ඇමති විමල්ගෙන් ෆේස් බුක් සටහනක්

ඇමති විමල්ගෙන් ෆේස් බුක් සටහනක්

*********************************************

ඇමති විමල්ගෙන් ෆේස් බුක් සටහනක්

(09.10.2021 – facebook.com/WimalWeerawansa.sl)

පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. මා විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකතන දෙමින් පතුරවා හරින නිසා එය මෙසේ පැහැදිලි කළ යුතුව ඇත.

එහිදී මා විසින් මතුකළ අදහස් මෙසේය,

බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ‘බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය.’ දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත.

රටට වැදගත් තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් තුළ ප්‍රමාණවත් සාකච්ජාවක් කැබිනට් මණ්ඩලය තුළ පවත්වා එම කැබිනට් පත්‍රිකා සම්මත කරගැනීම වඩා සුදුසු ක්‍රමයයි; එමගින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත.

ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව ඇත. සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සදහා ද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත්වීම තුළින් බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙනු ඇත.

ඉහත කරුණු පිළිබද මා විසින් කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් ප්‍රකාශ කරන ලද අතර ඒවා විකෘති කරමින් පැතිරවීම වැළක්වීම පිණිස පමණක් ඒවා මෙසේ පැහැදිලි කිරීමට අදහස් කළෙමි. කැබිනට් මණ්ඩයේ සාමුහික වගකීමට එමගින් හානියක් නොවනු ඇතැයි විශ්වාස කරමි.

විමල් වීරවංශ,
කර්මාන්ත අමාත්‍ය,
නායක, ජාතික නිදහස් පෙරමුණ
2021.10.09

******************************************

වලපනෙන් ලෝකයට යන බටනලාව

(10.10.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

ලොව ඇති ඕනෑම බටනලාවක් දේශීයව නිෂ්පාදනය කළ හැකි සංගීත ගුරුවරයකු පිළිබඳ පුවතක් වලපනේ නිල්දණ්ඩාහේන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බටනලා කර්මාන්තය සඳහා අනුග්‍රහයක් ලැබෙන්නේ නම් මෙරටට ආනයනය කරන බටනලා දේශීයව නිෂ්පාදනය කර සැපයිය හැකි බව මේ අපූරු නිර්මාකරු පවසනවා.

වලපනේ – කලගම්වත්ත නවෝද්‍යා පාසලේ සංගීත ගුරුවරයෙකු ලෙස සේවය කරන ඩී.ජී. අමරදාස මහතා 2012 වසරේ අනුරාධපුර ඔයාමඩුවේදී පැවති, දැයට කිරුළ ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට අඩි 9 යි අගල් 9 ක දිගින් යුතු බටනලාවක් නිර්මාණය කළා.

විවිධ දිගින් යුතු බටනලා නිර්මාණය වන අකාරය පිළිබඳ ඩී.ජී. අමරදාස මහතා පැහැදිලි කළා.

******************************************

‘වේරේකේ’ වැවට අත්වූ ඉරණම

(10.10.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

රටට බත සැපයීමට විශාල මෙහෙයක් ඉටුකරන ගොවීන්ගේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන්නේ වැවයි.

එහෙත් එවැනි වැවක් ජලජ ශාකවල ග්‍රහණයට නතුවීමෙන් දැඩි පීඩාවට පත් ගොවීන් පිරිසක් පිළිබඳව අපට වාර්තා වුණේ පොලොන්නරුව – ගල්මුල්ල ගම්මානයෙන්.

බලධාරීන්ගේ ඇස නොගැටුණු ‘වේරේකේ’ වැවට මේ වනවිට අත්ව ඇති ඉරණම පිළිබඳවයි මේ විමසා බැලීම.

මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළි වේරේකේ වැව පිහිටා ඇත්තේ පොළොන්නරුව – ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගල්මුල්ල ගම්මානයේයි.

අක්කර 3 ක වපසරියකින් සමන්විත මෙම වැව හරහා පෝෂණය වූ කුඹුරු ප්‍රමාණය අක්කර 55 ක්.

කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය කරගත් ගම්වැසියන්ගේ හදවත බදු වූ මෙම වැවට වර්තමානයේ අත්ව ඇත්තේ ඛේදනීය ඉරණමක්.

ජපන් ජබර ඇතුළු පාසි ආක්‍රමණය කර ඇති වැවේ මේ වනවිට ජලය පෙනෙන වපසරිය වර්ග අඩි 10 ට 15 කට පමණ සීමා වී තිබෙනවා.

එය ද තමන් විසින් පිළිසකර කරගත් බවයි ගොවීන් පවසන්නේ.

ජපන් ජබර වලින් පිරී ඇති මෙම වැව පවිත්‍ර කිරීමෙන් ගොවියාට ජලය මෙන්ම කොම්පොස්ට් පොහොර සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ද ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අහසින් වැටෙන එක ජල බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට යාමට නොදුන් පෙර රජුන් ආදර්ශයට ගනිමින් මහ කන්නයට අවශ්‍ය ජලය රැස්කර ගැනීමට කඩිනමින් වේරේකේ වැව ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ගොවීන් බලධාරීන් ඉල්ලා සිටිනවා.

******************************************

වගාවන්ට කෘෂි රසායන හා පොහොර නොමැතිව ගොවීන් තවදුරටත් පීඩාවට

(10.10.2021 – 15:04 +0530 – hirunews.lk/sinhala)

වස විසෙන් තොර වගා කටයුතු දියත් කිරීමේ අරමුණින් රජය ආරම්භ කළ ව්‍යාපෘතියට සමගාමීව ප්‍රදේශ රැසක කාබනික පොහොර නිෂ්පාදනය සහ වගාව සාර්ථක බව ගොවීන් පවසනවා.

කෙසේවෙතත් වගාවන් සඳහා අවශ්‍ය කෘෂි රසායන ද්‍රව්‍ය හා පොහොර නොමැතිව ප්‍රදේශ කිහිපයක ගොවීන් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිසෝබණ්ඩාර යාය 1බී ප්‍රදේශයේ යල කන්නයේ අතුරු භෝග ලෙස බඩඉරිගු හා වම්බටු වගා කළ ගොවීන් වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැතිව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

ගොවීන් 300 ක් පමණ අක්කර 400 ක සිදුකර ඇති වගාවෙන් 10% ක තරම්වත් අස්වැන්නක් ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

දැඩි ලෙස පීඩාවට පත් ගොවීන් තම වගාවන්ට ගිනි තබා විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා.

ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ මස්පන්න කෝරලයේ ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ ගම්මිරිස් වගාවයි.

නමුත් ගම්මිරිස් වගාව සදහා අවශ්‍ය රසායනික පොහොර නොමැතිව දැඩි ලෙස අසරණව සිටින බව ඌව පරණගම ගම්මිරිස් වගාකරුවන් පවසනවා.

මේ අතර කොග්ගල ගොවිජනසේවා බල ප්‍රදේශයට අයත් හඳුගොඩ පදිංචි කේ.පී. උපාලි වින්දුල මහතා කාබනික දියර පොහොර පමණක් භාවිත කරමින් දෙමුහුන් වී වර්ග වගාකොට සාර්ථක අස්වැන්නක් ලබාගෙන තිබෙනවා.

උපාලි ගොවි මහතා විසින් අක්කරයක පමණ භූමි භාගයක සම්බා වී වගාකොට ඇති අතර නියර මත එළවළු වගාවද ඉතා සාර්ථකව සිදුකරගෙන යනවා.

පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ හතරැස් කොටුව ප්‍රදේශයේ සිදුකරන වගා කටයුතු සඳහා අවශ්‍ය කාබනික දියර නිෂ්පාදන ව්‍යාපෘතියක් රජයේ උපදෙස් පරිදි පෞද්ගලික ව්‍යවසායකු විසින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මත්ස්‍යයින්ගේ ඉවතලන අපද්‍රව්‍ය සහ ගිනි සීරියා, වල් සූරියකාන්ත, කැප්පෙටියා හා පිදුරු ආදිය මෙම කාබනික දියර පොහොර නිෂ්පාදනය සදහා භාවිත කරන බවයි ඔහු පැවසුවේ.

මේ අතර දෙහිවල සත්වෝද්‍යානයෙන් ඉවතලන පරිසර හිතකාමී අපද්‍රව්‍ය සහ සත්ව වසුරු යොදා ගනිමින් කාර්ය මණ්ඩලය පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස නිෂ්පාදනය කෙරෙන පොහොර කොම්පෝස්ට් පොහොර හා කාබනික පොහොර වශයෙන් වර්ග දෙකක් (2) යටතේ සහන මිලකට ජනතාව වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.

******************************************

මුතුරාජවෙල තෙත්බිම යළිත් ඉඩම් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට

(10.10.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

ලොව ප්‍රධාන නගරයක් ආසන්නයේ පිහිටා ඇති විශාලතම රැම්සා තෙත් බිමක් ලෙස සැලකෙන මුතුරාජවෙල තෙත්බිම ඉඩම් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වූයේ වරක් දෙවරක් නොවේ.

දේශපාලන බලාධිකාරියේ ද නොමද ආශිර්වාදය ලබන මෙම ඉඩම් කොල්ලකරුවන් විවිධ වංචනික කූඨ උපක්‍රම මෙම ක්‍රියාවලිය සඳහා භාවිත කරනවා.

මුතුරාජවෙල වනසන්නට ඉඩම් කොල්ල කරුවන් පමණක් නොව ඇතැම් අවස්ථාවලදී රජයේ ආයතන පවා මැදිහත් වී ඇති අවස්ථා අපමණයි.

එක් අවස්ථාවක කසල ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍රාගාරයක් මෙහි ප්‍රතිෂ්ඨාපනය කිරීමට වෙර දරූ රජයේ බලධාරීන් තවත් අවස්ථාවක ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයක් මෙම වටිනා තෙත්බිම් භූමියේ ඉදි කරන්නට වෙර දරුවා.

කෙසේ වෙතත් පරිසරයට හානි කරන මෙම ව්‍යාපෘතීන් කෙරෙහි එල්ල වූ ජනතා විරෝධය හමුවේ ඒවා අකුලා ගන්නට රජයට සිදු වුවද ඉතාම කූට ලෙස ක්‍රමයෙන් සිදු කෙරෙන මුතුරාජවෙල ආක්‍රමණයන් තාමත් නැවතී නැහැ.

මුතුරාජවෙල වටිනා බිම ගොඩකර එහි විශාල පොල් ගස්,තල් ගස් සිටුවා සිදු කරන තවත් නීති විරෝධී සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳව පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ලක් වුණා.

නිදාසිටි බලධාරීන්ගේ දෙනෙත් විවර කළ මෙම හෙළිදරව්වත් සමග පරිසර බලධාරීන් මෙම භූමියට ගොස් පරික්ෂා කර බලන්නට අද පියවර ගෙන තිබුණා.

මේ සා දැවැන්ත පාරිසරික හානියක් සිදු වෙද්දී මෙරට පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා මහජන මුදලින් වැටුප් ලබා ගන්නා පරිසර බලධාරීන් සිටියේ කොහෙද?

මෙම රැම්සාර් තෙත් භූමියේ වටිනාකම මෙරට පරිසරය රැක ගැනීමට සිටිනා බලධාරීන්ට නොතේරෙන්නේද?

මේ නීති විරෝධී සංවර්ධන කටයුත්තට එරෙහිව ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග දෙස හිරු ප්‍රවෘත්ති අංශය දැඩි අවධානයෙන් බලා සිටිනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් 468 ක් සුවය ලබයි

(10.10.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 468 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,80,097 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,25,663 ක්.

ඉන් 32,270 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. මෙරටින් කොරෝනා වෛරසය ආසාදිත මරණ 13,296 ක් ද වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++++++

තවත් කොරෝනා මරණ 35 ක්

(10.10.2021 – 17:10 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (09) තහවුරු කරන ලද කොරෝනා මරණ 35 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (10) වාර්තා කර තිබුණා.

වයස අවුරුදු 30 ට වැඩි එක් (1) කාන්තා මරණයක් ද වාර්තා වනවා.

මෙම මරණ 35 අතර අවුරුදු 30 ත් 59 ත් අතර පුරුෂයින් 3 ක් සහ එක් (1) කාන්තාවක් සිටිනවා.

වයස අවුරුදු 60 ට වැඩි පිරිමින් 15 ක් සහ කාන්තාවන් 15 දෙනෙකු ද මෙම මරණ 35 ට අයත් වනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී මියගිය සංඛ්‍යාව 13,331 දක්වා ඉහළ යනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 560 ක් තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,26,223 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *