හෙට (01) සිට රාජ්‍ය සේවය යළි සක්‍රියයි

හෙට (01) සිට රාජ්‍ය සේවය යළි සක්‍රියයි

*********************************************

හෙට (01) සිට රාජ්‍ය සේවය යළි සක්‍රියයි

(30.09.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්වලට ප්‍රමුඛතාව ලබාදෙමින් හෙට (01) සිට රාජ්‍ය සේවය යළි සක්‍රිය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

හෙට (01) රට විවෘත කිරීමත් සමඟ රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.

ඊට අදාළ සාකච්ඡාවක් ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඊයේ (29) පවත්වා තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ මත අත්‍යවශ්‍යම රාජ්‍ය සේවාවන්ට වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙමින් රාජ්‍ය සේවාවේ කටයුතු පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.

මේ සඳහා වන චක්‍රලේඛය ද අද (30) නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට බරපතළ ලෙස කැප වන්නේ පෞද්ගලික අංශයේ කම්කරුවන් බවත් කොරෝනා පිළිබද ජාතික තීන්දු ගන්නා මණ්ඩලවලට එම වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගි කර නො ගැනීම පිළිබද ව වෘත්තීය සමිති විරෝධය පළ කරනවා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) කම්කරු අමාත්‍යාංශයේ පැවති කොවිඩ්-19 කම්කරු කාර්ය සාධක සභාවට එක්වෙමින් එම වෘත්තීය සමිති මෙම විරෝධය එල්ල කළා.

අවම වශයෙන් සාකච්ඡා සඳහා කම්කරු අමාත්‍යවරයා හෝ සහභාගි කර නො ගැනීම නිසා තමන්ගේ අදහස් හා යෝජනා කොරෝනා තීන්දු තීරණ ගන්නා ජාතික සාකච්ඡා මණ්ඩලවලට දැනුම් දීමට අවස්ථාවක් නො ලැබී ඇති බවයි නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය පෙන්වා දෙන්නේ.

එමෙන්ම හෙට (01) දිනයේ දී රට විවෘත වුවත් සති දෙකක් (2) යනතුරු කිසිදු දුම්රියක් ධාවනය නො කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

එමෙන්ම, බස් රථ ධාවනය වන්නේ ද පළාත තුළ පමණක් බව ද ඔහු කියා සිටියා ෴

+++++++++++++++++++

ඉගෙනගන්න ගල් සහ ජලටැංකි මත නගින දරුවන්

(30.09.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන් තවමත් ගල් සහ ජල ටැංකි මත නැගීමේ පුවත් තවදුරටත් වාර්තාවනවා.

එහි ආසන්නතම සිද්ධිය ගිරිබාව – හෙට්ටිආරච්චිගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ දිනවල පාසල් ගුරුවරුන් මාර්ගගත ඉගැන්වීම් වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වුණ ද ඔන්ලයින් ක්‍රමයට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වෙන බැවින් එම කටයුතු සඳහා දුරකතන සංඥා නො මැති බවට යි දරුවන් කියා සිටියේ ෴

++++++++++++++++++++

අධ්‍යාපනයට ජංගම දුරකතනයක් ඉල්ලන අනුරාධපුර දරුවන්

(30.09.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට ජංගම දුරකතනයක් නො මැතිකමින් පීඩා විඳින පවුලක් පිළිබඳව අනුරාධපුර – ලංකාරාම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පියා සහ මිත්තනිය සමඟ දිවි ගෙවන මෙම දරුවන් දෙදෙනා (2) සහ මිත්තනියගේ ද එක ම ඉල්ලීම වී ඇත්තේ, ඉගෙනුම් කටයුතු සඳහා ජංගම දුරකතනයක් ලබාගැනීම යි.

රූපවාහිනිය ඔස්සේ අධ්‍යාපන වැඩසටහන් ප්‍රචාරය වුව ද රූපවාහිනියක් පවා නො මැතිකමින් ඔවුන්ට සිය අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට නො හැකි තත්වයක් උද්ගත ව පවතිනවා.

රුවන්වැලි මහ සෑය අසල බෝනික්කන් ගොතා අලෙවි කිරීමෙන් දරුදෙදෙනාගේ ජීවිකාව සරිකරන මිත්තණියට මේ වනවිට පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දෛනික ආදායම ද අහිමි වී තිබෙනවා.

එම තත්ත්වය හමුවේ පිරිමි දරුවා කුලී වැඩ කර ජීවිකාව සරිකරගන්නා පසුබිමක් තුළ ජංගම දුරකතනයක් මිල දී ගැනීමට මුදල් සපයා ගැනීම දුෂ්කර බැවින් තමන්ට දුරකතනයක් ලබාදෙන ලෙසයි එම දරුවන් ඉල්ලා සිටින්නේ ෴

+++++++++++++++++

20 ත් 30 ත් අතර තරුණ ප්‍රජාවට කඩිනමින් එන්නත ගන්නැයි දැනුම් දීමක්

(30.09.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් එන්නත් ලබා නො ගත් වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ ප්‍රජාවට කඩිනමින් කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කරනවා.

ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ඉල්ලීම සිදුකළා.

ඊයේ (29) දිනයේ මෙරටින් නව ආසාදිතයන් 941 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,16,465 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (29) හඳුනාගත් නව ආසාදිත‍යින් සියලු දෙනා අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 46,761 ක් වන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 4,56,857 ක්.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (28) සිදු වූ බවට ඊයේ (29) තහවුරු කරන ලද නව මරණ 61 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,847 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, මේ දක්වා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා මිලියන 31 ක් මෙරටට රැගෙන විත් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

ඉන් මිලියන 1.2 ක් දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි බෙදා හැර ඇති බවයි එහි ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ.

පළමු (1) මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 30 ඉක්ම වූවන්ගෙන් සියයට 99.3 ක්ම මේ වන විට දෙවන (2) මාත්‍රාව ද ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කර තිබෙනවා.

ඉදිරි මාසය තුළ මාත්‍රා දෙක ම (2) ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කළ සංඛ්‍යාව මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 65 ත්, 70 ත් දක්වා වැඩි කර ගත හැකි බවට වසංගත රෝග විද්‍යා අංශය අනාවැකි පළ කරනවා.

කෙසේ වෙතත් මේ වන විට වයස අවුරුදු 20 ත්, 30 ත් අතර තරුණ ප්‍රජාවගෙන් එන්නත් ලබාගෙන ඇත්තේ සියයට 50 ක් පමණක් බව සඳහන්.

කොරෝනා එන්නත් සම්බන්ධයෙන් පවතින විද්‍යාත්මක නො වන දුර්මත ඇතුළු කරුණු හේතුවෙන් මෙම වයස් කාණ්ඩවල තරුණ ප්‍රජාව එන්නත්කරණයට යොමු නො වන තත්ත්වයක් උද්ගත ව පවතිනවා.

කෙසේ වෙතත් මේ දක්වා මෙරට තුළ සිදු ව ඇති සමස්ත කොරෝනා මරණවලින් 150 ක් ම වයස අවුරුදු 30 ට අඩු මරණ වන අතර ඉන් 96 ක්ම අවුරුදු 20 ත්, 30 ත් අතර අය බව සදහන්.

තරුණ ප්‍රජාව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට සමාජමය වගකීමක් ද පවතින බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියා සිටියේ ෴

++++++++++++++++

ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

(30.09.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

කොවැක්ස් පහසුකම යටතේ ෆයිසර් එන්නත් 4,08,650 ක් අද (30) පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පළමුව රැගෙන ආ මෙම එන්නත් තොගය පසුව කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත්තේ අද (30) උදෑසන 08:37 ටයි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ හෙට (01) දිනයේත් කොවැක්ස් පහසුකම යටතේ තවත් ෆයිසර් එන්නත් ලක්ෂ හතරක (4) තොගයක් මෙරටට ගෙන ඒමට නියමිත බවයි ෴

++++++++++++++++++

රට ඇරියත් පළාත් සංචරණ තහනම අඛණ්ඩව

(30.09.2021 – 11:15 +0530 – hirunews.lk/sinhala)

හෙට (01) දිනයේ රට විවෘත වුවද අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් කටයුතු සඳහා පළාත් අතර සංචරණය තවදුරටත් තහනම් වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

පසුගිය අගෝස්තු 20 වැනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මකව පවතින නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝබර් පළමුවැනිදා (හෙට) උදෑසන 4 සිට ඉවත්කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන කමිටුව වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව හෙට (01) අලුයම 4 සිට දැනට පවතින නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (29) පැවසුවේ.

මේ අතර අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්වලට ප්‍රමුඛතාව ලබාදෙමින් ඔක්තෝබර් පළමුවැනිදා (01) සිට රාජ්‍ය සේවය යළි සක්‍රිය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ එළඹෙන පළමුවැනිදා (01) රට විවෘත කිරීමත් සමඟ රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ ඊයේ (29) සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ මත අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්ට වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙමින් රාජ්‍ය සේවාවේ කටයුතු පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරෙනවා.

අමාත්‍යවරයා පැවසුවේ මේ සඳහාවන චක්‍රලේඛයද අද (30) නිකුත් කරන බවයි.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ඉන්දු – ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීමට සාකච්ඡා

(30.09.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

ඉන්දු – ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා දේශසීමා මුර සංචාර වැඩි කිරීමට සහ දෙරට අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීමට ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් සාකච්ඡා කර තිබෙනවා.

ඒ, ඊයේ (29) මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති 31 වන අන්තර් ජාතික මුහුදු සීමා රැස්වීමේදි යි.

එහි දී දෙරටේ නාවික හමුදාවන් දෙපාර්ශවය මුහුණ දෙන පොදු ගැටලු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඉන්දීය මුහුදු කලාපය ඔස්සේ සිදුවන ජාවාරම් මැඬ පැවැත්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග, ඉන්දීය මුහුදු කලාපයට මෙරට ධීවරයන් ඇතුළුවීම වැළැක්වීම සම්බන්ධ පියවර පිළිබඳව ඉන්දීය නාවික හමුදාව මෙරට නාවික හමුදාව දැනුවත් කර තිබෙනවා.

එමෙන්ම මෙරට මුහුදු සීමාව වෙත ඉන්දීය ධීවර යාත්‍රා ඇතුළුවීම වැළැක්වීමට එරට ධීවර ප්‍රජාව දැනුවත් කරන බවයි ඉන්දිය නාවික හමුදාව එහි දී සඳහන් කර ඇත්තේ.

******************************************

උදව්වට ඇවිත් කළ සොරකම

(30.09.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala)

හදිසියේ ම අසනීප වන සරසවි සිසුවියකට සහයට පැමිණෙන මුවාවෙන් ඇයගේ දුරකථනය පැහැරගන්නා සොරෙකු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබෙනවා.

අදාළ සරසවි සිසුවිය පසුගියදා සිය පියා සමඟ දොඹගහවෙල ප්‍රදේශයේ බැංකුවක් වෙත ගොස් ඇති අවස්ථාවේ දී ක්ලාන්ත වී තිබෙනවා.

එම අවස්ථාවේ ඔවුන්ගේ සහයට පැමිණෙන අයෙකු ඉතාමත් සූක්ෂම ලෙස ඇයගේ ජංගම දුරකථනය පැහැරගන්නා අයුරු CCTV කැමරාවක පටිගතව තිබෙනවා.

එම දුරකතනයේ ඇයගේ විභාග සදහා අවශ්‍ය වන සියලුම සටහන් අන්තර්ගතව තිබී ඇති අතර ජංගම දුරකථනය නොමැති වීම නිසා ඇය දැඩි අපහසුතාවට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදු කල වැටලීමකදී මෙම සැකකරු සහ සොරාගත් ජංගම දුරකථනය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු දොඹගහවෙල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු තිස් දෙකක (32) පුද්ගලයකු වන අතර සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

අදාළ සිදුවීම පහතින් :

******************************************

මෙරට දිනකට ආහාර මෙට්‍රික් ටොන් 5,000 ක් අපතේ යයි

(30.09.2021 – 10:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ දිනකට ආහාර මෙට්‍රික් ටොන් 5000 ක් කසළ ලෙස බැහැර කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ආහාර අපතේ යාම සහ ආහාර අපද්‍රව්‍ය අවම කිරීම පිළිබද ජාත්‍යන්තර දැනුවත් කිරීමේ දිනයට සමගාමී ව ඊයේ පරිසර අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ලෝකයේ මිනිසුන්ගේ පරිභෝජනය සඳහා නිෂ්පාදනය කරන ආහාරවලින් තුනෙන් එකක් (1/3) පමණ ප්‍රයෝජනයක් නො ගෙන අපතේ යන බව ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ තොරතුරු මගින් අනාවරණ වී තිබෙනවා.

එය වසරකට ටොන් බිලියන 1.3 ක් බව සඳහන්.

මෙරට තුළ ද නිෂ්පාදනය කරන භෝගවලින් සියයට 40 ක් අපතේ යන අතර මෙය රටට විශාල ආර්ථික අලාභයක් බවයි පරිසර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ෴

******************************************

පියා කොසුමිටෙන් කළ පහරදීමෙන් 16 හැවිරිදි පුත්‍රයා මරුට

(30.09.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)

පියා විසින් කොසු මිටෙන් පහරදීම හේතුවෙන් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ පාසල් සිසුවෙකු අද (30) අලුයම මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගාල්ල – මහමෝදර – සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙක්.

අදාළ සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙකු වන අතර පොලීසිය ප්‍රකාශ කළේ, පාඩම් කරන ලෙස පවසා පියා විසින් ඊයේ (29) පස්වරුවේ දරුවාට පහර දී ඇති බවයි.

අනතුරුව සිහිසුන් වූ සිසුවා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 49 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර නවතා තිබූ යතුරුපැදියක් මත බීමතින් සිටි තරුණයෙකු පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජමාධ්‍යයේ හුවමාරු වනවා.

මාතර – පිටබැද්දර පොලිසියේ නිලධාරීන් පිරිසක් අදාළ තරුණයා මෙලෙස බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි තරුණයාගේ මිතුරන් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් පිටබැද්දර පොලීසියෙන් අප විමසීමක් කළ අතර, එහි දී පොලිසියේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, අදාළ පුද්ගලයා බීමතින් යතුරුපැදිය ධාවනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවයි.

එසේම මේ වනවිට එම පුද්ගලයා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, හෙට (01) දිනයේ දි අධිකරණයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *