ඉදිරි වසර තුන රට කොයිබට ද? – කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

ඉදිරි වසර තුන රට කොයිබට ද? – කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

*********************************************

ඉදිරි වසර තුන රට කොයිබට ද? – කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

(11.10.2021 – 17:45 +0530 – hirunews.lk/sinhala)

ගෙවී ගිය වසර දෙක (2) තුළ ආණ්ඩුවෙන් සිදුවූ අඩුපාඩු, වැරදි හා නොවිය යුතුව තිබූ දේවල් නිවැරදිව තේරුම් ගනිමින්, නිවැරදි තක්සේරුවක සිට කටයුතු කළහොත් ඉදිරි වසර තුන තුළ ජනතාවගේ විශ්වාසය බලවත්ව දිනාගැනීම ආණ්ඩුවට ඉටුකරගත නොහැකි දෙයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අද(11) මොරටුව කටුබැද්දේ පිහිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා :

“කෙසේ වුවත් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ අපේ රජය මේ දෙවසරක (2) ගමන පිළිබඳව ගැඹුරු ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් සිදු කරමින් සිටින මොහොතකයි මේ තමුන්නාන්සේලා අමතන්නේ. අපෙන් සිදු වූ වැරදි අඩුපාඩු හා නොවිය යුතුව තිබූ දේවල් මොනවාද, කියන එක හරියට තේරුම් අරන්, තක්සේරු කරලා ඉදිරියට ගියොත් මේ ඉදිරි වසර තුන (3) තුළ මේ රටේ ජනතාවගේ විශ්වාසය වඩා බලවත්ව දිනාගැනීම ඉටුකරගත නොහැකි කරුණක් නොවෙයි. එතැනදී අපි අවංක විය යුතුයි. ජනතාව සිතන ආකාරය තේරුම් ගත යුතුයි. එහිදී අපි මහජනයාගේ අපේක්ෂාවන්ට මුල්තැන දී වැඩ කළ යුතුයි. එසේ නොවුණහොත් අපි කොයිතරම් අතීතය දෙස හැරී බලා නිවැරදි කියවීමක් සිදු කර ගත්තත් භාවිතයේදී අපට ජය ගැනීමට පුළුවන් වෙන්නේ නැහැ.

පාස්කු ප්‍රහාරයත් සමග ඇති වූ අනාරක්ෂිත බව, තර්ජනය නිසා තමයි පොදු ජනතාවට වුවමනා වුණේ ශක්තිමත් පාලනයක් පිහිටුවීමට. විවිධ ආගම්වාදී, ජාතිවාදී කල්ලි මත යැපෙන්නේ නැති, ඒ අය ගහන පදයට නටන්න වන්නේ නැති, ජාතික ආරක්ෂාව සහ වෙනත් ඕනෑම ජාතික අභිලාෂයක් වෙනුවෙන් ගතයුතු තීරණ නොගෙන කර අරින්නේ නැති, පාලන්තන්ත්‍රයක් තමයි මේ රටේ පොදු ජනතාව එදා අපේක්ෂා කළේ. ඒ මගින් මේ රට ආරක්ෂා කරගන්න පමණක් නොවෙයි, යහපත් ආදර්ශවත් දේශපාලන සංස්කෘතියක් මේ රට තුළ නිර්මාණය කර ගැනීමත් ඔවුන් බලාපොරොත්තු වුණා. පොදු ජනතාවගේ අපේක්ෂාවන් සමග සෙල්ලම් කිරීමට අපට අයිතියක් නැහැ .මහජනයා අප කෙරෙහි තබා තිබෙන විශ්වාසයට පිටුපාන්න අපට අයිතියක් නැහැ. ඒ විශ්වාසය අඩු වන විදියට නොවෙයි වැඩි වන අන්දමට වැඩකිරීමේ අභියෝගය තමයි අපි සියලුදෙනා ඉදිරිපිට තිබෙන්නේ.

වසංගතයක් සමඟ ජීවත් වීමට සිදුවීම නිසා අපි අතින් ආණ්ඩුවක් ලෙස කළ යුතුව තිබූ යම් යම් දේවල් මග හැරී තිබෙනවා. ඒ වගේම විශේෂ අවධානය යොමුකර කළ යුතුව තිබූ දේවල් නොවී තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කර ගැනීමට අපට තවමත් කල් තිබෙනවා. ඉදිරියට තිබෙන වසර තුන (3), ජනතාව අපෙන් බලාපොරොත්තු වූ වෙනස ප්‍රායෝගිකව සිදු කරලා පෙන්වීමට තිබෙන වසර තුනක් (3). ‘කොවිඩ් එන්නත දියුණු රටවල ගහලා ඉවර වුණාට පසුව තමයි ලංකාවට එම එන්නත ලැබෙන්නේ’ කියලයි ඇතැමුන් කීවේ. නමුත් එන්නත්කරණය අතින් ලෝකයේ ඉහළින්ම සිටින රටවල් 10 අතර අද ශ්‍රී ලංකාව සිටිනවා. අපි රට යළි සංචාරක ව්‍යාපාරයට විවෘත කරන විට ලෝකයේ සංචාරක ව්‍යාපාරයට සුදුසුම රටවල් 05 න් එකක් තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා අපි අමාරුකම්, අඩුපාඩු මැද්දේ සමහර අංශවලින් අභියෝගය ජයගෙන තිබෙනවා. ඒ වගේම සමහර අංශවල ප්‍රගතිය ගැන අපට සතුටු වීමට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මහජන වරමින් තේරී පත්වූ පාලනතන්ත්‍රයක් ලෙස අප සියලුදෙනාටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා, පවතින අඩුපාඩු නිවැරදි කරගෙන මේ රට ජයග්‍රාහීව ඉදිරියට ගෙන යන්න” ෴

******************************************

බත්, පාන්, කොත්තු සහ කිරි තේ මිල ඉහළට

(11.10.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

පාන් රාත්තල, බත් පැකට්ටුව, කොත්තු සහ කිරි තේ වල මිල ගණන් අද සිට ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, ගෑස් සහ තිරිඟු පිටිවල මිල ගණන් ඉහළ දැමීමත් සමඟයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් පහකින් (5) ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය අද (11) පස්වරුවේ තීරණය කළා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ගෑස් මිල සහ තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් තම නිෂ්පාදනවල මිල මෙලෙස ඉහළ දැමූ බවයි.

එමෙන්ම, බත් පැකට්ටුවක්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කිරි තේ වල මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ද අද (11) තීරණය කළේ තිරිඟු පිටි, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ෴

******************************************

ලංකාව ඇරල ද, වහලා ද ලොවට කියන්න – ආ පයින් හැරී ගිය ඇමෙරිකානු සංචාරකයා කියයි

(11.10.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට පැමිණ පැය 5ක පමණ කාලයකින් පසුව නැවත ශ්‍රී ලංකාවෙන් බැහැරව ගිය සංචාරකයෙකු සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ ඔහුව නොමඟ හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තුති කරන බවයි.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට සිය ජංගම දුරකථනය ඔස්සේ නිකුත් කළ එම වීඩියෝවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව විවෘත බව ලොවට කියා සිටිය ද මෙරටට පැමිණි පසු හෝටල් වෙන් කර ගැනීම සහ ප්‍රවාහන සේවාවන් නොමැතිවීම හේතුවෙන් තමන් බරපතළ ගැටලුවකට මැදි වූ බවයි.

ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාව සහමුලින් සංචාරකයින් සඳහා විවෘත කර ඒ සඳහා රට සූදානම් කර ලොවට දැනුම් දිය යුතු බවටයි.

ජෝර්ජ් විසින් සමාජ මාධ්‍ය හරහා සිදුකළ ප්‍රකාශය :

“හායි ! මගේ නම ජෝර්ජ්. මම දැන් ශ්‍රි ලංකාවේ ඉඳල ආවේ. මම එහි සිටියේ පැය පහක (5) පමණ කාලයක් පමණයි. ඒ කාලේ ගත කළෙත් ගුවන්තොටුපල ආසන්නයේම පිහිටි හෝටලයකයි. මම ශ්‍රී ලංකාවට එන්නට පෙර වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයට කතා කරලා ඒ සම්බන්ධයෙන් විස්තර ලබා ගත්තා.

එහි සිටි නිලධාරීන් මට කියා සිටියේ ඔබ එන්නත් දෙකම ලබාගෙන තිබෙනවා නම් එම සහතිකයත්, ගුවන් ගමනට පෙර ලබාගත් පී සී ආර් සහතිකයත්, ඔබේ වීසා බලපත්‍රයත් ගත් පසු ඔබට නිදහසේ ශ්‍රී ලංකාවට සංචාරය කළ හැකි බවටයි. මම සතියක පමණ කාලයක් මේ රටේ ගත කරන්නටයි තීරණය කරගෙන හිටියේ.

ඒ අනුව මම මෙක්සිකෝ හි සිට ඉස්තාන්බුල් වලට පැමිණ එහි පැය දාසයක (16) පමන කාලයක් රැඳී සිටීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානය ලබාගත්තා. එහි සිට මාලදිවයිනටත්, මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවටත් පැමිණ මම වෙන්කරගත් ටැක්සි රථය පැමිණෙන තුරු බලා සිටියා.

මම එය වෙන්කර ගත්තේ ජර්මානු සංචාරක මෙහෙයවන ආයතනයක් හරහායි. කෙසේ වෙතත් එවැනි ටැක්සි රථයක් හෝ එවැනි නියෝජිත ආයතනයක් එහි තිබුණේ නැහැ. ඉන් අනතුරුව මා සොයා බැලුවා බස්රථ හෝ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වෙනවාද කියා. එවැනි කිසිදු පහසුකමක් මට සොයා ගැනීමට නොහැකි වුණා. මගේ තක්සේරුව වන්නේ ශ්‍රී ලංකාව සංචාරක සීමා පනවා ඇති රටක් ලෙසටයි.

නමුත් ලෝකයට කියනවා ඔවුන් විවෘතයි කියලා. මම ත්‍රීරෝද රථයකින් ගුවන්තොටුපල අවට සංචාරය කළා නමුත් මට ආ හැඟීම වූයේ මම මේ රටෙන් පිටත් විය යුතු බවටයි. මම ඔක්තෝබර් හත් වැනි දා (07) ශ්‍රී ලංකාවට ආවේ. එහි රැඳී සිටියේ පැය පහක් (5) පමණ කාලයක්. ඉන් අනතුරුව මං ඉස්තාන්බුල් නගරය කරා පැමිණියා.

මට ශ්‍රී ලංකාවට එන්නට දින දෙක තුනක (2-3) කාලයක් ගත වුණා. නමුත් ඒ රටේ සුන්දරත්වය දැක බලා ගන්නට මට අවස්ථාවක් ලැබුණේ නෑ. එතන ප්‍රශ්න තියෙනවා. රට විවෘත කරලා නම් එය පැහැදිලිව සූදානම් කර ලොවට කියන්න ඔබේ රට ඇරලා ද නැද්ද කියලා. බොහොම ස්තූතියි මම නැවතත් ශ්‍රී ලංකාවට ළඟදීම එන්න බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවට බොහොම ස්තූතියි මාව නොමග යැව්වාට.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු අපහසුතාවට පත්ව ආපසු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

අදාල සංචාරකයා සදහන් කරන්නේ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි තමන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම සහ සිය නියෝජිත ආයතනය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා පැය 05 ක කාලය තුළ ආපසු ගිය බවයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිණිය පවසන්නේ ඇමතිවරයාගේ උපදෙස් පරිදි දැනටමත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කෙරෙන බවයි.

******************************************

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

(11.10.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය යළි සලකා බැලීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ යුද හමුදා දින සැමරුමට සමගාමීව බත්තරමුල්ලේ ඊයේ (10) පැවති පැළ සිටුවීමේ අවස්ථාවකට එක්වෙමින්.

එමෙන්ම, පොහොර ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.

මේ අතර, පොහොර ගැටළුවට විසඳුම් ඉල්ලා අදත් (11) ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

හිඟුරක්ගොඩ – හතමුණ ප්‍රදේශයේ ගොවි ජනතාව විරෝධතාවක නිරතවුණේ තම වගාවන්ට අවශ්‍ය රසායනික පොහොර ලබාදෙන ලෙසට බල කරමින්.

මීට අමතරව බණ්ඩාරවෙල, වැලිමඩ, හපුතලේ, දියතලාව ඇතුළු ප්‍රදේශවල ගොවීන් ද අර්තාපල් හා තක්කාලි වගාවන්ට අවශ්‍ය දිලීර නාශක හා වල් නාශක නොමැතිකමින් පීඩාවට පත්ව සිටිනවා ෴

******************************************

ගුරු වර්ජනය මානව හිමිකම් කොමිසමට

(11.10.2021 – 21:03 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අතර අද (11) විශේෂ හමුවක් පැවති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සදහන් කළේ අග්‍රාමාත්‍යවරයා සමග අද (11) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කළ බවට ඊයේ (10) තමන් වෙත දැනුම් දුන් බවයි.

මේ අතර, පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු පිරිසක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට අද (11) පැමිණියා.

අනතුරුව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අද (11) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡාවක නිරත වුණා.

එමෙන්ම, පාසල් සිසුවෙකුගේ පියෙකු අද (11) මාතර මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ගුරුවරුන් ආරම්භ කර ඇති වර්ජනයට එරෙහිවයි.

******************************************

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට

(11.10.2021 – 21:54 +0530 – sinhala.adaderana.lk)

ලක් සතොසේ සිදුවූ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) තවත් සිව් දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගැනුණේ ලක් සතොසේ මිලදී ගැනීම් පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරීවරිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු සැපයුම්, කළමනාකරු සැපයුම් සහ වැලිසර තොග අලෙවිසැලේ කළමනාකරු යන සිව්දෙනාය (4).

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව කටඋත්තර ලබාදීම සඳහා අද (11) පැමිණි අවස්ථාවේදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් හෙට (12) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

******************************************

ඇමරිකාවත් සමග තවත් හොර ගිවිසුමක් හෙට (12) – රන්ජන් ජයලාල්

(11.10.2021 – 23:00 +0530 – mawbima.lk)

ඇමරිකාවේ ‘නිව් ෆෝට්‍රස්’ සමාගම සමග මෙරට විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුමේ තවත් දිගුවක් හෙට (ඔක්. 12) අත්සන් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ, නිව් ෆෝට්‍රස් සමාගමේ විධායක නිලධාරීවරයා හෙට (12) මෙරටට පැමිණීමට නියමිත බවට තොරතුරක් ලැබී ඇති බවය.

එමෙන් ම, අදාළ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයේ අනුදැනුමකින් තොරව අත්සන් කිරීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

ඔහු අවධාරණය කළේ, අදාළ ගිවිසුම් කුමක් ද යන වග ආණ්ඩුව අනාවරණය නොකළහොත් හෙට (ඔක්. 12) දහවල් 12:00 වන විට විදුලි බල ක්ෂේත්‍රයේ ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කරන බව ය.

“රටට දැවැන්ත අනතුරක් එල්ල කරමින් පසු ගිය දා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යංශයේදී අස්තන් කරපු ගිවිසුමෙන් එහා ගිය දැවැන්ත අනතුරකට මේ රට මුහුණ දෙන්න සූදානමක් තියෙනවා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා.

හෙට ඇමරිකා නිව් ෆෝට්‍රස් සමාගමේ විධායක නිලධාරියා ලංකාවට එන්න නියමිතයි කියල මේ වන කොට අපිට තොරතුරක් ලැබුණා අද (11) මේ රාත්‍රියේදී. විශේෂයෙන් ම හෙට (12) ශ්‍රී ලංකාව තුළ කැබිනට් එකේ ඇමතිවරුන්ටත් දැනුම් දීමකින් තොරව – කිසි ම කෙනෙකුට දැනුම් දීමකින් තොරව හෙට (12) පරණ ගිවිසුමේ දිගුවක් විදියට ගිවිසුමක් අත්සන් කරන බවට තොරතුරක් ලැබිලා තියෙනවා.

අපි ආණ්ඩුවට කියනවා පැහැදිලිව ම, බැසිල් රාජපක්ෂට කියනවා බලශක්ති ක්ෂේත්‍රයට දැවැන්ත අනර්ථයක් සිදු කරන ගිවිසුමක් එදා අත්සන් කළා. ඒ ගිවිසුමෙන් ඔබ්බට ගිය තව ගිවිසුමක් හෙට (12) අත්සන් කරනවා නම් … කැබිනට් එකේ ඇමතිවරු අපිට කතා කරලා කියනවා ඒ අය දන්නේ නැතුව හොර ගිවිසුමක් හෙට (12) අත්සන් කරන්න සූදානමක් තියෙනවා කියලා.

විශේෂයෙන් ම අපි මේ ආණ්ඩුවට අනතුරු අඟවලා කියනවා ඇමරිකන් ‘නිව් ෆෝට්‍රස්’ සමාගමත් සමග රටට හෙළිදරව් නොකර හොර ගිවිසුමක් අත්සන් කරනවා නම්, හෙට (12) උදේ වෙනකොට ආණ්ඩුව මේ අත්සන් කරන ගිවිසුම මොකක් ද කියලා මේ බලශක්ති ක්ෂේත්‍රයට අදාළව හෙළිදරව් නොකළොත්, අපි හෙට (12) දවල් 12 වෙනකොට තීන්දුවක් ගන්නවා විදුලි බල ක්ෂේත්‍රයේ මොකක් ද ගන්න ක්‍රියාමාර්ගය කියලා” ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනාව බිලිගත් මෙරට දරුවන්

(11.10.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

අද (11) දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 490 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 5,26,873 ක් ලෙසයි.

නව කොරෝනා මරණ 23 ක් වාර්තා වීමත් සමග මෙරට මුළු මරණ සංඛ්‍යාව ද 13,354 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, කොරෝනා ආසාදිතව මේ දක්වා මෙරට දරුවන් 67 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.

පවුල් සෞඛ්‍ය කාර්යාංශය පැවසුවේ ඒ අතරින් 17 දෙනෙකු වයස මාසයකටත් අඩු බිළිදුන් බවයි ෴

තවත් කොරෝනා ආසාදිතයින් 191 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,27,064 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *