පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. නියාමනය කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. නියාමනය කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

*********************************************

පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. නියාමනය කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(06.10.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 15 ත්, 19 ත් අතර නිරෝගී දරුවන්ට එන්නත් ලබාදීම සඳහා බෝවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුවේ නිර්දේශය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බෝවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා කියා සිටියේ වයස අවුරුදු 15 ත්, 19 ත් අතර කාණ්ඩයේ නිරෝගී දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට නිර්දේශ කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි සති දෙකක (2) කාලය ඇතුළතදී ඔවුන්ට එන්නත් ලබාදීම ආරම්භ කරනු ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, අද (06) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 582 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,22,584 ක් දක්වා ඉහළ ගියා.

එසේම, පසුගිය දින 9 තුළදීම අඛණ්ඩව ආසාදිතයින් 1,000 ට අඩුවෙන් වාර්තා වීමත් විශේෂත්වයක්.

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 475 දෙනෙකු අද (06) දිනයේදී සුවය ලැබූ අතර, ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,78,326 ක්.

මේ අතර, පෞද්ගලික රෝහල්වලින් සිදු කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රමිතිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සහ නියාමනයක් සිදුකරන ලෙසට, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (06) ඉදිරිපත් කෙරුණා.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ රාජගිරිය, ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස කටුනායක ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම, එහි සභාපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ඔහු ඉකුත් සැප්තැම්බර් මස 08 වන දා සිය බිරිඳ සමඟ ඩුබායි බලා පිටත්ව යාම සඳහා පෞද්ගලික රෝහල් දෙකකින් (2) අවස්ථා හතරකදී (4) සිදුකළ පී.සී.ආර්. වාර්තා මගින් එකිනෙකට වෙනස් ප්‍රතිඵල ලැබුණු බවයි.

ඒ හේතුවෙන් තමන්ට අනවශ්‍ය වියදමක් දැරීමට සිදුවූ බවත්, ව්‍යාපාරික කටයුතුවලින් පාඩුවක් සිදුවූ බවත් පෙන්වා දෙන පෙත්සම්කරු ඒ සඳහා වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 100 ක වන්දියක් අයකරදෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය මස 17 වැනිදා හිරු ප්‍රවෘත්ති තුළින්ද අනාවරණයක් සිදුකළා.

මේ අතර, සිසුන් 200 ට අඩු පිරිවෙන් සහ සීලමාතා අධ්‍යාපන ආයතන ඔක්තෝම්බර් 14 වනදා සිට විධිමත් ලෙස සෞඛ්‍ය උපදෙස් වලට අනුව ආරම්භ කිරීම සඳහා වන චක්‍රලේඛය ද දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය විසින් අද නිකුත් කරනු ලැබුවා.

තවත් කොරෝනා ආසාදිතයින් 194 ක් මෙරටින් වාර්තා වනවා. එම ආසාදිතයින් 194 ත් සමඟ අද (06) දිනයේ හමු වූ ආසාදිතයින් ගණන 776 ක්. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,22,778 ක් වනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ගුරු සහ අනෙකුත් වෘත්තීය ගැටලු විසඳා ගැනීම ගැන අභයාරාමයේ සර්ව පාක්ෂික සමුළුවක්

(06.10.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වී දින 87 ක් ගෙවෙන පසුබිමක අද (06) ‘ගුරු දිනය’ සැමරුණා.

එසේම, සිය වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් ගුරු විදුහල්පති සංගම් එක්ව අද (06) දිනයේ දීපව්‍යාප්ත උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා.

මෙහි ප්‍රධාන උද්ඝෝෂණය පැවැත්වුණේ කොළඹ – ලිප්ටන් වටරවුමේදීයි.

මේ අතර, අද (06) වැලිගම ප්‍රදේශයේ පැවති ගුරු උද්ඝෝෂණයකට ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධය එල්ල කරනු ලැබුවා.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (06) සර්ව පාක්ෂික සමුළුවක් නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වු‍ණා.

ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් එක්ව සිටියා.

එහිදී එක්සත් රාජ්‍ය සේවා හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන්ට දුරකථනයෙන් අමතා කළ දැනුම්දීමක් පිරිසට මෙලෙස දැනුම් දුන්නා.

මේ අතර, කොරෝනා වසංගතයට සීමා වු දරුවන්ගේ අධ්‍යාපනය නැවත ප්‍රකෘතිමත් කිරිමේ හදවත් ඇත්තේ ගුරුවරුන්ට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ලෝක ගුරු දිනයට සමගාමිව අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කළ උත්සවයට විඩියෝ තාක්ෂණය ඔස්සේ අද (06) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සාධාරණ ඉල්ලිම් වලට අවධානය යොමුකිරීමට රජය සූදානම් බවත්, දරුවන්ගේ නැණස පැදිමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉටු කරන ලෙසයි අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි ගුරුවන්ගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර , ගුරු විදුහල්පතිවරුන්ට ප්‍රථම වරට නිල හැඳුනුම්පතක් ලබාදීම අද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේදීයි.

******************************************

ගිනිඅවි බලපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

(06.10.2021 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්/ආයතන විසින් 2022 වර්ෂය වෙනුවෙන් සිය ගිනිඅවි සඳහා බලපත්‍ර 2021 දෙසැම්බර් මස 01 දින සිට 2022 පෙබරවාරි මස 28 දින දක්වා කාලය තුල අලුත් කර ගතයුතු බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

2022 පෙබරවාරි මස 28 දිනෙන් පසු 2022 වර්ෂය වෙනුවෙන් ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සිදු නොකරන බවට හා තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් දැනුම් දී තිබෙනවා ෴

******************************************

‘පැන්ඩෝරා පත්‍රිකා’වල නම සඳහන් ගනුදෙනු පිළිබඳ, විශේෂ විමර්ශනය ඇරඹේ

(06.10.2021 – 20:47 +0530 – hirunews.lk/sinhala)

​ආන්දෝලනයට තුඩු දී ඇති පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ අරඹා තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ විමර්ශන වාර්තාව මසක් ඇතුලත ලබා දෙන ලෙස එම කොමිසමට කර තිබූ නියෝගයට අනුවයි.

මේ අතර, පැන්ඩෝරා පත්‍රිකා මඟින් අනාවරණ කෙරුණු කරුණු සම්බන්ධයෙන් අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ද අදහස් පළ වුණා.

ලොව ධනවත්ම සහ බලවත්ම පුද්ගලයින් ඇතුළු ප්‍රබලයින් රැසකගේ රහසිගත ගනුදෙනු සහ සැඟවුණු වත්කම් සම්බන්ධයෙන් හෙළිදරව් කරමින් වොෂිංටන් නුවර පිහිටි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය පැන්ඩෝරා පත්‍රිකා ප්‍රකාශයට පත් කළා.

පැන්ඩෝරා පත්‍රිකා මගින් රාජ්‍ය නායකයින් 30 දෙනෙකුගේ මෙන්ම ලොව බිලියනපතියන් 100 දෙනෙකුගේ සැඟවූ මූල්‍ය වත්කම් සහ වෙනත් රහස්‍ය තොරතුරු අනාවරණය කර තිබෙනවා.

ඒ අතර ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු, රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්, චෙක් ජනරජයේ අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රේ බාබීස්, යුක්‍රේන ජනාධිපති ස්ලිකෙන්සි, කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා, බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ, ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් මෙන්ම එරට බිලියනපතියෙක් වන අනිල් අම්බනිද වනවා.

ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ සහ ඇගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේසන් සම්බන්ධයෙන් ද පැන්ඩොරා පත්‍රිකාවල සඳහන් වී තිබුණා.

ඒ අනුව පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළා.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ විමර්ශන වාර්තාව මසක් (1) ඇතුලත ලබා දෙන ලෙසයි.

පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද ප්‍රශ්න කෙරුණා.

මේ අතර පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් තිරුකුමාර් නඩේසන් මෙම සිද්ධිය පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදු කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු වැනි ස්වාධීන විමර්ශකයෙක් පත් කරන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.

ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් පවසන්නේ මුලුමනින්ම නිර්දෝෂී තමන් සහ තම බිරිඳ වන නිරූපමා රාජපක්ෂ මේ අවස්ථාවේදී කිසිදු වරදක් සිදු නොකරම වරදකරුවන් කර ඇති බවයි.

මේ අතර, පැන්ඩෝරා පත්‍රිකා මඟින් හෙළිදරව් කර ඇති මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කරන ලෙස ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු 43 සේනාංකය, නීති ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මඟින් අල්ලස් හා දූෂණ කොමිසමට අද (06) පැමිණිල්ලක් සිදුකළා.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය සඳහන් කළේ පැන්ඩෝරා පත්‍රිකා මඟින් හෙළිකෙරුණු වත්කම් සටහන්වල නම් සඳහන් ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා යටතේ පරීක්ෂණ කටයුතු අරඹා ඇති බවයි.

පැන්ඩෝරා පත්‍රිකා මඟින් අනාවරණ කෙරුණු කරුණු සම්බන්ධයෙන් අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ද අදහස් පළවුණා.

+++++++++

2017 අනුර කුමාර නිරූපමා ගැන හෙළි කල හැටි

+++++++++++

දැනටත් නඩේෂන්ගෙ පවුම් මිලියන 400 ක් එංගලන්ත බැංකුවෙ

(07.10.2021 – 06:57 +0530 – truenews.lk)

මේවන විට පැවසෙන තිරු නඩේෂන්ගේ සහ නිරූපමා රාජපක්ෂගේ වත්කම් හෙළිදරව ගැන ඊයේ (06) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී මනුෂ නානායක්කාර අදහස් දක්වමින් පැවසුවේ බැසිල් රාජපක්ෂගේ මල්වානේ ඉඩමට පවා ගෙවා ඇත්තේ නඩේෂන් බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා :

“ජනපති කියනවා මේ ගැන විමර්ශනයක් කරනවා කියලා. ඔහු ලියුමකුත් එවනවා මේකට සම්බන්ධ නැහැ කියලා. මල්වානේ ඉඩම මිලියන 64 යි; ගෙවන්නෙ තිරුකුමාර් නඩේෂන්, හොංකොන් හි පිහිටි රෙඩ්කෘස් සමාගම, CMM සමගම විසින් 2015 දී මේකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරනවා. මේ CMM කියන ආයතනය තමයි ගිං – නිල්වලා වියාපෘතිය කරන්නෙ. මෙයට අදාලව සිදුකල පරීක්ෂණ වල වාර්තා සියල්ල මම සභා ගත කරනවා. මේ වගේ තව තියෙනවා. 2003 මෙතුමාගේ බිලියන 3.6 ක වත්කම් ඉන්ටපෝල් විසින් තහනම් කරනු ලබනවා. එවිට එය නිදහස් කරල දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා. එංගලන්තයේ කෝට්ස් බැංකුවේ මේ වන විට පවුන් මිලියන 400 කට අධික ප්‍රමාණයක් තියනවා. මේ සම්බන්ධතා සියල්ල බලනකොට මේකෙ ඇත්ත කතාව කියන්නෙ කවුද කියලා අපිට කියන්න පුළුවන්. හෙල්පින් හම්බන්තොට කියලා පටන් ගත්ත වංචා දුෂණ සියල්ල අරගත්තම එයාර් බස් වලින් ආපු සල්ලි, පෝර්ට් සිටි ගිවිසුමට කලින් චයිනා හාර්බර් එකෙන් ආපු චෙක් එක, පැනමා පත්‍රිකා වලින් හෙළිවූ සියල්ල මම සභා ගත කරනවා.

+++++++++++++

+++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *