‘ගන්දර කපුවා’ගෙ බැංකු ගිණුම්වල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙ කලු සල්ලි

‘ගන්දර කපුවා’ගෙ බැංකු ගිණුම්වල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙ කලු සල්ලි


‘ගන්දර කපුවා’ගෙ බැංකු ගිණුම්වල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙ කලු සල්ලි

(22.10.2025 – hirunews.lk)

ගන්දර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය බව කියන කපුවෙකුගේ බැංකු ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් රු. කෝටි 33 ට අධික මුදලක් සංසරණය වී ඇති බව වත්කම් විමර්ශන කොට්ඨාසය අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා වෙත දැන්වුවා.

ගන්දර ප්‍රදේශයේ පදිංචි ‘දිනේෂ් කුමාර’ නමැති පුද්ගලයෙක් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරින් ඒ බව කියා සිටියා.

මෙම සැකකරු ප්‍රබල පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වා ඇති බව විමර්ශන වලින් අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

මෙම සැකකරුගේ ඇතැම් සහෝදරයන් ඇතුළු පවුලේ සමීපතයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වා ඇති බවට ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූවා.

නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් පසුගිය 16 දින අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා එම කොට්ඨාසය භාරයේ දින හතක් (7) රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (22) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ විමර්ශන නිලධාරීන් ඒ බව අධිකරණයට දැන්වුවා.

සැකකාර පුද්ගලයා දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති නමුත් ඉන් මුදල් උපයාගෙන ඇති බවට කරුණු අනාවරණය නොවන බවත් ඔහුගේ ගිණුම්වල තිබෙන මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

ඔහුගේ දේපළ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරමින් පවතින බවත් මේ වන විට ඔහුට අයත් බහු දින යාත්‍රා 2 ක් ඇතුළු යාත්‍රා 4 තිබෙන බවට හෙළිවූ බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූවා.

ඉකුත් 2020 හා 2024 යන කාල වකවානුව තුළ ඔහුගේ ගිණුම්වලට රු. කෝටි තිහකට (30) අධික මුදලක් සංසරණය වී ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරන බවද එම නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

සැකකාර කපුවා ඩුබායිහි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග දුරකථනයෙන් සබඳතා පවත්වා ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතින බවද වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

මෙම සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනකු (2) ද ඊයේ (21) සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා ලබන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර එදිනට ඔවුන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා ෴


කොළඹ පාසලක ළමා අපයෝජනයක්

(22.10.2025 – hirunews.lk)

කොළඹ ප්‍රධාන පාසලක දරුවන් තිදෙනෙකු (3), විද්‍යාලයේ ස්ථාන භාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් පසුගිය සෙනසුරාදා (04 වනදා) බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශ කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සහ ආචාර්යවරුන් කිසිදු පියවරක් ගෙන නොමැති අතර අපයෝජනයට ලක්වූ දරුවන් වෛද්‍යවරයකු වෙත යොමුකිරීම පවා සිදුකර නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම අදාල ආරක්ෂක ආයතනය පිළිබඳව මෙන්ම මෙම අපයෝජනය සිදු කළ පාපතරයා සම්බන්ධයෙන් පියවරක් ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ගුරුවරුන් දෙපළක් (2) මේ සම්බන්ධයෙන් දැනුම් දුන් විට විදුහල්පතිවරයා තර්ජනය කර ඇති බවත් මේ ගැන පැමිණිලි සිදු කිරීමට ගිය විට දරුවන් උසාවි ගෙනයාමට සිදුවනු ඇති බවත්, වසර ගණනාවක් නඩු ගෙනයාමට සිදුවිය හැකි බවට ප්‍රකාශ කරමින් දෙමාපියන් බිය වද්දවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

අදාල සිදුවීම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදු කළ යුතු අතර මේ සම්බන්ධයෙන් වන තොරතුරු පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බවද විපක්ෂනායකවරයා පැවසුවා.

මේ සිදුවීමට විරෝධය පළකරමින් පාසල ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසුවා.

එමෙන්ම මෙම සිදුවීම හේතුවෙන් අගතියට පත් දරුවන්ට ආරක්ෂාව රැකවරණය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් මෙම සංවේදී කාරණාව ගැන සොයා බලන ලෙසත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

එමෙන්ම මෙවැනි ක්‍රියාවක නිරත වූ පාපතරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් කිසිදු බලපෑමකට යටත් නොවී කරුණු සොයා බලා කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසුවා.

මීට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ මේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බවයි.

ඒ පිළිබඳව දැනටමත් අදාල අංශ විසින් අවධානය යොමු කර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මෙවැනි සිදුවීම් සුළුවෙන් තකන්නේ නොමැති බවත් ආයතන සහ අමාත්‍යාංශ කිහිපයක්ම මේ ගැන දැඩි අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මෙවැනි සිද්ධි ජනමාධ්‍යයෙන් වාර්තා කිරීමේදී වින්දිතයින්ට අගතියක් නොවන ආකාරයට වාර්තා කරන ලෙස තමා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා වැරදුරටත් ප්‍රකාශ කළා ෴


පාසල් සහ පිරිවෙන් සිසුන් සඳහා පාවහන් වවුචර්පත් ලබා දීමට කැබිනට් අනුමැතිය

(22.10.2025 – hirunews.lk)

2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා ගැනීම සඳහා වන වවුචර්පත් 2025 පාසල් වාරය අවසාන වන විට ප්‍රතිලාභීන් වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා.

එම වවුචර්පත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සුබ සාධක ප්‍රතිලාභ ලබා දීම සඳහා සකස් කරනු ලැබ ඇති තිළිණපත් ජංගම දුරකථන මෘදුකාංගය හරහා පරිලෝකනය කිරීමට හැකි වන අයුරින් QR කේත අංකයක් සහිතව ආරක්ෂිතව මුද්‍රණය කර ප්‍රතිලාභී සිසුන් වෙත ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව, එම වැඩසටහන යටතේ පහත සඳහන් පරිදි සිසුන් තෝරා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය තුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

  • සමස්ත දිවයිනේම ශිෂ්‍ය සංඛ්‍යාව 250 ට අඩු පාසල් වල ඉගෙනුම ලබන සිසුන් 644,000
  • ශිෂ්‍ය සංඛ්‍යාව 251-500 දක්වා වන වතු පාසල් වල ඉගෙනුම ලබන සිසුන් 53,093
  • විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 30 ක සිසුන් 2,300
  • පිරිවෙන්වල තෝරාගත් ගිහි/පැවිදි සිසුන් 30,000

පැය 10 ක ජල කප්පාදුවක්

(22.10.2025 – hirunews.lk)

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත් හිටුවීමට සිදුවන නිසා අඹතලේ ජල පවිත්‍රාගාරය මගින් සැපයෙන ජලය අත් හිටුවීමට සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් හෙට (23) දිනයේ පෙරවරු 10 සිට පස්වරු 8 ට දක්වා පැය 10 ක කාලයක් පහත ප්‍රදේශවලට ජල සැපයුම අත් හිටුවීමට තීරණයකර ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

එම ප්‍රදේශවන්නේ, බත්තරමුල්ල, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව යන ප්‍රදේශයි ෴


පාතාලයන් ඉන්දියාවට පන්නන මහමොළකරු කිලිනොච්චියේදී කොටු

(22.10.2025 – hirunews.lk)

මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන මහමොළකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කිලිනොච්චිය ප්‍රදේශයේදීයි.

‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ‘ඉෂාරා සෙව්වන්දි’ පසුගිය සෙනසුරාදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කිලිනොච්චිය ප්‍රදේශයට සහ යාපනයට රැගෙන ගොස් තිබුණා.

ඒ ඇයට ‘සංජීව ඝාතනයෙන්’ පසුව සැඟවී සිටීමට නවාතැන් සැපයූ ස්ථාන පරීක්ෂා කිරීම සඳහායි.

ඇය එම ප්‍රදේශවල දින 3 ක් රැඳී සිට අනතුරුව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලාගොස් තිබූ බවටයි අනාවරණය වුණේ.

ඒ අනුව ඇයට නවාතැන් පහසුකම් සැලසූ පුද්ගලයන් සිව්දෙනෙකු (4) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුවයි මෙලෙස මහ මොළකරුවා ලෙස හැදින්වෙන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ.

ඔහු සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේදී හෙළිවී ඇත්තේ, මෙරට සිටි අපරාධකරුවන් රැසක් එම පුද්ගලයා විසින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගොස් ඇති බවයි.

මේ අතර නේපාලයේ සැඟව සිටියදී අත්අඩංගුවට මෙරටට ගෙනවිත් රඳවා ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘දිනේෂ් නිශාන්ත කුමාර’ නොහොත් ‘ගම්පහ බබා’ නැමැත්තාට අයත් ජංගම දුරකථන වලට අදාළ වාර්තා කැළණිය අපරාධ කොට්ඨාසය වෙත ලබා දෙන ලෙස දුරකථන සමාගම් කිහිපයක් වෙත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ. ප්‍රේමරත්න ඊයේ (21) නියෝග කළාය.

වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කැළණිය අපරාධ කොට්ඨාසය සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය සිදුකළා.

‘කෙහෙල්බද්දර පද්මේ’ නමැති අපරාධකරුගේ මග පෙන්වීම හා මෙම සැකකරුගේ මෙහෙයවීම මත මෙරට තුළ සිදු කර තිබෙන මනුෂ්‍ය ඝාතනවලට අදාල ගිනි අවි පතොරම් කීපයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සෙසු ගිනි අවිද අත්අඩංගුවට ගැනීම සඳහා සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතින බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සැකකරු රාජ්‍ය සංවිධාන සමඟ සම්බන්ධතා පවත්වමින් ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් ගිනි අවි මෙරටට ලබාදීමට කටයුතු කර ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාප්ත කිරීමට අමතරව මනුෂ්‍ය ඝාතන සඳහා අවශ්‍ය ගිනි අවි සපයා ඇති බවට කරුණු අනාවරණය වන බවත් සැකකරු දින 90 රඳවා ප්‍රශ්න කරන බවත් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා.

මේ අතර විදේශයන්හි සැඟව සිටිමින් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බව කියන දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි ‘සෙහාන් සත්සර’ හෙවත් ‘දෙහිබාලේ මල්ලි’ හා ඔහුගේ සොහොයුරා වන ‘තුෂාන් නෙත්සර’ හෙවත් ‘කළු මල්ලි’ වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (21) නියෝග කළා.

මීට අමතරව මෙම සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම නියෝග කරනු ලැබුවා.

දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදාව විසින් අයිස්, හොරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254 ක් පසුගියදා සිය භාරයට ගෙන තිබුණා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණය දැනුම් දී ඇත්තේ එම මත්ද්‍රව්‍ය තොගය රටට රැගෙන ඒම ‘දෙහිබාලේ මල්ලි’ හා ‘කළු මල්ලි’ විසින් සිදුකර තිබෙන බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.

මෙම සැකකරුවන් ඩුබායි හෝ වෙනත් විදේශීය රාජ්‍යයක සැඟවී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවද පොලීසිය ප්‍රකාශ කළා.

එම පුද්ගලයින් දෙදෙනාගේ (2) දුරකථන විස්තර වාර්තා කැඳවීමට නියෝගයක් ලබාදෙන ලෙසයි පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඊට අමතරව අදාළ සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට ගත් ධීවරයින් පස්දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (21) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන නොවැම්බර් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ ෴


ආපදා මරණ 4 ක්, දස දහසකට (10,000) පීඩා

(22.10.2025 – hirunews.lk)

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 12 ක පුද්ගලයින් 10,553 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි පෙන්වා දෙන්නේ විවිධ ආපදා හේතුවෙන් මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 4 ක් වන අතර වාර්තා වී ඇති නිවාස අර්ධ හානි සංඛ්‍යාව 387ක් බවයි.

මේ අතර ආපදා හේතුවෙන් සිදු වූ එක් (1) පුද්ගල මරණයකට රුපියල් මිලියනයක (1) වන්දියක් ලබාදීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියා.

උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරු තමිල්නාඩු වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ෴


ජවිපෙ ‘පච ජයලාල්’ උසාවියටම කොටු වෙයි ? (22.10.2025)

+

යසපාලිතගේ පුතා දැන් රස සාගරයක් (22.10.2025)

+

ආණ්ඩුවේ රෙදි හෝදන ඩෝබිලාගේ නම් කියන්ඩත් ලැජ්ජයි ද ? (22.10.2025)

+

ඇයි හරිනි ඔයා ඔයාගෙ ප්‍රශ්න අපට කියන්නෙ ? අපි ඒවා කාටද කියන්නෙ ? (22.10.2025)

+

අධිකරණ ඇමතිගේ චුවිංගම් විනෝද සමය… වත්කම් අමතක වීමේ පට්ට ජෝක් එක (22.10.2025)

+

නැසනල් සිකුරිටි දැන්නං අවුලක් ඇත්තෙම නෑ ඔමායා… (22.10.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *