මින්නේරියේ ඒ.ටී.එම්. යන්ත්‍රය උණුකර මුදල් සොරකම් කළ සැකකරු අල්ලයි

මින්නේරියේ ඒ.ටී.එම්. යන්ත්‍රය උණුකර මුදල් සොරකම් කළ සැකකරු අල්ලයි

*********************************************

මින්නේරියේ ඒ.ටී.එම්. යන්ත්‍රය උණුකර මුදල් සොරකම් කළ සැකකරු අල්ලයි

(04.10.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය – මිනිහිරිගම ප්‍රදේශයේ වෙළද සංකීර්ණයකට අයත් ගොඩනැගිල්ලක පිහිටා තිබූ රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයක් කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 76 කට වැඩි මුදලක් සොරාගැනීමේ සිද්ධියේ සැකකරු දින 05 කට පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 28 වැනි දා අදාළ ඒ.ටී.එම්. යන්ත්‍රය ක්‍රියා විරහිත වීම හේතුවෙන් බැංකුවෙහි නිලධාරීන් එය පරීක්ෂා කිරීමේ දී අනාවරණ වූයේ, ඒ.ටී.එම්. යන්ත්‍රයට හානි සිදුකර ඇති බවට යි.

මින්නේරිය පොලිසිය මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, බැංකු නිලධාරියෙකු බව පවසමින් එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණ ඇති බවයි.

ඔහු බැංකු නිලධාරියෙකු නො වෙන බවත් ඒ.ටී.එම්. යන්ත්‍රය උණුකර කපා මුදල් රැගෙන ගොස් ඇති බවත් විමර්ශනවල දී අනාවරණ වුණා.

විමර්ශනවලින් පසු එප්පාවල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරු අනුරාධපුර පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලීසිය සඳහන් කළේ, ඔහු විසින් මීට පෙර ද මෙවැනිම ආකාරයට ඒ.ටී.එම්. යන්ත්‍ර කඩා මුදල් සොරකම් කර ඇති බවට තොරතුරු අනාවරණ වූ බවයි ෴

******************************************

බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට ගිය පිරිසකට බඹර ප්‍රහාරයක්

(04.10.2021 – 06:23 +0530 – hirunews.lk/sinhala)

බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට පැමිණි පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව ඊයේ (03) දහවල් රෝහල් ගත කර තිබෙනවා.

දිය ඇල්ල නැරඹීමට පැමිණි පිරිසෙන් පුද්ගලයන් සිව්දෙනෙකු (4) මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් හල්දුම්මුල්ල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිව්දෙනා 26, 31, 36, සහ 38 යන වයස්වල පසුවන රත්නපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ෴

******************************************

විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සමඟ 04 ක් පොලිස් දැලේ

(04.10.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ පතොරම් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (4) රක්වාන, වලව්කඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (03) දහවල් මෙම සැකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් මෙම ගිනි අවිය මුදලට ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර ඔවුන්ට මෙම ගිනි අවිය විකිණූ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු මෙම පිරිස කහවත්ත සහ අටකලම්පන්න යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් 21, 30, 35, 39 සහ 45 යන වයස්වල පසුවන්නන්.

සැකකරුවන් අද (04) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

අද (04) සිට දින පහක් (5) පාර්ලිමේන්තුව රැස් වෙයි

(04.10.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

අද (04) සිට අඛණ්ඩ ව දින 05 ක් පාර්ලිමේන්තුව රැස්වනවා.

අද (04) විශේෂ පාර්ලිමේන්තු දිනයක් වන අතර, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නො හැකි වුණා.

ඒ හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නො හැකි වූ ප්‍රශ්න සඳහා අද (04) අවස්ථාව ලබාදීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.

එමෙන්ම හෙට (05) දින මුදල් හා බදු සම්බන්ධ නියෝග හා රෙගුලාසි කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳ දෙවන (2) වර කියවීමේ විවාදය අනිද්දා (06) පැවැත්වෙනවා.

බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත මඟින් මෙරට දේශීය තෙල් හා වායු ගවේෂණය සහ නිෂ්පාදන කර්මාන්තය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම, අර්ථ නිරූපණය කිරීම නියමිත පරිදි සිදු වනු ඇති.

මේ අතර, ලබන වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනාව නොවැම්බර් මස 12 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ද අද (04) ආරම්භ කෙරෙන පාර්ලිමේන්තු සතියේ දී මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබන හත් වැනි දා (07) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට කැඳවා තිබෙනවා.

මීට පෙර ද ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම පසුගිය ජූලි 07 වැනි දා කෝප් කමිටුව හමුවේ පෙනී සිටි අතර, එම විමර්ශනවලට අදාළ ව තවදුරටත් කරුණු සාකච්ඡා කිරීම සඳහායි ඔවුන් යළි කැඳවා ඇත්තේ.

ඊට අමතර ව අනිද්දා (06) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා ෴

******************************************

ජපානය සහ ඉන්දියාව සමඟ අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේ දී යුද අභ්‍යාස

(04.10.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ඉන්දු – ලංකා යුද හමුදා අතර වාර්ෂික ව පවත්වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේ දී අද (04) ආරම්භ වනවා.

ඒ සඳහා සහභාගි වන ඉන්දීය යුද හමුදා භටයින් 120 දෙනෙකු පෙරේදා දිවයිනට පැමිණියේ මත්තල ගුවන් තොටුපොළින්.

අද (04) ආරම්භ වන යුද අභ්‍යාසය ලබන 16 වැනි දා තෙක් පැවැත්වෙනු ඇති.

දෙරටේ හමුදා අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීම සහ අත්දැකීම් හුවමාරුව අරමුණු කරගනිමින් වාර්ෂික ව පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය පළමුවරට ආරම්භ කරනු ලැබුවේ 2012 වසරේදි යි.

එසේම මෙම යුද අභ්‍යාසයට සහභාගි වීම සඳහා ඉන්දීය යුද හමුදාපතිවරයා මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව ද වාර්තා වනවා.

මේ අතර ජපානයට අයත් විශාල ම යුද නෞකා තුනක් (3) වන කාගා, මුරසාමේ සහ ෆුයුෂුකි නෞකා ත්‍රිත්වය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වුණා.

ෆුයුෂුකි නෞකාව මේ වනවිට මෙරටින් පිටත් ව ගොස් ඇති අතර, අනෙක් නෞකා දෙක (2) නාවික හමුදාව සමඟ බටහිර මුහුදේ අද පැවැත්වෙන ‘ජා – ලාන් එක්ස්’ ඒකාබද්ධ නාවික හමුදා අභ්‍යාසයට එක්වීමට නියමිතයි.

******************************************

ඉන්දීය විදේශ ලේකම්, දෙමළ සන්ධාන හමුව අද (04)

(04.10.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

සිව් (4) දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා අද (04) දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සාමාජිකයින් හමුවීමට නියමිත ව තිබෙනවා.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී දෙමළ ජාතික සන්ධානය සමඟ අද (04) පස්වරු පහට (5) අදාළ සාකච්ඡාව ආරම්භ කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව පස්වරු 05:30 ට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සාමාජිකයින් හමු වී ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

එහිදී දෙමළ ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳ ව සහ වතුකරයේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ ලේකම් සමඟ සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බවයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් සඳහන් කළේ.

එසේම ඔහු ඊයේ (03) පස්වරුවේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

ඒ, පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව යි.

අනතුරු ව ඉන්දීය විදේශ ලේකම්වරයා යාපනයේ ද සංචාරයක නිරත වුණා.

මේ අතර, වීරකේසරී පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා ප්‍රකාශ කර ඇත්තේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළයුතු බවයි.

නො බෙදුණු ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, සාමය, සාධාරණත්වය සහ දමිල ජනතාව තුළ පවතින අභිලාෂයන් ඉටුකිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇති බවට ඉන්දියාව අපේක්ෂා කරන බව ද ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම හින්දු පුවත්පත සඳහන් කළේ, ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරට සිදු කරන සංචාරය අතරතුර කොරෝනා මර්දන කටයුතු සහ එන්නත්කරණ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වන බවයි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින හා එක් ව ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ද පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

එසේම ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා හමු වී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි ෴

******************************************

කටානේ ගණිකා නිවාසයක් වටලා හය (6) දෙනෙකු අත්අඩංගුවට

(04.10.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

කටාන, අක්කර 50 ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එය පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සමඟ ගණිකා වෘතියේ නියැලීමට එම ස්ථානයේ රැඳී සිටි කාන්තාවන් සිව් දෙනෙකු (4) ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ සැකකාරියන් 21, 23, 24, 36, 41 සහ 47 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් මීගමුව, එප්පාවල, අනුරාධපුරය, ගොඩකවෙල, බකිණිගහවැව සහ ගන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් සහ පදිංචිකාරියන්.

ඔවුන් අද (04) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

ජනපති යළි දිවයිනට

(04.10.2021 – 09:09 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය බලා ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) දිවයිනට පැමිණියා.

උදෑසන 08:55 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 650 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි හිරු ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

එම සැසි වාරයට සහභාගිවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මස 18 වැනි දා දිවයිනෙන් පිටත්ව ගියා.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය අමතනු ලැබුවේ පසුගිය මස 22 වනදායි.

ජනාධිපතිවරයා, දිවයිනෙන් බැහැර විදේශ සමුළුවකට සහභාගි වූ සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රාජ්‍ය නායක සමුළුවක් ඇමතූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

එහි දී ජනාධිපතිවරයා ලෝක නායකයින් රැසක් සමඟ ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත් වූ අතර, එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ මාර්ගගත සභාව ඇතුළු සැසිවාර කිහිපයක් ද අමතනු ලැබුවා.

මේ අතර, ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේ දී සිය මිනිබිරිය ප්‍රථම වතාවට දැක ගත් බවයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොවිඩ් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

(04.10.2021 – 07:18 +0530 – hirunews.lk/sinhala)

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

එන්නත් මාත්‍රා 3,04,000 ක් මෙලෙස දිවයිනට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

රජය විසින් ඇණවුම් කරන ලද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ හතළිහේ (40,00,000) පළමු එන්නත් මාත්‍රා තොගය ලෙසයි මෙම එන්නත් මාත්‍රා 3,04,000 දිවයිනට රැගෙනවිත් ඇත්තේ ෴

+++++++++++++++++++

එන්නත් කාඩ්පත නොමැතිව හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ගුවන් තොටුපොළේ දී අකරතැබ්බයක්

(04.10.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

දකුණු කොරියාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ රැස්වීමකට සහභාගිවීමට ගිය පරිසර අමාත්‍යාංශයේ ලේකම් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගුවන් තොටුපොළේ දී අකරතැබ්බයකට මුහුණ දී තිබෙනවා.

ඒ, එන්නත් කාඩ්පත රැගෙන ඒමට අමතක වීම හේතුවෙන්.

එහිදී ලේකම්වරයාට ගුවන් යානයට ගොඩවීමට හැකියාව ලැබී නැහැ.

කෙසේ වෙතත්, එන්නත් කාඩ්පතේ ඡායා පිටපතක් තම ජංගම දුරකථනය වෙත ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඔහුට ගැටළුව විසඳාගෙන ගුවන් ගතවීමට හැකි වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ හතරවන (4) ආසියා පැසිෆික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්හි රැස්වීමට සහභාගිවීම සඳහායි ඔහු මෙලෙස ඊයේ (03) දිවයිනෙන් පිටව ගියේ.

එය හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ දකුණු කොරියාවේදී පැවැත්වෙනවා.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ රටවල් 47 ක අමාත්‍යවරුන් මෙම රැස්වීමට සහභාගිවීමට නියමිත බවයි ෴

++++++++++++++++++

එන්නත්කරණය ගැන ජනපති මේ සතියේ සුවිශේෂී තීරණයක් ගන්න සැරසෙයි

(04.10.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 15 ත් 19 ත් අතර පිරිසට කොරෝනා මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් උපදෙස් ජනාධිපතිවරයා ගෙන් මෙම සතියේ දී ලැබෙනු ඇතැ යි අපේකෂා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

එසේම ඊයේ (03) දිනයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 802 ක් සහ මරණ 40 ක් ද වාර්තා වුණා.

ඊයේ (03) දිනයේ කොරෝනා ආසාදිතයින් 802 ක් හඳුනාගැනුණු අතර, ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,20,432 ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා ආසාදිත මරණ 40 ක් ද ඊයේ (03) දිනයේ දී වාර්තා වූ අතර, එම මරණ පෙරේදා (02) දිනයේ සිදුවූ මරණ ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 13,059 ක් ලෙසට යි.

ඊයේ (03) දිනයේ වාර්තා වූ මරණ අතරින් 28 ක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වන අතර, 30 ට අඩු එක (1) පුද්ගලයෙකු ද ඒ අතර සිටිනවා.

කතරගම ප්‍රදේශයේ දී ඊයේ (03) මාධ්‍ය වෙත අදහස් දැක් වූ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ වයස 15 ත් 19 ත් අතර පිරිසට එන්නත් ලබාදීමට අදාළ උපදෙස් ජනාධිපතිවරයා විසින් මෙම සතිය තුළ දී ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවයි ෴

+++++++++++++++++

බස් ධාවනය අද (04) සිට පුළුල් වෙයි

(04.10.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

රට යළි විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සේවකයින් කොටස් වශයෙන් නැවත සේවයට කැඳවීමේ තීරණයත් සමඟ අද (04) සිට ලංගම බස් වැඩි වශයෙන් ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.

තදබදයකින් තොර ව මගීන් රැගෙන යාම පහසු කිරීම සඳහා යි මෙලෙස බස් රථ ප්‍රමාණය ඉහළ දමා ඇත්තේ.

දුම්රිය ධාවන කටයුතු ද සති දෙකකට (2) අත්හිටුවා ඇති අතර, ඒ අනුව දුම්රිය මඟින් රාජකාරි සඳහා පැමිණීමට අපේක්ෂාවෙන් සිටි රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින් සඳහා ද විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මකයි.

මේ අතර, පසුගිය සිකුරාදා රට යළි විවෘත කිරීමෙන් අනතුරු ව ඇතැම් බස් රථවල නිරෝධායන නීතිරීති කඩකරමින් මඟීන් රැගෙන යන ආකාරයක් දක්නට ලැබුණා.

එලෙස නිරෝධායන නීති රීති කඩකරන බස් රථ සොයා විශේෂ වැටලීමක් අද (04) සිට ක්‍රියාත්මක බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ.

නිරෝධායන නීතිරීති කඩකරමින් ආසන ධාරිතාව ඉක්මවා මඟීන් ප්‍රවාහනය කරන බස් රථ පොලිස් භාරයට ගන්නා ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කිරීමට ද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අද (04) සිට පොලිස් භාරයට ගන්නා බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට අමතර ව පොලිස් භාරයෙන් බස් රථ නිදහස් කිරීමද සිදු නො කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *