ලිට්රෝ රුපියල් 1,200 කින් වැඩි කිරීමට යෝජනාවක්

ලිට්රෝ රුපියල් 1,200 කින් වැඩි කිරීමට යෝජනාවක්

*********************************************

ලිට්රෝ රුපියල් 1,200 කින් වැඩි කිරීමට යෝජනාවක්

(01.10.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,200 කින් ඉහළ නැංවිය යුතු බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.

මෙම මිල වැඩි කිරීම සම්පූර්ණ ලෙස නොලැබුණහොත් මිලෙහි වෙනස මහා භාණ්ඩාගාරයට දැරීමට සිදුවනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ.

ලිට්රෝ සමාගමේ සේවකයින්ගෙන් සමන්විත මෙම එකමුතුව අදාළ නිවේදනයෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ ලෝක වෙළඳපලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අද (01) වනවිට ඇමරිකානු ඩොලර් 800 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙය ඍජුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයට පරිවර්තනය කළ විට රුපියල් 2,021 ක්.

කෙසේ වෙතත් අද (01) වනවිට ලිට්රෝ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 1,493 කටයි.

නැව් හා රක්ෂණ ගාස්තු ඇතුලු අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බලපාන ඍජු වියදම්වල එකතුව රුපියල් 700 ක් වන අතර, වියදම පමණක් පියවා ගැනීම සඳහා ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,800 කට අලෙවි කළ යුතු බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව සඳහන් කළා.

ලිට්රෝ ආයතනය පසුගිය මාස 9 තුළ මිල වැඩි නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි 10,500 ක අලාභයක් ද ලබා තිබෙනවා.

එමෙන්ම රටට ගෑස් රැගෙන ඒම සඳහා මසකට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 30 ක් රජයට දැරිය හැකිද යන්න පිළිබඳව ඔවුන් අදාළ නිවේදනයෙන් ප්‍රශ්ණ කරනවා.

මේ වනවිට ලිට්රෝ සමාගම දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව ඇති අතර, නොවැම්බර් මාසය වනවිට මහා භාණ්ඩාගාරය මුදල් ලබා නොදුනහොත් ගෑස් රැගෙන ඒමට නොහැකි වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර තුනෙන් දෙකක බලයක් සහිත රජයට මෙරට වී මිල සහ සහල් මිල තීරණය කිරීමට නොහැකි මන්දැයි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ප්‍රශ්න කරනවා.

මහියංගණය ප්‍රදේශයේ අද (01) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් පෙන්වා දුන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් ප්‍රකාශයට පත් කළ මිලට වඩා අඩු මිලට සහල් අලෙවි කළ හැකි බවයි.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් මහනුවර දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතියේ සභාපති නිශාන්ත බණ්ඩාර මහතා වී සහ සහල් සම්බන්ධයෙන් මිල සූත්‍රයක්ද යෝජනා කළා.

******************************************

ව්‍යාජ ඡායාරූපයක් නිසා ප්‍රසිද්ධ පුවත්පතක් යොහානිගෙන් සමාව අයදී

(01.10.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල සංගීත ලොව වඩාත් කතාබහට ලක්ව ඇති චරිතය යොහානි ද සිල්වා බව කවුරුත් දන්න දෙයක්.

ජාත්‍යන්තරය පුරා ඉහළ ජනප්‍රියත්වයක් ලැබූ ඇය පසුගිය දිනෙක ඉන්දියාව බලා පිටත්ව ගියේ, ප්‍රසංග කිහිපයකට සහභාගී වීම සඳහා යි.

මේ අතර, අද (01) දිනයේ ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණේ, ඉන්දියාව බලා ගිය ඇය පිළිගැනීමට ගුවන්තොටුපොළට විශාල පිරිසක් රැස්ව සිටි බවයි.

කෙසේ වෙතත්, මෙම ඡායාරූපය ව්‍යාජ එකක් බවයි පසුව අනාවරණ වී ඇත්තේ.

එම ඡායාරූපය පළ කිරීම සම්බන්ධයෙන් අදාළ පුවත්පත සමාව අයැද සිටියා ෴

******************************************

දිස්ත්‍රික්ක 5 කට නායයෑමේ අවදානම් නිවේදනයක්

(01.10.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් ආපදා තත්වයක් ඇතිවුවහොත් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.

මේ අතර ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මීට ටික වේලාවකට පෙර නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය සහ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ පාළින්ද නුවර, බුලත්සිංහල, අගලවත්ත සහ දොඩන්ගොඩ, මහනුවර දිස්ත්‍රික්කයේ පහත හේවාහැට, දොලුව, ගඟවට කෝරලය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි කඳුකර බෑවුම් හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, රුවන්වැල්ල සහ දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, අයගම, රත්නපුර සහ ඇඹිලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද මෙය බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ෴

******************************************

එල්ලේ නායකයාගේ ඝාතනයට ඇල්ලූ බුද්ධි නිලධාරීන්ට ආරක්ෂාව දෙන්නැයි කළ ඉල්ලීම විනිසුරු ඉවත දමයි

(01.10.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

මට්ටක්කුලිය ප්‍රදේශයේ එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල්වරයා ඇතුළු සැකකරුවන් මේ මස 15 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙම පැමිණිල්ල අද (01) කැදවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අභයවික්‍රම හමුවේයි.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ යුද හමුදා බුද්ධි අංශ නිළධාරීන් බොහොමයක් බෝගම්බර බන්ධනාගාරයේ රදවා සිටින අතර එහි එල්.ටී.ටී.ඊ සැකකරුවන් ද සිටින බැවින් මොවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ බුද්ධි අංශ රාජකාරියක් ඉෂ්ට කිරීමට ගොස් නොවන අතර තමා ඉදිරියේ පවතින්නේ පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධ අපරාධමය නඩුවක් බවයි.

ඒ අනුව සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස තමාට නියෝගයක් නිකුත් කළ නොහැකි බවද මහේස්ත්‍රාත්වරිය කියා සිටියා ෴

******************************************

සහල් ගැසට්ටුවේ ප්‍රශ්නයට ඇමතිවරුන් නිහඬයි

(01.10.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – මහඉලුප්පල්ලම මහවැලි කොට්ඨාසයට අයත් මරදන්කල්ල වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි, ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ ප්‍රධානත්වයෙන් අද (01) ආරම්භ වුණා.

එහිදී මාධ්‍යවේදීන් සහල් මිල සම්බන්ධයෙන් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු ඊට පිළිතුරු ලබාදීමෙන් වැළකී සිටියා.

එම අවස්ථාවේ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන කියා සිටියේ එම ප්‍රශ්ණය සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් නොඅසන ලෙසටයි. අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන වෙත එම ප්‍රශ්නය යොමු කළා.

අමාත්‍යවරයා සිනාසෙමින් වෙනත් ප්‍රශ්න අසන ලෙසට ඉල්ලා සිටියා.

******************************************

ලබන වසරේ පළමු කාර්තුව තුළදී 6.5% අර්ථික වර්ධනයක් බලාපොරොත්තුවෙන්

(01.10.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සඳහා වන සය (6) මාසික පෙර දැක්ම තුළින් මෙම වසරේ සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් සහ ලබන වසරේ පළමු (1) කාර්තුව තුළ සියයට 6.5 ක වර්ධන වේගයක් අත්පත් කර ගැනීමට අපේක්ෂා කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

අද (01) පෙරවරුවේ එම සය (6) මාසික පෙර දැක්ම ඉදිරිපත් කරමිනුයි මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ.

මේ වසරේ ඉදිරි කාලය තුළ මාසික අපනයන ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 1 කට වඩා වැඩි කිරීමට ඉලක්ක කර තිබෙනවා.

ඊට අමතරව උපාය මාර්ගික නොවන වත්කම් සහ ඌන උපයෝජිත වත්කම්වලින් මුදල් ඉපයීම, ඍජු විදේශීය ආයෝජන ආකර්ශනය කර ගැනීමේ වැදගත්කම ද මහබැංකුව අවධාරණය කරනවා.

විදේශ මුදලින් බදු ගෙවීම් සහිතව විදේශ විනිමය ඉපැයීම් සහ ඍජු ආයෝජන යොදා ගනිමින් මෝටර් රථ ආනයනයට ඉඩ ලබාදීමේ යාන්ත්‍රණයක් හදුන්වා දීම ද මහබැංකුවේ ඉදිරි දැක්මෙන් යෝජිතයි.

එමෙන්ම, සැලසුම්සහගත නව බදු ව්‍යුහයක් ඇතුළත් ආයෝජන හිතකාමී අයවැයක් ඉදිරිපත් කළ යුතු බව ද මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කළා.

මේ අතර ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා විසින් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඊට අදාල ගැසට් පත්‍රය පසුගිය 29 වනදා නිකුත් කෙරුණු අතර, එහි 2022 වසර සඳහා වන රජයේ වියදම් පිළිබඳ තොරතුරු අන්තර්ගතව තිබෙනවා.

******************************************

වතු අධිකාරීවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

(01.10.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

පොහොර හිඟයත් සමඟ දිනක සේවා කාලය අඩු කිරීම හේතුවෙන් වතු පාලනාධිකාරිය සමඟ කම්කරුවන් ගැටුම් ඇති කරගැනීම ඉහළ ගොස් ඇති බැවින් ඊට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් සේවා කටයුතුවලින් ඉවත්වීමට සිදුවන බව වතු අධිකාරීවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

නුවරඑළිය – රදැල්ල ප්‍රදේශයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති දයාල් කුමාරගේ මහතා කියා සිටියේ.

රසායනික පොහොර හා වල්නාශක හිඟවීම හේතුවෙන් තේ වතුවල ඵලදාව අඩුවීම හේතුවෙන් වතු කම්කරුවෙකුගේ දෛනික සේවා කාලය අඩු කිරීමට සිදුව ඇති බවයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

මෙරටින් තවත් කොරෝනා මරණ 58 ක්

(01.10.2021 – 17:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 58 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) තහවුරු කළ මෙම මරණ 58 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,964 ක් ලෙසටයි.

මෙම මරණ අතර කාන්තාවන් 31 ක් සහ පිරිමින් 27 ක් වනවා.

ඊයේ (30) තහවුරු කළ මරණ අතර වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තා වන්නේ නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 10 ක් තහවුරු වී ඇති අතර ඒ පිරිමි 09 ක් සහ කාන්තාවන් 01 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි කාන්තාවන් 30 ක් සහ පිරිමි 18 ක් මියගිය පිරිස අතර වනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 644 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,18,021 ක් දක්වා ඉහළ යනු ලබනවා ෴

++++++++++++++++++

පරීක්ෂාවකින් තොරව ගුවන් තොටුපලෙන් පිටකිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ විරෝධය

(01.10.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය සහ විදේශීය ගුවන් මගීන් සඳහා සෞඛය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නව මාර්ගෝපදේශවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විරෝධය පළ කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ මෙරටින් පිටත සිදු කෙරෙන කොරෝනා පරීක්ෂණ වාර්තාවල විශ්වසනීයත්වය සහ සත්‍ය අසත්‍ය භාවය තහවුරු කරගැනීමට විශ්වසනීය ක්‍රමයක් නොමැති බවයි.

එසේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණෙන්නන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණාගාරය හදිසියේ ඉවත් කිරීම පිළිබඳව ඔවුන් විරෝධය පළ කර තිබෙනවා.

විශාල මුදලක් වැය කරමින් මෙලෙස පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව එන්නත් දෙකක් ලබාගත් සහ පැය හැත්තෑ දෙකක් (72) තුළ පී.සී.ආර්. වාර්තාවක් මත පදනම් වෙමින් පැමිණෙන සංචාරකයින් නිදහස් කිරීම සෑම දෙනාම මවිතයට පත් කරන බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ව්‍යාජ එන්නත් සහතික සහ ව්‍යාජ පී.සී.ආර්. වාර්තා ලංකාවේ පමණක් නොව සංවර්ධිත රටවලද වාර්තාවන බැවින් පී.සී.ආර්. පරික්ෂණ සඳහා ගුවන් තොටුපලේදී මගහැරීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි ෴

+++++++++++++

තවත් ‘ෆයිසර්’ එන්නත් මාත්‍රා ලක්ෂ 04 ක් ශ්‍රී ලංකාවට

(01.10.2021 – 20:37 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් ‘කොවැක්ස්’ පහසුකම යටතේ මෙරටට පරිත්‍යාග කළ ‘ෆයිසර්’ එන්නත් මාත්‍රා ලක්ෂ 04 ක් එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.

මෙම එන්නත් තොගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට මාලදිවයින ඔස්සේ පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ EK-652 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණා.

මෙම සතිය තුළදී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 8 ක් ශ්‍රී ලංකාව ලැබී තිබෙනවා.

ඇමරිකාවෙන් මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබී ඇති මුළු එන්නත් ප්‍රමාණය මිලියන 2.4 ක් ෴

+++++++++++++++

කොවිඩි වසංගතයට මුහුණ දීමේදී අපගේ හැසිරිම සම්බන්ධව ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා සමග කළ කාලීන සංවාදය (25.09.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *