පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 24 කට අධි චෝදනා පත්‍ර භාරදෙයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 24 කට අධි චෝදනා පත්‍ර භාරදෙයි

*********************************************

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 24 කට අධි චෝදනා පත්‍ර භාරදෙයි

(04.10.2021 – 11:57 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේ අප්‍රේල් 21 වැනි දා මෙරට ප්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන 3 ක් සහ තරු පන්තියේ හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් 24 දෙනෙකුට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් චෝදනා පත්‍ර භාර දී තිබෙනවා.

මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මඟින් එලෙස ඔවුන් වෙත අද (04) උදෑසන චෝදනා පත්‍ර ලබා දුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩු විභාගය ලබන මස 23 වැනි දා ආරම්භ කිරීමටයි ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර ඇත්තේ.

******************************************

යතුරු පැදියකින් පැමිණ කාන්තාවකගේ රන් මාලයක් කොල්ල කෑ අයෙකු අත්අඩංගුවට

(04.10.2021 – 09:39 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ හදපානාගල ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැදි රන් මාලය යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු (2) විසින් කොල්ල කා තිබෙනවා.

පසු ව වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කල විමර්ශනයක දී මෙම කොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරු යතුරු පැදිය ද සමඟ අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු මේ වනවිට පලාගොස් ඇති අතර, එම සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මකයි.

අත්අඩංගුවට ගත් සැකකරු හදපානාගල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු විසිපහක (25) පුද්ගලයෙකු වෙන අතර, සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කෙරෙනු ඇති ෴

******************************************

ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි

(04.10.2021 – 11:18 +0530 – hirunews.lk/sinhala)

සිව්දින (4) නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) පෙරවරුවේ හමුව තිබෙනවා.

මෙම හමුව අරලියගහ මන්දිරයේ දී සිදුවූ බවයි වාර්තා වන්නේ.

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂිංග්ලා පෙරේදා (02) රාත්‍රියේ මෙරටට පැමිණියා.

ඔහු ඊයේ (03) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළඳා වහන්සේ වැද ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව ඔහු ඊයේ (03) පස්වරුවේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර අනතුරව යාපනයේ සංචාරයකද නිරත වුණා.

මේ අතර, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී අද (04) පස්වරු 5 ට පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරට රැඳී සිටින කාලය ඇතුළත ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරිමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

******************************************

සිංහරාජ රක්ෂිතයෙන් කැපූ සුදු හඳුන් හා වල්ලපට්ටා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(04.10.2021 – 11:00 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටවලට අපනයනය කිරීම සඳහා සිංහරාජ රක්ෂිතයෙන් නීතිවිරෝධීව කපන ලද සුදු හඳුන් සහ වල්ලපට්ටා තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සුදු හඳුන් සහ වල්ලපට්ටා කපා ගබඩා කර සුවඳ විලවුන් හා ඖෂධ නිපදවීම සඳහා නීතිවිරෝධීව මැදපෙරදිග රටවලට අපනයනය කරන බවයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු හක්මන පහළ පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

කිලෝග්‍රෑම් 341 ක් වූ වල්ලපට්ටා කොට සහ කුඩු වලට අමතරව, ඔහු සතුව තිබී සුදුහඳුන් කුඩු කිලෝග්‍රෑම් 300 ක් ද සොයා ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

******************************************

යොහානිට ඩුබා‍යිහි සංගීත ප්‍රදර්ශනයක්

(04.10.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ද සිල්වා ඩුබායිහි දැන් පැවැත්වෙන එක්ස්පෝ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රවර්ධන කුටිය සංගීතයෙන් රස ගැන්වීමට සූදානම් බව වාර්තා වනවා.

සංචාරක මණ්ඩලය සඳහන් කළේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොවක් වසඟයට ගත් යොහානි ලබන ජනවාරි 03 වැනි දා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ දී ගායනා ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මේ වනවිට යූ-ටියුබ් නාලිකාවේ නැරඹුම්වාර දහතුන්කෝටි අසූඅට ලක්ෂය (13,88,00,000) ඉක්මවා තිබෙනවා.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් යොහානිට රාජ්‍ය සම්මානයක් පිරිනැමීමට කටයුතු කරන බව ජාතික උරුමය, ග්‍රාමීය කලා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

මේ අතර, ඉන්දියාවේ ඇරයුමක් අනුව එහි ගොස් සිටින යොහානිගේ දෙවන (2) ප්‍රසංගය හයිද්‍රාබාද් නුවර දී ඊයේ (03) පැවැත්වුණා.

ඒ, බොලිවුඩ්පුරයේ සුපිරි තරු ඇතුළු සංගීත ලෝලීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

එහි දී යොහානිට ඔවුන්ගෙන් හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයක් ෴

******************************************

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියය ම ඉන්දියාව සතුයි – ගම්මන්පිල කියයි

(04.10.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියය ම ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ඉන්දියාවට සතු වී අවසන් බව ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඒ අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සිව් (4) දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා, සමග තමන් හෙලිකොප්ටරයෙන් ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි බැලීමට ගිය බවට පළ වන ප්‍රකාශවලට ද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබාදුන්නා.

******************************************

කිරිපිටි ආනයනකරුවන්, අද (04) ගැන බලාපොරොත්තුවෙන්

(04.10.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

අද (04) දිනය තුළ දී සිය ගනුදෙනු සිදු කරන බැංකුවලට මහබැංකුවෙන් ඩොලර් විනිමය ලැබුණහොත් කොළඹ වරායේ සිර වී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීමට හැකි වනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේ, ඩොලර් හිඟය හේතුවෙන් කිරිපිටි බහලුම් මුදා ගැනීමට මතුව තිබූ බාධා මේ වනවිට මහබැංකුවේ මැදිහත්වීමෙන් ඉවත් වෙමින් පවතින බවයි.

ඒ අනුව, අද (04) දිනය තුළ තමන් ගනුදෙනු කරන බැංකු 3 ට මෙම මුදල් ලැබුණහොත් ඉදිරි දින දෙක (2) තුළ දී කිරිපිටි තොග නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය දිනවල මතු වූ ඩොලර් අර්බුදයත් සමඟ කොළඹ වරායේ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් රැසක් සිර වී තිබූ අතර, අග්‍රමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබුණේ, එම බහලුම් මුදා හැරීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව මහබැංකු අධිපතිවරයා විසින් පසුගිය දා රාජ්‍ය බැංකු දෙකකට ඩොලර් මුදා හැරීමට පියවර ගත්තා.

කෙසේ වෙතත්, ආනයනකරුවන් ඉල්ලා සිටියේ පෞද්ගලික බැංකු වෙතින් ද ඩොලර් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසට යි.

ඒ අනුව අද (04) දිනයේ දී ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඩොලර් විනිමය වානිජ බැංකු වෙත යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හමුවේ කොළඹ වරායේ සිරවී තිබූ කිරිපිටි මෙට්‍රික් ටොන් 360 නිදහස් කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති ෴

******************************************

රජයේ වාහනයක් ගැන මැතිසබයේ දී සංවාද

(04.10.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ලබා දී ඇති රජයේ වාහනයක් සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇති වුණා.

මෙම වාහනය ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා භාවිතා කරන බවට යි මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා චෝදනා කළේ.

ඊට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පිළිතුරු ලබා දුන් අතර කතානායකවරයා මෙන්ම ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ද ඊට මැදිහත් වුණා.

******************************************

රටට වෙන විනාශයට මේ නිලධාරීන් වගකිවයුතුයි. ටීවී වල බණ දෙසන මෙයාගේ ඇතුලේ ඉන්නේ වෙන සතෙක් ! (02.10.2021)

(දොරමඩලේ තඩි ගෑණිගෙ වැදිබණ !)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඊයේ (03) තවත් 13,431 දෙනෙකුට කොරෝනා එන්නත්

(04.10.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව ඊයේ (03) දිනයේ දී පුද්ගලයින් 13,431 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 6401 දෙනෙකුට ලබා දී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 4291 ක්.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව 1056 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 1097 දෙනෙකුට ඊයේ (03) ලබා දී තිබෙනවා.

එමෙන්ම, ඊයේ (03) දිනයේ දී ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 440 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 36 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ (03) දිනයේ ලබාදුන් සංඛ්‍යාව 110 ක් ෴

+++++++++++++++++++

තරුණ ප්‍රජාව එන්නත් ගැනීම අත්‍යවශ්‍යයි – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

(04.10.2021 – 12:34 +0530 – hirunews.lk/sinhala)

තරුණ තරුණියන් කොරෝනා එන්නත් ලබා නොගැනීමට පෙළඹීම බරපතල තත්ත්වයක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද (04) මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

මේ වනවිට මෙරට පුද්ගලයින් එක්කෝටි හතලිස් පන්ලක්ෂ අසුදහස් දෙසීය හය දෙනෙකු (1,45,80,206) කොරෝනා මර්දන එන්නතක පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති අතර, මාත්‍රා දෙකම (2) ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි දහඅට ලක්ෂ පනස් අටදහස් විසි නවයක් (1,18,58,029).

ඒ අතරින් මෙරට වයස අවුරුදු 20 ත්, 29 ත් අතර තරුණ තරුණියන් අතරින් කොරෝනා එන්නතක පළමු (1) මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය 54.9% ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එම වයස් කාණ්ඩය අතරින් එන්නත් දෙකම (2) ලබාගත් පිරිස 12.9% ක්.

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (03) දිනයේදී පුද්ගලයින් 13,431 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.

එසේම, තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 3,04,000 ක් අදත් (04) මෙරටට රැගෙන එනු ලැබුවා.

ඒ, ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව ඇණවුම් කළ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ හතලිහේ පළමු කොටස ලෙසයි.

නෙදර්ලන්තයේ සිට දෝහා කටාර් හරහා අද (04) අලුයම දෙකට (2) පමණ මෙම එන්නත් තොගය දිවයිනට රැගෙන ආ බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු කියා සිටියේ.

+++++++++++++

07 සහ 08 දෙදින තුළ සියලුම විශ්වවිද්‍යාලවල සිසුන් එන්නත්කරණය කිරීමට සැලසුම්

(04.10.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන 07 සහ 08 යන දෙදින තුළ දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල සිසුන් එන්නත්කරණය කිරීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව සිසුන්ට තමන් පදිංචි ප්‍රදේශයේ ආසන්නතම විශ්වවිද්‍යාලයෙන් එන්නත් ලබාගැනීමට හැකියාව සලසා දීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉන් අනතුරුව සරසවි යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර, රට විවෘත කිරීමත් සමඟ ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.

සංගීත ප්‍රසංග සහ සිනමාශාලා යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව ප්‍රාසාංග කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (04) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

මේ අතර, කොරෝනා ආසාදිතව හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නිලි සමන්තා ඈපාසිංහ මහත්මිය මියගොස් තිබෙනවා.

54 හැවිරිදි ඇය ‘අසල්වැසියෝ’, ‘දත්කැකුළු පාලා’ වැනි ටෙලි නාට්‍යවල මෙන්ම ‘රජෙක් වගේ පුතෙක්’, ‘ලොකු දුව’ වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණා ෴

+++++++++++++++++

ශ්‍රී ලංකාවේ කෝවිඩ් මරණ අනුස්මරණට ස්මාරකයක්

(04.10.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති කොවිඩ් මරණ සිහි කිරීම වෙනුවෙන් ‘කෝවිඩ්-19 අනුස්මරණ ස්මාරකයක්’ නිර්මාණය කර තිබෙනවා.

ඔන්ලයින් අවකාශය තුළ මෙම ස්මාරකය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

අද (04) දිනය වන විට මෙරටින් සමස්ත කොවිඩ් මරණ 13,059 ක් වාර්තා වන අතර මේ වන විටත් එලෙස මියගිය පුද්ගලයින් 761 දෙනෙකුගේ තොරතුරු මෙම ස්මාරකය තුළ ලේඛනගත කර ඇති බවයි එහි නිර්මාණකරුවන් පවසන්නේ.

මෙරටින් වාර්තා වූ සෑම කාන්තා සහ පිරිමි මරණකටම වෙන වෙනම දැක්වෙන පරිදි අරලිය මල සංකේතවත් කරමින් මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *