුන් පිළිබඳව විමසා ඇත. ගයාත‍්‍රි සහ ඇගේ අනියම් සැමියා කලින් පදිංචිව සිටි කුලී නිවසට ද ගොස් සොයා බලා ඇතත් ඔවුන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නැත.

බුද්ධිමාගේ මව විසින් තම දියණියගේ අතුරුදන්වීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ 08 වැනිදායි.

ඒ අනුව පොලිස් කණ්ඩායම් ගයාත‍්‍රි පදිංචිව සිටි කුලී නිවස පරීක්‍ෂා කිරීමේදී ඉන් කුණු ගඳක් වහනය වී ඇත.

එහිදී පොලිස් නිලධාරීන් නිවසේ ජනේලයක් කඩා පරීක්‍ෂා කිරීමේදී කාමරයක් තුළ ඇඳක් මත රෙදි වලින් ඔතා තිබූ මළ සිරුර දැක තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් එම නිවසේ දොරවල් කඩා ඇතුළු වී පරීක්‍ෂා කිරීමේදී ඇඳක් මත ඝාතනය කර තිබූ බුද්ධිමාගේ නිරුවත් මළ සිරුර සොයාගෙන ඇත.

ගයාත‍්‍රි නමැති කාන්තාවගේ අනියම් සැමියා විසින් බුද්ධිමා දැරිය රැගෙන ගොස් නිවසේදී අතවර කර ඇය ඝාතනය කර පලායන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි.

මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණ යටතේ දඹුල්ල වැඩබලන මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කරුණාතිලක මහතාගේ මෙහෙයවීමෙන් පුළුල් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු, දඹුල්ල සරත් එරමිණිගම්මන

******************************************

අපි ‘වත්ත බද්දට දී ඇස්සට දත නියවන’ ජාතියක් බවට පත්වෙලා තියෙනවා – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

(12.10.2021 – 05:44 +0530 – lankaleadnews.com)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් විවිධ බොරු ප්‍රචාරයන් කරමින් පාළු ගෙවල් වල වලං බිඳීම වෙනුවට තමන් සමග රූපවාහිනී සංවාදයකට සහභාගි වන ලෙස ඛනිජ තෙල් වෘත්තීය සමිති වලට ආරාධනා කරන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා මේ බව සදහන්කර සිටියේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශකර සිටියේය :

“ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය මම ඉන්දියාවට දෙන්න යනවා කියා ඛනිජතෙල් වෘත්තීය සමිති විසින් බරපතල චෝදනාවක් එල්ල කරනවා. ‘ලෝකය පෙරලෙනවා කියා හාවා පස්සේ දිවූ සත්තු රැල’ වගේ සොයන්නේ බලන්නේ නැතුව විපක්ෂයත් ඒ චෝදනාවම කරනවා. මට ඉන්දියාවට තෙල් ටැංකි දෙන්න දෙයක් නෑ. 2003 පෙබරවාරි 07 එවකට පැවති එජාප රජය විසින් තෙල් ටැංකි 99 ම ඉන්දියාවට දීල ඉවරයි. ඒ ගිවිසුම දැක ගන්න ඕනෑ නම් මගේ udayagammanpila.com (Website Blocked?) වෙබ් අඩවියට මා එය එක්කරලා තියෙනවා. ඕන කෙනෙකුට ඒ ගිවිසුම බලලා මම කියන්නේ ඇත්ත ද විපක්ෂය සහ වෘත්තීය සමිති කියන්නේ ඇත්තද කියලා සොයා බලන්න පුළුවන්. 2003 පෙබරවාරි 07 දින අත්සන් කල ගිවිසුම මම ඔක්තෝම්බර් 06 වෙනිදා පාර්ලිමේන්තුවේ සභාගත කලා. මම උත්සාහ කරන්නේ තෙල් ටැංකි ආපසු ඉන්දියාවෙන් ගන්නයි. අවාසනාවට ඉන්දියානු ඒජන්තයන් සහ ඉන්දියානු න්‍යයපත්‍රයට අනුව ක්‍රියාත්මක වන බලවේග විසින් ඒ උත්සහය නතර කිරීමේ ව්‍යාපාරයක් දැන් ආරම්භකර තිබෙනවා.

තෙල් ටැංකි 99 ම ඉන්දියාවට දීලා කියලා මම පාර්ලිමේන්තුවේ කිව්වාම සමගි ජන බලවේගයේ කබීර් හසීම් මන්ත්‍රිතුමා කිව්වේ දුන්නේ ටැංකි 15 යි, ඒකත් 2023 දී ආපසු ලැබෙනවා, ඒකත් අපි අත්සන් කරලා තිබෙන්නේ ගිවිසුමක් නෙවෙයි අවබෝධතා ගිවිසුමක් නැතිනම් එම්ඕයූ (MOU) එකක් කියලයි. ඔවුන් අත්සන් කල ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරලා කබීර් හසීම් මන්ත්‍රිතුමන්ට අභියෝග කලා ඔබ කියන්නේ බොරු. එහෙම එම්ඕයූ එකක් නෑ පුලුවන් නම් අද දිනය ඇතුලත ඔය කියන එම්ඕයූ එක පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා. පාර්ලිමේන්තුවේ කටයුතු ඉවරවෙන විට අවසන් කතාව කරන්න තිබුනෙත් මටයි. මගේ කතාව කරන්න මම නැගිටින විට කබීර් මන්ත්‍රිතුමන්ගේ එම්ඕයූ එකත් නෑ. කබීර් මන්ත්‍රිතුමත් නෑ. පසුව දා කබීර් මන්ත්‍රිතුමා පාර්ලිමේන්තු ආවෙත් නෑ. මම කබීර් මන්ත්‍රිතුමන්ට කියනවා ඔය එම්ඕයූ එක අරන් පාර්ලිමේන්තු එන්න හිටියොත් ආයේ කවදාවත් එතුමන්ට පාර්ලිමේන්තු එන්න ලැබෙන්නේ නෑ. මොකද එහෙම එම්ඕයූ එකක් නෑ. එමනිසා ඔන්න ඔය එම්ඕයූ එක අමතක කරලා දාලා ආයෙත් පාර්ලිමේන්තු එන්න කියලා මම කබීර් හසීම් මන්ත්‍රිතුමන්ට ආරාධනා කරණවා.

මේ දිනවල ඛනිජතෙල් වෘත්තීය සමිති විසින් භික්ෂුන් වහන්සේලා සහ ජාතික සංවිධාන හමු වෙලා මම තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න හදනවා ඒකට එරෙහිව පෙළගැසෙන්න යැයි ඉල්ලීමක් කරණවා. ඒ වගේම මේ තෙල් ටැංකි ගැන විවිධ බොරු ප්‍රචාරය කරනවා. ඒ නිසා පාළු ගෙවල් වල වලං බිඳින්නේ නැතුව මා සමග රූපවාහිනි සංවාදයකට එන්න කියා මම තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එකමුතුවට ඉතාම කාරුණිකව ආරාධනා කරනවා. ඔවුන් කියන්නේ ඇත්ත බවට ඔවුන්ට විශ්වාස නම් ඔවුන් ඉන්දියානු න්‍යාය පත්‍රයකට නැටවෙන බව ඔවුන් විශ්වාස කරන්නේ නැතිනම් මම හිතනවා ඒ අය මා සමග රූපවාහිනී සංවාදයකට පැමිනේවි කියලා. මා කියනා දෙය බොරුයි කියලා ඔවුන් ඔප්පු කලොත් මම නිහතමානීව ඒ දෙය පිළිඅරගෙන ඔවුන්ගේ ‘තෙල් ටැංකි රැකගැනීමේ සටන’ට එකතුවෙන්න සූදානම්. ඔවුන් කියන්නේ බොරුයි කියලා සංවාදයේ දී ඔප්පු වුනොත් මෙතෙක් බොරු බිල්ලෙක් මවලා ජනතාව නොමග යැවීම පිළිබදව ඔවුන් ජාතියේන සමාව ගත යුතුමයි.

ඩොලර් බිලියන 2.5 ක ණය මුදලේ ඇත්ත කතාව

අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමාත් ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රිතුමාත් තෙල් සංස්ථාව විශාල කොමිස් මුදලක් ගෙවලා ඩොලර් බිලියන 2.5 ක ණය මුදලක් ගන්න යන බවට මාධ්‍ය ඉදිරියේත් පාර්ලිමේන්තුවේත් චෝදනාවක් කලා.

ඛනිජතෙල් සංස්ථාව ඩොලර් බිලියන 3.6 ක් රාජ්‍ය බැංකු දෙකට, ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ණයයි. මේ ඩොලර් ණය සඳහා වාර්ෂිකව 5.5% පොලියක් ගෙවනවා. ඒ අතරේ පසුගිය වසර ගණනාවක් පුරා ඊට වඩා අඩු පොලියට තෙල් සංස්ථාවට ණය ලබා දීමට විවිධ පාර්ශව යෝජනා ඉදිරිපත් කර තිබුණා. මේ යෝජනා නොසලකා හිටියොත් අඩු පොලි ණය ගැනීමට හැකියාව තිබිය දී සංස්ථාව වැඩි පොලියට ණය ලබා ගෙන ජනතාව මත පටවනවා කියන චෝදනාවක් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රසිද්ධ දැන්වීම් පල කරලා විධිමත් යෝජනා කැඳවීමකින් අඩු පොලි ණය ලබා ගැනීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමට මම කැබිනට් අවසරය ඉල්ලුවා.

මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණය වුණේ මේ වෙලාවේ ප්‍රසිද්ධ දැන්වීමක් පල කරලා ඩොලර් ණය මේ වගේ දැවැන්ත මුදලක් ගන්න යන විට කවුරුවත් ඉදිරිපත් වුනේ නැතිනම් ආණ්ඩුව විසින් දැනට විදේශවලින් ඩොලර් ණය ගැනීමට දරන උත්සාහයට අවාසි දායක ලෙස බලපාන්න පුළුවන්. ඒ නිසා අලුතින් යෝජනා කැදවීමක් ප්‍රසිද්ධ දැන්වීමකින් කරන්නේ නැතුව මුදල් අමාත්‍යාංශය විසින් පත්කරණ ප්‍රසම්පාදන කමිටුවක් හරහා ලැබී ඇති යෝජනා ඇගයීමකට ලක් කරලා පිළිගත හැකි යෝජනා තිබේ නම් බාරගන්න කියලා මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබුනා. ඒකට තමයි අමාත්‍ය මන්ඩලයේ අනුමැතිය ලැබුනේ.

ඉදිරිපත් වී තිබුණු යෝජනා අතුරෙන් රජයේ ස්වෛරී ඇපකරයක් මත ණය දෙන්න කැමති වී සිටියේ එකම එක සමාගමයි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිවල පිහිටි පීඑස්එල් ඇමෙරිකා ඉන්කෝපරේෂන් කියන සමාගමයි. අනෙකුත් අය ත්‍රිත්ව ඒ ශ්‍රේණිගත කිරීම් තිබෙන බැංකුවක හෝ ලෝකයේ ප්‍රමුඛතම බැංකු 25 න් එකක හෝ ඇපයක් ඉල්ලා සිටියා. ඒ අනුව එම සමාගමෙන් අදාල ණය මුදල ලබා ගැනීමට ප්‍රසම්පාදන කමිටුව තීරණය කරලා ඔවුන්ගේ නිර්දේශය මම අමාත්‍යමන්ඩලයට ඉදිරිපත් කලා.

මේ අය 7% ක ගාස්තුවක් අය කරන බව ඇත්තක්. ඒ පිලිබඳ ප්‍රසම්පාදන කමිටුව ප්‍රශ්න කල අවස්ථාවේ ඔවුන්ට කියා තිබෙන්නේ ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල පහතම අඩියේ තිබෙන්නේ. තෙල් සංස්ථාවත් දිගු කලක් තිස්සේ මූල්‍ය අර්බූදයක තිබෙන ආයතනයක්. ඒ නිසා මෙම ණය මුදල් රක්ෂණය කරන්න විශාල මුදලක් ගෙවන්න වෙනවා. ඒ මුදල අඩු කරන්න බෑ කියා දැනුම් දුන්නා. 7% කපා හරින්නේ සමස්ත මුදලෙන්. පොලී අනුපාතය 3% යි. දැන් අපිට ලැබෙන්නේ 100 ක් වෙනුවට 7 ක් කපාගෙන 93 යි. ඒ අනුව බැලුවාම පොලී අනුපාතය 3.23% දක්වා වැඩි වෙනවා. අපි දැන් බැංකුවලින් ණය ගත්තම කීයක් පොලී ගෙවන වද? 5.5% ක්. එහෙම බලද්දී මිලියන ගණනක ඉතිරියක් අපට වාර්ශිකව කරන්න පුළුවන් මේ ණය මුදල ලබාගත්තොත්. ඒ නිසා මේක වාසි දායක යෝජනාවක් විදිහට අමාත්‍යමණ්ඩලයට පෙනුනා.

මෙතරම් දැවැන්ත මුදලක් මෙවැනි ආයතනයක් අපට දේවි කියා මම විශ්වාස කරන්නේ නෑ කියා මම ඇමති මණ්ඩලයටත් දැනුම් දුන්නා. නමුත් මේ යෝජනා නොසලකා හිටියා නම් අපි අඩු පොලියට ණය ලබා ගන්න තිබුණු අවස්ථාව මග හැරියා කියන චෝදනාව එල්ල වෙනවා. මේ ණය මුදල ලැබුනොත් හොදයි. නොලැබුනොත් ඉතින් කරන්න දෙයක් නෑ.

මෙම මාධ්‍ය හමුව සදහා තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ කලමණාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා යන මහත්වරුන්ද එක් විය.

ප්‍රශ්නය

අමාත්‍යතුමනි තෙල් සංස්ථාවේ සභාපතිතුමන් තෙල් මිල සංශෝධනයක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවිය හැකි නේද?

පිළිතුර

මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ඉන්ධන මිල වාර්තා වෙමින් තියෙනවා. අපි පුළුවන් තරම් දරාගෙන ඉන්නවා. මේ පිළිබඳව මම තනියෙන් තීන්දු ගන්නේ නැහැ. මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරලා ආණ්ඩුව සහනයක් දුන්නොත් මිල වැඩි කිරීමක් කරන්න වෙන්නේ නැහැ. අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරලා බලනවා.

තෙල් පාඩුව දරමින් අපි ගෙනල්ලා තියෙනවා. රාජ්‍ය ආයතනයක් විදිහට අප ඒ පාඩුව දරලා තියෙනවා. තවදුරටත් ඒ පාඩුව දරාගැනීමේ අවහිරතාවය තමයි සංස්ථාවේ සභාපතිතුමා පැහැදිලි කලේ. අගෝස්තු මාසයේ අප කෝටි 867 පාඩු වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසයේ ඊටත් වැඩි වෙනවා. ඔක්තෝබර් මාසයේ අනිවාර්යෙන්ම වර්තමාන ලෝකයේ තෙල් මිල අනුව වර්තමානයේ විකුණන මිලටම විකුණුවොත් මේ ඔක්තෝම්බර් මාසයේ පමණක් කෝටි 1000 ක පාඩුවක් තෙල් සංස්ථාවට සිදුවීමට නියමිතයි. මෙහෙම පාඩු දිගින් දිගටම දරා ගැනීමේ හැකියාවක් තෙල් තෙල් සංස්ථාවටත් ලංකා ආණ්ඩුවටවත් සමස්ථ ලංකා ආර්ථිකයටත් හැකියාවක් නැහැ.

ගෑස් සමාගම් ඇයි මිල වැඩි කරන්න ඉල්ලුවේ. ඇයි රජයට එය ලබා දෙන්න සිදුවුණේ. ගෑස් සමාගම් ටික කලක් පාඩුවට විකුණුවා. ඉන්පස්සෙ ගෑස් සමාගම් ආනයනය කරන එක නතර කළා. එවිට රටේ ගෑස් හිඟයක් ඇති වුණා. කිරිපිටි හිඟයක් සිමෙන්ති හිඟයක් ඇති වුණා. සිමෙන්ති කියන්නේ අපේ රටේ නිෂ්පාදනය කරගත හැකි අතීතයේ අපි ස්වයංපෝෂිතව හිටපු දෙයක්. අතීතයේ දියර කිරිවලින් ස්වයංපෝෂිත ව සිටී රටක්. අපේ රටේ නව පිරිපහදුවක් හදන කතාව අපේ වයස තරම්ම පරණයි. හැබැයි ඒක වුණේ නැහැ. අපේ රටේ ගෑස් අවශ්‍යතාවයෙන් සියයට විස්සක් (20%) පිරිපහදුව තිබුණා නම් රට තුළම නිෂ්පාදනය කර ගන්න තිබුණා. මහපොලොවෙ ගෑස් ටික ගොඩ ගත්තා නම් අපිට පිටරටින් ගෑස් ගැනීමේ අවශ්‍යතාවය නැත්තටම නැති වෙනවා.

නමුත් අපි ‘වත්ත බද්දට දී ඇස්සට දත නියවන’ ජාතියක් බවට පත්වෙලා තියෙනවා. ‘අඳුරට ශාප කිරීම පසෙක තබා පහනක් දැල්වීම’ තමයි අපේ කාර්යය. අතීතයේ හිටිය අයට දොස් කීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම වෙනුවට අප කළ යුත්තේ මෙම ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කිරීමයි. ඉන් නොනැවතී විසඳුම මහපොළොවෙ ක්‍රියාත්මක කිරීමද සිදු කරමින් සිටිනවා. නමුත් ‘ක්ෂණික නූඩ්ල්ස් ක්ෂණික පපඩම්’ වගේ ක්ෂණික විසඳුම් නැහැ බලශක්ති අර්බුදයට. එයට යම් කාලයක් ගත වෙනවා. අපේ ඉලක්කය වෙලා තියෙන්නේ වසර තුනක් (3) ඇතුළත මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සම්පත ගොඩගැනීමයි ෴

******************************************

මේක මිලියන 3600 ක පින්කමක් – මම රටේ හැම දරුවටම සමාන අධ්‍යාපනයක් දෙනවා (12.09.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *