පාසල් 3000 ක් ඔක්තෝබර් 21 ආරම්භ වේ

පාසල් 3000 ක් ඔක්තෝබර් 21 ආරම්භ වේ

*********************************************

පාසල් 3000 ක් ඔක්තෝබර් 21 ආරම්භ වේ

(05.10.2021 – 17:30 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු සිසුන් 200 ට අඩු පළාත් සභා යටතේ පාලනය වන පාසල්වල ප්‍රාථමික අංශ මේ මස 21 වැනිදා ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් ආණ්ඩුකාරවරු අතර පැවති සාකච්ඡාවල අවසන් එකඟතා අනුව මෙලෙස සිසුන් 200 ට අඩු පාසල් විවෘත කෙරෙන අතර, පළමු (1) අදියර තුළ ආරම්භ කෙරෙන පාසල් සංඛ්‍යාව 3,000 ක්.

කොරෝනා ආසාදනය වී සිටි තවත් 477 දෙනෙකු අද (05) සුවය ලබා පිටව ගිය අතර, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,77,851 ක්.

එසේම, අද (05) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 563 දෙනෙකු මෙරටින් හඳුනාගත්තා.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,21,781 ක්.

මේ අතර, මෙරට රැදී සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසා වල වලංගු කාලය ඔක්තෝම්බර් 07 සිට නොවැම්බර් 06 දක්වා තවත් දින 30 කින් දීර්ඝ කර තිබෙනවා.

එසේම, විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණෙන සියලු අයදුම්කරුවන් සිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන් කර ගෙන පැමිණිය යුතු බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.

++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 477 ක් සුවය ලබයි

(05.10.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී රෝහල්ගත ව ප්‍රතිකාර ලබන 477 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොවිඩ් රෝගින් සංඛ්‍යාව 4,77,851 දක්වා ඉහළ යනු ඇති ෴

+++++++++++++++++

ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින්ගේ වීසාවල වලංගු කාලය දීර්ඝ කෙරේ

(05.10.2021 – 15:49 +0530 – hirunews.lk/sinhala)

මෙරට රැදී සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසා වල වලංගු කාලය ඔක්තෝම්බර් 07 වනදා සිට නොවැම්බර් 06 දක්වා තවත් දින 30 කින් දීර්ඝ කර තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව, 2021 මැයි 11 දින සිට නොවැම්බර් 06 දින දක්වා කාලසීමාව තුල කල් ඉකුත් වූ වලංගු වීසා සඳහා එම කාලසීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අය කරන අතර, කිසිදු දඩ මුදලක් අය නොකරන බවයි.

නොවැම්බර් 06 වනදා දක්වා වීසා දීර්ඝ කිරීම පළාත් අතර සංචරණ සීමා පැවතීම හේතුවෙන් සිදුකළ ද මින් ඉදිරියට වීසා පොදුවේ දීර්ඝ කිරීමක් සිදුකිරීමට අදහස් නොකරන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පළාත් සංචරණ සීමා පැවතිය ද වීසා දීර්ඝ කිරීම සඳහා බත්තරමුල්ල කාර්යාලයට පැමිණීමට අවසර ලැබෙන බැවින් මෙරට රැදී සිටින සියලු විදේශිකයන් නොවැම්බර් 06 වන දිනට පෙර තම වීසා දීර්ඝ කර ගත යුතුයි ෴

++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 563 ක්

(05.10.2021 – 18:10 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 563 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,21,781 ක් ෴

තවත් කොරෝනා මරණ 40 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 13,142 ක් වනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට තවත් වගකීමක්

(05.10.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඊට අදාල පත්වීමේ ලිපිය අද (05) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී භාර දී තිබෙනවා ෴

******************************************

කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා (07) පැය 18 ක් ජලය කැපේ

(05.10.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

අලුත්ගම – මතුගම – අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් අනිද්දා (07) පෙරවරු 8 සිට පැය 18 ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කළේ බේරුවල, අලුත්ගම, දර්ගානගරය, බෙන්තර, හා කළුවාමෝදර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

ඊට අමතරව, පිලමිනාවත්ත, බෝම්බුවල, පයාගල හා මග්ගොන යන ප්‍රදේශවලට ද අනිද්දා (07) පෙරවරු 8 සිට පසුදා අලුයම 2 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක වනවා ෴

******************************************

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී ලංකා සංචාරය නිම කරයි

(05.10.2021 – 17:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක නිරත වී සිටි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඇතුළු දූත පිරිස , එම සංචාරය නිමාවට පත් කර අද (05) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දීය ලේකම්වරයා සමග , එම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තිදෙනකු (3) ද දූත පිරිස ලෙස මෙම සංචාරයට එක් වී සිටියා ෴

******************************************

ද්විපාර්ශ්වීයව ගන්නා තීරණ පිළිබඳව දෙරටේ ජනතාව දැනුවත් කළ යුතුයි- ජනපති ඉන්දීය විදේශ ලේකම් සමග කියයි

(06.10.2021 – sinhala.news.lk)

• දෙරට අතර 60 සහ 70 දශකවල පැවති සබඳතාව යළි ගොඩනගමු

• ඉන්දියන් සාගරය සාම කලාපයක් බවට

• ශ්‍රී ලංකාවේ ස්ථාවරයට ඉන්දීය සහාය අවශ්‍යයි

• ඉන්දීය ආයෝජකයන්ට විවෘත ආරාධනයක්

එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පවසයි. වාසි අවාසි පැහැදිලි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ඉන්දීය විදේශ ලේකම්වරයා සමග (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 1960 – 70 දශකවල පැවති මිත්‍රත්වය හා සබඳතාව යළි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව, කරුණු දීර්ඝව පැහැදිලි කරමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඉන්දීය සාගරය, සාම කලාපයක් බවට පත්කිරීමට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1971 දී කළ යෝජනාව ඉදිරියට ගෙන යාමට ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය. දෙරට අතර සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒමට කෙටි හා දීර්ඝකාලීනව ගත යුතු පියවර නිවැරදිව හඳුනාගත යුතු බව දෙපාර්ශ්වයේම අදහස විය.

පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් හඳුනාගනිමින් ධීවර ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ හිමිකර දීමෙන් දීර්ඝ කාලයක සිට දෙරටේ ධීවරයන් මුහුණ පා සිටින පීඩාකාරී තත්ත්වයට විසඳුම් ලබාදිය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. දෙරට අතර ඇති වෙළඳ අසමතුලිතාව පිළිබඳව කරුණු පැහැදිලි කරදුන් ජනාධිපතිතුමා කඩිනමින් එයට විසඳුම් දීමේ අවශ්‍යතාව ගෙනහැර දැක්වීය.

අතුරුදහන් වූවන්, යුද්ධය හේතුවෙන් වැන්දඹුභාවයට පත්වීම ඇතුලු යුද්ධයක අතුරු ප්‍රතිඵල පිළිබඳව මනා අවබෝධයෙන් පසුවන බව යාපනය බලකොටුව මුදා ගැනීමේ දී ලද තම අත්දැකීම් සිහිපත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේය.

13 වන ව්‍යවස්ථාව සංශෝධනයේ දුර්වලතා සේම ශක්තීන් හඳුනාගෙන ක්‍රියාත්මක වීමේ කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ. ශ්‍රී ලංකාවෙන් බැහැරව ගිය දෙමළ ජනතාවට නැවත රටට පැමිණීමට හැකි පසුබිම සැකසීම තම අපේක්ෂාව බවත් ඒ සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී තමා දෙමළ ඩයස් පෝරාවට සහ විදෙස්ගත දෙමළ ජනතාවට විවෘතව ආරාධනා කළ බව ද ජනාධිපතිතුමා ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පැවසීය.

උතුර – නැගෙනහිර සංවර්ධනයට තම රජයන් පසුගිය කාලයේ සිට ගත් ක්‍රියාමාර්ග පැහැදිලි කළ ජනාධිපතිතුමා යුද සමයේ දී ආරක්ෂාව වෙනුවෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 90% කට අධික ප්‍රමාණයක් මේ වන විට නිදහස් කර ඇති බවත් පැවසීය. අතුරුදහන්වූවන්ගේ පවුල්වලට වන්දි ගෙවීම සිදු කෙරෙමින් පවතින අතර යුද සමයේ ඇති වූ අනෙකුත් ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පැහැදිලි කර දෙනු ලැබීය.

දෙරටේ භුගෝලීය පිහිටීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති හෙයින් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිඳු ක්‍රියාවකට ශ්‍රී ලංකාව යොදා ගැනීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

චීනය සමග ඇති සබඳතාව ඉතා මැනවින් පැහැදිලි කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව කිසිඳු සැකයක් තබා නොගන්නා ලෙස ද ඉන්දීය විදේශ ලේකම්වරයා සමග කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා පුළුල් පරිසරයක් සැකසී තිබේ. ඒ සඳහා ඉන්දීය ආයෝජකයන්ට ද විවෘතව ආරාධනා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳව පවතින තත්ත්වය දෙරටටම සුබදායී ආකාරයෙන් නිරාකරණය කිරීමේ වගකීම විෂයභාර අමාත්‍යවරයාට පවරා ඇති බව ජනාධිපතිතුමා පැවසීය.

දෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ට ඉන්දියාවේ පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

විදුලිය භාවිතයේ දී කාර්යබහුල අවස්ථාවන් හඳුනාගෙන දෙරට අතර විදුලිබල හුවමාරුව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ළඟා කරගෙන ඇති සාර්ථකත්වය ඇගයීමට ලක්කළ ඉන්දීය විදේශ ලේකම්වරයා කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පැසසුමට ලක් කළේය. ජනාධිපතිතුමාගේ දීර්ඝ පැහැදිලි කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ විදේශ ලේකම්වරයා දෙරට අතර ඇති අදහස් සමාන බැවින් දෙරට අතර මිතුදම ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට හැකි බව පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා විදේශ ලේකම්වරයා හමුවේ දැන්වීය.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු මෙම හමුවට එක්ව සිටියහ ෴

******************************************

වරායේ සිරවූ කිරිපිටි වලට අදත් (05) නිදහසක් නැහැ

(05.10.2021 – 18:51 +0530 – hirunews.lk/sinhala)

තමන් ගණුදෙනු සිදුකරන වානිජ බැංකු වලට මහබැංකුවෙන් ඩොලර් විනිමය ලැබෙනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි අද (05) භාරදීමට කටයුතු කළ බවයි.

ඒ අනුව ඉදිරියේදී කොළඹ වරායේ සිර වී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීමට හැකි වනු ඇති.

ඊයේ (04) දිනයේදී අදාළ බැංකුව වෙත ඩොලර් විනිමය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබුණත් ඊයේ (04) එම බැංකු වෙත මුදල් ලැබී නොතිබූ අතර, අප කළ විමසීමකදී මහබැංකුවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවයි.

කොළඹ වරායේ සිරවී තිබෙන කිරිපිටි මෙට්‍රික් ටොන් 360 නිදහස් කර ගැනීමටයි ආනයනකරුවන් මෙම ඩොලර් විනිමය අපේක්ෂා කරන්නේ.

මේ අතර, අදත් (05) ප්‍රදේශ රැසක ජනතාව කිරිපිටි මිලදී ගැනීමට පැමිණ අපහසුතාවට පත්වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

******************************************

පොහොර හිඟයක් ගැන ගොවීන්ගෙන් මැසිවිලි

(05.10.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala)

මහකන්නය සඳහා ජලය ලබාදීම සම්බන්ධයෙන් මැදිරිගිරිය නේවාසික ප්‍රතිකලමනාකරණ කාර්යාලයේ අද (05) පැවති රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ ගොවීන් පොහොර ලබාදෙන ලෙස කළ ඉල්ලීමත් සමඟයි.

එම අවස්ථාවේ කවුඩුල්ල ගොවි ව්‍යාපාරයේ නියෝජිතයින් සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවුණා.

******************************************

යහපාලන සමයේ නිවාස අමාත්‍යාංශයේ මූල්‍ය වංචා ගැන විමර්ශන

(05.10.2021 – 18:57 +0530 – hirunews.lk/sinhala)

යහපාලන ආණ්ඩු සමයේ නිවාස අමාත්‍යාංශය යටතේ පැවති ආයතන ගණනාවක සිදුවූ මූල්‍ය වංචා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියෝග කිහිපයකට අදාළ විවාදයට අද (05) පාර්ලිමේන්තුවේදී එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

එහිදී දේශපාලන හිතවත්කම් මත පෞද්ගලික සමාගමකට කුණුකොල්ලට සංවර්ධනය කිරීම සඳහා පවරා දී තිබූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා කොළඹ 10, ඩාලි පාරේ පිහිටි ඉඩමක් නීතිපති උපදෙස් මත යළි නිවාස සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් ද අදහස් පළ වුණා.

මෙහිදී අදාළ ඉඩම නිසි තක්සේරුවකින් තොරව පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට සංවර්ධනය කිරීම සඳහා පවරාදීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ.

මේ අතර, 2022 විසර්ජන පනත් කෙටුම්පත අනිද්දා (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *