ආණ්ඩුව කැන්ඳූ කසකරුවන්ම ආණ්ඩුවට විරුද්දව පැමිණිලි ගොනු කරති…

ආණ්ඩුව කැන්ඳූ කසකරුවන්ම ආණ්ඩුවට විරුද්දව පැමිණිලි ගොනු කරති…

*********************************************

ආණ්ඩුව කැන්ඳූ කසකරුවන්ම ආණ්ඩුවට විරුද්දව පැමිණිලි ගොනු කරති…

(08.10.2021 – 14:10 +0530 – lankacnews.com)

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම අත්සන් කිරීමේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බරපතළ වගන්ති හතරක් (4) උල්ලංඝනය කර ඇති බව ‘ජාතික සංවිධාන එකමුතුව’ සඳහන් කරයි.

මෙම ගිවිසුම විශාල දූෂණයක් බවත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව කැබිනට් අනුමැතියකින් තොරව එය සිදුකළ නොහැකි බව ඔවුන් කියා සිටිති.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සංවිධානය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

එම සංවිධානය වෙනුවෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල ගොනු කිරීමෙන් පසු අල්ලස් කොමිසම ඉදිරියේ දී ඔවුන් විසින් මාධ්‍ය වෙත පල කරන ලද අදහස් මෙසේය :

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා :

“ජාතික සංවිධාන එකමුතුව වශයෙන් අපි මේ පෙත්සම අල්ලස් කොමිසමට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි දකින්නේ මේක විශාල දූෂණයක් හැටියට. මේ LNG ගිවිසුම ටෙන්ඩර් කැඳවන්නේ නැතුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව, කැබිනට් අනුමැතියකින් තොරව සම්පූර්ණයෙන්ම බලහත්කාරයෙන්ම වගේ ඉදිරිපත් කරපු ගිවිසුමක්. ඒ වගේම මේක ඇත්ත වශයෙන්ම දූෂණයක්. මේකෙන් දූෂණයට අමතරව අපගේ ස්වෛරීභාවයට විශාල හානියක් සිදුවෙනවා. මොකද මේ ගිවිසුම මගින් ඇමරිකාව අපේ විදුලිබල ශක්තිය අතට අරගෙන එයාලට ඕන වෙලාවක එවා නිෂ්ක්‍රීය කරල අපිව දන ගස්සන්න පුළුවන්. ඒ වගේ භයානක දෙයක් මේ ගිවිසුම මගින් සිදු වෙනවා.

එම නිසා මෙම ගිවිසුම අවලංගු කළ යුතුයි. එමෙන්ම මේ වගේ දේවල් කරන්න ඉඩ දුන්නොත් අපේ සම්පූර්ණ ස්වාධීපත්‍ය නැති වෙනවා. අනිත් එක මේක කරන්න හදන්නේ භයානක අවස්ථාවක. මොකද අපි දැන් ඉන්නේ ගිනි කන්දක් උඩ. අපේ රට දැන් තියෙන්න තුන්කොන් බලවේගයකට මැදි වෙලා. එහෙම තියන වෙලාවක මේ වගේ දෙයක් ඇමරිකාවට දීම මහා භයානක දෙයක්. මේක තුන්වැනි ලෝක යුද්ධයක් කරා යන්න මුල් වෙන්න පුළුවන්. එම නිසා අපි කියනවා ආණ්ඩුවට මේක වහාම අකුල ගන්න කියලා.”

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා :

“අපි අද භාණ්ඩාගාරයේ ලේකම් ට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ පැමිණිල්ලට පදනම වන්නේ ඔහු මූලිකත්වය ගෙන කැබිනට් එක නොමඟ යවා, කැබිනට් එකට අත්සන් කරපු ගිවිසුම පවා ඉදිරිපත් නොකර, මේ LNG බලාගාරයේ කොටස් විකිණීම සහ ගෑස් සැපයීමේ කොන්ත්‍රාත් සහ යටිතල පහසුකම් කොන්ත්‍රාත් විදේශීය සමාගමට පැවරීම යි. අල්ලස් දූෂණ පනතේ 70 වගන්තිය යටතේ රජයට පාඩු සිදුවන ආකාරයට ඔහු ක්‍රියාකර තිබෙනවා. අද මේ අල්ලස් කොමිසමට පැමිණිලි කරන්නේ ඔහු කළ වැරදි හතරක් (4) ගැනයි.

පළමුවෙනි වරද : මෙම යුගදනවි බලාගාරයට අදාල කොටස් විකිණීමේදී මේ රටේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් තමයි එහෙම කරනවා නම් කරන්න පුළුවන්. ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් නොකර එහෙම කොටස් විකිණීම නිසා රජයට පාඩු සිදු වෙනවා.

දෙවැනි කාරණය ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව සහ ගෑස් යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුව එකට ගැට ගසා එක සමාගමකට දීම නිසා රජයට අනාගතයේදී තරගකාරී මිලට වෙනත් ප්‍රභවයන්ගෙන් ගෑස් ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා රජයට පාඩු සිදු වෙනවා.

තුන්වැනි කාරණය මේ ගෑස් ගබඩාවට අතිරික්ත ධාරිතා ගාස්තුවක් ගෙවන්න අවුරුදු පහකට (5) එකඟ වෙනවා. ඒ ඩොලර් මිලියන 250 කට වැඩි ප්‍රමාණයක්. හැබැයි එහෙම ගබඩාවක් මිළදී ගන්න පුළුවන් ඩොලර් මිලියන දෙසීය (200) කට. විශේෂඥ මතය අනුව එතකොට මේ විදිහට අතිරික්ත ධාරිතාවයකට ගෙවන්න එකඟ වීමෙන් රජයට පාඩු සිදු කරලා තියනවා.

හතරවෙනි කාරණාව තමයි අපට අවශ්‍ය ගෑස් ප්‍රමාණයට වඩා ගෑස් ප්‍රමාණයක් මිලදී ගැනීමට එකඟ වීම නිසා අපි භාවිතයට නොගන්නා ගෑස් වලටත් අපට මුදල් ගෙවන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා රජයට පාඩු වෙනවා. ඒ නිසා මේ ආකාරයට මේ ගිවිසුම් අත්සන් කිරීම මගින් භාණ්ඩාගාර ලේකම්වරයා රජයට පාඩු සිදු කළකරලා තියෙනවා. ඒ නිසා ඔහු අල්ලස් අල්ලස් හා දූෂණ පනතේ 70 වගන්තිය උල්ලංගනය කරලා තියෙනවා.”

නිතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා :

“මේ රටේ ආර්ථික මර්මස්ථානයක් බවට පත්වෙලා තියෙන, බලශක්ති සම්බන්ධයෙන් වැදගත් ප්‍රභවයක් වන යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අපි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළා. අමාත්‍ය මණ්ඩලයට හංගලා, කැබිනට් මණ්ඩලයට හංගලා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා භාණ්ඩ ලේකම්වරයා වශයෙන් ගෙන ගිය ක්‍රියාවලිය ඉතාම සැකසහිතයි. කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් දන්නෑ. කැබිනට් මණ්ඩලයේ න්‍යාය පත්‍ර වල මේ සම්බන්ධයෙන් කිසිවක් අතුලත් වෙලා තිබුණේ නෑ. මේ ක්‍රියාවලිය තුළ අපි දැකපු ලොකුම ප්‍රශ්නය තමයි ජාත්‍යන්තරය ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමයි මේ කාරණාව සිද්ධවෙන්නේ. අපි දන්නවා අපේ රටේ ගමේ ස්කෝලෙක අඩු තරමින් කැන්ටිමක්වත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව දෙන්නෙ නෑ. බලාගාරයේ ඉදිකිරීම – ඒකෙ නල පද්ධතිය ඇතිරීම – ඒ වගේම ගෑස් සැපයුම කියන කාරණා තුනම (3) භාර දීල තියෙන්නෙ එකම සමාගමකට. මේ ඒකාධිකාරිය බාර දුන්නට පස්සේ අපට සිද්ධ වෙන දේ තමයි ඒ අදාල අදාළ සමාගම කියන විදියට – නැත්නම් ඇමරිකානු සමාගම කියන විදියට නටන්න සිද්ධ වෙන එක.”

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි :

“වර්තමාන ජනාධිපතිතුමත් ඒ වගේම වර්තමාන පාර්ලිමේන්තුවත් පත්වුණේ ‘සෞභාග්‍යයෙ දැක්ම’ ප්‍රකාශනයට අනුව. දේශීය සම්පත් සුරකින බවට අපේ රටේ ජනතාවට පොරොන්දු දීලා. ඒ නිසාම මහජනතාව විශ්වාසය තබලා 69 ලක්ෂයක් ඡන්දය දුන්නා. ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය ඇති පාර්ලිමේන්තුවක් පත් පත්කර ගැනීමට අවශ්‍ය ඡන්දය දුන්නා. හැබැයි සමහර අවස්ථාවලදී අපට බොහෝම පැහැදිලිව පේනවා ඒ දේශීය සම්පත් සුරකීම වෙනුවට දේශීය සම්පත් විදේශ වලට බදු දීම එහෙම නැත්නම් විකිණීම වගේ දේවල් සිද්ධ වෙනවා.

එයින් බරපතළ එකක් තමයි මේ යුගදනවි බලාගාරය ඇමරිකාවට බදු දීම අවුරුදු පහකට (5). අවුරුදු පහකට (5) නෙමෙයි මාස කිහිපයකට බදු දුන්නත් ඇමරිකාව ඒ අයට අවශ්‍ය ප්‍රයෝජනය ගන්නවා. කවදාවත් ඇමෙරිකාව ආසියාතික රට වලට හිතවත්ව කටයුතු කරන්නේ නෑ. ඉතින් එහෙම එකේ මේ බදුදීම රහසිගතව ඇයි සිද්ධ කළේ? අපට බරපතළ ප්‍රශ්නයක්? ඡන්ද දායකයො දන්නෙත් නෑ; ඡන්දෙ දීලා පත් කරපු මන්ත්‍රීවරු දන්නෙත් නෑ; ඒ විදිහට මහජනතාව හා මහජන නියෝජිතයන් දැනුවත් නැතුවයි මේ ගිවිසුම අත්සන් කරල තියෙන්නෙ.

ඉතින් ඒ නිසා අපි බොහොම තදින්ම ඉල්ලා හිටිනවා මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න යන්න එපා. අපි දැන් අල්ලස් කොමිසමට බාර දුන්නා වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකුත් ගොනු කරනවා මේකට එරෙහිව. අපට කොහොමවත් බලන් ඉන්න බෑ දේශීය සම්පත් විජාතික විදේශික බලවේග වලට බදු දෙනකොට. ඉන්දියාව ඇමරිකාව වගේ රටවල් අපට හිතවත්ව කටයුතු කරපු බවක් පේන්නෙ නෑ. ඒ නිසා අපි බොහොම කරුණාවෙන්, බොහොම තදින් ඉල්ලා සිටිනවා වර්තමාන රජයෙන් ජනාධිපතිතුමා ගෙන් අගමැතිතුමා ගෙන් ඒ වගේම පාර්ලිමේන්තුවෙන් මේ වගේ දේවල් කරන්න එපා කියලා.

******************************************

‘එකට එකක් නොමිලේ..’ මොස්කව් ශ‍්‍රී ලංකා ගුවන් යානා සංචාරකයන්ගෙන් පිරේ…

(08.10.2021 – 12:40 +0530 – lankacnews.com)

මේ මාසයේ හා ඉදිරි මාසය තුල රුසියානු සංචාරකයන් දහසකට (1000) ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට නියමිතය. ඔක්තෝම්බර් මාසය තුල මොස්කව් සිට කොළඹට පැමිණෙන සියලුම ශ්‍රී ලංකන් ගුවන් යානා ආසන වෙන්කර ගැනීම සඳහා රුසියානු සංචාරකයන් කටයුතු කරමින් සිටි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්තා අනුව මේ වනවිට එම ගුවන් යානා වල ආසන වෙන් කිරීම සම්පූර්ණ වෙමින් පවති.

ශ්‍රි ලංකන් ගුවන් සමාගම රුසියාවේ මොස්කව් නුවර සිට සතියකට වරක් සෘජු ගුවන් ගමනක් සිදු කරයි. ඒ අනුව ඔක්තෝම්බර් 09, ඔක්තෝම්බර් 16, ඔක්තෝම්බර් 23 හා ඔක්තෝම්බර් 30 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යූ.එල් 534 ගුවන් යානය මොස්කව් සිට මෙරටට පැමිණීමට නියමිත අතර මෙම ගුවන් යානා මගින් මෙරටට පැමිණීම සඳහා දහසකට (1000) ආසන්න පිරිසක් ආසන වෙන් කරගෙන තිබේ.

රුසියාව හා ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම සෘජු ගුවන් ගමන් ආරම්භ කලේ පසුගිය ජූලි 31 වෙනිදායි. ඒ වසර හයකට (6) පසුවය. සැප්තැම්බර් 03 වෙනිදා සිට රුසියාව කේන්ද්‍ර කරගත් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ආරම්භ කලේය. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක කෙරිණ. කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශයන්හි පැවැත්වෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීම අත්හිටුවා තිබූ අතර එය යළි ආරම්භ කලේ ද රුසියාවේ මොස්කව් නුවර පැවැති සංචාරක ප්‍රදර්ශනයකට සහභාගි වෙමිනි. සංචාරක ඇමතිවරයා එහිදී එරට මාධ්‍ය, සමාජ මාධ්‍ය සමගත් සංචාරක සංවිධාන නියෝජිතයන් සමගත් විශේෂ සාකච්ඡා වට කීපයක්ම පැවැත්වීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමතිවරයා උපදෙස් දුන්නේ රුසියානු සංචාරකයන්ට සහන පැකේජයක් හඳුන්වා දෙන ලෙසය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමතිවරයා උපදෙස් දුන්නේ රුසියානු සංචාරකයන්ට සහන පැකේජයක් හඳුන්වාදෙන ලෙසය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට ‘Bye One Get One’ ක්‍රමය හඳුන්වා දී තිබේ. මේ තත්වය එරට සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට හේතු වී තිබේ.

රුසියානු සංචාරකයන් වැඩිම පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2019 වසරේදීයි. එම වසරේ මෙරටට පැමිණි රුසියානු සංචාරකයන් සංඛ්‍යාව 86,000 ක් පමණ වේ. 2020 මාර්තු මාසයේ සිට මෙරට කොවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමා පැවතිය ද 2020 වසර තුලදී මෙරටට රුසියානු සංචාරකයන් 49,397 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉදිරි මාස 02 ක කාලය තුල මෙරටට රුසියානු සංචාරකයන්ගේ පැමිණීමේ විශේෂ වර්ධනයක් දක්නට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රදීප් අනුර කුමාර

******************************************

රුපියල් ලක්ෂ 27 ක් සොරකම් කරයි – පේරාදෙණිය විශ්විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන ඒකක ප්‍රධානී ගේ වැඩ තහනම්

(08.10.2021 – 11:54 +0530 – lankaleadnews.com)

පේරාදෙණිය විශ්විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂවරයා විශ්විද්‍යාලය සතු රුපියල් ලක්ෂ 27 ක් වංචා කර හසුවීම නිසා වැඩ තහනම් කර ඇතැයි විශ්විද්‍යාල ආරංචි මාර්ග කියයි.

වාර්තාවන පරිදි සිදධිය මෙසේය. ‘ක්‍රීඩාංගනය හා ක්‍රීඩාගාර’ බාහිර පාර්ශව වෙත ලබා දෙමින් විශ්විද්‍යාලය උපයන මුදල්වල පරිපාලන බලය තිබී ඇත්තේ ශාරීරික අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂ වරයාටය.

එම මුදල් පරිපාලනය සඳහා පේරාදෙණිය මහජන බැංකුවේ ගිනුමක් පවත්වාගෙන යනු ලබයි. එම ගිනුමේ ලක්ෂ 31 මුදලක් තැන්පත් වී තිබී ඇත. මෙම අධ්‍යක්ෂවරයා ඉන් ලක්ෂ 27 ක මුලක් ලබාගෙන නිවසක් ඉදි කර ඇති බව පරීක්ෂණවල දී තහවුරු වී තිබේ.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පැවැත්වේ.

එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ වැඩ දෙපාර්තමේන්තුවේ වැඩ පරීක්ෂක වටිනා දැව අඩි 202 ක් වංචා කිරීම හේතුවෙන් ඔහුගේ ද වැඩ තහනම් කර ඇත.

ඔහු එම දැව පුද්ගලික ගැණුම්කරුවන් වෙත වංචනික ලෙස විකිණීමක් සම්බන්ධව විමර්ශනයකින් හෙළිදරවු වී ඇත. ඔහුගේත් සේවය අත්හිටුවා වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධව උපකුලපති මහාචර්ය එම්.ඩී. ළමාවංශ මහතාගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු සියලුම දේපල සහ මුදල් දරුවන්ගේ අධ්‍යාපනය සහ අනාගතය වෙනුවෙන් බවත් වැලි කැටයක දෙයක් ඊට පරිබාහිරව භාවිත කළ නොහැකි බවත්ය.

එවැනි අපරාධ සම්බන්ධව උපරිම දඬුවම් ක්‍රියාත්මක කරමින් නීතිමය පියවර ගන්නා බවද උපකුලපතිවරයා කීවේය ෴

******************************************

‘පැන ගිය නඩේෂන්’ අල්ලස් කොමිසම ඇතුලටම ගිය හැටි

(08.10.2021 – 12:59 +0530 – truenews.lk)

තිරු නඩේෂන් අද (08) දින අල්ලස් කොමිසමට සිය මෝටර් රථයෙන් පැමිණ තිබුනේ මෙලෙසිනි. එහිදී ඔහු පැමිණි වහනයෙන්ම අල්ලස් කොමිසම තුලට ඇතුල්වන ආකාරය අප කැමරාවේ සටහන් වූයේ මෙලෙසිනි.

තිරු නඩේෂන් ලංකාවෙන් පැන ගොස් ඇති බවට නොයෙක් තොරතුරු වාර්තා විය. නමුත් තමන්ට එලෙස රටින් පැන යාමට අවශ්‍යතාවයක් නැති බව ඔහු පවසා තිබිණි.

එමෙන්ම තමන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ෂණයක් කරන ලෙසට ඉල්ලමින් තිරු නඩේෂන් විසින් පසුගියදා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළේය.

එමෙන්ම පැන්ඩෝරා පත‍්‍රිකා මගින් මෙලෙස හෙළි වීමෙන් පසු මෙම කරුණු පිළිබදව විමර්ෂණය කොට මසක් තුළ තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා විසින් අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිසමට නියෝග කර තිබේ.

ලොව පුරා සිටින දේශපාලඥයින්, විශේෂ පුද්ගලයින්, ව්‍යාපාරිකයන් ආදීන්ගේ සැඟ වූ ධනය පිළිබඳ තොරතුරු අනාවරණය කළ පැන්ඩෝරා පත්‍රිකාවන්හි නම් සඳහන් වීම හේතුවෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේශන් මීට ටික වේලාවකට පෙර එම කොමිෂන් සභා භූමියෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් ඉදිරියේ පැය 4 කට අධික කාලයක් සිය ප්‍රකාශය ලබා දී තිබුණා.

******************************************

සජිත් ප්‍රේමදාස – ජලනි ප්‍රේමදාස යුවල මගේ නිවසක් බලෙන් අත්පත් කරගෙන සිටිනවා – නලින්ද තෙන්නකෝන්

(08.10.2021 – 08:47 +0530 – lankaleadnews.com)

කොළඹ 07, මේට්ලන්ඩ් ක්‍රෙසෙන්ට් හි පදිංචි නලින්ද තෙන්නකෝන් නැමැත්තෙකු චෝදනා කරන්නේ සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි පේ‍්‍රමදාස විසින් තම නිවසක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවයි.

එහිදි ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ 2007 වසරේ සිට කුලී පදනම මත තමාට අයත් නිවස ජලනි ප්‍රේමදාස විසින් භාවිතා කළ ද දැනට ලක්ෂ 35 ක පමණ හිඟ කුලී මුදලක් තමන්ට දීමට නියමිතව ඇති බවයි.

ප්‍රේමදාස යුවල විසින් දිගින් දිගටම කුලී මුදල් ගෙවීම පැහැර හරිමින් සිටින බවත් නිවස මිලදී ගැනීමට සාකච්ඡා කර ගිවිසුමකට එළඹ සිටියද ද ඒ සඳහාද මෙතෙක් මුදල් ගෙවීම් කර නැති බවද ඔහු පැවසුවේය.

“මේ සම්බන්ධයෙන් මම අධිකරණයේ නඩු පවරා තිබෙනවා, මට අවශ්‍ය වන්නේ මගේ නිවස නිදහස් කර ගැනීම හෝ නිවසේ වර්තමාන වටිනාකමට අනුව ඔවුනට එම නිවස විකුණා දැමීමයි.”

https://www.youtube.com/watch?v=8TB-BtisMH0

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කටුනායක ගුවන්තොටුපලේ පී.සී.ආර්. නැවැත්වීම හරහා විශාල ජාවාරමක්…?

(08.10.2021 – 13:20 +0530 – lankacnews.com)

කටුනායක ගුවන්තොටුපල හරහා ලංකාවට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමේදී විශාල ගසාකෑමක් සිදුවන බවත්, ගුවන්තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට තිබූ අවස්ථාව නතර කරමින් ආර්මාර්ථකාමී ව්‍යාපාරිකයින්ට මුදල් ගසාකෑමට අවස්ථාව උදාකර දී ඇති බවත් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද පැවසූහ :

“අපිට පේනවා කොරෝනා එන්නත මුල්කරගෙන යම්කිසි පිරිසක් ඉතාමත් ක්‍රමානූකූල, කපටි කයිරාටික ධනෝපායනයකට යොමුවෙලා තියෙනවා කියලා. ලාභයට ලෝක වෙළදපොලෙන් එන්නත් ගන්නේ නැතිව වැඩි මුදලකට එන්නත් ගන්නවා. චීනයත් එක්ක ශ්‍රී ලංකාව එන්නත් ලබා ගැනීමේ ගිවිසුමේ මිල අනාවරණය කරන්නේ නැහැ . ලබා ගන්න මිල ප්‍රසිද්ධ කරන්නේ නැහැ. දෙපාර්ශ්වයම එකග වෙනවා මිල ප්‍රසිද්ධ කරන්නේ නැතිව ඉන්න. කෝ මෙතන විනිවිද භාවයක්. සමහර පෞද්ගලික සමාගම් ඉදිරිපත් වෙලා තියෙනවා එන්නත ශ්‍රී ලංකාවේ නිපදවන්න. ආණ්ඩුව එයට අවසරදෙන්නේ නැහැ. ඇයි ඒ?

‘රැපිඩ් ඇන්ටිජන්’ පරික්ෂණ සම්බන්ධයෙන් මතවාද පළවුණා. ඉතාමත් අඩු මුදලකට ගන්න ‘රැපිඩ් ඇන්ටිජන්’ කට්ටල තිබියදී අතිවිශල මුදලකට ගන්න බවට චෝදනා ආවා. එපමණකුත් නොවෙයි පීසීආර් පරික්ෂණ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපලේ සිදුවෙන්නේ මහා සාපරාධී ගසා කෑමක්. පෞද්ගලික හෝටල් වලට අහිංසක ගුවන් මගීහූ දක්කාගෙන ගිහිල්ලා බලහත්කාරයෙන් මුදල් අයකර ගැනීමේ දාමරික ක්‍රියාවක් සිදුවෙමින් පැවතුණා. ජනමධ්‍යයෙන් මෙය උලුප්පා දැක්කුවාට පසුව ආණ්ඩුව ආරම්භ කලා කටුනායක ගුවන්තොටුපල ආශ්‍රිත පීසීආර් මධ්‍යස්ථානයක්. ඒක විශාල වියදමක් දරලා ආරම්භ කළ ආයතනයක්. සාමාන්‍යයෙන් පැයකට පරික්ෂණ 500 ක් පමණ කරන්න පුලුවනි. මේ ආයතනය වැඩ පටන් ගත්තා. වැඩ පටන් අරගෙන ක්‍රියාත්මක වුණේ දවස් දෙකයි. ඒක නැවත වසා දැම්මා.

ඒහෙම නම් කුමක්ද මේ වෙන්නේ?, ආත්මාර්ථකාමී පෞද්ගලික ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසලා දීලා තියෙනවා පොදු ජනතාව සූරාගෙන කන්න. මෙන්න මේ ආකාරයෙන් අපට පැහැදීලිවම නිගමනය කරන්න සිදුවෙලා තියෙනවා අවංකත්වය පෙරදැරි කරගෙන නෙවෙයි මේ වැඩපිලිවෙල ක්‍රියාත්මකවන්නේ කියලා. එන්නත්කරණය පිලිබදව යළිත් සිතන්න. තම තමන්ගේ හෘද සාක්ෂීයට අනුව කටයුතු කරන්න. හැබැයි අපිට අපේ පැත්තෙන් කියන්න තියෙන්නෙ බුදුහාමුදුරුවන්ගේ අවවාදයමයි.

පොදු ජනතාව තුල මතයක් ඇති කලා දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නේ කිසිදු පදනමක් නැති ‘මිත්‍යා විශ්වාසයක්’ පමණයි කියලා. එහෙම කියන අතරම ඔවුන් ප්‍රචාරය කළා ‘මෙන්න එකම විසදුම – එන්නත පමණයි’ කියන එක. ජනතාව බලහත්කාරයෙන් එන්නත්කරණයට පොළඹවලා තියෙනවා. හැබැයි අපි මුල ඉඳලාම කිව්වා – මේ කොරෝනා වයිරසය ආරම්භ වුණ මොහොතේ සිටම දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාව දෙන්න කියලා. දේශීය වෛද්‍යවරු කියන්නේ රජයේ ලියාපදිංචි වී ඇති එසේම නීත්‍යානූකූලව පිළිගත් අය. නමුත් නිත්‍යානූකූලව පිළිගෙන දේශීය වෛද්‍යවරුන් නිර්මාණය කිරීමේ කාර්යය ආණ්ඩුව කරනවා නම් ඇයි මෙවැනි බරපතල අවස්ථාවකදී ‌ දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවන දෙන්නේ නැත්තේ. මේක දේශීයත්වයට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බව අප පැහැදීලිව කිව්වා. දැනට එය වේගයෙන් ක්‍රියාත්මක වෙනවා‍.

ඒ නිසා අපි අදත් කියනවා දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් දෙන්න. අවුරුදු දහස් ගණනක අත්දැකීම් මුල්කරගෙන ඔවුන් අද ඉතාමත් සාර්ථක ලෙස ප්‍රතිකාර කරගෙන යනවා. මේකට අවස්ථාවක් දෙන්න. මේකෙන් කියන්නේ නැහැ ඇලොපති ක්‍රමය බටහිර ක්‍රමය ප්‍රතික්ෂේප කරන්න කියලා.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *