දශක 05කට පසු රත්මලාන ගුවන් තොටුපොළ සක්‍රීය වෙයි

දශක 05කට පසු රත්මලාන ගුවන් තොටුපොළ සක්‍රීය වෙයි

*********************************************

දශක 05කට පසු රත්මලාන ගුවන් තොටුපොළ සක්‍රීය වෙයි

(07.10.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

දශක 05 කට පසු රත්මලාන ගුවන් තොටුපොළ කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම්.

සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන මස මැද වනවිට රත්මලාන ගුවන්තොටුපොළේ සිට පළමු කාලසටහන්ගත ගුවන් යානය මාලදිවයින දක්වා ගමන් කිරීමට නියමිත බවයි.

රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රධාන ක්ෂේත්‍ර 05 ක් ඔස්සේ සංවර්ධනය කිරීමට සැලසුම් කෙරෙනවා.

ඒ අනුව, දේශීය ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක්, විනෝදාස්වාද ගුවන් ගමන් මධ්‍යස්ථානයක් සහ ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස එය සංවර්ධනය කිරීමට නියමිතයි.

එමෙන්ම, ඉහළ ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන් යානා මෙරටට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත්, පුද්ගලික ගුවන් යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා, ඉන්ධන පිරවුම් කටයුතු ද ආරම්භ කිරීමටත් සැලසුම් කෙරෙනවා.

1938 දී ආරම්භ කෙරුණු රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 1968 වසරේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ක්‍රියාත්මක වීමත් සමඟ කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවා.

මාලදිවයින් ගුවන් සමාගම සමග පැවති සාකච්ඡා අනුව රත්මලානේ සිට යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට එකඟත්වය පළ වී ඇති අතර, පවතින සම්පත් උපයෝගි කර ගනිමින් නව කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි ෴

******************************************

නඩුව පැරදුණු පසු පැමිණිලිකරුගෙන් නිතීඥවරයෙකුට අමුතු ප්‍රහාරයක්

(07.10.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

මතුගම අධිකරණයේ විභාග වූ ඉඩම් නඩුවක් පැරදුනේ යැයි උරණ වී තමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාට මුත්‍රා පාර්සලයකින් පහරදුන් බව කියන එම නඩුවේ පැමිණිලිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මීට වසර කිහිපයකට පෙර හිටපු අමාත්‍යවරයෙකුට අයත් අගලවත්ත ප්‍රදේශයේ ඉඩමක ටේලර් සාප්පුවක් පවත්වාගෙන ගොස් ඇති අතර, එයින් ඉවත් වෙන ලෙස අමාත්‍යවරයා දැනුම් දීමෙන් පසු ඔහු ඊට එරෙහිව අධිකරණයේ නඩුවක් පවරනු ලැබුවා.

පසුගියදා මෙම ඉඩම් නඩුවේ විභාගය සිදු වී ඇති අතර, එහිදී පැමිණිලි පාර්ශවයට අදාළ ඉඩම අහිමි වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ පිළිබඳව උරණ වූ එහි පැමිණිලිකරු නඩුව වෙනුවෙන් ලබාදුන් මුදල් ඉල්ලා, සිය නීතිඥවරයාට ඊයේ (06) පෙරවරුවේ මතුගම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී මුත්‍රා පාර්සලයකින් පහර දී තිබෙනවා.

පහරකෑමට ලක් වු අදාළ නීතිඥවරයා වෑත්තෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව එහි බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඉන් පිටව ගොස් ඇති බව සඳහන්.

නීතිඥවරයා කළ දැනුම්දීමකට අනුව සැකකරු ඊයේ (06) පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා කළුතර උතුර, කලපුගම ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි අයෙක්.

ඔහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ෴

******************************************

හවුල්කාර පක්ෂවල තවත් හමුවක්

(07.10.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය බලාගාර ගිවිසුම සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සාකච්ඡාව ඊයේ (06) පස්වරුවේ පැවැත්වුණා. ඒ, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේදීයි.

ඒ සඳහා වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙහිදී තීරණය වී ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව කඩිනමින් තවත් සාකච්ඡාවක් පැවැත්වීමටයි.

මෙම හවුල්කාර පක්ෂ නායකයින් පසුගියදා අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයාද මුණ ගැසුණා ෴

******************************************

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීමේ ජනපති කොමිසමට වැඩි බලතල

(07.10.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පළිගැනීම් පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ බලතල ඉහළ නංවමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම කොමිසම පත්කෙරුණේ ඊට පෙර ක්‍රියාත්මක වූ විශේෂ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමටයි.

එම වාර්තාවේ කරුණු මත පදනම්ව ගත යුතු ක්‍රියාමාර්ග එමඟින් නිර්දේශ කළ යුතු වනවා.

එහි සාමාජිකයින් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ඛේමා වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණායි.

මෙම කොමිෂන් සභාවට පැවරී ඇති කාර්ය භාරය ඵලදායීව ඉටු කිරීම සඳහා අතිරේක බලතල අවශ්‍ය බවට එමඟින් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුවයි ජනාධිපතිවරයා සිය බලතල අනුව එම අතිරේක බලතල පවරා දී ඇත්තේ ෴

******************************************

මීගොඩ ඉන්ධන පිරවුම්හලක දී පොම්පකරුවන්ට පහරදුන් 03 දෙනෙකු අත්අඩංගුවට

(07.10.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

මුව ආවරණ නොමැතිව පැමිණීම නිසා ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කළ මීගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පොම්පකරුවන් දෙදෙනෙකුට (2) පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ යතුරුපැදිය සමඟ මොවුන් ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක්ද සොයාගෙන තිබෙනවා.

ඔවුන්ට අදාළ යතුරුපැදිය සැඟවීම සඳහා සහාය ලබාදුන් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් පාදුක්ක – ගලගෙදර සහ කෑගල්ල – මහපල්ලේගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඊයේ (06) අලුයම මීගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පොම්පකරුවන් දෙදෙනෙකුට (2) පහර දී තිබුණේ, මුහුණු ආවරණ නොමැතිව පැමිණීම නිසා එම පුද්ගලයන්ගේ යතුරුපැදිය සඳහා ඉන්ධන සැපයීමට පොම්පකරුවන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.

පසුව අදාළ පුද්ගලයා තවත් සහයකයෙකු සමග පැමිණ පොම්පකරුවෙකු ඔසවා පොළවේ ගසා ඇති බව ද පොලීසිය සඳහන් කළා.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

******************************************

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ අමාත්‍යාංශයේ කාර්යයන් සහ ආයතන, මුදල් අමාත්‍යාංශය යටතට

(07.10.2021 – 09:41 +0530 – hirunews.lk/sinhala)

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන්, ප්‍රමුඛතා, අදාළ ආයතනික හා නෛතික රාමුව මුදල් අමාත්‍යාංශය වෙත පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවනු ලැබූ අජිත් නිවාඩ් කබ්රාල් පසුගියදා ඉල්ලා අස් වූ අතර, මහ බැංකු අධිපති ධූරයට පත්කරනු ලැබුවා.

ඒ අනුවයි එහි කාර්යයන් හා ආයතන මුදල් අමාත්‍යාංශය වෙත පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ.

එහිදී මුදල් අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතාවන් ඉහළ ගොස් ඇති අතර, සැමට ප්‍රතිලාභ විහිදෙන, සියලු පළාත් ආවරණය වන, ආදායම් විෂමතා අවම වන තිරසර ඉහළ ආර්ථික වර්ධන වේගයක් ඇති කර ගැනීම එහි පළමු ප්‍රමුඛතාවයි.

මුදල් අමාත්‍යාංශයේ ආයතනික හා නෛතික රාමුව ද ඒ අනුව ඉහළ යන අතර, භාණ්ඩාගාර කටයුතු, රාජ්‍ය ආදායම් කළමනාකරණ කටයුතු, බැංකු මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිපත්ති නියාමනය, අරමුදල් කළමනාකරණය මෙන්ම ඈවර කිරීමට හෝ වෙනත් ආයතන හා ඒකාබද්ධ කිරීමට නියමිත ආයතන ඊට පැවරෙනවා ෴

******************************************

ඩිජිටල් මුදල් භාවිතය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කෙරේ

(07.10.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

ඩිජිටල් බැංකුකරණය, ‘බ්ලොක්චේන්’ තාක්ෂණය සහ ‘ක්‍රිප්ටොකරන්සි මයිනින්’ තාක්ෂණය සඳහා ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.

කලාපයේ ගෝලීය පාර්ශවකරුවන් හා සමව කටයුතු කිරීමට මෙන්ම, ජාත්‍යන්තර වෙළඳපොළ වෙත පුළුල් ලෙස ප්‍රවේශ වීමට ඒ සඳහා යාන්ත්‍රණයක් සැකසීම අවස්ථාවක් බව හඳුනා ගැණුනා.

ඒ සඳහා කමිටුවක් පත් කිරීමට පසුගිය අමාත්‍ය මණ්ඩල හමුවේදී අනුමැතිය හිමිවූ අතර, ඒ අනුවයි ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන සුජීව මුදලිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුව පත් කර ඇත්තේ.

බැංකුකරණ විශේෂඥයෙකු වූ සඳුන් හපුගොඩ, ශ්‍රී ලංකා මහබැංකුවේ අධ්‍යක්ෂවරයෙකු වන ධර්මසිරි කුමාරතුංග, තොරතුරු තාක්ෂණ ආයතනයේ නීති නිලධාරි ජයන්ත ප්‍රනාන්දු සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ යන මහත්වරු එහි අනෙකුත් සාමාජිකයින්.

මෙම කමිටුව මඟින් ඩිජිටල් මුදල් පිලිබඳ ඩුබායි, මැලේසියාව, පිලිපීනය, යුරෝපා සංගමය සහ සිංගප්පූරුව ආදි රටවල ක්‍රියාත්මක යාන්ත්‍රණයන් පිළිබඳ සොයා බලා ශ්‍රී ලංකාවට ගැළපෙන රාමුවක් සකස් කිරීමට පියවර ගනු ඇති ෴

******************************************

තිරුකුමරන් නඩේෂන්ට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

(07.10.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් හෙට (08) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ ආන්දෝලනාත්මක පැන්ඩෝරා ලේඛන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

අල්ලස් හෝ දූෂණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ, හෙට (08) උදෑසන 9 ට ඔහු කොමිසමට කැඳවා ඇති බවයි.

පැන්ඩෝරා ලේඛන මඟින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති තොරතුරු පිළිබඳ වහාම පරීක්ෂණයක් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (06) කොමිසමට දැනුම් දී තිබුණා.

ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා මසක් ඇතුළත තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා දැනුම්දී තිබුණේ.

ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ගනුදෙනු පිළිබදව තොරතුරු රැසක් පැන්ඩෝරා ලේඛන මගින් හෙළිදරව් කර තිබුණා.

******************************************

2020 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම ඇරඹේ

(07.10.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත (Online) ක්‍රමයට පමණක් අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය ලබන 25 වනදා බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ( https://doenets.lk/ ) පිවිසීමෙන් හා එම දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම භාවිත කර මෙම අයදුම්පත් යොමුකළ හැකි වනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර සඳහා විදුහල්පතිවරයාගේ නිර්දේශය හෝ අත්සන අවශ්‍ය නොවන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෴

= ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අ.පො.ස (සා.පෙළ) විභාගය – 2020 ප්‍රතිඵල නැවත සමීක්ෂණය =

අයදුම්පත්‍රය මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ සම්පූර්ණ කිරීම සඳහා උපදෙස් :

බාගත කරන්න :

[ඉංග්‍රීසී][සිංහල][දෙමළ]

******************************************

පොලිස් අධිකාරිවරියන් තිදෙනෙකු (3) නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස පත්කරයි

(07.10.2021 – 11:32 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා පොලීසිය සඳහා වැඩබලන කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් 3 දෙනෙකු එකවර පත් කර තිබෙනවා.

එලෙස නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස පත් කර ඇත්තේ මෙතෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් ලෙස සේවය කල රේණුකා ජයසුන්දර, නිශාන්ති සෙනවිරත්න සහ පද්මිණී වීරසූරිය යන මහත්මියන් ය.

ඒ සමග පොලිස් ළමා හා කාන්තා කාර්යංශය, නව නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර මහත්මිය යටතට පත් කර තිබෙනවා.

පොලිස් ළමා හා කාන්තා කාර්යංශය කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියක් යටතට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

මීට පෙර රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව කටයුතු කල නිශාන්ති සෙනවිරත්න මහත්මිය, පොලිස් පරීක්ෂණ හා සංවර්ධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස පත් කර තිබෙනවා.

මීට පෙර අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ පද්මිණී වීරසූරිය මහත්මිය පත් කර ඇත්තේ පොලිස් සුබසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙසයි.

මීට පෙර මෙරට ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස බිම්ශානි ජාසිංආරච්චි මහත්මිය පත් කෙරුණු අතර එය මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියක් බවට පත්වූයේ ඇතැම් පාර්ශවයන් ඊට විරෝධය පල කිරීමත් සමගයි.

කෙසේ වෙතත්, ඇයද දැනට නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස කටයුතු කරන අතර, ඒ අනුව මේ වන විට මෙරට පත් කර ඇති මුළු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් සංඛ්‍යාව 4 ක් ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඊයේ (06) දිනයේත් කොරෝනා ආසාදිතයින් 776 ක්

(07.10.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 776 දෙනෙකු ඊයේ (06) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,22,778 දක්වා ඉහළ ගියා.

පසුගිය 05 වැනි දා සිදු වූ තවත් කොරෝනා ආසාදිත මරණ 43 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06) තහවුරු කළා.

ඊට පිරිමි පුද්ගලයන් 23 ක් සහ කාන්තාවන් 20 ක් ඇතුළත්.

මියගිය පිරිස අතර, 36 දෙනෙක් අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වන අතර ඊට පිරිමින් 18 ක් ඇතුළත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයන් 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි කාන්තාවන් දෙදෙනෙකු (2) සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,185 ක් ලෙසින් ෴

++++++++++++++++++

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම (2) ලැබූ සංඛ්‍යාව මිලියන 12 ඉක්මවයි

(07.10.2021 – 10:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා දෙකම (2) ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව ගෙවුණු දිනයේදී එක් කෝටි විසි ලක්ෂය (1,20,00,000) ඉක්මවා ගියා.

වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාවක් ලබාදීම පිළිබඳව මූලික නිර්දේශ ලැබී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 99,531 ක්.

ඒ අනුව පුද්ගලයින් 24,053 ක් පළමු (1) මාත්‍රාවත්, පුද්ගලයින් 75,531 ක් දෙවැනි (2) මාත්‍රාවත් ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1,20,43,368 ක්.

එය සමස්ත ජනගහණයෙන් ප්‍රතිශතයක් ලෙස 54.7% ක්.

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 776 දෙනෙකු මෙරටින් හඳුනාගත් අතර, ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,22,778 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව අඛණ්ඩව දින 10 ක් ආසාදිතයින් 1,000 ට අඩුවෙන් වාර්තා වී තිබෙනවා.

මේ වනවිට දැඩි සත්කාර ඇඳන්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවද අඩුවෙමින් පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

මේ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ට ලබාදුන් රුපියල් 7500 ක මාසික දීමනාව කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් 08 ක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව හෙට (08) පැය 05 ක කාලයක් සේවයෙන් ඉවත් වී වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වනවා.

ඒ අනුව උදෑසන හතේ (7) සිට දහවල් දොළහ (12) දක්වා සේවයෙන් ඉවත් වන ඔවුන් උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද සැලසුම් කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *